මම නැතිනම් පුතාටත් දේශපාලනය කරන්න වෙන්නේ නෑ

0

තායිලන්තයේ අගමැති ශ්‍රෙස්ථා විසින් ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වූ 76 වෙනි නිදහස් දිනය චාම් හා අභිමානවත් ලෙස පැවැතියේ ඉකුත් ඉරිදාය. ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයෙන් මෙරටට පැමිණි තායිලන්ත අගමැතිවරයා දින කිහිපයක් මෙහි රැදී සිටීමට අපේක්ෂා කළද එය කළ නොහැකි වූවේ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම නිසාය.
ඉන්ෆුලු‍වෙන්සා රෝගී තත්ත්වය තිබුණද ඔහු ජනපති රනිල්ට දැන්වූවේ මොන රෝගී තත්ත්වයක් තිබුණත් පොරොන්දු වූ පරිදි තමන් එක් දිනකට හෝ ලංකාවට පැමිණෙන බවටය. රෝගී තත්ත්වයට අවශ්‍ය ඖෂධ ගනිමින් ඔහු මෙරට සියලු‍ උත්සව අවසන් වන තෙක් ලංකාවේ රැදී සිටීමට වග බලා ගත්තේය.
නිදහස් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපයට තායි භාෂාවෙන් ලිපියක් ඇතුළත් කිරීමත්, නිදහස් දිනයේ තායි භාෂාවෙන් තමන්ව පිළිගැනීමට කටයුතු කිරීමත් තායිලන්ත අගමැතිගේ සතුටට කරුණක් වූවේය.
අසනීප තත්ත්වය මෙන්ම, තවත් වැඩකටයුතු කිහිපයකට සහභාගීවීමට නොතිබුණා නම් තව දින කිහිපයක් ලංකාවේ රැදී සිටින බව තායි අගමැතිවරයා කීවේ පසුදින ගුවන් තොටුපලට ගිය අවස්ථාවේ එහි සිටි මෙරට විදේශ ඇමති අලි සබි්‍ර සමඟය. මෙය මෑත භාගයේ තමන්ට ලද සුවිශේෂි අවස්ථාවක් බවද අගමැති තවිසින් කියා තිබිණි.
76 වැනි නිදහස් සමරුව අවම වියදමකින් චාම් හා ගෞරවනීය ආකාරයට පවත්වන ලෙසට ජනපති රනිල් දුන් උපදෙස් අනුව කටයුතු කළ බැවින් මහභාණ්ඩාගාරයෙන් අමතර කිසිදු ප්‍රතිපාදනයක් ගැනීමට අවශ්‍ය නොවුණි. නිදහස් සමරුවට සම්බන්ධ ආයතනවලට වෙන්කර තිබූ මුදලින් නිදහස් දිනය අභිමානවත්ව පැවැත්වීමට හැකිවීම ගැන ජනපති රනිල් සියලු‍ පාර්ශ්ව වෙත තුති පුද කළේය.
නිදහස් දිනයෙන් පසු ජනපති රනිල්ට තිබුණු ප්‍රමුඛතම වැඩකටයුත්ත වූවේ ඉඩමක හිමිකමක් නොමැති පවුල් ලක්ෂ 20 ක් වෙනුවෙන් සින්නක්කර ඔප්පු බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වීමය. “උරුමය” ලෙස නම් කර තිබූ මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැතියේ රන්ගිරි දඹුලු‍ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රයේය.
දඹුල්ල ක්‍රිඩාංගණය වෙත පැමිණි ජනපති රනිල් ඇතුළු පිරිස පිළිගනු ලැබූවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමතිවරයා සහ දඹුල්ල එ.ජා.ප සංවිධායක ප්‍රියාන් විජේරත්න විසිනි. ටිරාන් අලස්, සාගල රත්නායක, සමන් ඒකනායක හා වජිර අබේවර්ධන ද පැමිණියේ ජනපති සමඟය.

අනුර ගැන ජනපති
දන්නේ මොනවද?

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික දිනුක් කොළඹගේ විසින් ඔහුගේ දඹුල්ලේ පිහිටි ගොවිපොලේ ජනපති ඇතුළු ආරාධිතයන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සුදානම් කර තිබූ අතර එහි ගිය පිරිස සුළු වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුනේ ලද අවස්ථාවෙනි.
“ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්ෂේනුකා ඉස්සර ප්‍රසිද්ධ වෙලා හිටියේ නාමල් එක්ක නටන පින්තුරයක් සමාජ මාධ්‍යයේ වෛරල් වෙච්ච නිසා. මෙදා සැරේ එයා ප්‍රසිද්ධ වුනේ අනුර දිසානායක එක්ක ගත්ත පින්තූරයක් වෛරල් වෙච්ච නිසා.” යැයි කියමින් සාගල රත්නායක ජනපති ඇතුළු පිරිසට එම පින්තූරය පෙන්වා සිටියේය.
මෙහිදි ටිරාන් අලස් ඇමතිවරයා ද ජනපතිගෙන් සෘජුව විමසා සිටියේ අනුර දිසානායක ඇතුළු පිරිසගේ ඉන්දියානු ගමනේ අරමුණ කුමක් ද කියාය.
“මැතිවරණයක් කිට්ටු වෙනකොට ඉන්දියාව මෙවැනි දේ කරනවා. හැබැයි මේ ගමන නිසා වැඩියෙන්ම කලබල වෙලා ඉන්නේ සජබ නායකයෝ.” ජනපති කියා අහක බලා ගත්තේ සුපුරුදු සිනාවත් සමඟය.
“ගුජරාට ප්‍රාන්තය කියන්නේ සම්පූර්ණයෙන්ම නව ලිබරල් ධනේෂ්වර ක්‍රමයක් සහිතව පවත්වාගෙන යන ප්‍රාන්තයක්. අනුරලා එදා මේවට විරුද්ධව කියපු කතා මතක් වුණා ද දන්නේ නෑ. ඉන්දියානු ව්‍යාප්තවාදය එයාලගේ පන්ති පහෙන් අයින් කරන්න වෙනවා.” වජිර කීවේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.”

ගයන්තට ක්‍රෙඩිට් එක

දඹුල්ල ගොවිපොලේ සිටින විශ්‍රාමික කෘෂි නිලධාරියෙකු ද ජනපති මුණ ගැසි විස්තර කතා කරද්දි ජනපති කීවේ විශ්‍රම ගිය අයගේ සහාය ද ආණ්ඩුව කෘෂි කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ලබා ගැනීමට අපේක්ෂ කරන බවයි.
තේ පානයෙන් පසු පිරිස ක්‍රීඩාංගණය වෙත පැමිණි අතර අගමැති දිනේෂ් හා සජබ මන්ත්‍රී ගයන්ත ද එහි පැමිණ සිටියෝය. ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු මෙන්ම ජනපති ද සිය කතාවේදී ගයන්තව සිහිපත් කළේ හිටපු ඉඩම් ඇමති ලෙස සින්නක්කර ඔප්පු ජනතාවට දීමේ මුල්ම යෝජනාව පැමිණියේ ඔහුගෙන් බව පවසමිනි.
සින්නක්කර ඔප්පු ප්‍රදානය කරන අවස්ථාවේදී පැමිණි ජනතාව ඉතා සංවේදි වූවේ ඔවුන් ජිවිතේ ලබන ලොකුම ත්‍යාගය මෙය වීම නිසාවෙනි. ඉන් පසුව ජනපති පිහිනුම් ක්‍රිඩාගාරයද විවෘත කරනු ලැබීය. ගුවන් හමුදා පැරිෂුට් භටයන් දැක්වූ කුසලාතවය අගය කළ ජනපති රනිල් ගුවන් හමුදාපතිගෙන් විමසා සිටියේ නිදහස් දිනයේ පෙරපුහුණුවීම්වලදී අනතුරට ලත් පැරෂුට් භටයන්ගේ සුවදුක් ගැනය.
උරුමය ඔප්පු ප්‍රදානය කිරීමේ සියලු‍ අවස්ථාවන්ට තමන්ට සහභාගීවිය නොහැකි බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ එක්වී දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් මෙම වැඩසටහන පවත්වාගෙන යන ලෙස ජනපති රනිල් ඇමති හරීන්ට උපදෙස් දුන්නේය.
එදින රාත්‍රියේ ඔවුන් අනුරාධපුරයේ නවාතැන් ගත් අතර සාගල රාත්‍රියේම අනුරාධපුර පූජාභූමියට ගොස් රුවන්වැලිසෑය හා ජයශ්‍රී මහබෝධිය වැදපුදා ගත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේය.

ජනපතිගේ පළමු රැළිය කුරුණෑගල

අඟහරුවාදා සවස ජනපති රනිල් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණේය. පක්ෂ දිස්ත්‍රික් සම්මේලන ගැන වාර්තාවක් මහලේකම් රංගේ විසින් ජනපතිට පිළිගැන්වූ අතර මනුෂ සංවිධානය කළ අනුරාධපුර සම්මේලනය සාර්ථකව පැවැත්වූ බවද පෙන්වා දුන්නේය. දිස්ත්‍රික් 12 ක පක්ෂ පංවිධාන කටයුතු සාර්ථකව අවසන් කර ඇති බවත් තවත් දිස්ත්‍රික්ක කිහිපයක පමණක් යම් යම් අඩුපාඩු පවතින බව පෙන්වා දුන් මහලේකම් රංගේ උරුමය ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන්වලට එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් සහභාගී කරවීම ගැන ද විමසා සිටියේය.
එම වැඩසටහනට පක්ෂ සංවිධායකවරුන් ද සහභාගී කරවා ගැනීමට අවශ්‍ය උපදෙස් තමන් ලබා දෙන බව ජනපති රනිල් මෙහිදි කියා සිටියේය. එසේම ජනපති ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමින් පක්ෂ රැලි පැවැත්වීමටත් එහි පළමු රැළිය කුරුණෑගලින් ආරම්භ කිරීමටත් තීන්දු කෙරිනි. මැතිවරණ කටයුතු ගැන සොයා බලා කළමනාකරණ කමිටුවට වාර්තා කිරීමට පත් කළ කමිටු සභාපති රොනල්ඩ් පෙරේරාට පක්ෂ නියෝජ්‍ය මහලේකම්වරයෙකු ලෙස කටයුතු කරන්නැයි ද පක්ෂ නායක රනිල් එහිදි දැනුම් දුන්නේය.

ඉස්සරහට තව
ගොඩක් දේවල් වෙනවා

ජනපති රනිල් බදාදා පෙරවරුවේ පැමිණියේ 09 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. ආචාර පෙළපාලි, උත්සව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් ජනපති රනිල් එය අවම පිරිවැයකින් සාම්ප්‍රදායික කටයුතුවලට පමණක් ඉඩදි සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය.
මැති ඇමතිවරු ප්‍රධාන ආරාධිත අමුත්තන් වෙනුවෙන් පිරිනමන තේපැන් සංග්‍රහයේ වැය බර සම්පූර්ණයෙන්ම ජනපතිගේ පෞද්ගලික වියදමින් කිරීමට ද ජනපති උපදෙස් දුන්නේ ලේකම් සමන් ඒකනායකටය. ජනපති රාජාසන කතාව අවසන් කළේ සියලු‍ දෙනාට එක්වන ලෙස ආරාධනා කරමිනි.
තේ පැන් සංග්‍රහය රසබර කතා බහින් පිරි ගියේය. ජනපති කතාව අතරතුරු විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබ කණ්ඩායම සභාවෙන් නික්ම ගියද සජබ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් සභාවේ ඉතිරි වූවේය. ඔවුන් තේ පැන් සංග්‍රහයට ද එක්ව සිටියහ.
අගමැති දිනේෂ්, ජනපතිගෙන් ඇසුවේ “සජබයෙත් දැන් බෙදීම් ඇති වෙලා නේද” කියාය. ජනපති මුවගට නගාගත් සිනහවක් සමඟ කීවේ “තව ඉස්සරහට තවත් ගොඩක් දේවල් වේවි” යනුවෙනි. ඔවුන් අසල සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කොක් හැඩලූවේ ජනපතිගේ කතාව අසාය.

ඉන්දියාව සජබය
පිළිගන්නේ නැහැ

තේ පැන් සංග්‍රහය නිමකර ජනපති රනිල් පැමිණියේ පාර්ලිමේන්තුවේ ඔහුගේ කාර්යාලය වෙතය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් එහි පැමිණ සිටියෝය. ඒ අතර සජබ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද වූවේය.
දෙදෙනා අතර කතා වූ දේ දන්නේ ඔවුන් දෙදෙනා පමණක්වීම ද විශේෂත්වයකි. ජනපති මුණ ගැසීමට පැමිණි සජබ මන්ත්‍රීවරයෙකු කීවේ රාජාසන කතාව වෙලාවේ සභාවේ සිටි අයට පාර්ලිමේන්තුවේ කතා කිරීමට සජබ වේලාව නොදෙන ලෙස නායකයා දැනුම් දී ඇති බවකි. එසේම අනුර දිසානායකගේ ඉන්දියානු ගමන ගැන ද මෙහිදි ඇදී ආවේය.
“ඉන්දියාව අනුර කැඳවීමේ එක හේතුවක් තමයි සජබ කෙරෙහි විශ්වාසයක් නැතිවීම. සාමාන්‍යයෙන් ඔවුන් කරන්නේ විපක්ෂ නායක කැඳවීමයි. එය තමයි සම්ප්‍රදාය. නමුත් එය වෙලා නෑ.” ජනපති රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.
“සජබ යත් දැන් කොටස් කිහිපයකට කැඩිලා. පක්ෂ නායකයගේ තීන්දුව පක්ෂ සභාපති පිළිගන්නේ නෑ. ඒ වගේම පක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් කතාව වෙලාවේ සභාවේ හිටියා. කින්ග්ස් නෙල්සන් ජනාධිපතිතුමා එක්ක උගන්ඩා ගියා. ගයන්ත ඉඩම් ඔප්පු බෙදන්න ආවා. ඕස්ට්‍රේලියා ගමනටත් සජබ මන්ත්‍රීවරයෙක් යනවා.” ආශු මාරසිංහ ද කතාවට එකත්වූවේ එලෙසිනි.
පැමිණ සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විමසුවේ සරත් ෆොන්සේකා කීවේ කුමක් ද කියාය. ජනපති සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. ඊට පිළිතුරු දුන්නේ එහි සිටි වජිර මන්ත්‍රීවරයාය. “දයා රත්නායකට මහලොකු ඡන්ද පදනමක් නෑ. දයා සදගිරි අද ඉන්න තරුණ පරපුර අඳුරන්නේ නෑ.” වජිර කීවේ එවැන්නකි.

කොච්චර කදුළු ගෑස් ගැහුවද?

රාජාසන කතාවේදී ජනපති සජබයට හා ජාජබ යට කළ ආරාධනාව ගැනද කතා වූ අතර සජබයට කදුළු ගෑස් ගහන නිසා ඔවුන් සහාය නොදෙන බවට කියා ඇතැයි මන්ත්‍රී මධූර විතානගේ ජනපති හමුවේ කීවේය.
“පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට යහපාලන ආණ්ඩුව කාලේ කොච්චර කදුළු ගෑස් ගැහුවද? කී දෙනෙක් අත්අඩංගුවට ගත්ත ද. නමුත් ඒ අය රට ගැන හිතලා ආර්ථිකය ගැන හිතලා මාත් එක්ක වැඩ කරන්න තීන්දු කලා. එහෙම තියෙද්දි මේ අය කදුළු ගෑස් උණ්ඩයකට රටේ ආර්ථිකය ලඝු කරන්න හදන එක ගැන නම් කණගාටුයි. අනෙක ජනාධිපති ප්‍රේමදාසව බේරගත්තේ මම. එදා දෝෂාභියෝගය පැරදිලා එතුමා ගෙදර ගියා නම් පුතාටත් දේශපාලනය කරන්න වෙන්නේ නෑ.” ජනපති කීවේ කණගාටුවෙනි.
ජනපති රනිල් එදින රාත්‍රියේ ලංකාවෙන් පිටව ගියේ ඕස්ටේ්‍රලියාවේ පර්ත් නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගීවීමටය. නැවත ඔහු සෙනසුරාදා රාත්‍රියේ මෙරටට පැමිණියේය.

………Mediaman……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *