රැඩිකල්වීම පරිණත වෙනකොට

0

තමන් බරපතලම අර්බුදයකට ඇද වැටිලා ආපහු ගොඩඑන්න දඟලන කොට මුළින් කරන්න ඕන මේකට වගකියන්න ඕන කවුද කියලා හොයන එක නෙවෙයි. වගකියන්න ඕන අය කවුරු වුණත් ආපහු ගොඩඑන්න නම් තමන්ගේ සියලු හැකියාවන් ශක්තීන් ආපහු එකතු කරගන්න වෙනවා. සැලැස්මක්

හදාගන්න වෙනවා. රටක් වුණත් එහෙමයි. අභියෝග ජයගන්න නම් ඒකට තියෙන පහසුම අවස්ථාව තමයි එකමුතුකම. එකමුතුකම ඇතුළේ හැදෙන ශක්තිය, දැනුම බෙදාගැනීම, අත්දැකීම්වල පරාසයන් එක්ක හැදෙන මහා සැලැස්මක් කියන්නේ අර්බුදය ජයගත්ත වගේ තමයි. ඒත් ඒ අවස්ථාව මේ රටට මඟ හැරුණා. ජනාධිපති රනිල්ට සිද්ද වුණේ තමන්ගේ, තමන් එකක් හිටපු සුළු පිරිසත් එක්ක තනිවම රට ගොඩගැනීමේ දේශපාලන ආර්ථික මෙහෙයුමට කරගහන්න. එකට එයාට වෙනම සැලැස්මක් හදන්න සිද්ධ වුණා. මේ සැලැස්ම වෙනස්.

මීට අවුරුද්දකට විතර කලින් දෙසැම්බර් මාසයේ තිබුණා “2022 ආර්ථික සමුළුව”. මේකෙදි රනිල් අමුතු කතාවක් කිව්වා.

“…අපි ඉදිරියට යන විට විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු අප කරන්නේ කුමක්ද? අනෙක, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සැලැස්ම කුමක්ද? යන්නයි.

මෙම ආර්ථික අර්බුදය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිද කියා මම දන්නේ නෑ. ප්‍රතිසංස්කරණය කිරීමට නම් අපට ආර්ථිකයක් තිබිය යුතුයි. අනාගතයේදී අපට මුහුණ දීමට සිදුවන්නේ කුමන තත්වයකටද?

අපට ණය දෙන පාර්ශ්වයන්ගෙන් සහ පෞද්ගලික ණය හිමියන්ගෙන් කුමන සහනයක් ලැබුණත් මෙම මුදල් දිගු කාලීනව ආපසු ගෙවිය යුතුයි. ඒ වගේම ඉදිරි වසර කිහිපය සඳහා අපි මුදල් ණයට ගත යුතුව තිබෙනවා. ඒ වගේම අපගේ වෙළෙඳ ශේෂය අපට වාසිදායක වන්නේ නෑ. ඉතින් අපි පැවති ක්‍රමවේදයම නැවත ගොඩනඟාගෙන වඩාත් වේගයෙන් පහළට වැටෙනවාද කියා සිතා බැලිය යුතුයි. ඒ අනුව බලනවිට මම හිතුවා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකර ඵලක් නැහැ කියලා. ඒ නිසා මට පෞද්ගලිකව ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු සැලැස්මක් නෑ. එම නිසා රජයටත් ආර්ථික ප්‍රතිසංස්කරණ සැලසුම් නෑ. අපට අවශ්‍ය වන්නේ 2050ට මුහුණ දෙන නව ආර්ථිකයක්.”

එදා රනිල් කිව්වේ ඒ වෙලාවේ නිකම් පැලැස්තර විසඳුම්වලින් වැඩක් වෙන්නේ නෑ කියන එක. ඒ කියන්නේ වැළ යන පැත්තට මැස්ස ගහනවා වගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩක් නැහැ. ස්ථාවර රටක් හැදෙන්න නම් ආර්ථික ක්‍රම පද්ධතියම වෙනස් කරන්න ඕන කියන එක… ඒක රැඩිකල් දේශපාලනික තීන්දුවක්. එයා ඒ කියපු දේවල් හකුළ ගත්තේ නැහැ. කරලා පෙන්නුවා. බාධාකිරීම්වලට දුෂ්කරතාවලට බය වුණේ නැහැ.

මේ කතාව කියලා අවුරුද්දකට පස්සේ තියපු “2023 ආර්ථික සමුළුවේ” දී රනිල් කියනවා

“ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා පසුගිය වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස හැඳින්විය හැකිද කියා මා දන්නේ නැහැ. ප්‍රතිසංස්කරණ යන වචනයේ අර්ථය දෙස බැලු‍වහොත් අප ආර්ථිකයට සිදුකළේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. එය සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමක්, එසේ නැතිනම් රැඩිකල් ප්‍රතිව්‍යුහගත කිරීමක ආරම්භය කිවහොත් නිවැරදියි. අපට ආපසු හැරීමක් නෑ. අප මෙය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

…මෙම ගැඹුරු ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් තුළ සැළකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අප මේ වන විට සමත් වී සිටිනවා… රටක් ලෙස හැමදාම බංකොළොත් වී සිටිය නොහැකියි… අපට ලැබෙන අන්තිම අවස්ථාව මෙයයි.. මෙම නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවෙන් ඉවත් වුවහොත් තවත් වසර 10කින් නැවත මේ රට ආර්ථික අර්බුදයකට මුහුණදීම වැළැක්වීය නොහැකියි…”

රනිල් කියන්නේ කවුද කියන එකට මේ උපුටා ගැනීම් දෙක හොඳටම ඇති.

බංකොලොත් වුණ ආර්ථිකයක් ඇති රටක් අපහු ගොඩනඟන එක සංකීර්ණ ක්‍රියාවලියක් වුණත් ඒකට හරි සැලසුමක් තියෙනවා නම්, ඒ සැලසුම අනුව වැඩකරනවා නම් එක අමාරු නැහැ.

ජනපති රනිල් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ ප්‍රකාශයක් කළා. ඒකෙදී තවත් වැදගත් දෙයක් කිව්වා. ඒ මීළඟ පාර්ලිමේන්තුව අලු‍ත් මුහුණුවලින් පිරෙන්න ඕන කියලා. ඒ කිව්වේ රටේ දේශපාලනය අනාගතයට ගැලපෙන විදිහට නවීකාරක වෙන්න ඕන කියන එක. පරණ හම්පඩ ගැහුණු දේශපාලනය අවසන් වෙන්න ඕන කියන එක. ඒක වෙන්න ඕන වටපිටාවත් දැන් හදලා තියෙන්නේ.

රනිල්ගේ මේ කියන කරන දේවල් බැලුවාම අද රටේ ඉන්න තරුණම, රැඩිකල්ම දේශපාලනඥයා රනිල්. පරිණත රැඩිකල්වාදීයා. අවුරුදු දශක ගාණක් ඉස්සරහට වෙන්න ඕන දේවල් ගැන එයා කතා කරන්නේ වැඩකරන්නේ. මේක තමයි තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉ‍ටුවන අනාගතවාදී සැලැස්ම වෙන්නේ. ඒක ඇත්තක් වෙනවා. ඒත්, මේ 2048 සංවර්ධිත ශ්‍රී ලංකාව කියන්නේ රනිල්ගේ පුද්ගලික  බලාපොරොත්තුවක් නෙවෙයි, රටේ තරුණයන්ගේ බලාපොරොත්තුව. රටේ හම්පඩ වෙව්ච ආර්ථික ක්‍රමය, හම්පඩ දේශපාලනය රැඩිකල් විදිහට වෙනස් කරමින් යන්නේ ඒ තරුණ බලාපොරොත්තුව වෙනුවෙන් මිසක් රනිල්ට දේවල් කරගන්න නෙවෙයි.

ලොකු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *