ජනතාව කැපකිරීම් කළාට නිලධාරීන් රාජකාරිය  හරියට කරලා නෑ

0

ජර්මනියේ සංචාරයක නිරතව සිටි ජනපති රනිල් වික‍්‍රමසිංහ නැවතත් මෙරටට පැමිණියේ ඉකුත් ඉරිදා අලූයමය. ජනපති බර්ලින් ගෝලීය සංවාදයට එක්වීම සඳහා ඉකුත් සති අන්තයේ ජර්මනිය බලා පිටත්ව යද්දී ඇමරිකානු ආරක්ෂක හමුවකට ගිය සාගල රත්නායක එරට ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධාන චරිත කිහිපයක් මුණ ගැසී කතා බහ කරන ලද අතර සාකච්ඡාවට බඳ්‍රන් වු කරුණු රාජ්‍යයන් දෙකම රහසක් ලෙස තබා ගැනීමට වගබලාගෙන තිබිණි. එය අවසන් කළ සාගල ජර්මනියට පැමිණ ජනපතිගේ දූත පිරිසට එක්වූවේය.

බර්ලින් සමුළුව අතරවාරයේදී ජනපති ජර්මන් චාන්සලර් ඔල්ෆ් ශොල්ෂ් මුණ ගැසී සාකච්ඡා කළේය. එසේම ජනපති ඇතුළු පිරිස එරට ආරක්ෂක උපදේශක ද මුණ ගැසුණු අතර ඔහු කලක් ශ‍්‍රී ලංකාවේ තානාපති ලෙස කටයුතු කළ අයෙකි. ආරක්ෂක උපදේශක යෙන්ස් ප්ලොට්නර් ගේ හමුවට ජනපති සමඟ කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල මෙන්ම විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන ද එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකාව වසරක් තුළ අර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් උත්සාහය ජර්මන් ආරක්ෂක උපදේශක අගය කළ අතර ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජර්මන් රජයට කළ හැකි සෑම උපකාරයක්ම කරන බවද කියා සිටියේය.

IMF සංවේදී විය යුතුයි

ජනපති, ජර්මන් චාන්සල්වරයාගේ හමුවේදී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ගැන කතාබහක් ඇතිවූවේය. ඔවුන් සෘජුව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දැමිය යුත්තේ මිනිස්සුන්ට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මිසක් මිනිසුන් අමාරුවේ දැමීමට නොවේ කියාය. රටක් අමාරුවේ වැටුණ වේලාවන්හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංවේදි විය යුතු බවද මොවුන් පෙන්වා දුන්නේය. රජය ජනතාව මත තවදුරටත් බර නොපැටවීමට ගත් තීන්දුව ගැන ඔවුන් ස්තූතිය පළ කර තිබිණි.

එහිදි ජනපති කසකස්ථාන ජනපති ද මුණ ගැසුණු අතර ඉදිරියේදි දෙරට අතර තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම ගැන ද කතා බහ කෙරුණි. මෙපමණ කලක් මධ්‍යම ආසියාව තුළ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොපැවති අතර ඒ අඩුව අවසන් කරමින් ඉදිරියේදි තානාපති කාර්යාලයක් දෙරට අතර ස්ථාපිත වීමට නියමිතය. ජනපති රනිල්, කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල ඇතුළු පිරිස ශ‍්‍රී ලංකාවේ කලා කෘතීන්ද තිබෙන කලා කෞතුකාගාරයක් නැරඹීමට ගියෝය.

එම ස්ථානයේ තිබෙන සංරක්ෂිත ආසියානු චිත්‍ර අතර ශ‍්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සිතුවම් ද විය. ජනපති එහිදි අසල සිටි සාගලට කීවේ ”අපි මේ කලා කෘතීන් ගැන හොඳ වාර්තා වැඩසටහනක් කරලා ලංකාවේ ජනතාවට පෙන්වන්න  ඕනේ” කියාය.

‘‘සර් මුළු යුරෝපය පුරාම මෙවැනි කෞතුකාගාර තිබෙනවා. අපි මේ සියල්ල ගැනම වාර්තා වැඩසටහනක් කරලා කොටස් වශයෙන් ලංකාවේ ජනතාවට දැක බලා ගන්න දෙමු.” සාගල ජනපතිගේ යෝජනාවට තවත් කෑල්ලක් එකතු කළේය.

ලංකාවට පැමිණි ජනපති රනිල් පළමුව කළේ අභිනවයෙන් තේරී පත්වූ මාලදිවයින් ජනාධිපතිවරයාට සුබ පැතීමය. ජනපති රනිල් සඳ්‍රදා දිනය යොදා ගෙන තිබුණේ ඔහු යටතේ ඇති අමාත්‍යාංශවල නිලධාරීන් මුණ ගැසී ප‍්‍රගතිය විමසීමටය.

සවස ඇමති මණ්ඩල රැස්වීම සේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ද මුණ ගැසිණි. නොවැම්බර් මාසයේ අයවැය පැවැත්වෙන දින වකවානු ගැන මෙන්ම විසර්ජන පනත් කෙටුම්පත් ගැන ද මෙහිදි කතා බහ කෙරිණි. මුලතිව් විනිසුරුවරයා ඉවත්වීම ගැන ද මෙහිදි කතා බහ කළ අතර ඊට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් මහජන ආරක්ෂක ඇමතිට උපදෙස් දී ඇති බවත් මේ ගැන ප‍්‍රකාශයක් අධිකරණ ඇමති කරනු ඇති බවත් ජනපති ඒ අයට දැනුම් දුන්නේය.

ජර්මන් රූපවාහිනී නාලිකාවකට ජනපති දුන් සම්මුඛ සාකච්ඡාව ප‍්‍රසිද්ධ කර තිබුණේ මෙරට වේලාවෙන් සඳ්‍රදා රාත‍්‍රියේය. එය මෙරට ජනතාව අතර හුවමාරුවීමට පටන් ගත්තේ අඟහරුවාදා පෙරවරුවේ සිටය. එය නැරඹූ පිරිස් ජනපතිට කතා කොට සාකච්ඡාව අගය කරමින් කතා කර තිබිණි. එහිදී රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කියා තිබුණේ මෙම වැඩසටහන සිංහල උපශීර්ෂ යටතේ සකස් කොට මාධ්‍ය වෙත යැවිය යුතු බවය.

අඟහරුවාදා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගිය ජනපති රනිල් ආරක්ෂක ප‍්‍රධානීන් මුණ ගැසුණු අතර එහිදී ඇමරිකානු ආරක්ෂක ප‍්‍රධානීන් මුණ ගැසීමේ ප‍්‍රතිඵල ගැනද කතා බස් කර තිබිණි. ජනපති සවස ලේකම් කාර්යාලය වෙත පැමිණියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්මන් රණසිංහ උපහාර උළෙලට සම්බන්ධ වීමටය. ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ උපදෙස් මත ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස මෙය සංවිධානය කොට තිබිණි.

සමාජ මාධ්‍ය පනතට සංශෝධන

එහිදී කර්තෘවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයන් සමඟ තේ පැන් සංග‍්‍රහයට එක් වෙමින් ජනපති ඔවුන් හා සුහද පිළිසඳරක නිරත වූවේය. එහිදි සමාජ මාධ්‍ය නියාමන පනත ගැන ද මාධ්‍යවේදීන් විමසු අතර සමාජ මාධ්‍ය තුලින් ජනතාව අපහසුතාවයට පත්වීම ගැන ජනපති පෙන්වා දුන්නේය. එසේම එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු අනුව වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

එය අවසන් කොට ජනපති ගියේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව හමුවටය. ජනපති එහි පැමිණෙන විටත් පිරිස සාකච්ඡාව ආරම්භ කර තිබූ අතර ජනපති සාකච්ඡාවට අසුන් ගත්තේ සම්මේලනය පැවැත්වීමට තිබෙන සුදානම ගැන විමසමිනි.

එජාපයේ නව සැලසුම්

මහලේකම් රංගේ බණ්ඩාර විසින් සම්මේලනය පැවැත්වීමට සැලසුම් කර ඇති ආකාරය පැහැදිලි කළේය. ”සර් අපි 24000 ක පමණ පිරිසක් සම්මේලනයට ගෙන්වන්න සැලසුම් කර තිබුණා. සම්මේලනය පවත්වන ස්ථානය වෙනස්වීම නිසා දැන් එය 10,000 ට අඩු කර තිබෙනවා.” මහලේකම් කීවේය.

‘‘එහෙම වුනොත් එතනත් කොටසකට එළියේ ඉන්න වෙනවා. මේ ගැනත් බලන්න.” යි කී ජනපති පවතින දේශපාලන තත්ත්වය ගැන කතා කළේය. ඊට මුහුණ දෙන්නට ඇති පක්ෂයේ සැලසුම ගැන ජනපති විමසා සිටියත් එහි සිටි කිසිවෙක් ඊට පිළිතුරක් දීමට ඉදිරිපත් වූවේ නැත.

‘‘පක්ෂයේ දේශපාලනය කරන්නේ ඔය කණ්ඩායම. ඒ නිසා සැලසුම් හදන්න  ඕනෙත් ඔය කණ්ඩායමම තමයි. ඒ නිසා ඊළග කළමනාකරණ කමිටු රැස්වීමට එනකොට සැලසුම් හදා ගෙන එන්න.” කී ජනපති රනිල් රටේ දේශපාලන හැසිරිම ගැන පිරිසට උපදෙස් දුන්නේය.

ඉන් පසු ජනපති ගියේ ළමා ආරක්ෂණය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වීමටය. දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය හා සුබ සාධනය වෙනුවෙන් යෝජනා රැසක් මෙම වාර්තාවට ඇතුළත්ව ඇත.

ජනපතිගේ වාග් ප්‍රහාරය

ජනපති බදාදා පෙවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගියේ සෑම පාර්ලිමේන්තු සතියකම එක් දිනයක් පාර්ලිමේන්තු යාමේ ජනපති වැඩපිළිවෙල අනුවය. ජනපති සභාව වෙත ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් කරනා කතාවන් අසා සිටීමෙන් අනතුරුවය. එරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා ජනපතිගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජනපති කීවේ හැමෝම එකතුවෙලා වැඩ කළොත් ඉක්මණින් රට ගොඩගත හැකි බවය.

ජනපති සභාවේ සිට ලොබිය වෙත පැමිණෙද්දී සුපුරුදු පරිදි මන්ත‍්‍රීවරුන් ජනපති වටකර ගත්තේ ජර්මන් මාධ්‍ය ආයතනයක් සමඟ කළ කතාව ද ඇද ගනිමිනි. රට වෙනුවෙන් මෙන්ම ආසියාව වෙනුවෙන් කළ කතාව සැවොම අගය කළේය.

”සුදු හම දැක්කම ඔක්කොම බය වෙනවා. හැබැයි ජනාධිපතිතුමා සෘජුව කිව්වා අපිව දෙවෙනි පන්තියට තුන්වෙනි පන්තියට දාන්න එපා කියලා. එය ඉතාම අගය කළ යුතුයි.” මධුර විතානගේ මන්ත‍්‍රීවරයා කීවේය.

”ජනාධිපතිතුමා විදේශ රටවලට ගිහින් ලංකාව ගැන කතා කරනකොට විපක්ෂයේ අයගේ ඇස්වල කටු අනිනවා වගේ. හැබැයි ඔබතුමා ජර්මනියේදිම කිව්වා ශ‍්‍රීමත් ගරු නාම භාවිතා කරන්නේ නෑ කියලා. හැබැයි ශ‍්‍රීමත් භාවිතා කළ කෙනාගේ පුතා තමයි අද ගොඩක් කළබල වෙලා තියෙන්නේ.” මන්ත‍්‍රී දොළවත්ත කියද්දී සැමට සිනහව නතර කර ගත නොහැකි විය.

”හැබැයි එයා තමයි තාත්තා බෝම්බයට අහුවෙලා මැරුණට පස්සේ අම්මට ජනාධිපතිකම ගන්න බැරිද කියලා ඇහුවේ. ඒ අම්මව බලා ගන්නේ නෑ. මදුරු කොයිල් එකත් එතුමියට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ල ගන්න වෙලා. හැබැයි පුතා නම් රට වටේම ගිහින් අල්ලස් දීලා මිනිස්සු මුලා කරනවා.” ඞී.බී. හේරත් රාජ්‍ය අමැතිවරයා කීවේ ආවේගයෙනි.

මන්ත‍්‍රීවරියන් පිරිසක් පැමිණ ජනපතිට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ බැංකු ඇතුළු සමහර රාජ්‍ය ආයතනවල සභාපතිවරු කිහිප දෙනෙක් හිතු මනාපෙට වැඩ කරමින් ඒ ආයතන කඩා වට්ටන බව කියමිනි.

”සර් මේ සීල් අරක්කුවල මිල වැඩි කරලා නිසා දැන් හුඟක් දෙනෙක් හොර මත්පැන්වලට ගිහිල්ලා. මේ ගැන මට කාන්තාවෝ රැසක් පැමිණිලි කළා. අනෙක් පැත්තෙන් රටට ආදායමක් එන්නෙත් නෑ.” ඇමති ප‍්‍රසන්න රණවිර කියද්දී එහි සිටි සෙසු මන්ත‍්‍රීවරු ”දැන් මෙතුමත් අමද්‍යප වෙලා” යැයි කියද්දී සැවොම කොක් හැඩලූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටළු ගැන මන්ත‍්‍රීවරු විමසද්දී ජනපති කීවේ අපට ජනතාව මත තවත් බර පැටවිය නොහැකි බවකි. ”ජනතාව කැපකිරිම් කරලා තියෙනවා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරලා නෑ. මේ ආයතන දැන ගන්න  ඕනේ තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න. 2024 ඉඳලා ආදායම් එකතු කරන හැම ආයතනයකටම මම ඉලක්කයක් දෙනවා.” ජනපති කීවේ දැඩිවය.

එහි සිටි මහින්දානන්ද මන්ත‍්‍රීවරයා ද එවිට රේගුවේ ඇති ගැටළු කිහිපයක් පෙන්වා දුන්නේය. ”ඔව් අයි.එම්.එෆ්. එකත් ඒ ගැන කියලා තියෙනවා.” වජිර අබේවර්ධන මන්ත‍්‍රීවරයා ද කතාවට එක්වූවේය.

වොයිෂ් ඔෆ් ඒෂියා ඇන්ඩ් අප්‍රිකා

”අපේ මන්ත‍්‍රීවරු එක්සත් ජාතීන්ගේ සම්මේලනයට රජයේ මුදල් වියදම් කරගෙන ගියා කියලා විපක්ෂ නායකතුමා බොරු කියනවා. හැබැයි රාජ්‍ය මුදල් වැඩියෙන්ම නාස්ති කරන්නේ එතුමා. විපක්ෂ නායක කාර්යාල වැය ශිර්ෂය යටතේ වෙන් කරන මුදල් මාස 6 න් ඉවරයි. ඒ නිසා ඔබතුමා කමිටුවක් දාලා හරි විපක්ෂ නායක කාර්යාලයේ වියදම් ගැන හොයන්න.” මධුර විතානගේ මන්ත‍්‍රීවරයා කියද්දී ජනපති සිනාසෙමින් හිස සැලූ‍වේය.

”ජනාධිපතිතුමාගේ කියුබා විදේශ සංචාරයේ සිට එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යාම හා බර්ලීන් සමුළුවට යාම දක්වා විදේශ සංචාර බැලූ‍වම ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පෙරමුණට ඇවිල්ලා තියෙනවා. එදා ලංකාව ගැන තිබුණ වැරදි මත මේ නිසා නැති වුනා. එතුමගේ කතා අහපු විදේශ නායකයෝ කිව්වේ ආසියාවේ හා අප‍්‍රිකාවේ රන් හඩ වෙලා තියෙන්නේ එතුමා කියලා. වොයිස් ඔෆ් ඒෂියා ඇන්ඞ් අප‍්‍රිකා කියලා තමයි ඔවුන් කියන්නේ.” මන්ත‍්‍රී වජිර කියද්දී සැවොම හිස සැලූ‍වේය.

එදින සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත ජනපති පැමිණියේ කොතලාවල ආරක්ෂක පීඨයේ සම්මාන ප‍්‍රදානෝත්සවයට එක්වීමටය. ජනපති උපදෙස් මත එදින සවස කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සූම් සාකච්ඡාවක් ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා කතා බස් කර තිබිණි.

තරුෂිට සුබ පැතුම්

බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් ෂැන්ග‍්‍රිලා හෝටලය වෙත ගියේ ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ හා පරිසර බලධාරීන්ගේ 05 වැනි සංවත්සරයට සහභාගීවීමටය. ඊට සහභාගී වී පැමිණෙද්දී ජනපති රනිල්, ආසියානු ක‍්‍රිඩා උළෙලේ මිටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකර ගත් පාසැල් ශිෂ්‍යාව වන තරුෂි කරුණාරත්නට දුරකතන ඇමතුමක් දී සුබ පැතුවේ ඇය දිරි ගන්වමිනි.

මේ අතරවාරයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ඇමරිකාවේ සංචාරයක නිතරව සිටින ඇමති ප‍්‍රසන්න රණතුංගගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඔහු කියා තිබුණේ ජනපතිගේ ජර්මන් රූපවාහිනි වැඩසටහන නැරඹු විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් රැසක් එය අගයකරමින් කතා කළ බවය.

ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර තානාපති සබදතාවලට වසර 75 ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ ප‍්‍රමුඛ පිරිස විදේශ ඇමති අලි සබි‍්‍රගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවය ලංකාවට වාසි ගෙනා අවස්ථාවක් වූ බවද එහිදි කියැවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *