රාජ්‍ය සේවයේ මාෆියාවලින්රටක් ගෙනයා නොහැක.

0

පසුගිය මාස කිහිපය තුළ ශිශිර නිද්‍රාවට පත්ව සිටි වෘත්තීය සමිති (මාෆියා) ව්‍යාපාරය යළි අවධි වී ඇත. ඒ “රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනු!” යන සටන් පාඨය අතේ තබාගෙනය. කෙහොමත් මේ ඒ අය අවධිවන සෘතුවකි. එළැඹෙන වසරේ රාජ්‍ය අයවැය යෝජනා ඉදිරිපත් කරන ආසන්නේයේ මෙහම සිදු වීම සාමාන්‍ය කරුණකි. මෙය ඔවුන්ගේ සිල්ලර දේශපාලන ක්‍රියාකාරකම් අතර ජනප්‍රිය භාවිතයකි. ඒ මිස සැබෑ ලෙසම රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා නොවන බව පැහැදිලි කරුණකි.

අප මෙසේ කියන්නේ අන් කිසිවක් නිසා නොව, යම් සේවාවක ගුණාත්මක භාවය මනිනු ලබන්නේ එම සේවාවේ නියුතු සේවකයින්ගේ වේතනය පමණක් ම නොවන නිසාය. දන්නා කාලය පුරාම රාජ්‍ය සේවාවේ අතිමහත් දූෂණ වංචා, අකාර්යක්ෂමතා, රාජ්‍ය සේවාව කෙළසීමත් රාජ්‍ය ආදායමටත් කර ඇති හානිය සුළු පටු නැත. රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආදායමට වැඩි බරක් තබන සේවාවන්හී ඉහළ නිලතලවල වැජඹෙන උදවියගේ නොමනා ක්‍රියාකාකරම් හේතුවෙන් රාජ්‍ය ආදායමට එල්ල කර ඇති දැවැන්ත හානිය සම්බන්ධයෙන්වත් මේ වන තුරු මෙකී වෘත්තීය සමිති කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. ඔවුන් හැසිරෙන්නේ ඔවුන්ට එය අදාල නොමැති සේය.
එපමණක් නොව පසුගිය දිනවල දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති අවස්ථා කිහිපයකදී සුළු අභ්‍යන්තර ගැටළු හේතුවෙන් වැඩවර්ජනයක නියැලුණි. ආසන්නතම සිද්ධිය වූ පසුගිය ඔක්තෝබර් මස 04 වැනි දින වැඩවර්ජනයක් ආරම්භ කළේ ආරක්ෂක නිලධාරියෙකු හා දුම්රිය උප නියාමකවරයෙකු අතර ඇති වූ පුද්ගලික ගැටුමක් හේතුවෙනි. මෙයට පදනම් වී තිබුණේ “සිගරට්ටුව”කි. කෙසේ වෙතත් මේ හේතුවෙන් සාමාන්‍ය දුම්රිය මගී ජනතාව බලවත් අපහසුතාවයට පත් වූ අතර, ඔවුන්ගේ අපහසුතාවයට වගකිව යුතු කිසිවෙක් නොවීය. මෙම නොමනා සිදුවීමට සම්බන්ධයෙන් වෘත්තීය සමිති මාෆියා කල්ලිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර, සිය කණගාටුව හෝ පළ කිරීමට තරම් නිහතමානී නොවීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන තුරුත් තමන්ට දී ඇති ඉලක්ක සපුරා නොමැති අතර, ආදායම් අය කිරීමට අදාලව සකස් කළ පරිගණක මෘදුකාංගය වසර අටක් ගතව ඇතත් මේ වන තුරුත් ක්‍රියාත්මක තලයට ගෙන ඒමට සමත්ව නැත. මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමෙන් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය විධිමත් වන අතර, සොරකම, වංචාව හා දූෂණය හා ආකාර්යක්ෂමතාවය නැවැත්වීමට මෙමඟින් මනා පිටුබලයක් ලැබේ. නමුදු සමස්ත පාලකයින්ගේ දූෂණ, වංචා, සොරකම් සම්බන්ධයෙන් පාරක් පාරක් ගානේ බෝඩ් ලැලි උස්සමින් විරෝධය දක්වන මෙම වෘත්තීය සමිති මාෆියාව අද වන තුරු දේශීය ආදායම් දොපාර්තමේන්තුවේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් කිසිදු හඬක් නඟා නැත. අවම වශයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ කර නැත.
සුරාබදු දෙපාර්තමේන්තුවට ද පසුගිය කාලය පුරා විවිධ චෝදනා එල්ල වූ අතර, සුරා බදු ආදායම් විධිමත් කිරීමේ අරමුණින් ක්‍රියාවට නන්වන ලද මත්පැන් බෝතල්වල ඇළවීමට යොදා ගන්නා ස්ටිකර් ක්‍රමවේදය පවා අවභාවිත කරමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් අති දැවැන්ත වංචාවක් හා දූෂණයක් කර ඇති බවට ඔප්පු වී තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කිසිදු විවේකයක් නොගෙන පැය විසි හතරේ සේවයේ යෙදුනු බව පවසමින් අති විශාල අතිකාල දීමනා ලබා ගැනීමක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා විය. මෙකී වංචා, දූෂණ, සම්බන්ධයෙන් විරෝධයක් දැක්වීමට තබා නිවේදනයක් හෝ සිදු කිරීමට කිසිදු වෘත්තීය සමිතියක් මේ වන තුරුත් සමත් වී නැත.
රාජ්‍ය නිලධාරීන්ගේ මෙකී වංචා, දූෂණ, අකාර්යක්ෂමතා සම්බන්ධයෙන් වෘත්තීය සමිති මාෆියාවේ නිහඬතාවය මහත් පුදුවය දනවන තත්වයකි. පසුගිය අරගල සමයේදී තමන් තරම් අති පාරිශුද්ධ කිසිවෙකුත් නොමැති බව මහජනතාවට ඒත්තු ගන්වමින්, සමස්ත දේශපාලන අධිකාරියම අති දූෂිත බව හෙළි කිරීමට මෙම වෘත්තීය සමිති මාෆියාවන් නොගත් වෙහෙසක් නැත. ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පුන පුනා පැවසුවේ මේ රටේ සංවර්ධනයට බාධාවක් වී ඇත්තේ පාලකයින්ගේ වංචාව, දූෂණය, නාස්තිය වැනි තත්වයන් බවයි. මෙය සම්පූර්ණ සත්‍ය නොව සත්‍යයෙන් අඩක් බව මේ වන විට පැහැදිලිය.
ලංකාව මුහුණ පා තිබෙන අර්බුදයන්ට ප්‍රධානතම හේතුව පාලක පැලැන්තියේ දුර්වලතා වන නමුත් ඊට නොදෙවෙනි ලෙස රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වයත් ඒ සමඟම එකිනෙක හා බැඳී තිබේ. වඩාත් බරපතලම තත්වය වන්නේ මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති මාෆියාව කිසිදු පියවරක් නොගැනීමයි. රාජ්‍ය කටයුතු කළ යුතු අන්දම පිළිබඳ අටුවා, ටීකා, ටිප්පනී සහිතව පාරක් පාරක් ගානේ, මයික් පලමින්, රෑප පෙට්ටිවල එබෙමින් උපදෙස් දෙන වෘත්තීය සමිති තමන්ට අයත් ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් මුනිවත රැකීමම ඔවුන්ගේ තක්කඩිකමේ තරම කියාපායි.
තව නොබෝ දිනකින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම විසර්ජන පනත් කෙටුම්පතට අදාල තීන්දු තීරණ මේ වන විට ගෙන අවසන් බව ඔය කියනා වෘත්තීය සමිති ව්‍යාපාරයන් ද දන්නා කරුණකි. නමුත් හදිසියේම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ඉල්ලා වෘත්තීය සමිති මාෆියාව විසින් විරෝධතා ක්‍රියාමාර්ග ගනු ලබන්නේ සත්‍ය ලෙසම රාජ්‍ය සේවකයින් කෙරේ ඔවුන් තුළ ඇති සද්බාවයෙන් නොවන බවත් පැහැදිළිය. අයවැය කරළියට පැමිණෙන සෑම අවස්ථාවකදීම වැටුප් වැඩිවීමක් ඉල්ලා විරෝධතා දැක්වීම වෘත්තීය සමිතිවල සම්ප්‍රදායකි. මේ මොහොතේ ද සත්‍ය ලෙසම රාජ්‍ය සේවකයින් කෙරේ හෝ රාජ්‍ය සේවාව භුක්ති විඳිනා සමස්ත මහජනතාව සම්බන්ධයෙන් උපන් අනුකම්පාවකින් මේවා කරනවා නොවේ.

මේ ඔවුන්ගේ බාල දේශපාලනයයි. මේ මොහොතේ වැටුප් කරනා ලෙස රජයට බල කිරීමේ විරෝධතාවයක් නොදැක්වුවහොත් මෙම වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට ඉදිරියේදී ඔවුන්ගේ සිල්ලර දේශපාලනය ගෙන යාමට නොහැකි වනු ඇත. මෙය ”දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා” වැනි තත්වයකි. අයවැය ඉදිරිපත් කරනා කාලසීමාවේදී වැටුප් වැඩි කිරීමේ විරෝධතාවයක් දැක්වීමේදී යම් හෙයකින් රජය විසින් ප්‍රතිපත්ති තීන්දුවක් ලෙස වැටුප් වැඩිවීමක් කළ හොත් එය තමන්ගේ විරෝධතාවය නිසා රජයේ සේවකයින්ට ලබා දුන් සහනයක් ලෙස හුවා දක්වමින් ඉදිරියට දේශපාලනය කිරීමට වෘත්තීය සමිතිවලට හැකි වනු ඇත. එසේම යම් හෙයකින් රජය විසින් වැටුප් වැඩිකිරීමක් නොකළහොත් එය දඩමීමා කරගනිමින් ආණ්ඩු විරෝධී සටන් පාඨ කරළියට ගෙන ඒමටත්, ආණ්ඩු පෙරළීමේ ක්‍රියාමාර්ගවලට මෙම තත්වයන් යොදා ගැනීමත්, ඒ හරහා සිය සිල්ලර දේශපාලනය සිදු කිරීමටත් ඔවුන්ට හැකිය. එබැවින් වෘත්තීය සමිතිවල මෙම වැටුප් වැඩි කිරීමට කරනු ලබන විරෝධතා සිය අනාගත දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් සිදු කරනා සාම්ප්‍රදායික ක්‍රමවේදයක් මිස වෙනකක් නොවේ.
මේ වන විටත් වසර හතකින් රාජ්‍ය සේවය තුළ වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව සත්‍යයකි. එමෙන්ම බරපතල වැටුප් විෂමතාවයක් රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක බව ද සත්‍යයකි. නමුත් ෂයිලොක් පන්නයෙන් වැටුප් ප්‍රශ්න විසඳිය නොහැකි බව සියලු දෙනා තේරුම් ගත යුතු සත්‍යයකි. මේ මොහොත යනු ලංකාව සුරපුරයක පහස විඳින තත්වයක නොවන බව අතීතය අමතක නැති සියලු දෙනා පිළිගන්නා කරුණකි. රාජ්‍ය සේවක වැටුප රුපියල් දහසකින් වැඩි කළත් ලක්ෂ පහළොවක් පමණ වන රාජ්‍ය සේවක පිරිස වෙනුවෙන් රජය වැය කළ යුතු මුදල රජයට දරාගැනීම අපහසුව බව අමුතුවෙන් කිව යුතු නැත.
තවමත් ලංකාව ”බංකොළොත්” තත්වය ඉක්මවා ගොස් නැත. මෙය රාජ්‍යය පවත්වාගෙන යා නොහැකිව ජනාධිපතිවරයෙකු පළා ගිය රටකි. ආණ්ඩුවක් බලය අත්හැරි රටකි. රාජ්‍ය ආදායම් නොමැතිව, විදේශ සංචිත නොමැතිව තෙල්, ගෑස්, ආහාර, බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් පෝළිම් ගැසී පෙළ සැදී සිටි රටකි. පෝළිම් තත්වය අවසන් කර තවමත් ඉකුත්ව ඇත්තේ වසරක පමණ කාලයකි. ඒ සඳහා කළ කැපකිරීම් අතිමහත්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය සහන ලබා ගැනීමට කළ යුතු දහංගැට සියල්ල දැමූවේය. නියමිත ආර්ථික ප්‍රතිසංස්කරණයන් පමා වීම නිසා මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා දෙන තුරු ඇඟිළි ගනිමින් සිටින්නට වී ඇති කාලයකි. තවමත් විදේශ ණය ආධාරයක් ඉල්ලුම් කිරීමේ හැකියාව නැත. විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම මඟහරිමින් සිටිනා කාලයකි. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසන කාලයකි. විදෙස් සංචිත රැස් කිරීම වන්නේ ඉබි ගමනිනි. මේවා මෙසේ වීමටත් රාජ්‍ය සේවයේ ප්‍රමාදයන් සහ කඩාකප්පල් කිරීම් බලපා ඇත. මෙවන් තත්වයක් තුළ වෘත්තීය සමිති මාෆියාවන් හදිස්සියේම නින්දෙන් ඇහැරී සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් විසිදහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටී. රාජ්‍ය සේවකයන් පමණක් නොව ජීවන වියදම් ඉහළ යෑම මධ්‍යයේ සියළු පුරවැසියන් සිටින්නේ ආදායම් මද වීමේ අර්බුදයකය. ඒ අර්බුදය විසඳාලීම විය යුතුම නමුත් එක් එක් පාර්ශ්වික ඉල්ලීම් අනුව මේවා කළ හැකි නොවේ. රජය මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ සමස්ත අර්බුදය විසඳාලීමට සමත් ක්‍රමපද්ධතියක් සකස් කිරීමේ සංකීර්ණ සහ දුෂ්කර කටයුත්තකය.
ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් ආසන්නයට පැමිණ ඇත. 2022 වර්ෂය වන විට සමස්ත රාජ්‍ය සේවක ප්‍රමාණය දැක්වූයේ 14,91,622ක් ලෙසය. එම වසරේ රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් රු බිලියන් 420 ක් වැය කර තිබිණි. මේ අනුව සමස්ත රාජ්‍ය සේවයට රුපියල් විසිදහසක දීමනාවක් වෙතොත් ඒ සඳහා මහා භාණ්ඩාගාරය විසින් අමතරව මාසිකව රුපියල් බිලියන 30ක් බැගින් වෙන් කළ යුතුය. එය වාර්ෂිකව බිලියන 360 කි. ඒ අනුව නව ඉල්ලීම් සමග බිලියන් 800 ක් පමණ මේ වෙනුවෙන් වැය කිරීමට රජයට සිදුවෙනු ඇත. මේ මොහොත එවන් ප්‍රමාණයක අමතර පිරිවැයක් දැරිය හැකි ආර්ථික මට්ටමක ශ්‍රී ලංකාව පසුවේද යන්න සලකා බැලිය යුතුය. රාජ්‍ය බදු ආදායමෙන් අඩකට වැඩි කොටසක් මේ වන විටත් යොදා ගන්නේ වැටුප්, විශ්‍රාම වැටුප් වෙනුවෙනි. 2023 වසරේ පළමු කාර්තුවේ (මුල් මාස 3 හි) රාජ්‍ය බදු ආදායම රු බිලියන 316 කි.
පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන අවස්ථාවේදී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ රජයේ වියදමට සාපේක්ෂ ඉපැයීම් සපුරාලීමට මෙතෙක් සමත්ව නොමැති බවකි. දෙනව වාරිකය ප්‍රමාද වීම කෙරෙහි මෙම ගැටළුව බරපතල ලෙස බලපා තිබිණි.
ඒ අනුව වෘත්තීය සමිති විසින් නැවත වරක් පාරට බැස උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටින වැටුප් වැඩිවීම ප්‍රායෝගිකව කිසිසේත් ඉටකළ හැකි නොවේ. ආදායම් නොමැතිව වියදම් වෙන් කිරීම ඉතිහාසය පුරාම අප විසින් කළ නොමනා ක්‍රියාකාකරකමකි. ඒ වෙනුවෙන් වූ වන්දිය රාජ්‍ය සේවකයා පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව විසින්ම ගෙවමින් තිබේ. මේ නිසා රෑ වැටුණු වලේ මහ දවාලේත් නැවත නැවතත් වැටෙනවාද යන්න කල්පනා කළ යුතුය. මේ අමාරු මොහොතේ රාජ්‍ය සේවකයාගේ වගකීම යුතුකම විය යුත්තේ රජය ආරක්ෂාකරගෙන එය ස්ථාවර කිරීම වෙනුවෙන් වැඩකිරීමය. තමන් රජයෙන් පෙරළා බලාපොරොත්තුවන ප්‍රතිලාබයන් අත්පත් කරගත හැකිවනුවේ ඒ සාර්ථකත්වය මතය.
මේ අනුව අමතර ඉල්ලීම් වලට පෙර තමන් විසින් කළ යුතු වගකීම් යුතුකම් ප්‍රමාණය ඉටුකර තිබෙද යන්න ගැන තහවුරුවක් තිබිය යුතුය. කළ යුත්ත නොකොට, නොමැති ලැබිය යුත්තක් ගැන ඉල්ලීම වෘත්තීය සමිතීන් මාෆියා වැඩක් ලෙස නම් කරන්නේ එබැවිනි. මාෆියාවලින් රටක් පවත්වාගෙන යා නොහැකිය. මාෆියාකාරයින්ට උවමනා ලෙස රටක තීන්දු තීරණ ද ගැනීමට නොහැකිය. එබැවින් මාෆියාකාරයින්ගේ බොරු තර්ජනවලට රජය නැමුණහොත් නැවත පෝළිම් රාජ්‍යය මිස වෙන ප්‍රතිපලයක් නම් රටට අත් නොවනු ඇත.

– රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *