ඔබේ තීරණයට මගේ බලපෑමක් නෑ. ඒත් දිනනවා

0

පසුගියදා ජනාධිපති කාර්යාලයේ සුවිශේෂී රැස්වීමක් පැවැත්විනි. එය පොදු ජන පෙරමුණේ (පොහොට්‍ටුව) රාජපක්ෂ හිතවාදි මන්ත්‍රීවරුන් කැඳවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැත්වූ සාකච්ඡාවකි. මේ සඳහා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න වැනි මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ විය. මෙය ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡාවක් වූ අතර විශේෂයෙන්ම ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබිණි.

ජනාධිපතිවරයා මෙම මන්ත්‍රීවරුන්ට පවසා සිටියේ එළැඹෙන මාර්තු මාසයේ අග වන විට තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවය. එසේම පොදුජන පෙරමුණේ තීරණය කුමක්ද යන්න විමසීය. නමුත් සාගර කාරියවසම් කීවේ තමන් තවම පක්ෂයක් ලෙස ජනාධිපතිවරණය ගැන තීරණයක් ගෙන නැති බවය. රෝහිත අබේගුණවර්ධන පැවසූවේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියේ ඔබේ පක්ෂයේ තීරණය කුමක් වුවත් ඊට තමන් බලපෑමක් නොකරන බවය. ජනාධිපතිවරයා එසේ විශ්වාසයකින් යුතුව පවසා සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කෙරෙහි ජනතාව මත විශ්වාසය තබා ඇති නිසා විය හැකිය.

ඒ කොහොම නමුත් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණයකර අවසන්ය. ඊට සහය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ගැන නොතකා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනුද ඇත. ඒ අනුව ඕනෑම පාර්ශ්වයකට ඒ සඳහා ඉඩ කඩ විවෘත කර ඇත. ජනාධිපතිවරයා ගෙන තිබෙන මෙම තීරණය අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම ගැන ඉහළ සම්භාවිතාවක් ඔහුට ඇති බව සහසුද්දෙන්ම දැන ගෙන බවය. පොදුජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශ්වයේ සහය ලබාගැනීම ගැන තමන් බලපෑමක් නොකරන බවට ජනාධිපතිවරයා ඔවුන්ට දුන් පිළිතුරෙනුත් පැහැදිලිය. එය, මෙන්න මල්වට්ටිය, අවශ්‍ය නම් අතගහලා පින් රැස් කරගන්න යැයි කිව්වා සේය.

කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරණය මුලික කරගෙන දේශපාලන ක්ෂේත්‍රය උණුසුම්ව තිබේ. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තමන්ගේ කඳවුර තීරණය කරගැනීම සහ ඒ වෙනුවෙන් සංවිධානය වීම වෙනුවෙන් සූදානම් වේ. නව සන්ධාන ගොඩනැගීම ගැන තොරතුරු එක දිගට වාර්තා වෙයි. ජවිපෙ තමගේ ජාතික ජන බලවේගය ගොඩනගාගෙන ඇති නමුත් තමන්ගේ දේශපාලන පතිවතට හානි වෙතැයි සිතා වෙනත් පක්ෂවල සහය ඊට ලබා ගැනීමට නොහැකිව ලත වෙයි. සජබයද නව සන්ධානයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වෙහෙසෙමින් තිබේ. නමුත් එය සාර්ථකව නැත. සන්ධාන ගොඩ නැගීමම එම පක්ෂය තවදුරටත් අර්බුදයට ලක්වීම වර්ධනය කරමින් තිබේ.

 මීට පරිභාහිරව ගොඩනැගෙන නව සන්ධානයන් ගණනාවක් වන අතර ඒ සියල්ලේ තීරණය ජනාධිපති රනිල්ට සහය දක්වීම වියහැකි ලකුණු දැනටම පෙන්වා තිබේ. මෙම දේශපාලන පෙළගැසිම පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ඔවුන් තීරණය කර ඇති බවය.

එහෙත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ මුලිකත්වයෙන් ඉදිරිපත් ජනාධිපති අපේක්ෂකයා කරගැනීමේ තරගයක් නම් නිර්මාණය වී ඇති බව පෙන්වමින් තිබේ. පොදු ජන පෙරමුණෙන් ඉවත්ව සිටින බහුතර කණ්ඩායමක් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ මෙහෙයුමට එකතුව සිටී. මීට අමතරව ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද

අලුත්ගමගේ වැනි පොහොට්ටුවේ ප්‍රබල නායකයන් වෙනම පිරිස් සංවිධානය කරමින් තිබේ. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ශ්‍රිලනීපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සමීපව සම්බන්ධව කටයුතු කළ පිරිස එකතු කරගනිමින් තිබේ. එමෙන්ම මෙම කණ්ඩායම් සුළු‍ ජන පක්ෂ සමඟද සාකච්ඡා කරමින් තම සන්ධානයන් පුළුල්කර ගැනීමෙහි උත්සාහයක යෙදෙයි.

එක්සත් ජාතික පක්ෂයද ජනාධිපතිවරණය වෙනුවෙන් පුළු‍ල් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු ආරම්භකර ඇති අතර ඊට සජබයෙන් විශාල පිරිසක් එකතුකර ගැනීමටද නියමිතය. මේ අනුව මේ සියලු‍ පාර්ශ්ව තම තමන්ගේ දේශපාලනික ශක්තිය ගොඩනඟා එහි බලය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කරගැනීමේ තරගයක යෙදී සිටින බව පෙන්නුම් කරයි.

කෙසේ නමුත් මේ ගොඩනැඟෙන සන්ධාන සියල්ල අවසානයේ ජනාධිපතිවරයාගේ සහයට එක්වන විට එය මෙරට දේශපාලනයේ විශාලම ජන පදනමක් සහිත වඩාත් පුළු‍ල්තම ඒකාබද්ධ සන්ධානය වෙනු ඇත.

මේ අතර පසුගියදා දිවුරුම් දුන් නව ජනාධිපති නීතිඥවරයකු ඒ වෙනුවෙන් පැවැත්වූ සාදයකට ජනාධිපතිවරයාටත් ආරාධනා කර තිබිණි. එහිදී ජවිපෙ සුනිල් වටගල ජනාධිපතිවරයාගෙන් ඉක්මනින් ජනාධිපතිවරණය තබන්නැයි ඉල්ලීමක් කළ අතර තමන් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයාව දිනවන බවත් පැවැසීය. එහෙත් ජනාධිපතිවරයා සියලු‍ දෙන ඉදිරියේදී පැවැසූවේ තව මාස හයකින් ඔයාලත් මගේ පැත්තෙනේ යනුවෙනි. එනම් සුනිල් වටගලලාට දිනවන්න වන්නේ තමන්ව බව රනිල් මෙහිදී නොකියා කීවේය. මේ කතාව ජනාධිපතිවරයා විහිළු‍වකට කීවා යැයි සුළු‍වෙන් තැකිය නොහැක. මන්ද ජනාධිපති රනිල් යනු දේශපාලනයේ නූල් සුත්තර කලාව මැනැවින් ප්‍රගුණ කළ අයකු නිසාය. එසේම හොඳම දේශපාලන අනාවැකිකරුවකුද වන නිසාය.

කොහොම නමුත් කිසිවකුට බලපෑමක් නොමැතිව, තරගයකුත් නැතිව දිනන අපේක්ෂකයා රනිල් බව දැන් වඩාත් පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *