විදේශ සම්බන්ධතාවල වසන්තයක් ඇති කිරීමට නම්.

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 15 වෙනිදා චීනය බලා පිටත්ව ගියේය.

චීනය මුල්කරගෙන බිහිවි ඇති එක් තීරයක් – එක් මාවතක් සමුළුවට සහභාගිවීමත් චීනය සමග නිල ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමත්, මෙම සංචාරයේ අරමුණ වේ.

ශ්‍රී ලංකාව සහ චීනය 1978 වසරේදී නිදහස් වෙළෙදපොළ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. චීන රජය විසින් කොමියුනිස්ට්වාදී පාලනය යටතේම නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය එරටට හඳුන්වා දෙනු ලැබීය. එසේ වුවද ශ්‍රී ලංකාවට වඩා හොඳ මට්ටමකින් කොමියුනිස්ට්වාදී රජයක් යටතේ චීනයේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනය සමග ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. 1978 දී ජේ.ආර්.ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙන විට ශ්‍රී ලංකාවේ පැවැති සමාජවාදයට බර පාලන ක්‍රමය අවසන් වී තිබුණි. චීනය නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදෙන විට පැවතියේ කොමියුනිස්ට් පාලන ක්‍රමයමය.

කෙසේ වුවද නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමේ ප්‍රතිඵල රටවල් දෙක තුළ දක්නට ලැබුණේ වෙනස් ආකාරයකිනි.

ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ නායකත්වය හිමිකර ගැනීම සම්බන්ධයෙන් එවකට සෝවියට් රුසියාව සහ චීනය අතර දැඩි තරඟකාරීත්වයක් පැවතුණි. ඒ හේතුවෙන් ලෝකයේ කොමියුනිස්ට් රටවල් චීන පිළ සහ රුසියන් පිළ ලෙස දෙකට බෙදී තිබුණි.

ලෝක කොමියුනිස්ට් නායකත්වයේ සිටින්නේ තමන් යැයි සිතන චීනය තුළ කොමියුනිස්ට්වාදයට ප්‍රතිවිරුද්ධ නිදහස් වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව සිතීම පවා මහා පාවාදීමක් ලෙස එකල සැළකින. එසේ වුවද මාඕ සේතුංගෙන් පසුව චීන නායකත්වයට පැමිණි ඩෙං සියාඕ පින්ග් චීනය දියුණු කළ හැක්කේ වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයකින් පමණක් බව වටහාගෙන සිටියේය.

එහෙත් අරටු බැස ගත් පැරණි කොමියුනිස්ට් නායකයන් සිටින රටක එය හඳුන්වාදීම ඉතා දුෂ්කර කාර්යයක් බව ඔහු දැනගෙන සිටියේය.

ඔහු එවැනි සාම්ප්‍රදායික චීන නායකයන් තම අදහසට එකඟ කර ගත්තේය. ඒ චීනයේ දේශපාලනය සඳහා මහා මූලධර්මයන් සතරක් හඳුන්වා දී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය චීනය තුළ ක්‍රියාත්මක කරනුයේ එම මූල ධර්ම ආරක්ෂා කර ගනිමින් බව සහතික කිරීමෙනි.

චීනය කොමියුනිස්ට් මාර්ගය දිගටම අනුගමනය කිරීම, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි ඒකාධිපතිත්වය පවත්වා ගෙන යෑම, කොමියුනිස්ට් පක්ෂ නායකත්වය තුළ රට පවත්වාගෙන යෑම සහ මාක්ස් ලෙනින්වාදය සහ මාඕ සේතුං චින්තනය පවත්වාගෙන යෑම එම මූලධර්ම සතර විය.
පක්ෂය ඒවා පිළිගත්තේය.

කොමියුනිස්ට් වාදය පවත්වාගෙන යන්නේ නම් නිදහස් ආර්ථික ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව විරෝධයක් දැක්වීමේ අවශ්‍යතාවයක් නොවන බව පක්ෂයේ අදහස විය.
බොහෝ දෙනෙක් ලොව කොමියුනිස්ට් වාදය අවසන් වී ඇතැයි සිතති. එහෙත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණ වන්නේ ලොව වැඩිම ජනගහනයක් ඇති චීනය අදටත් පාලනය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ බවයි.

එරට වෙනත් දේශපාලන පක්ෂ නැත. මැතිවරණ නැත. සෑම තීරණයක්ම ගනු ලබන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැළකෙන්නේ ධනවාදි ආර්ථික ක්‍රමය එසේත් නැත්නම් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ඉහළින්ම පිළිගන්නා දේශපාලඥයෙකු වශයෙනි. තවදුරටත් චීනයේ සමාජවාදය සහ ලොව ධනවාදය අතර පුළුල් වෙනසක් දැකිය හැකි නොවේ.

එය එසේ වුවද ශ්‍රී ලංකාවේ සමහර පක්ෂවල දේශපාලනය ඊට වඩා වෙනස් ස්වරූපයකින් ක්‍රියාත්මක වන බව පෙනේ. මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන සමාජවාදි දේශපාලන පක්ෂය ලෙස සැළකෙන ජනතා විමුක්ති පෙරමුණ සහ චීනය අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව ඇත්තේ විමතියකි.

රෝහණ විජේවීර රුසියාවේ පැට්රික් ලුමුම්බා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී නිවාඩුවක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණියේය. එහෙත් නිවාඩුව අවසාන වී රුසියාවට යාමට බලාපොරොත්තු වු විජේවීරට ඒ සඳහා අවස්ථාවක් සැලසුනේ නැත. විජේවීර ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා නැගි තිබු නිසා රුසියාව ඔහුට, රටට ඇතුල්වීමට ඉඩ ලබා නොදුන්නේය.

සැබවින්ම විජේවීර එන්.සන්මුගදාසන් මහතාගේ චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වි සිටියේය. ඒත් විජේවීර සන්මුගදාසන් මහතා ඉවත් කර එම පක්ෂයේ බලය ඇල්ලීමට සූදානම් වු අවස්ථාවේදී සන්මුගදාසන් මහතා ඔහු එම පක්ෂයෙන් පලවා හැරියේය.

මා ඉහත සඳහන් කරුණු, සදහන් කළේ අද මෙරට ප්‍රධාන සමාජවාදි පක්ෂය ලෙස සැළකෙන ජනතා විමුක්ති පෙරමුණ සහ ලොව කොමියුනිස්ට් පාලනයක් පවත්නා ප්‍රධානම රට වන චීනය අතර සැලකිය යුතු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දීමටය.

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා තම පක්ෂය නියෝජනය කිරීම සඳහා හෝ චීනයට ගිය බවක් අසන්නට ලැබෙන්නේ නැත. ඒත් ඔහු ඕස්ට්‍රේලියාව, ජපානය වැනි ධනවාදි රටවල නම් නිරන්තරයෙන්ම සංචාරයේ යෙදේ.

ශ්‍රී ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරිම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ රට මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා දැවැන්ත උත්සාහයක යෙදී සිටින අතර, එහිදී විදේශ රටවල් සහ විදේශ සංවිධාන මත රැඳී සිටීමට සිදුව ඇති බැවින් සමතුලිත තත්ත්වයකින් විදේශ සම්බන්ධතා පවත්වාගෙන යෑම ඉතා දුෂ්කර කටයුත්තක් වි තිබේ.

චීනය හා ඇමරිකාව අතර දැන් ඇත්තේ විශාල ප්‍රති විරෝධතාවකි. චීනය ආර්ථික සහ යුදමය වශයෙන් බලවත්වීමත් සමග සමහර රටවල් චීනය සමග විරසක වී චිනයේ නැගී ඒම වැළැක්වීම සදහා සෑම උත්සාහයක් ම ගනිමින් සිටින බව පෙනේ. ඉන්දියාව ද එම පැත්තේය. ජපානය ද එම පැත්තේය.

යුරෝපයේ බොහෝ රටවල් ද එම පැත්තේය. ලංකාවේ සමහර අය දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ ද එම පැතතේ බවය. චීනයෙන් ණය ගැනීම සහ චීනයට සමහර ආර්ථික ව්‍යාපෘති ලබාදීම පිළිබඳව ප්‍රධාන විවේචකයෙක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. ශ්‍රී ලංකාවට මේ දෙපැත්තම අවශ්‍යය. මේ දෙපාර්ශවයේම රටවල් ශ්‍රී ලංකාවට ණය ලබා දි ඇත. එම රටවල් ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් ය. ඉතා තීක්ෂණ සහ සමතුලිත ක්‍රියාදාමයක් ඔස්සේ මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව තිබේ.

දෙපාර්ශවය සමගම හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් තම ස්වාධීනතාව ද ආරක්ෂා වන අයුරින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යෑම ඔහුගේ බලාපොරොත්තුව වි ඇත. එසේ වුවද ඉතා සුළු සිදුවීමකින් පවා දෙපාර්ශවය විසින් ශ්‍රී ලංකාව සමග ප්‍රශ්න කරන තත්ත්වයකට පත්වීම නිසා එය අභියෝගයක් බවට පත්ව තිබේ.

ශ්‍රි ලංකාවට පැමිණෙන චීන නැව සම්බන්ධ ප්‍රශ්නය එවැන්නකි. එය තම ආරක්ෂාවට බාධකයක් විය හැකි බව ඉන්දියාව සිතයි. චීනය ප්‍රකාශ කරන්නේ එය පර්යේෂණ නැවක් බවයි. මෙවැනි ප්‍රශ්න දෙපාර්ශවයම අමනාප කර නොගෙන විසඳා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් හෝ වැටහීමක් විපක්ෂ දේශපාලන පක්ෂවලට නොමැති බව පෙනේ. එසේ නොමැති නම් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විදේශ සම්බන්ධතා වල ඇති වැදගත්කම අමතක කර ඒවා විවේචනය කිරීමට පමණක් එම පක්ෂ ඉදිරිපත් වී සිටින බව පෙනේ.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයන් පිළිබඳව නිරන්තරයෙන් ම විවේචනය කිරීමට ඔවුහු ඉදිරිපත් වෙති. මෙම රට මුහුණදි සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා විදේශ රටවල සහ ජාත්‍යන්තර මූලය ආයතනවල සහායය තීරණාත්මක ලෙස බල පවත්නා බව ඔවුන් හොඳින් දැන සිටින නමුත් ඒ බව අමතක කරමින් එම විදේශ සංචාර පිළිබඳව දේශපාලන වුවමනාවන් මත අවලාද නගමින් සිටින බව පෙනේ.

කෝවිඩ් යුගයෙන් පසු විදේශ සම්බන්ධතා වලදී විශාල නියඟයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබුණි. එසේ වුවද එම තත්ත්වය දැන් ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. පසුගිය මාස කීපය තුළ විදේශ නායකයෝ රැසක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

විදේශ සමුළු කිහිපයක්ම ශ්‍රී ලංකාවේදි මුළු දුන්නේය. ජනාධිපතිවරයා ඉන්දියාවෙන් ආරම්භ කර දැන් චීනය දක්වා පැමිණ විදේශ සම්බන්ධතා සම්බන්ධ වසන්තයක් ඇතිකර ගැනීමට කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා සමාජ අර්බුදයන් විසඳා ගැනීමේදි එවැනි වසන්තයකින් ලැබෙන සහාය අපට අමතක කළ නොහැකිය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *