විපක්ෂයේ දේශපාලනයටත් ප්‍රතිපත්ති තිබිය යුතුය.

0

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ප්‍රතිපත්ති මුල් කරගත් දේශපාලන ක්‍රියාකාරිත්වය යන්න විහිළුවක් බවට පත්ව තිබෙන බව අමුතු කතාවක් නොවේ. එතැනින් රනිල් වික්‍රමසිංහ වැනි අය වෙනස් වුවත් පොදු තත්වය එලෙසමය.

මේ දිනවල විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමක් ගැන පළවන වාර්තා අනුව යළි විධායක ධුරය ගැන ප්‍රතිපත්තිය සාකච්ඡා කිරීමට පසුබිමක් සලසා දී ඇත. විධායක ජනාධිපතිධුරය එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක ජේ ආර් ජයවර්ධන විසින් 1978 ව්‍යවස්ථාව ගෙන එමින් මෙරටට හඳුන්වා දුන්නේ ඒ වන විට පැවැති සමගි පෙරමුණු පාලනය විසින් පවත්වගෙන ගිය සංවෘත්ත සහ සමාජවාදී කඳවුරට පක්ෂපාත යල්පැන ගිය ආර්ථික පිළිවෙත නිසා රට ආර්ථිකමය වශයෙන් කඩා වැටීමත්, ජාත්‍යන්තරයට සමගාමී සංවර්ධනයක් අත්පත් කරගැනීමට තිබු අවස්ථාවන් අහෝසි කරගැනීම නිසා රට තවදුරටත් දුප්පත් දූපත් රාජ්‍යයක් ලෙස පැවැතීමත් ආදී අයහපත් තත්වයන් වෙනස් කර සීග්‍ර ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හරහා රට නඟා සිටුවීම වෙනුවෙනි.

ජේ ආර් ජයවර්ධනට එවැනි අවංක වැඩ පිළිවෙලක් තුළ කටයුතු කිරීම වෙනුවෙන් විධායක බලය සහිත පාලන ව්‍යුහයක් අවශ්‍ය විය. ඔහු ඒ තුළ මෙරට ආර්ථික විප්ලවයකට මඟ පැදීම සිදු කළේය.

එහෙත් එජාපය හැර සියලුම පක්ෂ පාහේ එදා පෙනී සිටියේ මෙම තනතුර අහෝසි කිරීම වෙනුවෙනි. ඊට හේතු සාධක බොහොමයක් තිබිණි. මෙහිදී වැදගත්ම කාරණය වුයේ මෙම තනතුරට පිස්සෙක් මෝඩයෙක් ජාවාරම්කාරයෙක් වැනි පත්වීමකට මෙරට ක්‍රියාත්මක මැතිවරණ ක්‍රමය යටතේ හැකියාව තිබීම මගින් රට විශාල අනතුරක වැටීමේ ඉහළ සම්භාවිතාවක් විවරව තිබීමය. කෙසේ නමුත් එදා ඒ පෙන්වා දුන් කරුණු අනුවම මෙම විධායක ජනාධිපතිධුරය නුසුදුස්සන් අතට යෑම නිසාම විශාල විනාශයක් කරගත්තේය. රට බංකොලොත් වීමද එලෙස සිදුවුණු බව පසුගිය ගෝඨා පාලනය විසින් හොඳටම ඔප්පු කර තිබිණි.

ඒ කොහොම නමුත් විධායක ජනාධිපතිධුරය වෙනුවෙන් ජනාධිපතිවරණ පැවැත්වූ සෑම අවස්ථාවක්ම පාහේ මෙම විරුද්ධ වූ කොටස් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම හෝ අපේක්ෂකයකු වෙනුවෙන් සහය පල කිරීමක් හෝ කර ඇත. එමෙන්ම විධායකය අහෝසි කරන්නේමැයි කියමින් තරග කළ අයද හැම ජනාධිපතිවරණයකම සිටියේය. එසේ තරග කර ජයග්‍රහණය කළ අයද පොරොන්දුව විසිකර දමා මෙම තනතුරේ බලය හිතේ හැටියට පාවිච්චි කළේය.

මෙරට ජනාධිපතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ මැතිවරණ සටන් පාඨයක් ලෙස විධායකය අහෝසි කිරීම ප්‍රමුඛ කරගත් අය වේ. නමුත් අඩුම තරමින් විධායකයේ බලතල හෝ අඩු කිරීමට පියවර ගෙන තිබුණේ මෛත්‍රීපාල සිරිසේන විසින් පමණි. මහින්ද රාජපක්ෂ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් සිය බලතල වැඩි කරගැනීමටද කටයුතු කළේය. මෛත්‍රීපාල 19 සංශෝධයෙන් එම බලතල අඩු කරගත් නමුදු නැවත ගෝඨාභය විසින් එය පවර ගනු ලැබුවේ 20 වන සංශෝධනය ගෙන එමිනි.

කෙසේ නමුත් සර්ව බලධාරිත්වයක් තිබු නමුත් ගෝඨාභයව එම තනතුරෙන් පහ කිරීමට ව්‍යවස්ථානුකූල පිළිවෙත උල්ලංඝනය කර හෝ මහජන බලයට හැකි වීමත් මේ විධායක ජනාධිපතිධුර ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවකි. එහි තේරුම නම් සෘජු මහජන බලය හමුවේ මෙම විධායක තනතුරත් ඊට යටත් බවය. කොහොමත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පනවා ඇත්තෙත් ජනතාවගේ විධායක බලය මෙම තනතුරෙන් මුර්තිමත් වන බවටය. එය පාලකයා විසින් අමතක කිරීම මෙම තනතුරට පත්වු බොහෝ දෙනෙකුට සිදුව තිබිණි. වැරදි භාවිතාවන්ට ජනාධිපතිවරු යොමු වුයේ ඒ අනුවය.

ගෝඨාභයගෙන් පසුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ 21 සංශෝධනය ගෙන එමින් ඒ මොහොත් පාර්ලිමේන්තුව මඟින් අනුමත කළ හැකිව තිබු යම් බලතල ප්‍රමාණයක් අඩු කරගැනීම සිදු කළ අතර විධායකයට හිමි තවත් බලතල ගනනාවක් පසෙක තබා රජයේ කටයුතු සම්බන්ධයෙන් තීන්දුතීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුවට පවරාදීමටද කටයුතු කර ඇත. විශේෂයෙන්ම මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යධුර නොදරන පසුපෙල මන්ත්‍රීවරුන්ගේ සහයද ආණ්ඩුකරණය සඳහා සම්බන්ධ කරවීම වෙනුවෙන් දියුණු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

ඒ තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන උගත් තරුණ ප්‍රජාවටද ආංශික කාරක සභා හරහා ආණ්ඩු කරණයට සම්බන්ධකරවීමට කටයුතු කර ඇත. එසේම මේ වන විට කෙටුම්පත් කර ඇති ජනසභා ක්‍රමය මගින්ද රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුකරණයට සහභාගිකරවීමේ ක්‍රියාමාර්ගයන් සකස්කරමිද ඇත.
තනි පුද්ගලයකුගේ විධායක බලයකින් රාජ්‍ය පාලනය කිරීම හැකියාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසා ඇතත් ජනාධිපති රනිල් එම බලයත් විමධ්‍යගත කරමින් බහුතරයේ අදහස අනුව ආණ්ඩුකරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට හැරවීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබෙන බවත් ඔහු ඊට අවශ්‍ය තරමේ ආදර්ශයන් සපයමින් පෙන්වා තිබෙන බවත් පැහැදිලිය.

ඔහු විධායක ජනාධිපතිධුරය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමය පිහිටුවීම වෙනුවෙන් කාලයක් පුරා පෙනී සිටින්නෙකි. පසුගිය යහපාලන යුගයේ දීද ඒ වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පුළුල් සාකච්ඡාවක් ඇති කර යෝජනා රැසක් කෙටුම්පත් කිරීමටද පියවර ගෙන තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ අද රටට නොගැලපෙන විධායක බලැති තනි පුද්ගලයකුගේ පාලනයට වෙනස්කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අද තිබෙන දේශපාලනික අවුල් වියවුල් භාවය වෙනස් කර වඩා ප්‍රජාතන්ත්‍රවාදී, රටට වඩාත් හිතකර යෝජනාවක් ක්‍රියාවටනැගීමය.

ඒ ඔහුගේ නොවෙනස් ප්‍රතිපත්තිමය දේශපාලන භාවිතයය. ඒ අනුව රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදයන් පිළිසකර කර රට යම් ස්ථාවරත්වයකට පත් කිරීමෙන් පසුව ඒ නිසි මොහොතේදී එම දේශපාලන ප්‍රතිසංස්කරණයන් වෙත යොමු වීම සිදු වෙනු ඇතැයි කල්පනා කළ හැකිය.

කෙසේ නමුත් මේ වන විට විධායකය අහෝසි කිරීමේ කසු කුසුව තුළ ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග ගැන හෝ හරි හමන් මතයක් පැහැදිලිව පලවී නැති අවස්ථාවක වුවත් විධායකය අහෝසි කිරීම වෙනුවෙන් පෙර යුගවල පෙනී සිටි අයද විධායකය අහෝසි කිරීමට ඉඩ නොදෙන ප්‍රතිපත්තියට මාරු වී සිටිනු දකින්නට තිබේ.

විශේෂයෙන්ම විධායකය අහෝසි කිරීම වෙනුවෙන් ඉතිහාසය පුරා මාරාන්තික සටනක නියැලුන ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ පෙනී සිටින්නේ විධායක ජනාධිපතිධුරය තවදුරටත් රැකගැනීම වෙනුවෙනි. විධායකය අහෝසි කිරීම ආණ්ඩුවේ උප්පරවැට්ටියක්ය, ජනාධිපතිවරයා සිය බලය රැකගැනීමට කර සටකපට වැඩක්ය, කියමින් මේ මොහොතේ ඒ අහොසි කිරීමට විරුද්ධ ප්‍රතිපත්තියකට මාරුවී ඇත.

එසේම සමගි ජන බලවේගයද කියන්නේ දැන් මේක කරන්න ඉඩ දෙන්නේ නැති බවය. ඔවුන්ගේ මතය වන්නේ ද මීළඟ මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටුවා විධායකය අහෝසි කිරීම ගැන කතා කළ හැකි බවය.

යළි මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වසරේදීය. විධායකය අවශ්‍ය බවට පෙනී සිටි පොදුජන පෙරමුණ වෙතින්ද පසුගියදා කියැවුණේ 2025 මහ මැතිවරණයෙන් පසුව ඒ ගැන කල්පනා කළ හැකි බවය. එනම් මේ වන විට පොදු ජන පෙරමුණද ජවිපෙද සජබයද සිටින්නේ එකම මතයකය. එමෙන්ම මෙම පක්ෂ එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවේ.

කොහොම නමුත් විධාකය ජනාධිපතිධුරය අහෝසි කිරීම විය යුතු බව දේශපාලන ක්ෂේත්‍රයේ සහ සමාජයේ බුද්ධිමය කතිකාවත් තුළත් හැමදාමත් තිබුණ ඉල්ලීමකි. සටන් පාඨයකි. පසුගිය අරගල සමයේදීද මෙම සර්වබලධාරී විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට ප්‍රබල මතයක් කුළු ගැන්වී තිබිණි.

සිස්ටම් චේන්ජ් කළ යුතු වීම ගැන පුළුල් සකච්ඡාවක් අරගලය තුළ පැන නැගුණු අතර විධායකය අහෝසි කිරීම එම සිස්ටම් චේන්ජ් හි ප්‍රමුඛ අවශ්‍යතාවයක් විය.

එහෙත් දැන් ගැටලුව ඇත්තේ විධායකය අහෝසි කළ යුතු බව කිව් පාර්ශ්වයන්ම දැන් ඊට වෙනස් මතයක් දැරීමය. ඒ වෙනස එන්නේ විධායකය හෝ ඒ හොබවන පුද්ගලයා හෝ නිසා රටට සිදුවන යහපතක් හෝ වෙනයම් අවශ්‍යතාවයක් ඔවුන්ට පෙනීගොස් ඇති නිසා නොවේ. මේ දේශපාලන තක්කඩිකමය. ඒ තම තමන්ගේ හුදු පාර්ශ්වික දේශපාලන ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ගෙන තිබෙන තීන්දු නිසා බව පැහැදිලිය.

මේ මොහොතේ විධායකය අහෝසි කිරීමේ පියවරකට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියත්, ජනමත විචාරණයක අනුමැතියත් අවශ්‍යය. ජනාධිපතිවරයා එයට මුල් වීම තුළ එහි ජයග්‍රහණයේ දේශපාලනික වාසිය ඔහුට යෑම වැලැක්වීම විපක්ෂයේ වුවමණාවය. මේ අනුව තමන්ට සිදුවන වාසි අවාසි මත තම ප්‍රතිපත්ති වෙනස් කරන පිළිවෙතක් විපක්ෂය තුළ ඇති බව මේ තත්වයන් මත පැහැදිලි වන සරළම කාරණයය. කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නවා කියන්නේ මේකටය.

විධායක බලැති ජනාධිපතිධුරය රටේ දේශපාලනයට විසකුරු නම් ඒ අහෝසි කිරීමට අවස්ථාවත් එළැඹ ඇතිනම් ඒ ගැන තවත් දෙගිඩියාවක් විවාදයක් තිබිය යුතු නැත. ඒ සිදු කළ යුතුය. රටට වගවීමක් ඇති නම් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ සද්කාර්යයට දායක විය යුතුය. ජරාජීර්ණ වී ඇති සිස්ටම් එක වෙනස් කිරීමට මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත යුතුය. අද තිබෙන අවස්ථාව හෙට නැතිවිය හැකිය. මන්ද දේශපාලනය අවිනිශ්චිතය.

තමන් බලයට ආ පසු වැඩේ කෙරෙනවාය කියන පොරොන්දුව තවදුරටත් කිසිවකුත් විශ්වාස කරන්නක් ද නොවේ. ඒ ලණුව මේ රටේ ජනතාව ගිල්ලේ වරක් දෙවරක් ද නොවේ. මේ නිසා තමන්ට වාසි වන පිට්ටනියේදි පමණක් සෙල්ලම් කිරීමට විපක්ෂයේ ඇති වුවමණාව ඔවුන්ගේ හුදු බලලෝභය පෙන්වීමක් පමණක් වන අතර අවසාන වශයෙන් රටේ ජනතාවට අලාබයක්ම ඉතුරු කරන්නක් බවත් කිව යුතුය. අද රට බංකොලොත් තැනට ඇද වැටීමට මේ පාර්ශ්වික දෙබිඩි දේශපාලනය හේතුවක් වූ බවත් සත්‍ය කරුණකි.

කොහොම නමුත් රට අර්බුදයට ගොදුරු වූ මොහොතේ රට බාරගැනීමට කළ ආයාචනය මේ ජවිපෙ සජබ විසින් ප්‍රතික්ෂේප කරන තැනට උපක්‍රම තේරුවේ රට ගොඩ ගැනීමේ කාර්යය ඔවුන්ට කළ නොහැකි නිසාය. ඒ තිබුණු අවධානම අනුව තමන් අසමත් වන බව දැනගෙනය. ඒ අවාසි වන බව දැනගෙනය. කොහොමත් එදා තනතුරු ලෝබයෙන් හෝ රට බාර ගත්තානම් රට අද සොහොන් පිටියක් වනවාටත් සැක නැත.

ඔවුන්ගේ දේශපාලනයත් අවසන් වෙනු ඇත. ඒ නිසා ඔවුන්ට වාසිදායක මොහොත එළැඹෙන තුරු කල් මැරීම සිදුවෙමින් තිබේ. එහෙත් රටේ වගකීම බාරගත් රනිල් යන්තම් රට ගොඩදැමීමට අවශ්‍ය පියවර එකින් එක ක්‍රියාත්මක් කරමින් තිබුණත් වගකිව යුතු විපක්ෂ ලෙස එම කාර්යභාරයටවත් සහය නොවී සිටීමේ ප්‍රතිපත්තියකට විපක්ෂය මාරුවුණේ ඒ සාර්ථකත්වය මත ඔවුන්ට සිදුවන දේශපාලනික අවාසිය නිසා බවත් පැහැදිලිය.

මේ අතර රනිල්ගේ නිවැරදි පිළිවෙත් වල සාර්ථකත්වය ඉදිරියේ මේ කණ්ඩායම් වල පැරණි ප්‍රතිපත්ති අංශක 180 කින් වෙනස් වීමද නිරික්ෂණය කළ හැකිය. මුල්‍ය අරමුදට ගිහින් ගොඩ ගිය රටක් නෑ කියපු අය අද මුල්‍ය අරමුදල සමග වැඩකිරීමට සුදානම්ය. මුල්‍ය අරමුදලේ යම් නිර්දේශ ක්‍රියාත්මක් වීම රජය වෙතින් ප්‍රමාද වීම මත එම ණය වාරික නොලැබෙන කොට එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන රජයට චෝදනා කරන තැනටත් මේ අය වෙනස් තිබේ.

රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතු බව රනිල් කියන කොට මේ අයද එයම කියන්නට ගත්තේය. ඒ ප්‍රමාද වෙනකෙට රජයට චෝදනා කරන්න පටන්ගෙන තිබේ. මේ ආදී වශයෙන් තමන් දැඩිව එල්බගෙන සිටි ප්‍රතිපත්ති අද මාරු කරගන්නා තැනට පත් වන්නේ රජයටවත් ජනතාවටවත් ඇති ආදරයක් නිසා නොවේ. කෙසේ හෝ රජයට එරෙහිවීම විය යුතු නිසාය.

එතනදි තමන්ගේ ප්‍රතිපත්ති අදාල නැත. මේ පෙන්වමින් සිටින්නේ තමන්ට අත්පත් කරගත හැකි දේශපානික වාසියක් ඇති නම් ඒ ඩැහැ ගැනීමේ පෙරේතකම මත ඕනෑම දහදුරා වැඩක් වුව කිරීමේ සුදානමය.

මේ අතර පවතින අවුල් සහගත මැතිවරණ ක්‍රමය වෙනස් කර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට මාරු වීම වෙනුවන් රජය ගන්නා පියවරයන්ටද මෙම විපක්ෂය දැනටමත් විරෝධය පළ කර ඇත. පැරණි ක්‍රමයම තවදුරටත් තිබිය යුතු බව කියමින් සිටී. තමන්ගේ වාසිය වෙනුවෙන් එකම දෙයට විටෙක විරුද්ධ වෙමින් තවත් විටෙක පක්ෂ වෙමින් දේශපාලන පක්ෂ නටන මේ නාඩගම් වලින් මේ රට වැටී තිබෙන ගොහොරුවෙන් ගොඩ එනවා නම් බොරුය.

කාලයක් ජනප්‍රිය කතාවක්ව තිබුණේ මේ රට හදන්න නම් පාලකයන් මාරුකිරීමට පෙර ජනතාව මාරුකිරීම විය යුතු බවය. නමුත් අද පාලකයාත් ජනතාවත් නිවැරදි දේ සමග සිටින විට රට හදන්න වගවීමක් ඇති, ප්‍රතිපත්තියක් ඇති විපක්ෂයක් නොමැති වීමේ ගැටළුව මතුව තිබෙන බව පැහැදිලි කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *