ජනපති සහභාගීවන ‘‘කොප් 28’’ සමුළුවේ සැබෑ වැදගත්කම

0

‘‘කොප් 28’’ (COP 28)  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වනවා.

දේශගුණික විපර්යාස තුළ ලෝකවාසීන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි එල්ල වී ඇති අභියෝග හඳුනාගැනීම, ඒවාට පිළියම් යෙදීම සහ දේශගුණික විපර්යාස තුළින් ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ප්‍රයත්නයන් තුළින් එකමුතුවක් ගොඩනැගීම මෙම සමුළුවේ මූලික අරමුණ වී තිබෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන මෙම සමුළුව තුළින් ජාත්‍යන්තර මට්ටමෙන් මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඉතා වැදගත් තීරණවලට එළැඹිය හැකි යැයි  අපේක්ෂා කරන අතර එනිසාම ඩුබායිහිදී පැවැත්වෙන කොප් 28 සමුළුව මාර්ගයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පෙනී යන්නේ.

මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ විදේශ සමුළුවලදී සහ සම්මන්ත්‍රණවලදී දේශගුණික විපර්යාස පිළිබඳව අනුගමනය කළ යුතු අනාගත පිළිවෙත් පිළිබඳව කරුණු මතු කර තිබුණා.

ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාස බලපාන ආකාරය පිළිබඳව හඳුනාගැනීමට ජනාධිපතිවරයා විසින් මේ වන විට පියවර කිහිපයක් අනුගමනය කර තිබෙනවා.

ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීම, විවිධ යෝජනා සලකා බලා වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් සැකසීම සඳහා කටයුතු කිරීම, දේශගුණික විපර්යාස අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මධ්‍යස්ථානයක තත්ත්වයට පත් කිරීම, ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා ඒ හා සම්බන්ධ ව්‍යවසායන්ට විවෘත කිරීම සඳහා කටයුතු කිරීම වැනි පියවර රැසක් දැනටමත් ක්‍රියාත්මක වෙමිනුයි පවතින්නේ.

මෙම සමුළුවෙදී ශ්‍රී ලංකාව විසින් කටයුතු කිරීමට සූදානම් වී ඇති ආකාරයත් බලන විට ඒ සම්බන්ධයෙන් කොතෙක් දුරට වැදගත්කමක් ලබා දී තිබේද යන්න ඉතා වැදගත්.

මෙම සමුළුවට සදහා ශ්‍රී ලංකාව විසින් යෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් එක යෝජනාවක් වන්නේ දේශගුණික විපර්යාස සම්බන්දව විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම එවැනි විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරි ආයෝජන පිළිවෙත් සකසා ගැනීම පිළිබඳව ඉතා සූක්ෂමව සිතා බලා කටයුතු කිරීම හේතුවෙන් බවයි පෙනී යන්නේ.
කවර තත්ත්වයක් යටතේ වුව ද ඉදිරියේ දී ලොව බලවත් රටවලට දේශගුණික විපර්යාස පිළිබඳව වෙනස්කම් ඇති කර ගැනීම සඳහා තීරණාත්මකව මැදිහත් වීමට සිදුවනු ඇති.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වන මෙම සමුළුවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පිං සහභාගී නොවන නමුදු ඒ දෙදෙනා වෙනුවෙන් ප්‍රබල නියෝජිතයෝ දෙදෙනෙක් සහභාගී වන බව වාර්තා වනවා

තවද බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුෆක්, ඉන්දීය අගමැති මෝදි ඇතුළු රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම සමුළුවේ ආරම්භක අවස්ථාවේදී දේශනක් පැවැත්වීම සඳහා ආරාධනා ලැබී තිබෙන බව වාර් තා වනවා. ශ්‍රී ලංකාව ආසියානු රටවල් අතරින් දේශගුණික විපර්යාස පිළිබඳ කටයුතුවලදී විශාල උනන්දුවක් දැක්වීම එම තෝරා ගැනීම සඳහා හේතු වී ඇතැයි වාර් තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *