ජෝ බයිඩන් අද ඊශ්‍රායලයට

0

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අද (18)  ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර වෙත පැමිණීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඊශ්‍රායලය සහ  හමාස් සංවිධානය අතර දින 12ක් පුරා පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත උපදේශ ලබාදීම සඳහා  ජනපතිවරයා මෙලෙස ටෙල්අවිව් නුවර වෙත පැමිණීමට නියමිතව තිබෙන බවයි සදහන් වන්නේ.

ඒ අනුව, මෙය ඊශ්‍රායල හමුදා හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරය තුළ සිය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරාතුව එම සෙබළුන් ධෛර්යමත් කිරීම සදහා බයිඩන් සිදුකරන සංචාරයක් ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගියදා වොෂිංටන් නුවරදී සම්මුඛ සාකච්ඡාවක් පැවැත් වූ බයිඩන් ඊශ්‍රායල හමුදා ගොඩබිම ඔස්සේ ගාසා තීරය වෙත ඇතුළුවීම ඔවුන් සිදුකරන වැරැද්දක් බවටද පවසා තිබුණා.

මෙලෙස ඊශ්‍රායලය වෙත පැමිණෙන එක්සත් ජනපද ජනපතිවරයා ඉන් අනතුරුව ජෝර්දානයේ අම්මාන් නුවර වෙත යාමට සැලසුම් කර ඇති අතර, එහිදී ඔහු හමුවීම සඳහා එරට අබ්දුල්ලා රජු, ඊජිප්තු ජනාධිපති ෆටාහ් අල් සිසි, පලස්තීන ජනාධිපති මෙහොමඩ් අබ්බාස් යන පිරිස් සූදානමින් සිටින බවත් විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් සදහන් කරනවා.

මේ අතර ඊශ්‍රායල හමුදා අනතුරු ඇඟවීම්වලින් පසු අවම වශයෙන් 600,000 පමණ පලස්තීනුවන් උතුරු ගාසා තීරයෙන් දකුණට පළා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් 7දා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයන් 1,300ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා.

එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර අත්‍යවශ්‍ය සැපයුම්ද අවහිර කර තිබෙන බව සඳහන්.

ගාසා තීරයේ මානුෂීය අර්බුදය මේ වනවිට උග්‍ර වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *