මැතිවරණ ජයග්‍රහණයට වඩා වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණයයි.

0

මෙවර අයවැයෙදී විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ගොඩනගමින් සිටින ලොකුම කතන්දරය වී ඇත්තේ ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් අලුත් යෝජනාවන් කිසිවක් කර නොමැති බවය. මේ අනුව විපක්ෂයේ මතය වන්නේ 2022 වසරේ අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ද ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව ඉදිරිපත් කළ 2023 අයවැයෙන් ද ගෙන ආ යෝජනා එලෙසම මෙවරත් ඉදිරිපත්කර ඇති බවය. මෙය චෝදනාවක් ලෙස විපක්ෂය ගෙන ආවත් රනිල් කර ඇත්තේ එයය. රනිල් වැඩ කරමින් සිටින්නේ යම් ප්‍රතිපත්තියක අඛණ්ඩව සිටිමින් රටේ ආර්ථීකය ගොඩදැමීමේ උත්සාහයකය. අයවැයෙන් අයවැයට බොරු සංදර්ශන ඉදිරිපත් කරමින් පරණ සිල්ලර දේශපාලනයෙහි යෙදෙමින් පිස්සු කෙලිමට රනිල්ට පහසු නමුත් ඔහු තෝරාගෙන ඇත්තේ වඩාත්ම නිවැරදි ලෙස ආර්ථිකය ගොඩනැංවීමේ මාවතය.

ජනප්‍රිය තීන්දු තීරණ ගෙන ඉදිරි මැතිවරණ ජයගැනීම ඉලක්ක කරගෙන මෙවර සහන මලුවලින් පිරුණු මැතිවරණ අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට තිබිණි. නමුත් ඔහු අයවැය කතාවේදීම පෙන්වා දුන්නේ මෙවර එම සම්ප්‍රදායික සංදර්ශන අයවැය යෝජනාවලියක් වෙනුවට අමාරු නමුත් නිවැරදිම තීන්දු තීරණ ගෙන රට ගොඩදැමීම තමන්ගේ අභිප්‍රාය වන බවය.
“…සුරංගනා කතා කීවාට රටක් ඉදිරියට යන්නේ නෑ. සිහින මාළිගාවලින් පොරොන්දු වී රටක් දියුණු කරන්න බෑ. කාලයක් තිස්සේ එක් එක් දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු නිසා රට ආපස්සට ගියා. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරියේ සනාථ වුණා.

ඒත් අවාසනාවට රටේ සමහර කණ්ඩායම් මේ තත්ත්වය තවමත් අවබෝධ කර ගෙන නැහැ. මම යළි යළිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරවීම නවත්තමු. අපි අපිටම අවංක වෙමු. දේශපාලනයට වඩා රට ගැන හිතමු. රට ඉහළට ඔසවා තබන්න එක්වෙමු. රට ශක්තිමත් වුණාට පසු දේශපාලන අරමුණු ගැන හිතමු.
අප මේ යන දුෂ්කර මාවතේ අඩියෙන් අඩිය ඉදිරියට ගියොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් අපට අනිවාර්යෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. අප යන මේ මාවත නිවැරදි බව පසුගිය වසර දෙස ආපසු හැරී බලද්දී සියයට 100 ක්ම සනාථ වෙනවා.

ඒ කියන්නේ අප යන මාවත නිවැරදියි. අපේ සැලසුම් නිවැරදියි. අපේ උපාය මාර්ග නිවැරදියි. ඒ නිසා අමාරුවෙන් වුණත් අපි මේ ගමනේ ඉතිරි ටිකත් ඉදිරියටම යමු.

මේ ගමන් මග මෙතෙක් ඉදිරියට එද්දී යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. ඒවා අප හඳුනාගෙන තියෙනවා. අප ඉතා නිහතමානීව ඒ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගන්නට ක්‍රියා කරනවා. බංකොළොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම මහා දුෂ්කර ව්‍යායාමයක්. මේ දුෂ්කර කාලය ගෙවා ගතහොත් අපට සහනදායී සුන්දර සමාජයක් නිර්මාණය කර ගන්න පුලුවන් වෙනවා. එහෙම නැතුව බලය ලබා ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකරන්නට ගියොත් අවසානයේ රට යළිත් බංකොළොත් වෙනවා.

සිතා බලන්න. මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථකයි. කරුණාකර ඒ බව තේරුම් ගන්න. ඔබේ අසල්වැසියාටත් ඒ බව තේරුම් කර දෙන්න. අප අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තේ නැත්නම් මෙතැනින් එහාට ගමනක් නෑ. මම පසුගිය අයවැය ලේඛනයේදීත් ඒ බව පෙන්වා දුන්නා.

අතීත අත්දැකීම්,ගෝලීය ප්‍රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කරගත යුතුයි. නව සමාජ සම්මුතියක් සකසා ගත යුතුයි. මේ නව ක්‍රමයට පදනම දමමින් අපි පසුගිය වසර තුළ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් සහ ක්‍රමවේදයන් නිසා ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා. නැවතත් 2022 වසරේ අපේ රට ඇද වැටුණු අපායට වැටෙන්නට අපට බැහැ.

සමහර කණ්ඩායම් දිවා රෑ නොබලා උත්සාහ කරන්නේ නැවතත් රට ඒ තත්ත්වයට ඇද දමා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි. හැබැයි අපට දේශපාලන අරමුණක් නැහැ. අපට ඇති එකම අරමුණ රට ඉහළට ඔසවා තැබීම පමණයි..

මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණයයි..”
2024 අයවැය කතාවෙන්

අය-වැයෙන් අය-වැයට, ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමැතිගෙන් ඇමැතිට රටේ ප්‍රතිපත්ති සැකසුම් වැඩපිළිවෙල වෙනස් කරමින්, නීතිය උල්ලංඝණය කරමින් නැතිනම් තමන්ගේ ජාවාරම්කාරී වුවමනාවන් වෙනුවෙන් දේශපාලනය කිරීම මේ රටේ තිබුණ සුපුරුදු විදිහයයි. රට බංකොලොත් වීම දක්වා ගෙන ආවේ එම විදිහයි. රනිල් හැමදාමත් වෙනස් කරන්න හැදුවේ එම මජර සිස්ටම් එකය. තමන්ට රටේ විධායක බලතල ලැබුණු මොහොතේ සිට ඔහු ඒ වෙනුවෙන් අඛණ්ඩව නොපසු බසිනා වීර්යයකින් යුතුව කටයුතු කරමින් සිටී.
කොහොම නමුත් නිවැරදි දේ කර පරාජය වීමට ඔහු කිසිද බිය වූයේ නැත. හැමදාමත් රටේ ආර්ථිකය කඩා වැටුණු විට එය ගොඩදැම්මේ නිවැරදි ප්‍රතිපත්තියක හිදිමින් ඔහු කටයුතු කරන්නකු වූ නිසාය. පැවැති ආණ්ඩු පෙරළීම හෝ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඔහු ප්‍රතිපත්ති පාවා දී නැත. විරුද්ධ පාර්ශ්වයක් ආණ්ඩු බලය හොඹවන විටත් ඔහු උපදෙස් දුන්නේ නිවැරදි ප්‍රතිපත්තිය අනුගමනය කරන ලෙස ඉල්ලමිනි. ඔහුගේ දේශපාලනය රටට ජනතාවට වගවන දේශපාලනයකි.

වැරද්දක් වූ විට ඒ පිළිගෙන නිවැරදි කිරීමට තරම් ඔහු නිහතමානී වන්නෙත් ඒ නිසාය. මේ අනුව පාර්ශ්වික දේශපාලනික ජයග්‍රහණයන්ට වඩා රට ඉදිරියෙන් තබාගෙන කටයුතු කිරීමේ පිළිවෙත, පුරුද්ද ඔහු තවම අත්හැර නැත.
ජනපති රනිල් මෙලෙස එඩිතර පියවරයන් ගෙන බංකොලොත් රට ගොඩ දැමීමේ කටයුත්තෙහි යෙදී සිටින අතර පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මේ රට බංකොලොත් බවට ඇද දැමීමට වගකිව යුත්තේ කවුද යන්න ප්‍රකාශකර තිබිණි. ඒ මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් පවරනු ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් තීන්දුව අනුවය.

මෙය නිවැරදි තින්දුවකි. එසේම මෙහි අමුතුවෙන් විභාග කිරීමට තරම් දෙයක් තිබුණෙත් නැත. පැහැදිලිවම රනිල් අගමැතිධුරය හෙබවූ පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලය අත්පත් කරගත් රාජපක්ෂවරු සහ ඔවුන්ගෙ ආර්ථික උපදේශකයන් සහ නිලධාරීන් අනුගමනය කළ වැරදි ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති රට බංකොලොත් කිරීම වෙනුවෙන් සෘජුව දායක විය. මේ ගැන අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අප මෙම තීරුවේම මේ ගැන සාක්ෂි සාධක ඇතිව මේ කාරණය ඕනෑ තරම් පෙන්වා දී ද තිබිණි. කොහොම නමුත් මේවා ජනතාවටද අමුතුවෙන් කියා දිය යුතු නැත. රට බංකොලොත් කළ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල ජනතාව පෝලිම්වල ළඟිමින් අතිදුෂ්කර දිවි පෙවතක් ගතකරමින් අත්දැකීමෙන්ම විඳ ගත්තේය. එම තත්වයන් ආපසු හැරවූයේ රනිල් වික්‍රමසිංහ නම් කෘතහස්ත දේශපාලනඥයා විසින් බවත් ඇඟිල්ලෙන් ඇන පෙන්නා දීමේ අවශ්‍යතාවයක් නැත. ජනාධිපති රනිල් එතැනින් නොනැවතී යළි රට සංවර්ධනයේ මාර්ගයට ගෙන ඒම වෙනුවෙන් අවංකව වෙහෙසෙමින් සිටින බවත් ජනතාවට ඇස්පනා පිටම පෙනෙන්නට තිබෙන ඇත්තය. විපක්ෂය අද මොන නරි නාඩගම් නැටුවත් මේ ඇත්ත වසං කළ නොහැකිය.

කෙසේ නමුත් මෙම නඩු තීන්දුවේ දේශපාලනික වාසිය ගැනීමට විපක්ෂය දැඩි උත්සාහයක නිරතව සිටියත් සැබැවින්ම රට බංකොලොත් කළවුන් ගැන ආධිකරණය ලබාදුන් තීන්දුවෙනුත් වාසිදායක දේශපාලනික පරිසරයක් මේ මොහොත වන විට ලැබී ඇත්තේ ජනාධිපති රනිල්ටය. ඒ රාජපක්ෂවරු රට බංකොලොත් කළ බවට නිශ්චිත තහවුරුවක් ලැබීමෙන්, රාජපක්ෂවරු බලයට පැමිණීමට පෙර පැවති රට, ආර්ථික වශයෙන් ශක්තිමත්ව තිබූ බවට තහවුරුවක් මෙම තීන්දුව අනුව ලැබීමය. ඒ රට එලෙස පවත්වාගෙන ගියේ එවකට අගමැති රනිල්ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ පිස්සු කෙලීම් නොවන්නට රට තිබෙන්නට තිබුණේ ඒ පැවැති තත්වයටත් වඩා ඉදිරියෙනි. එසේම රාජපක්ෂවරුන්ට බංකොලොත් කළ හැකි සීමාවද ඉක්මවාය. එසේ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේ දී රටේ ආර්ථිකය අයාලේ යවමින් කළ වැරදි දේ යළි නිවැරදි කරමින් ගෙන ආ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසුනේ නම් රාජපක්ෂවරු බාරගන්නේ වඩාත් ශක්තිමත් ආර්ථිකයක් හිමි රටකි. නමුත් අවාසනාවකට ඒ නිවැරදි මාවතට ගෙන එමින් තිබු රටට එම ඉලක්ක සම්පුර්ණ කරගැනීමට ඉඩ නොතබා සිරිසේන ජනාධිපතිවරයාත් රජපක්ෂවරුත් සහ එවකට විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂත් නිවැරදි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ඉඩ අහුරන ලදී. එසේම පාස්කු ප්‍රහාරය වැනි ආගමික උන්මන්තක ක්‍රියාදාමයන්ද ආණ්ඩුවේ ගමන අඩාල කළේය.

ඒ අනුව බලය අත්පත් කරගත් රාජපක්ෂවරුන්ගේ අසාර්ථකත්වය හේතු වූයේ රනිල් හඳුන්වාදුන් ප්‍රතිපත්තියෙන් ඉවත් වීමය. එහෙත් රනිල් පෙන්වූ මඟ යෑමට ඔවුන් කටයුතු කළා නම් රට බංකොලොත් වන තැනකට පත්වන්නේ නැත. රාජ්‍ය අදායම් අහිමිකර ගන්නේ නැත. විදේශ සංචිත බිංදුවටම නැති භංගස්ථාන කරගන්නේ නැත. ඒ මෙම නඩු තීන්දුව කියාපාන ඇත්තය. එසේම බංකොලොත් රට යළි ගොඩනැගීම රනිල් විසින් සිදුකර ඇති බවට තහවුරුවකුත් මෙම නඩු තීන්දුව හරහා රටට ලැබී ඇත. එනම් ඔහුට එම හැකියාව නොලැබුණා නම් මෙම නඩුවේම තවත් චූදිතයකු වන්නේ රනිල්ය. එහෙත් එය එසේ වූයේ නැත.
කොහොම නමුත් සියල්ල යහපත් ලෙස සිදු වෙමින් රට යළි සුබවාදී ගමනක යෙදෙමින් ඇත. රනිල් 2048 ඉලක්ක කරගනිමින් රට පුර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල මත අඛණ්ඩ උත්සාහයක් ගනිමින් තිබියදී ඒ කාඩකප්පල් කරන්න විපක්ෂය සැදී පැහැදී සිටීම, අද රට වනසන මහා පිළිලයක්ව තිබේ. මේ අය බලා සිටින්නේ යළි ජනතාව පාරට බැස අරගලකර රනිල්ව පන්නා තමන්ව බලයට පත්කරනු ඇතැයි කියාය. ජනතාවට අරගල කරන්න අවශ්‍ය විය හැකි හේතු රනිල් අහෝසිකර ඇති තත්වයන් හමුවේ යළි අරගල පැන නගින්නේ නැති බව විපක්ෂයට තේරුමක් නැත. ජනතාවගේ අවශ්‍යතා අභිලාශයන් එකින් එක සම්පුර්ණ කරමින් ජනාධිපති රනිල් යන මේ ගමන තුළ එකම අරගලය මේ රට ගොඩනැගීම වෙනුවෙන් රනිල්ගේ අරගලය මිසක් රට යළි අරාජික කරන, බංකොලොත් කරන, ජනතාව පෝලිම්වලට ගාල් කරවන විපක්ෂයේ දුෂ්ඨ දේශපාලනික මෙහෙයුම නොවේ.

විපක්ෂය පට්ට පල් බොරු ගොතමින් ජනතාව නොමග යැවීම සිදු කළත් රනිල් ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වා දෙමින් නිවැරදි තීරණය විය යුත්තේ කුමක්ද යන්න පවසමින් සිය කටයුත්ත සිදු කරන්නේ මේ දුෂ්ඨ විපක්ෂයේ බාධා කිරීම් මධ්‍යයේ පමණක් නොවේ. ආණ්ඩු පක්ෂයේමත් සමහරුන්ගේ නොමනා, අකාර්යක්ෂම හා අනවබෝධී ක්‍රියා කාලාපයන්ද පාලනය කරගනිමිනි. එමෙන්ම තවත් වැදගත් කරුණක් වන්නේ ගෝලීය භූ-දේශපාලනික ගැටළුවලින් ගැලවී වඩා යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා යළි ගොඩනගා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබීමය. මෙරට ස්වාධීන පැවැත්ම හා සංවර්ධනය සම්බන්ධයෙන් භූ-දේශපාලනික බලපෑම බරපතල බව මේ ගෙවුණු වසර කිහිපය තුළදී මනාව පෙන්නුම් කර තිබිණි. භූ-දේශපාලනික හැසිරීම ගැන රනිල්ට ඇති පුළුල් අවබෝධය මත ඔහු වඩාත් උපක්‍රමශීලී ලෙස නොබැඳි නමුත් දැඩි විදේශ ප්‍රතිපත්තියක් මත හිදිමින් මෙම බලපෑම් අවම කරගැනීමට මෙතෙක් සමත්ව තිබේ. ප්‍රධාන බල කඳවුරු දෙකෙහිම සහය ලබාගැනීමේ හැකියාවද පෙන්වා ඇත.

මේ අතර ඔහු දරණ විවෘත ප්‍රතිපත්ති මත ඉන්දියානු සාගර කලාපීයව සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කලාපීය සහයෝගිතාවය වර්ධනය කරන නව ලෝක පිළිවෙතක් ගොඩනැගිම වෙනුවෙන් කලාපීය දේශපාලන නායකත්වයද ඔහු වෙත නිරායාසයෙන්ම ලැබී ඇත. මේ අනුව රනිල්ගේ නායකත්ව භුමිකාව අද ලොවටම බලපෑම් සහගතව ඇත. වැදගත්ම දේ මේ භු-දේශපාලනික සාධකයන්ද මෙරටේ දියුණුව, අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට රනිල්ගේ ජාත්‍යන්තර මෙහෙයුම ද දිශාගතව තිබීමය. මෙවර අය වැය යෝජනා තුළින්ද ඒ දකින්නට ලැබෙයි.

මේ අනුව රට යළි ගොඩනැංවීම වෙනුවෙන් සිස්ටම් චේන්ජ් එකකට ඔහු මුල පිරුවා මෙන්ම ගෝලීය භු-දේශපාලනික වශයෙන් වන සිස්ටම් චේන්ජ් එකකට ඔහු මුල පුරා ඇත. පසුගිය කාලය මුළුල්ලේ ජාත්‍යන්තර වේදිකා තුළ රනිල් හඬ නැඟුවේ ඒ වෙනුවෙනි. මෙවැනි ප්‍රබල නායකත්ව භුමිකාවක් මෙරට ඉතිහාසය තුළ මීට පෙර දකින්ට ලැබුණේ නැත. ඒ පැහැදිලිව කිව යුතුය. එය ඉතිහාසයේ නොමැනෙක ලෙස සටහන් විය යුතුය.

මේ වපසරිය තේරුම් නොගෙන විවිධ විපක්ෂ කණ්ඩායම් විවිධ වේශයන්ගෙන් ජනාධිපති රනිල් ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම තමන්ගේ එකම දේශපාලනික මෙහෙයුම බවට පත් කරගෙන තිබීම යුගයේ ඛේදජනකම අත්දැකීමය. මේ අය රනිල්ගේ වැඩපිළිවෙල විනාශ කිරීමට තීන්දුකර තිබීම මඟින් සිදුවන එකම දේ යළි රට විනාශය කරා ගෙන යෑම පමණි. මන්ද රට ගොඩනැගීම වෙනුවෙන් වෙනත් විකල්ප විසඳුමක් කිසිවකුත් සතු නොවන නිසාය.

…….ඝෝෂක……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *