මේක ටිකක් පරණ කතාවක්, කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. මේක අභියෝයක්. ඇමරිකාවේ යම් නගර වීදියක කුඩා වේදිකාවක් මත සද්ධන්ත මිනිහෙක් හිටගෙන ඉන්නවා. ඒ පැත්තක හිටපු නිවේදකයෙක් කියනවා පුළුවන්නම් මේ සද්ධන්ත මිනිහාව, මේ ඉන්න තැනින් අයින් කරලා පෙන්නන්න, ශක්තිවන්තයෙක් ඉන්නවා නම් වේදිකාව උඩට ඇවිත් ඒක කරල පෙන්වන්න කියලා. තමන් ශක්තිමත් කියල හිතපු පුද්ගලයන් කිහිපදෙනෙක් ඇවිත් එක එක විදිහට තල්ලූ‍ කරමින් උත්සහ කළා. ඒත් මේ සද්ධන්තයාව අඟලක්වත් එහාට තල්ලූ‍ කරගන්න බැරිව පරාජය භාරගෙන ගියා. මේ අස්සේ පුංචි මිනිහෙක් වේදිකාවට එනවා. මිනිහා චීනෙක්. සද්ධන්තයා ඉස්සරහට ඇවිත් කරන්න යන්නෙ මොකක්ද කියලා කාටවත් මොකවත් හිතා ගන්නත් කළින් උඩ පැන සද්ධන්තයාගේ මුහුණට දරුණු පා පහරක් දෙනවා. ඒකා පැත්තකට විසි වෙලා ඇදගෙන වැටෙනවා.

නිවේදකයා වගේම මේක බලන් හිටපු හැමෝම කලබල වුණා. තල්ලූ‍ නොකර ගහපු එක වැරදියි කියලා. මිනිස්සු හැමදාම කළේ මේ සද්ධන්තයව තල්ලූ‍ කරලා දාන්න උත්සහ කරපු එක. ඒක තමයි සුපුරුදු සෙල්ලම වෙලා තිබුණේ. ඒත් මේ චීනා කිව්වේ මෙයාව මෙතැනින් අයින් කරලා පෙන්වන්න කිව්වා මිසක් ගහන්න එපා කියලා සෙල්ලමේ කොන්දේසියක් තිබ්බෙ නැහැ කියලා. ඉතිං ආසියානු චින්තනය කියන්නේ මේකට. ඒක බටහිර චින්තනය අවුල් කරන වෙනස් සිතීමක්. මේ කතාවේ චීනා, බෘස් ලී විදිහට තමයි අහලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් ආසියානුවන් ගැටළු විසඳගන්නේ තමන්ට අනන්‍ය ක‍්‍රමයකටය. වවුලාගේ ගෙදර ගිහින් වවුලා මෙන් එල්ලී සිටීම බටහිර ක‍්‍රමය වුණාට තමන්ට දෙපයින් සිටීමේ හැකියාව තිබෙනවා නම් දෙපයින් සිටගෙන ආපු වැඬේ කරගෙන යාම ආසියානු ක‍්‍රමය. කොන්දේසි ලේසියෙන් භාරගන්නේ නැහැ. ඒක ‌ඓතිහාසික මොඩලයක් කිව්වත් වැරදි නැහැ. කොහොමත් ආසියාතික සමාජ ක‍්‍රමය, ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනය ගොඩනැගුනේ බටහිර විදිහෙන් වෙනස්වයි. ලෝකයම එක යායක් වී ජාත්‍යන්තර මුහුවීමක් සිදුව තිබුණත් අදත් ඒ ආසියානු ලක්ෂණ එහෙම්මම තියෙනවා. ඒවා ජානගත දේවල්.

ජනාධිපති රනිල් පසුගිය දිනවල කියුබාවෙන් ඇමරිකාවටත්, එතැනින් ජර්මනියටත් සිදු කළ සංචාරයන්වලදී බටහිර ලෝක බලවතුන් විසින් ආසියාවේ කුඩා රාජ්‍යයන් ගැන දක්වන සැලකිල්ල නැතිනම් අරියාදුකම් ගැන නෝක්කාඩු කතා ගොඩක් කර තිබුණා. මේ කතන්දර ඔක්කොම අස්සේ ජර්මනියේ මාධ්‍ය ආයතනයක් එක්ක කරපු කතාබහක් රටේ ආන්දෝලනයක් වෙලා. ඒ මාධ්‍යවේදියා රනිල්ගෙන් ඇහුවේ මොනාද රනිල් කිව්වෙ මොනාද කියන දේවල්වලට වඩා රනිල් උත්තර දුන්න විලාසය ලොකු ප‍්‍රශ්නයක් කරගෙන තියෙනවා.

මේ ගැන විවේචනය කරන ගොඩක් අයට රනිල්ගේ රාජතාන්ත‍්‍රික බව, ලිබරල් වටිනාකම් ගැන, ඉංග‍්‍රීසි උගත් බව, දැනුම, පරිචය, වැදගත්කම, විනීතබව, සංසුන්කම වගේ දේවල් ගැන ප‍්‍රශ්න තිබුණා. හැමෝටම රනිල් උද්දච්ඡු මිනිහෙක් වුණා. මේ අය රනිල්ගෙන් බලාපොරොත්තු වෙච්ච හැසිරීම් විලාසය වූණේ බටහිර මිනුම් දඬු අනුව සකසාගෙන තියෙන ශිෂ්ඨකමය. ගහන එක වැරදියි, තල්ලූ‍ කරන එකයි කරන්න තිබුණේ… කියන එක. ඒක වැරදි නැහැ. මොකද දන්නා කාලයක ඉඳන් මේ රටේ අධ්‍යාපනය විසිනුත් ශිෂ්‍යයන් ශික්ෂණය කරන්නෙ මේ මිනුම් දඬු සීමාවන් තුළ නිසයි. රනිල්ගෙ ශිෂ්ඨ සම්පන්නකමත් හැදුනේ එතැනින්. රනිල් අවුල් කියලා මේ අය කියන්නේ මේ නිසා.

රනිල් මෙතනදී උද්දච්ඡු හැසිරීමක් පෙන්නුම් කරමින් බටහිර ප‍්‍රශ්න කිරීමට උත්තර දුන්නේ ආසියානු ක‍්‍රමයටය. මේක නොදැනුවත්කමකින්, හදිසි කෝපයකින්, අපරිණතකමකින් සිදුවෙච්ච දෙයක් නෙවෙයි. පෙර සූදානමක් ඇතිව වෙච්ච දෙයක් බව රනිල් පසුගිය කාලය මුළුල්ලේම මේ ලෝක බලවතුන් එක්ක ගැටෙමින් කරපු කියපු දේවල්වල හැටියට මේ වගේ අවස්ථාවක් එයා හොයමින් සිටියා කියන එක අමුතුවෙන් පැහැදිළි කරගන්න දෙයක් නෙවෙයි.

ලෝක බලවතුන් ගහන ගහන පදයට නටන්න අපි දැන් සුදානම් නැහැ කියලා රනිල් බොහොම රාජතාන්ත‍්‍රිකව, ඒක කිව යුත්තන්ට පැහැදිලිව කියලා තිබුණා. බෝලේ එහාට පාස් කරලා තිබුණේ. මේ මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවනු ලැබු අය රනිල්ව ප‍්‍රශ්න කරන්න තෝරාගෙන තිබුණේ, රනිල් පාස් කරපු බෝලේ ගැන නෙවයි. කතා කළ යුතු කරුණු මඟහැරලා එහෙන් මෙහෙන් අහුල ගත්ත  ඕපාදූප තොගයක් එයා ළඟ තිබුණේ. හරියට  ඕපදූප ෆේක් නිව්ස් කෑළි අල්ලාගෙන ෆේස්බුක් සංවාදයකට අර අදිනවා වගේ. මාධ්‍යකරුවාට  ඕනෑ වුණේ රනිල්ව දෙකයි පනහට ඇද දමා නොකවුට් කරදැමීමටයි. මොකද රනිල් බටහිර චිනත්නය ප‍්‍රශ්න කිරීම වගේම අර්බුදයට දුන්න විසඳුම් ලෝක බලවතුන්ට දරාගන්න අමාරු වෙලා තිබුණා. රනිල් කවදත් බටහිර ගැත්තෙක් වූණේ නැහැ. ඔහු හැමදාම සිටියේ නොබැඳි පිළිවෙතක. ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට, බි‍්‍රතාන්‍යයට, රුසියාවට, මැදපෙරදිගට, අප‍්‍රිකාවට, ලතින් ඇමරිකාවට, ඔස්ටේ‍්‍රලියවට, ජපානයට ඔය  ඕනෙම රටක් එක්ක සුහදව ගනුදෙනු කිරීම හැකියාව එයාට තිබුණා. ඒ වගේම වැරද්දට වැරදියි කියන්න හයියත් තිබුණා. කාටවත් දෙවැනි වුණේ නැහැ. කවදාවත් මේ රටට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගන්න ඉඩ දුන්නේ නැහැ. පුරවැසියාව පහත් කරන්න ඉඩ දුන්නේ නැහැ. හැම තැනකදිම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සටන් කළා. බටහිරට තේරෙන ඔවුන්ගේ විදිහටත්, බටහිරට දරාගන්න අමාරු ආසියානු විදිහටත් ඔහු ඒ සටන කළා. අදත් කරමින් ඉන්නේ ඒක. එතනදි රනිල් උද්දච්ඡුයි තමයි. රනිල්ගෙ ඒ උද්ද්ච්චකම එන්නේ රට වෙනුවෙන්. ඒකයි වැදගත්ම.

ලොකු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *