ජීවිතවලට ලංසු තියන ගංවතුරේ දේශපාලනය.

0

“නිල්වලා සහ ගිං ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු වැසි තත්ත්වයත් සමග මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පහත් බිම් වල පවතින ගංවතුර තත්ත්වය යළිත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එසේම මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බොපේ පෝද්දල, නාගොඩ, බද්දේගම ගංගා දෙපස වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ද දන්වා සිටියි.“
මේ ඔක්තෝබර් 12 වෙනිදා මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද පුවතකි. ඊට පෙර සති කිහිපයක් පුරා ගංවතුර ආපදා තත්වය නිසා අවතැන් වූ ජනතාව පිළිබඳවත්, හානි වූ දේපළ පිළිබඳවත් පුවත් සංසරණය විය. ලංකාවේ ජීවත්වන සියලූ දෙනාට ජීවිත කාලය පුරාම මේවා අහලා දැකලා පුරුදු සාමාන්‍යකරණය වූ ප්‍රවෘත්තින්ය. ස්වාභාවික ආපදාවක් නිසා ජීවිත හානි සිදු වුවද එය එසේමය. විශේෂය වන්නේ දේශපාලනය තුළ ඒවා ලංසු තබන එක පමණය.

ගංවතුර උවදුරු
ජලය හේතුකොට ගෙන සිදුවන ස්වාභාවික ආපදාවන් ප්‍රධාන වශයෙන් දෙකකි. එකක් උග්‍ර ජල හිඟය නිසා සිදුවන නියඟයයි. අනෙක අධික වැසි තත්වයන් මත නිර්මාණය වන අතිරික්ත ගංවතුර උවඳුරයි. ලෝකය පුරා නියඟය නිසා සිදුවන ආපදා තත්වය වඩාත් හානිදායී විපත් අතර ප්‍රධාන වේ. ඊට දෙවැනි බරපතලම හානි ගෙන දෙන ආපදාව වන්නේ අතිරික්ත ගංවතුර උවඳුරය. ලංකාවේ ද එය එසේමය.

අපේ රටේ පිහිටීම අනුව වර්ෂය පුරාම වැසි ඇදවැටෙන රටකි. නිරිතදිග මෝසම, ඊසාන දිග මෝසම, සංවහන සහ වාසුළි යනු වර්ෂය පුරා පැතිරුණු වර්ෂාව ගෙන එන ප්‍රධාන ආකාරයන් වේ. මේ අයුරින් ඇදහැලෙන වර්ෂාවේ ප්‍රබලත්වය මත පහත් බිම් යටකරමින් සිදුවන අධික ජලගැල්ම මෙරට මිනිස් ජීවිත, දේපල පමණක් නොව අනාගත සංවර්ධන ඉලක්කයන් ද සොදාපාළුවට හසුකොට ගනී. එසේ ලංකාවේ සිදුවූ ගංවතුර උවදුරු ඉතිහාසය දෙස විමසා බැලීමේ දී බරපතල ඛේදවාචකයන් ඉතිරි කොට මිනිස් ජීවිත, දේපල ගසාගෙන මහා ගංවතුර ගලාගිය වර්ෂ ලෙස 1913, 1940, 1947, 1957, 1969, 1978, 1989, 1992, 2003 හඳුනාගත හැකිය. එසේම මෑත කාලයේ 2017 වර්ෂය ද මිනිස් ජීවිත සිය ගණනක් අහිමි කළ දරුණු ගංවතුර උවදුරක් සිදුවූ වර්ෂයකි.

මේ දිනවල ප්‍රධාන වශයෙන් නිල්වලා, ගිං, කළු සහ වළවේ ගංගාවල අධික ජල ගැල්ම හේතුකොට ගෙන නැවතත් ගංවතුර පිළිබඳ පුවත් මැවෙමින් කතිකා ගොඩනැගෙමින් පවතී. ගාල්ල සහ මාතර ප්‍රදේශවලට සිදුවූ ගංවතුර උවඳුර සම්බන්ධයෙන් සැලකුවහොත් එය බොහෝ සෙයින් මිනිස් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයන් මත ගොඩනැගුනක් බව පැහැදිලිය.

මන්ද නිල්වලා ගිං ගංගාවලින් සිදුවන ගංවතුර උවදුරු අවම කරගැනීම සම්බන්ධයෙන් යෝජනා කරන ලද එකදු ව්‍යාපෘතියක් හෝ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විවිධ පාර්ශවයන් විවිධ හේතු දක්වමින් ඊට විරෝධය දැක්වීම හෝ කඩාකප්පල් කිරීම හේතුවෙනි. විටෙක පරිසර සංවිධාන ද තවත් විටෙක දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්වල විරෝධයන් ද තවත් විටෙක මහජන කැළඹීම් හෝ පෙළඹවීම් මත ගොඩනැගුණු විරෝධයන් ද හේතුවෙන් අදටත් අධික වැසි කාලවල නිල්වලා සහ ගිං ගංගා පහත් බිම් ප්‍රදේශ යටකරමින්, දේපල හානි සිදුකරමින් ඇතැම් විට මිනිස් ජීවිත උදුරා ගනිමින් සුපුරුදු පරිදි ගලා යමින් තිබේ.

එසේ වසර ගණනාවක් පුරා විරෝධයට හසු වූ එක් ව්‍යාපෘතියක් නම් නිල්වලා ගංගා ජලයෙන් කොටසක් අලූත් මගක් ඔස්සේ අධික වියලි කාළගුණයක් සහිත හම්බන්තොට ප්‍රදේශයට හැරවීමේ වැඩපිළිවෙළය.

ගිං නිල්වලා ජල හැරවුම
නිල්වලා ගඟේ සහ ගිං ගඟේ ජලය හම්බන්තොටට හරවා යැවීමේ යෝජනාව අද ඊයෙක සිදුවූවක් නෙවේ. එය පළමු ව සිදුකර ඇත්තේ 1887 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දීය. ඉන්පසුව මේ යෝජනාව පිළිබඳ අවස්ථා ගණනාවක විවිධ කතිකා නිර්මාණය වී ඇති නමුත් මනා වැඩපිළිවෙලක් සැලසුමක් සහිතව 1936 දී එවකට මොරවක ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූ වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ විසින් ගෙන ආ යෝජනාව සැලකිය හැකිය. එමගින් යෝජනා කෙරුණේ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශයේ ජලාශයක් ඉදිකර එම ජලය හම්බන්තොට දිස්ත්‍රික්කයට හරවා යවා ඒ හරහා එම ප්‍රදේශයේ බහුකාර්ය සංවර්ධනයට කටයුතු කළයුතු බවය.

එය ද යෝජනාවක් පමණක්ම විය. මේ සම්බන්ධයෙන් 1968 වසරේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඇමෙරිකන් සමාගමක් හා එක් ව කළු, නිල්වලා හා ගිං ගංඟා ද්‍රෝණිවල ජලය වියළි කලාපයට හරවා යැවීම සඳහා වූ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත.

එසේම 1980 වසරේ දී නිල්වලා ගඟේ ගංවතුර පාලනය කිරීම සඳහා ප්‍රංශ ආධාර යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.
එසේම 2011 – 2012 කාලයේ ගල්ල මාතර ප්‍රදේශවල ජනතාවට බලපාන ගංවතුර උපද්‍රවය අවම කිරීමත් වියළි කාලගුණයෙන් බැටකන හම්බන්තොට මොනරාගල දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලූවට විසඳුම් ලබාදීමත් අරමුණු කොට ගනිමින් ඇමරිකානු ඩොලර් 690ක වියදමින් ගිං සහ නිල්වලා ගංඟා ජලය හම්බන්තොට ප්‍රදේශයට හරවා යැවීමේ ව්‍යාපෘතිය පිළිබඳ කතිකාව නැවතත් චීන සමාගමක් හා එක්ව ක්‍රියාත්මක විය.

මෙම ව්‍යාපෘතිය තුළ යෝජනා වූයේ, ගිං ගඟ පිටදෙණියාව ප්‍රදේශයෙන් හරවා සිංහරාජය හරහා උමං මාර්ගයෙන් කොටපොළ ප්‍රදේශයට ගෙන ඒමටත් එතැන් සිට නිල්වලා ගගේ ජලය ද එකතු කොට ගෙන අම්පානගල ජල හැරවුම් ඒකකයෙන් වීරකැටිය මුරුතවෙල ජලාශයටත් එතැන් සිට ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවටත් ජලය ගෙන යාම ගිං නිල්වලා ගංගාවල ජලය හම්බන්තොටට හැරවුමේ මාර්ග සිතියම බවය. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ද විවිධ දේශපාලන කතිකාවන් බොහොමයක් මැද අල්ලස් ගනුදෙනුවක සිර වී අදටත් යෝජනාවක් පමණක්ම වී තිබේ.

කෙසේ වෙතත් 2019 වර්ෂයේ දී මාතර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා නිල්වලා ගගේ ජලය මුහුදට වැටෙන මාතර මෝය කට කපා පුළුල් කිරීමක් නම් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත් වීමෙන් සිදුවිය.

ආපදා කළමනාකරණය
ගංවතුර කළමනාකරණය යනු මෙරට සිදුවන බහුවිධ ස්වාභාවික ආපදා කළමනාකරණයන් අතර එක් ප්‍රවේශයක් පමණි. ඒ සෑම වසරකම ඇතිවන ගංවතුර, නායයෑම්, අකුණු, සුළි කුණාටු, නියඟ හා වසංගත යනාදි ස්වාභාවික ව්‍යසනවලින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් සිදුවන බැවිනි. සමකයට ආසන්න නිවර්තන කලාපීය අනෙකුත් රටවල් ද මෙවැනි ස්වභාවික ව්‍යසනවලට ගොදුරු වන නමුත් අපේ රටේ පිහිටීම ස්ථාවර භූ තැටියක වන බැවින් ගිනිකඳු, භූමිකම්පා වැනි භූ විද්‍යාත්මක ව්‍යසනවලින් ස්වාභාවිකවම සුරක්ෂිතය.

එමනිසා ගංවතුර කළමනාකරණය යනු නියගය, සුළි කුණාටු හැරුණු කොට අපේ රටේ අධික වර්ෂාව හේතුවෙන් වන අතිරික්ත ගංවතුර, නායයෑම්, පහත් බිම් යටවීම්, දේපල හානි වැනි ස්වභාවික ව්‍යසන අවම කරගැනීම සම්බන්ධයෙන් වූ මූලික ප්‍රවේශයකි.

අහසින් ඇද වැටෙන එක් දිය බිඳක්වත් භාවිතයට නොගෙන මුහුදට ගලාගෙන යාමට ඉඩ නොදිය යුතු යැයි ලිඛිත ඉතිහාසයේ ඇති පැරකුම්බා ප්‍රකාශයේ පටන් ජල කලමනාකරණය කෙරේ වසර සිය ගණනක් පුරා මෙරට පාලකයන්, විද්වතුන් සහ තවත් විවිධ කණ්ඩායම් ඔවුනොවුන්ගේ දැනුම් මට්ටම් අනුව වගේම ඒ ඒ කාලවලට අදාළව නොයෙක් විසඳුම් යෝජනා සිදුකොට ක්‍රියාත්මක කර තිබේ. මෑත කාලයේ ද ක්‍රියාත්මක කළ එකී බොහෝ ප්‍රවේශයන්ගේ බරතැබීම සිදුකොට ඇත්තේ, ආපදාවක් සිදුවූ පසු තත්වයන් කලමනාකරණය, හානිය අවම කරගැනීම සහ ප්‍රතිනිර්මාණය කිරීම කෙරේය. එම නිසාම දිගුකාලීන තිරසර ගංවතුර කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම විවිධ බලපෑම් සහගත හේතු මත (පරිසර සංවිධාන, දේශපාලනික විරෝධයන් සහ අල්ලස් ගැනීම් වැනි) අක්‍රීයව පැවතිය ද ගං මෝය පුළුල් කිරීම වැනි ක්ෂණික විසඳුම් ක්‍රියාත්මක වීම් එමටය.

කෙසේ නමුත් ලංකාවට අදාළව ගතහොත් ස්වභාවික ව්‍යසන සිදුවන ස්ථාන, වර්ෂයේ මොන මොන කාලවල ද සහ ව්‍යසන නිර්මාණය වන විධි යන කරුණු බොහෝ විටම නිශ්චිතය. එසේම අදවන විට අදාළ විෂය පිළිබඳ තාක්ෂණික වගේම දැනුම්වත්භාවය පුළුල්ය. එමනිසා මේ සියලූ සාධක උපයෝගී කොටගෙන විය යුත්තේ උවදුරු ඇතිවීමේ ප්‍රවේශයන් වැළැක්වීමට පියවර ගැනීමය.

විරෝධතාකරුවන්ගේ ප්‍රවේශය
නිල්වලා ව්‍යාපෘතිය වගේම ගංවතුර උවදුරු අවම කරගැනීමේ පළල් ව්‍යාපෘති කෙරේ විවිධ හේතු දක්වමින් විරෝධය දක්වන බොහෝ දේශපාලන කණ්ඩායම් සංවිධාන අධික ගංවතුර නිසා විපතට පත්වන්නන්ගේ අයිතිය වෙනුවෙන් උවදුරෙන් පසු පෙනී සිටිනු දැකගත හැකිය.

නමුත් සාමාන්‍ය ජනතාව විපතට ගොදුරුවන උපද්‍රව අවම කරගැනීම හෝ නැතිකිරීම වෙනුවෙන් ගෙන එන දිගුකලීන හෝ තිරසර ඕනෑම ක්‍රියාමාර්ගයක්, සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම වැළැක්වීමට එකී දේශපාලන හා සමාජ කණ්ඩායම්වල පිරිස් විසින් තමන් ගතහැකි සෑම පියවරක්ම ක්‍රියාත්මක කරනු ඉතිහාසය පුරා දැක ගත ඇත. එය ද ජනතාව වෙනුවෙන් යැයි ඔවුන්ගේ අදහසය.

මෙකී විරෝධයන් නිසා නැවත නැවතත් පීඩාවට පත්වන්නේ ද සාමාන්‍ය ජනතාවමය. පීඩාවට පත් වූවන් වෙනුවෙන් මුට්ට කරගැසීම, ආහාර පාන ලබාදීම, කුණු කසල ඉවත් කිරීම ආදී දේශපාලනික වාසි සහගත ලාභදායී කටයුතු කෙරේ වැඩි ඇල්මකින් මෙකී දේශපාලන සමාජ කණ්ඩායම් මැදිහත් වන අයුරුද දැකගත හැකිය. විශේෂයෙන් විරුද්ධ පාක්ෂික දේශපාලන බල වුවමනාව හෝ සිය වෘත්තීයභාවය රැකගැනීම වෙනුවෙන් මේ දෙබිඩිකම මනාසේ නඩත්තු කරමින් සිටියි.

එම නිසාම ගංවතුර උවදුරු ඇතිවීමට හෝ ඇතිවීමේ මාර්ගයන් වැළැක්වීමට ගෙන එන ව්‍යාපෘති කඩාකප්පල් කරනවා පමණක් නොව ඒ වෙනුවෙන් වූ කිසිදු සාධනීය යෝජනාවක් සිදු නොකරන අතර කිසියම් ආකාරයකින් ජනතාව විපතට පත් වූ පසු කටයුතු කෙරේ විවිධ පාට පාට බලකායන් ගොඩනගාගෙන, යහමින් දෙස් විදෙස් ආධාර ලබාගෙන සිය දේශපාලන වෘත්තීයභාවය නඩත්තු කරන අයුරු ඔවුන්ගේ දේශපාලන භාවිතාව පිළිබඳ විමසීමකින් බලන්නෙකුට පැහැදිලිව හඳුනා ගත හැකිය. යැපුම් මානසිකත්වය වැනි මෙරට සමාජ සංස්කෘතික ස්වභාවයන් ද මෙකී දේශපාලන කණ්ඩායම්වලට මනා පිටුවහලක්ව පවතී. එමනිසා මේ රටේ ගංවතුර උවදුරු හෙට දවසේ ද අලූත් වෙවී ප්‍රවෘත්ති ලෙස අසන්නට ලැබෙනු ඇත.

එය එසේ නොවන්නට නම් මනා දැක්මකින් යුතු දිගු වැඩපිළිවෙලක්, පුළුල් ජාතික සැලසුමක්, සමාජ කතිකාවක් ද සහිතව නොවැලැක්විය හැකි දේශපාලන මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක විය යුතුය.

නවන් පතිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *