නසීර්ගේ තීන්දුව හා ඇඟිල්ල දෙස බැලූ විපක්ෂය.

0

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පිල්මාරුවීම්, පක්ෂයෙන් නෙරපීම්, පක්ෂය තහනම් කිරීම් වැනි කාරණා අඩුවක් නොමැතිව පැවතිනි. ඒ ඒ දේශපාලන පක්ෂයන්හි ව්‍යවස්ථානුකූලව පවතින ප්‍රතිපත්ති මත පදනම්ව හෝ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවන්ට අනුකූල නොවන තැනකදී හෝ එක්කෝ පක්ෂයෙන් නෙරපීම්ද නැතහොත් ව්‍යවස්ථා උල්ලංඝණය වීමක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අවලංගු කිරීම්ද සිදුකොට ඇත. මේ කතා බහට මූලික වන්නේ පසුගියදා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව, ආණ්ඩුවට එක්ව පරිසර ඇමැති ධුරය ද හොබවන නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපා දැමීමට එම පක්ෂයේම උත්තරීතර මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය තහවුරු කරමින්, එය නිවැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කිරීමත් සමගය. ඒ සමඟ ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි විය.

අදාළ නඩු විභාගය සම්බන්ධයෙන් වන සාරාංශය මෙසේය, 2021 වසරේ නොවැම්බර් මස 12 වනදා මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දී පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන ආකාරයේ තීරණය කිරීම සඳහා 2021 වසරේ නොවැම්බර් මස 22 වනදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත් වූ අතර එම රැස්වීමේ දී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය නොදීමට උත්තරීතර මණ්ඩලය විසින් තීරණය කොට තිබිනි.
අවශ්‍ය නම් පනතට විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට හැකියාව තිබෙන බවත් උත්තරීතර මණ්ඩලය එහිදී වැඩි දුරටත් තීන්දු කර තිබිනි. එහෙත් නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීන්දුවට පිටුපාමින් විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

පසුව, පක්ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා පක්ෂ මහලේකම්වරයා විසින් මන්ත්‍රීවරයාට ලිපි යොමු කළ අතර, ඊට හේතු පැහැදිලිකිරීමක් සිදු කර තිබුණේ නැත. පසුව 2022 වසරේ අප්‍රේල් මස 23 වනදා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය නෙරපමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් විසින් ලිපියක් නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් නසීර් අහමඩ් විසින් කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ක්‍රියා කොට ඇති බව දන්වා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරණු ලැබීය.

එහෙත්, පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවලට පටහැනිව ක්‍රියාකරී කිරීම තුළින් පෙත්සම්කරු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙනවා පමණක් නොව එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමෙන් පවා වැළකී තිබෙන බවත් විනිසුරුවරු තීන්දුවේ සදහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේ දී පෙත්සම්කරු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපමින් එම පක්ෂ මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය නීත්‍යානුකූලයැ යි තීන්දු කරන බවත් ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෛරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සදහන් විය. මේ අනුව විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් එම පක්ෂයේ මහ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපියේ කටයුතුවලට මැදිහත් වීමට තරම් අධිකරණයට සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව සඳහන් කර පෙත්සම්කරුගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන බව තීන්දුවේ සඳහන් කර කොට ඇත. මේ අනුව පක්ෂයෙන් නෙරපීම හා නසීර් අහමඩ් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීම මුස්ලිම් කොන්ග්‍රසය විසින් සිදු කිරීම සාධාරණ බව අධිකරණය විසින් තීන්දු කළේය.

මුස්ලිම් කොන්ග්‍රසය වේවා වෙනත් පක්ෂයක් වේවා ඒ ඒ පක්ෂයන්ට අදාළ සම්මතකර ගත් ප්‍රතිපත්තීන් ඇත. පක්ෂ සාමාජිකත්වය ඊට අනුගත විය යුතුය. මේ නිසාම පුද්ගලික තීරණය පක්ෂයේ තීරණ නොවන්නේ බහුතරයකින් එය පක්ෂය සම්මත කරගැනීමක් නොවීම හේතුවෙනි. නසීර් අහමඩ්ගේ පුද්ගලික තීරණයට පක්ෂ ප්‍රතිපත්තිය බලපැවැත්වෙන්නේ ඒ අනුවය.
මෙය මූලික කොටගෙන දේශපාලනයේ ඇති වූ සාකච්ඡාව සමාජය තුළ ප්‍රචලිත වූයේ මෙවැනි තීන්දු ගැනීම ප්‍රතිපත්තිමය ලෙස දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ලෙස දක්වමිනි. නමුත් විපක්ෂය එය එසේ අර්ථ ගන්වනුයේම එය වෙනකක් නිසා නොව එමගින් පක්ෂ සෝදාපාළු නොවීමට බාධකයක් වෙතැයි කල්පනා කිරීමත් තම මන්ත්‍රීන් එක්කරගෙන වන බහුපක්ෂ ආණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙල කඩකප්පල් වීමට මෙය රුකුලක් වීම හේතුකොටගෙනය.

එහෙත් ඇතැම් විට මේ පිල්මාරුවීම් සිදුවන්නේ බලය අහිමිව සිටිනවාට වඩා බලයේ සිටින පක්ෂය තුළට සහයෝගය දැක්වීමෙන් ජනතාව තමන්ව පත්කළ අරමුණු මුදුන්පත් කරගැනීමේ අරමුණද පෙරදැරිවය. හෘද සාක්ෂිය අනුව තීන්දු ගැනීමේ හැකියාව මන්ත්‍රීවරුන්ට තිබිය යුතු යැයි මේ අයගේ ජනප්‍රිය කතාවකි. මේ අනුව පක්ෂ මාරුව නැතහොත් පිල් මාරුව යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඒ බොහෝ දෙනා සලකති. එහෙත් එය භාවිත කළ යුත්තේ, ලාභ ප්‍රතිලාභ වරප්‍රසාද වෙනුවෙන් නොව ප්‍රතිපත්ති මත පදනම්ව ය.

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක 1952 දී එජාපයෙන් විපක්ෂයට ගියේය. පසුව 1964 දී සිරිමා බණ්ඩාරනායකගේ රජය පෙරළා දමන ලද්දේත් එම පක්ෂයේ ම සිටි සී. පී. ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත්වීමෙන් බව ඉතිහාසයේ සඳහන්වේ. සමගි පෙරමුණ ලෙස වමේ සහාය ද සමග අගමැති ධුරයට පත්වූ සිරිමාවෝට 1975 දී සමසමාජය ආණ්ඩුවෙන් නෙරපා දැමූ පසු තම පක්ෂයේ තවත් පිරිසක් ඉවත්වීමේ ගැටළුවට මුහුණ දීමට සිදු විය.
ආර්. ප්‍රේමදාස ආණ්ඩුවෙන් විශාල පිරිසක් වෙනත් පක්ෂ ගොඩ නගා ගනිමින් හා ශ්‍රී ලං.නි.ප. එකතුවෙමින් ද මේ පිල්මාරුව සිදු කළේය. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක හා ප්‍රේමචන්ද්‍ර ඇතුළ පිරිසක් ඉවත්වීම මෙහිලා සුවිශේෂී වේ. ඔවුන් විසින් ප්‍රේමදාස මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පවා ක්‍රියා කළ අතර පසුව රාජාලියා සලකුණ යටතේ පක්ෂයක් පිහිටුවීමට කටයුතු කළේය.

මින් පසුව පිල්මාරුවීම් වැඩි වශයෙන් දක්නට ලැබුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනයේ අවසාන කාලයේදීය. මේ පිරිස් එජාපයට එක්ව එහි මූලික තනතුරුවලට පවා පත්විය. පරිවාස ආණ්ඩු ගොඩ නැගීම දක්වා දේශපාලන අස්ථාවරත්වයන්ට ලංකාවේ දේශපාලනය වෙනස් කිරීමට හේතු වූයේද පක්ෂ මාරු කිරීමේ ක්‍රියාවලියය.

මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් ගමන් කළ පිරිස් විශාල ප්‍රමාණයක් විය. මේ තත්වය එවක ජනතාව අතර ප්‍රචලිත වූයේ යම් මන්ත්‍රීවරයෙකුගේ නම සදහන් කළහොත් ඔහු ඉන්නා පක්ෂය කුමක්ද යන්න කියාගැනීමට නොහැකි වන තරමට පක්ෂ මාරුවීම් උඩුදුවා තිබුනි.

කෙසේ නමුත් මෙය දේශපාලනිකව සාධනීය ලක්ෂණයක් නොවන නමුත් ලංකාව වැනි ප්‍රාථමික ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ දේශපාලනයේ සිදුවිය හැකි සාමාන්‍ය ලක්ෂණයක් දක්වා වර්ධනය වීම ප්‍රජාතන්ත්‍රීය රාජ්‍ය පාලනයකට සුබවාදී දෙයක් නොවේ. මෙහිදී මුදලට, ඇමැති වරප්‍රසාද වරදාන වලට, තමන්ට ඇති අපරාධ චෝදනාවකින් නිදහස් වීමට පිල් මාරුකිරීම සුලබ වීම ගැටළු සහගත විය. මේ තත්වය මත පිළ් මාරුව වැලැක්වීම වෙනුවෙන නීති පැනවිය යුතු බවට කතිකාවක් සමාජය තුළ ඇතිව තිබිණි.
නසීර් අහමඩ්ගේ තීන්දුවට සම්බන්ධයෙන් උත්කර්ෂයට නංවමින් ඇතැම් විපක්ෂයේ මහත්වරු ස්තෝත්‍ර ගායනා කළද පක්ෂ මාරු කිරීම වලක්වාලීමට පසුගියදා නීති සම්පාදනය කොට පාර්ලිමේන්තු ඉදිරිපත් කළ විට ඊට විරෝධය දක්වා එය ඉවත් කරගැනීමට තරම් මේ අය සමත්ව තිබිණි. ඒ අනුව දැන් මේ රඟපානුයේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා රටේ දේශපාලන සංස්කෘතිය ගොඩ නැගීමට නොවන බවත් පැහැදිලිය. කොහොම නමුත් අධිකරණ තීන්දුව අදාල මන්ත්‍රීවරයාට පමණක් වලංගු තීරණයක් මිස පොදුවේ පක්ෂ මාරුව නීති විරෝධි බවට දුන් තීන්දුවත් නොවේ. මේ අනුව පක්ෂ මාරුකිරීම තහනම් කරන නීති සම්මතයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවම අත උස්සනවා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සැමරිය හැකි වෙනු ඇත. නමුත් එයට මන්ත්‍රීවරු කැමැති වීම අවිනිෂ්චිතය. මේ නිසා විපක්ෂය, පක්ෂ මාරුව ගැන ජනතාවට තේරුම් කර දෙන්න යන්නේ සඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බලා කරන විග්‍රහයකට වඩා නොදෙවෙනි ලෙස බව පැහැදිලිය.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *