රුපියල් 20,000ක් ඇද්ද? වෙන මොනවත් එපාද?

0

2024ට අදාළ අය-වැය ගෙන එන්නට ඇත්තේ තවත් සති කිහිපයක්ය. ඒ පසුබිමේ වෘත්තීය සමිති මාෆියාව ෂයිලොක් පන්නයේ ඉල්ලීම් සටන් පාඨ ලෙස ඉදිරිපත් කරන්නට ගෙන ඇත. ඒවා ඉටු නොකළොත් රට කොට උඩ යවන්න කරන වර්ජන ගැනත් තර්ජනය කරමින් ඇත. නමුත් මේවා 2024ට පමණක් අලු‍තෙන් ඉදිරිපත් වූවක් නම් නොවේය. එළඹෙන වසරට අදාළ අයවැය ඊට පෙර වසරේ නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිසා ඔක්තෝබර් මාසයේ සිට විවිධ සටන් පාඨ ඉදිරිපත් කර සංදර්ශන පැවැත්වීම කොහොමටත් වෘත්තීය සමිති මාෆියාවේ සම්ප්‍රදායක්ය.

ඒ අනුව යමින් මෙවරත් වෘත්තීය සමිති මාෆියාව වැඩ අල්ලා ඇත. ඊට අදාළ සටන් පාඨ ජවිපෙ ප්‍රමුඛ වෘත්තීය සමිති මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා ඉදිරිපත් කර ඇත. එහි පළමු ඉල්ලීම වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක්ය. එයත් රුපියල් 20,000 කින් ය. එහිදී තර්කය වී ඇත්තේ වසර 7කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුකර නොමැති බවය. මොනවා වුණත් ඒ කතාව නම් ඇත්තය. 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වේ, පවතින ආර්ථික තත්වය අනුව රුපියල් 2,000කට වඩා වැටුප් වැඩිවීමක් ගැන පොරොන්දුවක් දීමට තමන්ට නොහැකි බවය. එදා ජනපති සටනේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය. එදා මෛත්‍රී ජනපති කරන සටනේ ප්‍රධාන නියමුවා වූ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීට උපදෙස් දුන්නේ, “තමන් ජනාධිපති වුවහොත් රාජ්‍ය සේවක වැටුප අවම රුපියල් 10,000 කින් වැඩිකරන”‍ පොරොන්දුව බය නැතුව ලබාදෙන ලෙසය. එසේම එය නව ආණ්ඩුව පිහිටුවා සිදුකරන දින 100යේ වැඩපිළිවෙලට ඇතුළත් කරන ලෙසය. ඒ කියපු ලෙසටම මෛත්‍රී ජනපති කර පළමු දින 100ය ගතවන අවස්ථාවේ, රාජ්‍ය සේවයේ සිටි සියලු‍ දෙනාට රුපියල් 10,000ක අවමයක් ලෙස වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කළේය. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ සිටි සියලු‍ දෙනාට රුපියල් 10,000 කට වැඩි වැටුප් වැඩිවීමක් සිදුවූ බවය. එපමණක් නොව ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත හෙළුවේද ඒ ආණ්ඩුවය. එදා ඒ කටයුතු වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.

ඒ මෑත ඉතිහාසයේ සිදුවූ විශාලම වැටුප් වැඩි කිරීම මෙන්ම ජනතාවට ලැබුණු සහන මල්ල විය. එයින් පසුව ජනතාවට සහනයක් ලැබුණේ නැත. එදා ඒ සහන ලබාදීමට හැකිවූයේ මෙකී සහන සමඟ රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ද කටයුතු යෙදුන නිසාය. එසේම ඉහළ පොලි අනුපාත යටතේ කෙටි කාලීන ගෙවීම් පදනම් සහිත වාණිජ ණය ගනිමින් ගෙන ගිය ප්‍රදර්ශන සංවර්ධනය වෙනුවට රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට යොමු කළ නිසාය. ආදායම් වියදම් සම්බන්ධව නිසි ඉලක්කයක් සහ නිවැරදි තක්සේරුවක් ඇතිව දුරදර්ශී ලෙස කටයුතු කළ නිසාය. එනිසා ඖෂධ මිල 90% කින් පමණ පහළ දැමීමට හැකියාව ලැබුණා පමණක් නොව, ඇස් කාච, පිළිකා ඖෂධ, ස්ටේන් පවා රෝගීන්ට නොමිලේ දෙන්නට හැකිවිය. ඒ සියල්ල සිදුකරන්න හැකිවූයේ රජය නිසි මුල්‍ය විනයකින් යුතුව හැසිරවූ නිසාය.

එදා 1990 සුවසැරිය ගිලන් රථ සේවය හඳුන්වාදෙන විට වෘත්තීය සමිති කිව්වේ මොනවද? රජයේ වෛද්‍ය නිලධාරී සංගමය එදා ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වා කිව්වේ, සුවසැරිය ගිලන් රථ රෝහල් පරිශ්‍රයේ නැවත්වීමට ඉඩ නොදෙන බවය. සුව සැරියෙන් ගෙනෙන රෝගීන් කරන්ට් වැදී මිය යා හැකි බවය. වෛද්‍යවරුන් සිය වෘත්තීයභාවය ගණිකා සේවයේ දමා එදා ජනතාව නොමග යැව්වේ එහෙමය. නමුත් සුවසැරිය ගිලන් රථ සේවය කොතරම් මෙහෙයක් ජනතාවට සිදුකරනවාද? එය අත්දැක තිබියදී වුවත්, එදා තමන් ජනතාව රැවටූ බව පිළිගන්න තරම් වෘත්තියමය භාවයක්, මහත්මා ගතියක් ඒ බොරු චෝදනා නගා ජනතාව භීතියට පත්කළ වෘත්තීය සමිතිවලට තිබෙනවාද? නැත.

එපමණක් නොව, එදා මහ බැංකුව කොල්ලකෑවා, රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කළා කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිරූපයට පහර ගැසූ වෘත්තීය සමිති සහ ඒවායේ ගෝඩ් ෆාදර්ලා, 2022 වසරේ ඇත්තටම රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වූ විට කිව්වේ කුමක්ද? ඩොලර් සංචිතය බිංදුවට හිඳෙන විට කළේ මොනවද? අවසානයේ ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ රට බංකොලොත් වනතුරු ඔවුන් කළේ මොනවද? රටේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතිවන විට කළේ මොනවද? දිනකට පැය 12-14ක විදුලි කප්පාදු සිදුවන විට කළේ මොනවද? කර්මාන්ත වැසෙන විට මොනවද කළේ? ඔවුන් කළ දෙයක් නැත.

නමුත් සිහිබුද්ධියක් ඇතිව මේ වෘත්තීය සමිති මාෆියාවේ කෙරුවාව විමසුවහොත් පැහැදිළිව පෙනී යන්නේ, ඒ හිස් ටින් බෙලෙක්ක වැඩිපුරම හඬ නගන්නේ, විරෝධය දක්වන්නේ, ආර්ථිකය නිසි මඟට ගෙන, ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය මූලික අඩිතාලම සකසන විටදී බවය. ඒ තරම් මේ වෘත්තීය සමිති මාෆියාවට නොරුස්සන කිසිවක් නොමැති බවය. දැන් ප්‍රශ්නය වන්නේ වෘත්තීය සමිති මාෆියාව එසේ හැසිරෙන්නේ ඇයිද යන්නය.

ඒ අන් කිසිවක් නිසා නොව, ආර්ථිකය නිවැරදි අඩිතාලමක් මත වසර කිහිපයක් ගෙන ගියහොත් ආර්ථිකය ශක්තිමත් වන නිසාය. ජනතාවගේ ජීවන තත්වය ඉහළ යන නිසාය. එවිට මුලින්ම තට්ටු වන්නේ, මේ රටේ ජාතික නිෂ්පාදනයට සත පනහක දායකත්වයක් නැති වෘත්තීය සමිති මාෆියාවට වන නිසාය. ඒ නිසා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අරාජිකත්වය, අසාර්ථකත්වය සහ අර්බුද සහිත වටපිටාව කියන්නේ නැතුවම බැරි දේවල්ය.

ඒ නිසා වසර 7කට පසුව වැටුප් වැඩිවීමක් නොලැබීම නිසා, රුපියල් 20,000ක් ඉල්ලන වෘත්තීය සමිති මාෆියාව, වසර 7කට පෙර ඉතිහාසයේ ලොකුම සහන මල්ල සමඟ ජන ජීවිතය ඉහළට ඔසවා තැබූ රනිල්ගේ පාලනය සිහිපත් කරන්නේ නැත. ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම සිදු කළ නායකයා කවුද කියන්නෙත් නැත. ඒ පාලනය බිඳ දැමීම නිසා රටම අමු සොහොනක් වෙන්න ගිය බව කියන්නේද නැත. ඊට අදාළ තමන් සිදු කළ වැඩ කොටස කියන්නේද නැත. අවම වශයෙන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණදී යන්තම් සැනසුම් සුසුමක් හෙළන්න ලැබුණු පසුබිමේ රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් කරන්නේ කොහොමද යන සරල ප්‍රශ්නයවත් ඔවුන්ට අදාළ නැත.

එපමණක් නොව, මේ වෘත්තීය සමිති මාෆියාව, වක්‍ර බදු අඩුකර සෘජු බදු වැඩි කිරීමටද විරුද්ධ ය. එහිදී ඔවුන් හිට ගන්නේ මෙරට අවිධිමත් ආර්ථිකයේ ගැටගැසී සිටින 60%ක පීඩිතයන් සමඟ නොව, 20%ක් පමණ වන ආර්ථික දුෂ්කරතා නොමැති පිරිස සමඟය. රාජ්‍ය ව්‍යාපාර කිරීමෙන් ඉවත් වනවාටද විරුද්ධය. වෘත්තීය සමිති මාෆියාව එහිදී පෙනී සිටින්නේ වසරකට බිලියන ගණනක් ගිල දමන රාජ්‍ය ව්‍යාපාර කොහොම හෝ කරගෙන යායුතුය යන න්‍යායේ ය. රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට ද විරුද්ධය. එහිදී ඔවුන් පෙනී සිටින්නේ කිසිම ඵලදායිතාවක් නැතත් වැටුප් දියවු කියන න්‍යායට ය. සමාජ ආරක්ෂණ දැළ ශක්තිමත් කිරීමටද ඔවුන් විරුද්ධය. ඔවුන් පෙනී සිටින්නේ එදාවේල වෙනුවෙන්ය. මේ ආකාරයට රාජ්‍ය ආදායම සහ සමාජ සුබ සාධනය සම්බන්ධව පමණක් නොව, කවර ක්ෂේත්‍රයක් සම්බන්ධව සැළකුවද එකී කවර ක්ෂේත්‍රයක් සම්බන්ධව වුවත් වෘත්තීය සමිති මාෆියාවේ හැසිරීම පරස්පරය. අතාර්කිකය.

ඒ බව තවදුරටත් තහවුරු කරගන්නට වැඩිදුර යායුතු නැත. ඊට රුපියල් 20,000 වැටුප් වැඩිවීම ඉල්ලන සටන් පාඨය හොඳටම ප්‍රමාණවත්ය. මෙරට මිලියන 22ක ජනගහනයෙන් රාජ්‍ය සේවයේ නිරත ප්‍රමාණය ලක්ෂ 15කට ආසන්නය. ඒ සියල්ලට රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන්නට දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා මාසිකව වැයවන බිලියන 80කට වැඩි මුදලට අමතරව රුපියල් 30,000,000,000ක මුදලක්, එනම් බිලියන 30ක් අමතරව මාසිකව අවශ්‍යය. ඒ මුදල් සපයාගන්න සිදුවන්නේ අලු‍තින් මුදල් මුද්‍රණය කිරීම හරහා ය. හිතෙන හිතෙන වෙලාවට මුදල් මුද්‍රණය කරමින් පසුගිය පාලනය වරද්දාගත් බව ප්‍රසිද්ධ කාරණයක් ය. එය නැවතුණේ ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල්වල ඉහළම තැනට වැටිලාය. එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය අංශයේ වැටුප් කප්පාදු වූයේද නැත. නමුත් පෞද්ගලික අංශයේ බරපතළ වැටුප් කප්පාදු සිදුවිය. රට යන්තමින් හුස්මක් ගෙන නැගිටින පසුබිමේ මේ වෘත්තීය සමිති මාෆියාව ක්ෂණික වැටුප් වැඩිවීමක් ඉල්ලීම කොහොම නම් සාධාරණීකරණය කරන්නද?

 සැබවින්ම මේ මොහොතේ එවැන්නක් සිදු කළ නොහැකි බව මේ මාෆියාව හොඳටම දන්නා අතර, නමුත් 2024 අයවැය හරහා රාජ්‍ය සේවකයන්ට මෙන්ම පොදුවේ මෙරට වැඩකරන ජනතාවට සහන ගෙන ඒමේ සූදානමක් ඇති බව සම්බන්ධවත් දැනුවත්ය. ඒ බව රාජ්‍ය මුදල් අමාත්‍යවරුන් ද විටින් විට පවසා ඇත. ඒ තුළ ඔවුන් සූදානම් වන්නේ රනිල් වික්‍රමසිංහ පාලනය ජනතාවට දෙන දේ තම මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස පෙන්නා ලකුණු දමා ගන්නටය. ඒ හරහා හෝ තම පැවැත්ම තහවුරු කරගන්නටය. නමුත් ජනතාව මෙහිදී සබුද්ධිකව මේ වෘත්තීය සමිති වෙතින් ඇසිය යුතු ප්‍රශ්නත් ඇත. එනම් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම කියා වෙනම වැටුප් වැඩිවීමක් ඉල්ලු‍වේ ඇයි? පෞද්ගලික අංශය මෙරට ජාතික නිෂ්පාදනයට අදාළ නැද්ද? රාජ්‍ය සේවකයා මුහුණදෙන සමාජ ආර්ථික ගැටළු පෞද්ගලික අංශයට නැද්ද? ජීවන තත්වය ඉහළ යායුතු වන්නේ රාජ්‍ය සේවකයාගේ පමණද? යන්තමින් ආර්ථික අර්බුදයේ දරුණු අවධානම පසුකරන පසුබිමේ ඇතිවන සුළු කම්පනයකින් පවා රට යළිත් අඝාධයකට වැටුණොත් එහි වගකීම වෘත්තීය සමිති මාෆියාව භාර ගන්නවාද? අමාරුවෙන් ගොඩගත්ත රට සටන් පාඨවලින් උස්සලා පොළවේ ගහන්න හදන උඹලා මොන මිනිස්සුද?

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *