රනිල් දැන් වෙනස්.

0

මන් වෙනස් වෙන්න ඕන තමන් කැමති විදිහට සහ තමන්ට පහසු විදියට මිසක් ලෝකය කැමති විදිහට සහ ලෝකයට අවශ්‍ය විදිහට නොවේ. මේක අභියෝගයක්. තමන්ට කැමැති විදිහට දේවල් වෙනවා කියන්නේ ලෝකය ඒකට කැමැති වෙන එක නෙවෙයි. ලෝකයක් තමන්ට විරුද්ධ වෙනවා කියන එක. ඒත් එතනදි තමන් ලෝකයට එරෙහි වීම ජයගැනීම තුළ ලෝකය තමන්ට යටත් වීමක් වෙනවා කියන එක වෙන්නේ. ඒ කියන්නේ තමන්ට අනුව ලෝකය වෙනස් කළ හැකියි කියන එක. එහෙම නම් ලෝකය වෙනස් කරන්න කවුරුම හරි කල්පනා කරනවා නම් සියල්ලට පෙර තමන් වෙනස් විය යුතුයි. තමන් වෙනස් නොවී ඒ කියන්නේ පවතින භාවිතය පිළිගනිමින් ලෝකය වෙනස් කරන්න බැහැ. අනික ඒක තක්කඩිකමක්. මොකද ලෝකය වෙනස් කරන්න ඕන වෙන්නේ, ඒක පිළිගන්න බැරි නිසානේ. ඒ පිළිගන්න බැරි තත්වය තමන්ගේ භාවිතය කරගෙන ලෝකය වෙනස් කරන්න යෑම බොරුවක්.

මේ නිසා රටක් වෙනස් කරන්න නම් ඊට නායකත්වය ගන්න කෙනා සියල්ලට පෙර වෙනස් වෙන්න ඕන. අනෙකා වෙනස් කරන්න නම් තමන් වෙනස් වෙන්න ඕන. “අවවාදයට වඩා ආදර් ශය උතුම්” කියලා අපි අහලා තියෙන වදනෙන් කියන්නෙත් ඒක. මේ අභියෝගයක්. දෘඩ සටනක්. ප්‍රතිප්‍රහාරපිට ප්‍රහාර එල්ල වන අමාරු සටනක්. මඩ, අවලාද, ගැරහීම් වන සටනක්. තුවාල සිදුවිය හැකි මාරාන්තික විය හැකි සටනක්. ඒ නිසා මේ අභියෝගය භාරගැනීමට ලොකු ශක්තියක්, අධිෂ්ඨානයක්, ධෛර්යයක් ඕන. ඒ විතරක් නොවෙයි. ඒකට අවශ්‍යයි දැනුමක්, පරිචයක්, සැලසුමක්, වැඩපිළිවෙලක්. වැදගත්ම දේ ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන තමන් පටන් ගත් සටනේ දිගටම අවසාන ජයග්‍රහණය තෙක් රැඳී සිටීමට. අනෙක් දේ මේ ජයග්‍රහණය කියන්නේ තමන්ට ලැබෙන දෙයක් නොවෙයි. සෙසු අයටත් ලැබෙන දෙයක්. ප්‍රතිලාභය හැමෝටම. ඒ කියන්නේ තමන් වෙනස් වීම පරාර්ථකාමී වැඩක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමින් කළ කතාවේදී එක තැනක කියනවා “අනුන්ගේ දේ බලලා වෙනස් වෙන්න එපා, වෙනස තමන්ගෙන් පටන් ගන්න” කියලා. ජනාධිපතිවරයා මෙතනදි තමන්ව ආදර්ශයට අරගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් වෙනස් වූ බව කියනවා. දේශපාලනයේ දී ඕනෑම දේශපාලන නායකයෙක්, පක්ෂයක් කටයුතු කරන්නේ ඉලක්කයක් අරමුණු කරගෙන. බලය අත්පත් කරගැනීම තමයි මූලික. නමුත් මේ කාරණයේදී පරදුවට තබන්නේ රටත්, ජනතාවත්. මොකද කිසිවකු හෝ බලය අත්පත් කරගැනීම රටක ජනතාවකට ලාභයක් වෙන්න තියෙන ඉඩකඩ සීමිත වීම විය හැකි නිසා. මේ තත්වයන් මත මේ රටට සිදු වෙච්ච අලාභයන් ද බහුලයි.

රටේ සංවර්ධනය වෙනුවට වු‌ණේ අවවර්ධනය. නිදහසෙන් පසුව ගෙවුණු අවුරුදු 75 තුළ පාලකයන් මොකද කළේ කියලා මිනිස්සු ප්‍රශ්න කරන්නේ ඒකයි. ඇත්තටම මේ රටට තිබු හැකියාවන් අවස්ථාවන් අනුව රට තිබිය යුත්තේ මේ බංකොලොත් තැන නොවෙයි කියන එක පැහැදිලි කාරණාවක්. ඒ වගේම මෙතනදි පාලකයන්ට විතරක් දොස් කියන්න බැහැ. ජනතාවත් හරි හරියටම මේ දේට වගකිව යුතුයි. මොකද මේ තත්වයන් පවත්වාගෙන යෑම ජනතා ආශිර්වාදයෙන්ම සිදුව ඇති නිසා. ජනතාව අනුමත කරපු නිසා. ජනවරම තමයි රට මේ තැනට ඇදලා දාන්න පාලකයන්ට ලැබුණ ලොකුම අවිය. පාලකයන් බොහෝ විටම ජනවරමට පිටුපෑමක්, කරනවාට වඩා ජනවරම අර්ථකථනය වෙච්ච හැටියට වැඩ කරලා තියෙනවා. පාලකයන් ගන්නා තීන්දු තීරණ සිද්ධ වුණේ තමන්ට ලැබුණු ජනවරම මතයි. ආසන්නතම උදාහරණය පසුගිය ගෝඨා පාලනය. එයා ජනවරමක් ඉල්ලු‍වා රට හදන්න. එයා ආවොත් කරන්නේ මේවාය, ඒවා කරලා රට හදනවා කිව්වා. වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. නමුත් ඒ වැඩපිළිවෙල කෙතරම් අතාර්කික වුණත්, විහිළු සහගත වුණත්, ජනතාව බහුතරයක් ඒක අනුමත කළා. ඒ අනුව ගෝඨා සහ ඒ ආණ්ඩුව වැඩ කළා. නියමිත පරිදිම රට ක්‍රමයෙන් කඩා වැටෙන්න ගත්තා. ඒක නවත්ත ගන්නත් විසඳුම් හෝ තිබුණේ නැහැ. තිබෙන්න විදිහක් නැහැ. මොකද මේ අය හිතුවා තමන්ගේ වැඩපිළිවෙල තමා නිවැරදිම කියලා හරි තමන්ට වෙන මොකක් හරි වාසියක් ඒක තුළ තිබුණ නිසා විකල්ප අදහස් ප්‍රතික්ෂේප කරලා තිබුණේ. අවසානයේදි රට බංකොලොත් වුණා. දැන් මේකට වගකිව යුත්තේ ගෝඨාභයවත් ඒ ආණ්ඩුවවත් විතරක් නෙවෙයි. මේ අයට බලය දුන්නු ජන කොටසත් ඒක භාර ගන්න ඕන. ඉතිං ජනවරම කියන එක බලදේශපාලනයේදි තීරණාත්මක වුණාට රටක් සංවර්ධනයේ දී තීරණාත්මක විය යුතු නැහැ කියන එක පැහැදිලියි.

වර්තමාන ජනාධිපතිවරයාට ආණ්ඩුවට ජනවරමක් නැහැ, ඒ නිසා ඉල්ලා අස්වී මැතිවරණ පැවැත්විය යුතුයි කියන එක විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨයක්. මේක හරි වෙන්න පුළුවන් විපක්ෂ කියන විදිහට පැහැදිලි ජනවරමක් ලැබුණාම රටට ජනතාවට හොඳම දේ ලැබෙනවා නම්. විපක්ෂ ජනවරම උරගා බලන්න කියන්නේ එයාල ඒකෙන් බලයට පත්වෙනවා කියලා විශ්වාස කරන නිසා. නමුත් මෙතනදි බලන්න ඕන එයාලා බලයට පත් වුණාම මොකද කරන්නේ කියන එක. එයාල ඉදිරිපත් කරන වැඩපිළිවෙලකින් රටේ අර්බුදය විසඳෙනවද, රටේ අනාගතය අභිවෘද්ධියට පත්වෙනවද, ජනතාවගේ ජීවිත මීට වඩා සුවපත් කරනවාද? කියන එක. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ආණ්ඩුවට එරෙහි වීමේ සාම්ප්‍රදායික වුවමණාව නිසා කෑකෝ ගැසීමක් හැර වෙන මොකවත් නැහැ. නිශ්චිත පැහැදිලි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්තේම නැහැ. සරළ මට්ටමකින්වත් නැහැ. ඒ අවුල හොඳටම පෙනෙනවා මෙයාලා තමන්ගේ ප්‍රතිපත්ති කියලා ඉදිරිපත් කරලා තියෙන ලේඛනවල, විටින් විට ගෙන එන සටන්පාඨවල පරස්පරයන් නිසා. මේ නිසා මේ අය කියන කිසි දෙයක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. බහුභූත.

ඒ ඒ වේලාවවට ජනතාව මුහුණදෙන පීඩාවන් සටන් පාඨ කරගන්නවා. ඒවා ජනප්‍රිය වෙනවා. මොකද ජනතාවගේ එදිනෙදා වුවමණාවන් ඒවා තුළ තියෙන නිසා. සටන් පාඨ ජනප්‍රිය වුණාට ඒවාට විසඳන්න ගන්න වෙන විසඳුම් එහෙම ජනප්‍රිය වෙන්නේ නැහැ. උදාහරණයකට මේ දිනවල විදුලි බිල් ප්‍රශ්නය ගන්න පුළුවන්. බිල අඩුකරන්න කියලා විරෝධතා සංවිධානය කරනවා. නමුත් මේකට විසඳුම මොක්කද? සහන මිළකට විදුලිය දෙන්න නම් රජයට, විදුලිබල මණ්ඩලයට වෙන පාඩුව දරන්න වෙනවා. ඒකට බදු ආදායම් යොදවන්න වෙනවා. බදු ආදායම්, පාඩු ලබන ආයතන නඩත්තු කිරීමට යෙදවීමෙන් රජයේ අනෙක් වැඩක් කරගන්න බැරි වෙනවා. ඒ බැරි වෙනකොටත් මිනිස්සුන්ව පාරට ගේනවා. බදු ආදායම් වැඩි කරගැනීමේ අවස්ථාත් සීමිතයි. ඒවාටත් බරපතල විරෝධතා එනවා. මේ වෙලාවේ විදුලිය නිශ්පාදන වියදම අඩුකරන්න බැහැ. ඒවාට ක්‍රම තිබෙනවා නමුත් ඒවා දීර්ඝ කාලීන වැඩ, නැතිනම් විශාල විදේශ ආයෝජකයන් ගෙන්නලා කරලා කරන්න වෙන වැඩ. ඒත් ආයෝජන ගේන කොටත් ඒවාට විරුද්ධ වෙනවා. ඊළඟට මණ්ඩලයේ දූෂණ වංචා නාස්තිය අකාර්යක්ෂමතා වලක්වන්න ක්‍රමවේද හදනකොටත් වෘත්තීය සමිති මට්ටමෙන් හරි විරෝධයන් එනවා. මේ නිසා විපක්ෂ කට්ටිය කියන විදිහට විදුලි බිල අඩු කරන්න පහසු නැහැ. මේක පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවත් තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම රට ඇද වැටිලා තියෙන ආර්ථික අර්බුදය නිසා මේ තත්වයන් තවත් සංකීර්ණයි. මේ නිසා විරෝධතා සටන් පාඨ ජනප්‍රිය කරන්න පුළුවන් වුණත් විසඳුම් ජනප්‍රිය වෙන්නේ නැහැ. පළමු කාරණය මොන දේ කරන්නත් රට දෙපයින් සිටවා ගන්න වෙනවා. බංකොලොත් භාවයෙන් මුදවලා ආපහු සංවර්ධනයේ මාර්ගයට ගන්න වෙනවා. නමුත් මේ ජනප්‍රිය සටන් පාඨ ඒවාට උදව් කරන්නේ නැහැ. මේක විපක්ෂ නොදන්නවාම නොවෙයි. දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා. මොකද එයාලට වැදගත් බලය අත්පත් කරගැනීමම පමණක් නිසා. වසර පහකට ලැබෙන බලය තුළ මොකක් හෝ ගැලවිජ්ජාවන් පෙන්නලා කරලා, ඒ සීමාසහිත පැවැතීම් කාලය නඩත්තු කරගත්තාම එයාලට ප්‍රමාණවත්. සමහර විපක්ෂ නායකයොත් දැන් මේක කියන්න පටන් අරගෙන තියෙනවා, “මාව ජනාධිපති කරලා බලන්නකෝ… අවුලක් වුණත් අවුරුදු පහනේ” කියලා. එතරම්ම වගකීම් විරහිත පහත් තැනකට මෙයාලා වැටිලා තියෙන්නේ. ජනතාව කියන්නේ කවුරු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. අඩුම තරමින් අවුරුදු පහකට බලය දුන්න ගෝඨාභයට අවුරුදු දෙක වෙනකොට දේශපාලන බලය නෙවෙයි ජීවිත බේරාගන්න පැනලා දුවන්න සිද්ධ වුණා කියන එකත් අමතක වෙලා. මෙහෙම විපක්ෂයකින් ඇත්තටම රටට වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක පැහැදිලියි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් වෙනස්ව රට ගැන ජනතාව ගැන වගකීම් සහගතව කල්පනා කරලා ඇත්ත ප්‍රශ්නවලට ඇත්ත උත්තර හොයන්න බැරි, ඒ වෙනුවෙන් වෙනස් වෙන්න සුදානමක් නැති පිරිසකට රට වැටිලා තියෙන ජරාජීර්ණත්වයෙන් ගලවලා ඒක හදන්න බැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ රටේ බල දේශපාලනයේ සාම්ප්‍රදායිකත්වයෙන් වෙනස් වෙන්නේ මෙතැනදි. රනිල් වෙනස් වුණේ මොකටද කියන එක වැදගත්. ඒ තමන්ගේ බලය රැකගන්න ද? ආණ්ඩුවක් රැකගන්න ද? රාජපක්ෂලාව රකින්න ද? එජාපය ආපහු බලයට ගේන්න ද? නැහැ. එහෙම කළ යුතු නම් රනිල්ගේ වෙනස් වීම වැරදි තීන්දුවක්.

රනිල්ව පාර්ලිමේන්තුව විසින් බහුතර ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයා විදිහට පත් කරනකොට මේ ධුරය තිබුණේ ඉතිහාසයේ බලගතුම විධායක බලය සහිත ජනාධිපති ධුරය විදිටහ. කලින් මෛත්‍රීපාල සිරිසේන යුගයේදී 19වන සංශෝධනය ගෙනවිත් බලතල අඩු කිරීම කර තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඉන් අනතුරුව බලයට පත්වෙන ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් අඩු වීමට නියමිත ප්‍රතිපාදන පනවලා තිබුණා. නමුත් ගෝඨාභය කළේ 19 අහෝසි කර 20 වන සංශෝධනය ගෙනත් විශාල බලතල ප්‍රමාණයක් ආපහු අත්පත් කරගැනීම. රනිල්ට ඒ බලතල ඒ විදිහටම පාවිච්චි කිරීම කළ හැකිව තිබුණා. තමන් ගැන හිතුවා නම්, තමන්ගේ දේශපාලනික වුවමණාවන් ගැන හිතුවා නම් ඉතිරි කාලය මේ විධායක බලතල සමඟ සෙල්ලම් කරමින් යහමින් ඉන්න පුළුවන්කම තිබුණා. ව්‍යවස්ථාව ඇතැඹුලක් කරගත්ත රනිල්ට තව සෙල්ලම් ගොඩක් දාන්න තරම් පරිචයකුත් තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. රනිල් වෙනස් වුණා. 21 වැනි සංශෝධනය ගෙනත් තමන්ගේ පාලන කාලය තුළම බලතල අඩු කරගැනීම කළා. පාර්ලිමේන්තුව ආණ්ඩුකරණය ගැන තීන්දු ගන්න තැනක් බවට පත් කළා. තමන්ට සෘජුවම ගත හැකි තීන්දුත් පාර්ලිමේන්තුවට දාලා එතැන අනුමැතිය ගන්න තැනට පත් කළා. පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ශක්තිමත් කර තවත් පුළුල් කළා. රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන නිර්දේශ නිගමන ගත්තා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ තීරණ ගැනීමේ බලය පවා දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ජාතික සභාව ගොඩනගලා වඩාත් තීරණාත්මක කාර්යභාරයක් විපක්ෂයට පවරලා තියෙනවා. ආංශික කමිටු මඟින් පසුපෙළ මන්ත්‍රිවරුන්ට සහ රටේ තාරුණ්‍යයට එකතු වී ආණ්ඩුකරණය ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න ඉඩ දුන්නා. දැනට කෙටුම්පත් කරල තියෙන ජනසභා ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට රටේ සමස්ත ජනතාවටම ආණ්ඩුකරණයට තවත් සමීප වෙන්න පුළුවන්. ජනතාව, රජය කළ යුතු දේ එතකොට තීරණය කරයි. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදු වුණ වඩාත්ම ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තමයි අද මේ සිදු වෙමින් පවතින්නේ. මේවා මෙහෙම වෙන්නේ රනිල් වෙනස් වුණ හින්දා. ඒ රටත් ජනතාවත් ජයග්‍රහණය දක්වා ඔසවා තැබීම වෙනුවෙන්. සාමුහික සහභාගිත්වයක්, සාමුහික ක්‍රියාදාමයක් අනුව රටේ අභිවෘද්ධිය ළඟාකරගන්න. මේ වෙනස සාම්ප්‍රදායික පක්ෂ බල දේශපාලනයෙන් වෙනස් වුණ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක්. ලෝකයටම යහපාලනයේ ආදර්ශය පෙන්වා දෙන ක්‍රියාවලියක්. තමන් වෙනස් වීමෙන් ලෝකය වෙනස් කළ හැකියි කියන්නේ මෙහෙම දේවල්වලට.

රනිල්ට පුළුවන් වුණා තමන් වෙතින් නැතිනම් තමනුත් සම්බන්ධ වෙලා හිටපු පැරණි දේශපාලනය නිසා රටට වෙච්ච හානිය පිළිගන්න. එදා කළේ පවතින විදිහට ගැලපෙන දේශපාලනයක්. ජනප්‍රිය දේශපාලනයක්. බලය අරගෙන වෙනස් වෙමු කියන සරළ සටන් පාඨ දේශපාලනයක්. නමුත් ඒ කරලා වෙච්ච වැරද්ද රනිල් අද පිළි අරගෙන තියෙන්නේ. රට බංකොලොත් වුණේ එතැනින් කියන එක රනිල් පෙන්වලා දීලා තියෙනවා. නමුත් විපක්ෂය තාම ඒක පිළිගන්නේ නැහැ. තාම යෝජනා කරන්නේ පරණ විදිහ. ඉතිං ඒ පරණ අතීතය තවත් අවශ්‍ය නැහැ. තවත් පරණ විදිහට ඉස්සරහට යන්න බැහැ. දැන් හිතන්න ඕන අනාගතය ගැන. වැරද්ද නිවැරදි කරගනිමින් යන අලුත් වෙනස් පාරක් ගැන. රනිල් වෙනස් වෙන්නේ රටත් ජනතාවත් ඒ පාරේ රැගෙන යන්න. ඒ තමන් වෙනුවෙන් නොවෙයි.

ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *