හිස් ටිං බෙලෙක්ක හැඬුවත් මරගාතේ රට ජයගොස නඟයි හෙට දිනේ

0

මේ රටට ලොකුම වින්නැහිය සිදු කළේ එදා වේල දේශපාලනය විසින්ය. ටිකක් බරසාරව කිව්වොත් දේශපාලනයේ අවස්ථාවාදයත් නරුමත්වයත් මේ රට බංකොලොත් කළේය. නැත්තටම නැතිකර දැම්මේය. ඒ නිශ්චිත දේශපාලන ආර්ථික වැඩපිළිවෙළක් මේ රටේ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙමින්ය. නමුත් ඔවුන් තවදුරටත් ඒ අවස්ථාවාදී, නරුම දේශපාලනයේ නිරතව ඇත. රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදුන් පසුවවත් ඔවුන් ඒ දේශපාලනය අවසන් කර නොමැත. වැටුණු රට අසීරුවෙන් ගොඩ නගමින් ඇති මොහොතේ ද ඔවුන් ඒ දුෂ්ඨ දේශපාලනය පෙරට ගෙනවිත් ඇත. පක්ෂ පාට ප්‍රතිපත්ති පමණක් නොව, දෛනික සටන් පාඨ පවා වෙනස් කරමින් පෙරමුණට පැමිණ ඇත. ඒ එළැඹුමේ අලු‍ත්ම ප්‍රෝඩාව IMF වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්ය.
අවස්ථාවාදී නරුම දේශපාලනය මේ මොහොතේ උත්සාහ ගනිමින් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනගන වැඩපිළිවෙළ ක්ෂුද්‍ර අංශු ලෙස ගලවා වෙන්කොට, ඊනියා දෝෂ පෙන්වා එහි ප්‍රගතිය වසං කිරීමටය. සමස්ත වැඩපිළිවෙළම ඒ හරහා අනතුරක් ලෙස ඒත්තු ගැන්වීමටය. ඒ හරහා 2024 මැතිවරණ වසර ඔවුන්ගේ කරගන්නටය.
මැතිවරණ ජය පරාජය කාගේ වුවත්, වත්මන් වැඩපිළිවෙළ ද අසාර්ථක කරගතහොත් මේ රටේ මිලියන 22ක ජනතාවගේ ඉරණම පාළු සුසානයකය. රට පැවති තත්ත්වයට සාපේක්ෂව සැනසුම් සුසුම් හෙළන තත්ත්වයට පත්ව තිබුණත් අර්බුදය අවසන් නැත. අවධානම එසේමය.
ජනාධිපති රනිල් මේ දුෂ්ඨ බලවේග එක් මේසයක් වෙත කැඳවූයේ ද එනිසාය. එහිවූ අපේක්ෂාව වූයේ, පක්ෂ විපක්ෂ විවෘත සංවාදයකට පසුව, ඒ යෝජනා, ප්‍රතියෝජනා, විසංවාද සමඟ IMF නියෝජිතයන් අභිමුඛ වීමය. ඒවාට අදාළ IMF ප්‍රතිචාරය ලබා ගැනීමය. ඒ ශුද්ධ වූ අපේක්ෂාව තුළ ජනතාවට ද තමන්ගේ ඉරණම ගැන විවෘත තීන්දුවක් ගන්න පුළුවන. නමුත් අවස්ථාවාදී නරුම දේශපාලනය ඒ අවස්ථාව ප්‍රයෝගකාරී
ලෙස මඟ හැරිය අතර, විවෘත කතා බහකට අදාළ තීරණය ගැනීමට මුල් වූ සජබ හර්ෂ පවා අන්ත අසරණ විය. ඔහු සජිත්ගේ ගිලටීනයෙන් හිස බේරාගත්තේ IMF සමග සාකච්ඡා කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලීම එකක් නොව දෙකක් බව කියමින්ය.
එහෙත් සත්‍යය එය නොවේය. IMF සමඟ වන වැඩසටහන සහ ලංකාවේ ණය හිමියන් සමඟ වන සාකච්ඡාව, රට මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත්කර තිබෙන සමස්ත වැඩපිළිවෙළෙන් වෙන් කළ නොහැකිය. එය පොදු වැඩපිළිවෙළක එකිනෙක වෙන් කළ නොහැකි සමස්තයකි.
මෙහිදී පළමුව සඳහන් කළ යුතුව ඇත්තේ IMF බලහත්කාරයෙන් පැමිණ, අර්බුදයෙන් ගැලවෙන්න ලංකාවට වැඩපිළිවෙළක් ඉදිරිපත්කර නොමැති බවය. ඔවුන් පැමිණියේ අපේ අවශ්‍යතාවය නිසාය. ඔවුන්ට අප ආරාධනා කළේද ඒ මිස වෙනත් ගැලවීමක් නැති නිසාය. ඒ ගැන කවුරු මොන බයිලා ගැහුවත් ජවිපෙ මාලිමාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය youtube නාලිකාවක් සමග සාකච්ඡාවක් තුළ ඇත්ත එළියට දැම්මේ මෙහෙමය.
එහිදී ඇය කියන්නේ, ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවාගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බවය. ණය ගැනීම වරදක් නොවන බව පෙන්වා දෙන ඇය ගැටලු‍ව වන්නේ ණය භාවිතා කරන ආකාරය බවද පෙන්වා දෙන්නීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වර්තමාන වැඩපිළිවෙළ සිදු කරගෙන යාමට තම ආණ්ඩුවට ද සිදුවනු ඇති බවද පවසන ඇය තමා එය තම තේරීම නොවුනද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදු කළ යුතු බවත් කියා සිටියාය. බදු ඉහළ දැමීමට තමන් එකඟ බවත් පවසන ඇය රටක් පවත්වාගෙන යාමට බඳු නැතිව නොහැකි බවද පවසා, නමුත් බදු ඉහළ දැමීමට නම් ආදායම ඉහළ දැමීමද වැදගත් බව පවසන්නීය.
මේ කියන්නේ කුමක්ද? ඇගේ මේ ප්‍රතිපත්තිය සහ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙළ තුළ ඇති වෙනස කුමක්ද? එහි කිසිම වෙනසක් නැත. ඒ හමුවේ පැහැදිලි වන්නේ ජවිපෙ මාලිමාව නියෝජනය කරන හඳුන්ලා, වසන්තලා ගෙනෙන විවේචන නරිවාදන් බවය. හරිනි විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙස සැබෑව පිළිගන්නා විට උපන්ගෙයි දේශපාලන තක්කඩි වන හඳුන්ලා, වසන්තලා සිය සුපුරුදු අවස්ථාවාදී නරුම දේශපාලනයේ පිහිටා කටයුතු කරන බවය. තමන්ද වගකිවයුතු අර්බුදයට විසඳුම ජනාධිපති රනිල් ඉදිරිපත් කරන විට නරක් වෙන්නත්, ඒකම වචන වෙනස් කර හර්ෂලා, හරිනිලා, අනිල්ලා කියන විට හොඳ වීම තුළත් ඇත්තේ නරුම අවස්ථාවාදය මිස අනෙකක් නොවේය.
ඒ අනුව රට ගොඩනගන්න නම් ඊට ඇති එකම මාර්ගය ජනාධිපති රනිල් ඉදිරිපත් කරතිබෙන නව ප්‍රතිසංස්කරණ ඇතුළත් වැඩපිළිවෙළය.
මෙහිදී විශේෂ අවධානයක් යොමුකළ යුතු කාරණයක් ඇත. ඒ මීට පෙර IMF යන විට ණය ගෙවාගෙන යාමේ හැකියාව අහිමිව ගොස් තිබුණේ නැත. නමුත් 17 වෙනි වාරයේ IMF යන්නේ මේ කියන ණය තිරසරභාවය අහිමි කරගෙනය. එහිදී එල්ලවූ අභියෝගය වූයේ ඒ අවස්ථාවේ ෂඵත්‍ සහාය ලැබීමට පවා, ඉතිහාසයේ ප්‍රථම වතාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ කැමැත්ත ගැනීමට සිදුවීමය. ඔය අද වෙන්ඩ ජනාධිපති වෙන්න පොරටෝක් දෙන විපක්ෂයේ නායකයන්, 2022 රටේ වගකීම භාර නොගෙන පළා ගිය රහසත් ඒකය.
ජනාධිපති රනිල් වගකීම භාරගත් අවස්ථාවේ, ඔවුන් කුරිරු සතුටක් ලැබුවේද ‘ඕක කවදාවත්, කාටවත් කරන්න බැරි වැඩක්.. මේ පාර තමයි ආසියාවේ මොළේ ඇණ ගන්නේ’ කියමින් ය. රට ගොඩනගන වැඩපිළිවෙළට වචනයකින් හෝ දායක නොවූයේද, කුරිරු සතුට වේලාසනින් ලබන්නය.
එහෙත් ඒ අවස්ථාවාදී නරුම දේශපාලනයේ තක්සේරුව වැරදි ගියේය. කවදාවත් කාටවත් කරන්න බෑ කියූ දේ ජනාධිපති රනිල් කර පෙන්වීය. ඒ වෙනුවෙන් විදෙස් ණය පමණක් නොව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවිය. ඒ අවස්ථාවේ පවා, අවස්ථාවාදී නරුම දේශපාලනය ජනතාව භීතියට පත් කරේ, සේවක අර්ථසාධක අරමුදල ඉවරයි කියාය. ඒ ගැන සංඛ්‍යා දත්ත ද ඒ තක්කඩි ඉදිරිපත් කළහ. බැංකු පද්ධතිය කඩාවැටෙන බව කීවේය. ඒ අවස්ථාවේ බැංකු තැන්පත්කරුවෝ වම්මුන්ට බම්බු ගහන්න කියා බැංකුවල තිබූ තමන්ගේ මුදල් එළියට නොඇද්දේ රටේ වාසනාවටය. වැරදිලා හෝ බැංකු තැන්පත් මුදල් එළියට ඇද්දා නම් රට ඉවරය. කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක විය. වම්මු හෝ ලිබරල් කියාගත් සමහර වාචාලයන් කිව්වේ බොරු බව සනාථ විය.
අවස්ථාවාදී නරුම දේශපාලනය ඒ ආකාරයට පීචං වන පසුබිමේ, ආණ්ඩුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ද එම ණය හිමියන් සමග එකඟතා ඇතිකර ගන්නට සමත් විය. දැන් ඇත්තේ ඔවුන් සමග ගිවිසුම්ගත වීමටය.
මේ මොහොතේ රට පසුකරමින් සිටින්නේ එම ක්‍රියාවලියය. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ තුන්වන ණය වාරිකය වෙනුවෙන් වන කාර්ය මණ්ඩල එකඟතාව හිමිවූයේ වත්මන් වැඩපිළිවෙළ සාර්ථක බව තවදුරටත් සහතික කරමින්ය. පූර්ව කොන්දේසි අනුව නම් ෂඵත්‍ හී තුන් වන ණය වාරිකය ලැබීමට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එම ණය හිමියන් සමග අවසන් එකඟතා ගැන ගිවිසුම්ගත වීමට අවශ්‍යය. ඊට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපයක් තුළ පැවැත්වීමට නියමිතය. එසේ තිබියදී පවා IMF තුන් වන වාරිකය වෙනුවෙන් කාර්ය මණ්ඩල එකඟතාව හිමිවන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සාර්ථක නිසාය.
එසේ නම් තවදුරටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මෙන්ම IMF සමග වන වැඩසටහන සම්බන්ධයෙන් අවස්ථාවාදී නරුම දේශපාලනය විසින් තර්ජනාංගුලි එල්ල කරන්නේ අන් කිසිවක් නිසා නොව මේ වැඩපිළිවෙළ සාර්ථකවීම හමුවේ ඔවුන්ගේ කාලකන්නි ප්‍රාර්ථනා සුන්නද්ධූලි වෙමින් ඇති නිසාය.
එයින් ගැලවිම ලබන්න ඔවුන් කියන්නේ, තමන් පිහිටුවන ආණ්ඩුවක දී මේ ගිවිසුම් අවලංගු කරන බවය. සමස්තය නැවත සමාලෝචනය කරන බවය. ඇතැම් ණය නැවත ගෙවනවාද යන්න පමණක් නොව ගෙවිය යුතු ණයත් ගෙවන්නේ කවද්ද? කොහොමද යන්න පවා සලකා බලන බවය. මේවා වචන වුවත් එවැන්නක් වැරදීමකින් හෝ සිදුවුවහොත් සිදුවන්නේ කුමක්ද? එදා කැලණි නයින්ට හසුවූ, අද පාට පක්ෂ ප්‍රතිපත්ති මාරු කර ඇති ඊනියා වාමාංශික නරින්ගේ පස්සේ වැටුණු කොයි කවුරුත් ඒ ගැන අවධානය යොමුකළ යුතුව ඇත.
මේ මොහොතේ බොහොම උජාරුවට ‘මොනවා වුණත් අපි මාලිමාවට’‍, ‘පුතාණෝ පිස්සා වුණත් අපි සජබට’‍ කියන ඔය කොයි මැට්ටත් මේ වග අවබෝධ කරගෙන රැඟීම
වඩාත් සෞඛ්‍යාරක්ෂිත වන්නේ, කෙළවුණොත් කෙළවෙන්නේ, රනිල්ට හෝ රාජපක්ෂවරුන්ට පමණක් නොව තමන්ද ඇතුළුව මිලියන 22ක ජනතාවටම වන නිසාය.
ඉකුත් මාර්තු 11 වැනි දින පැවැති, විපක්ෂයේ සුමන්තිරන් පමණක් පැමිණි
රැස්වීමේ දී ද්විපාර්ශ්වික ණය හිමියන්, වාණිජ ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා පිළිබඳ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් පුළුල් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි. මෙම වසරේ (2024) ජූනි මාසය අවසන් වනවිට මෙම සාකච්ඡා මාලාව අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී සඳහන් කෙරිණ. ඒ අසා සිට එළියට පැමිණි සුමන්තිරන්, IMF සමඟ වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙළ වෙනුවෙන් තම සහාය ලබාදෙන බව කියන තැනට පත්වුණේ වැරදිලා නොව, ඉදිරිය එතරම් අභියෝගාත්මකය යන යථාර්ථය මඟ හැරීමට නොහැකි වූ නිසාය.
කොහොම වුණත් මේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන්න ඒ පවසන වචන තරම් සරල නැත. නිදර්ශනයක් ලෙස මෙරට ණය හිමි රාජ්‍යයන්ගෙන් සමන්විත පැරිස් සමාජය සලකා බැලුවහොත්, ප්‍රංශය විසින් ප්‍රමුඛ බටහිර ණය දෙන රටවල් 1950 ගණන්වලදී ණය ආපසු ගෙවීමට නොහැකි රටවල් සඳහා ණය සහන විසඳුම් ක්‍රියාවලියක් නිර්මාණය කළේය. එය හැඳින්වූයේ “පැරිස් ක්ලබ්” ලෙසින්ය. අද මේ පැරිස් සමාජයේ රටවල් 22ක් ඇත. පැරිස් සමාජය, ණය හිමියන්, ණයගැති රටවලට ණය කල් දැමීමෙන් හෝ ණය සහන ලබා දීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත. තවද 1990 හූස්ටන් කොන්දේසි යටතේ පැරිස් සමාජයේ ණය හිමියන් පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා ඒකාබද්ධ ණයවලින් කොටසක් අඩු කළ හැකි වගන්තියක් හඳුන්වා දී තිබේ. ඊට අමතරව 1991 පැරිස් සමාජ ගිවිසුම්වල වගන්තියක් පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා ද ණය පරිවර්තනය ක්‍රියාවලියක් හරහා හඳුන්වා දෙනු ලැබිණ. පැරිස් සමාජය සාමාන්‍යයෙන් ණයගැති රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධීක්ෂණය කරන ප්‍රතිසංස්කරණ වැඩසටහනක බැඳුණු ක්‍රියාවලියක් සඳහා සහාය දක්වයි. නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම පවතින නිර්ණායක පවා සංශෝධනය කිරීමට පැරිස් සමාජය තීරණය කර ඇත. ඒ සිය මූලික අභිලාෂය අනුව ඔවුන්ට වෙනස් නොවී බැරි තැනට කාර්ය සාධනය සාර්ථක කරපෙන්වීමට ජනාධිපති රනිල් ප්‍රමුඛ රජය සමත්ව ඇති නිසාය. ඒ නුතන ණය අර්බුදයට සහ වැරදි ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් යළි ගොඩ ගැනීමක් ගැන විශ්වාස කළ නොහැකි ගෝලීය උදාහරණයක් ලෙස වර්ගීකරණය කර තිබූ ලංකාව, ඒ ඉරණම වෙනස් කරගන්න තරම් ඓශ්චර්යයක් පෙන්වූ නිසාය.
මීට පෙර එතරම් දරුණු ආර්ථික අර්බුදයක නොතිබූ රටවල් පවා අසමත්වූ, දුෂ්කර කොන්දේසි අතික්‍රමණය කර සැනසීම ලැබිය හැකි තැනට ලංකාව පැමිණ ඇති නිසාය. මේ මොහොත වන විට ලංකාව නූතන ගෝලීය ණය අර්බුදයෙන් ගැලවීමේ සහ ඊට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ආදර්ශයක් බවට පත්ව ඇති නිසාය.
ඒ අනුව නම් ෂඵත්‍ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතර පැහැදිලි සම්බන්ධයක් ඇත. එකක් කෙරෙහි දක්වන විරෝධය හෝ සංශෝධනය අනෙකෙහි සම්බන්ධය තීරණය කරන්නේය. ඒ කියන්නේ IMF සමඟ වන වැඩපිළිවෙළ අර්බුදයට ගියොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට යන්නේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට ගියොත් යළිත්, ණය තිරසරභාවය අර්බුදයට ගොස් ගෝලීය මූල්‍ය බලවතුන් සමග ගනුදෙනුව ඇණහිටියි. අනෙක් අතට රට ගොඩනැගීමට අදාළ සමස්ත වැඩපිළිවෙළ ඊනියා එළැඹුම් හරහා ඛණ්ඩනය කළ නොහැකි බවත්, ජනතාව තේරුම් ගත යුතුය.
ඒ ගැන වන කදිම නිදර්ශනය නම් ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් පසුගියදා මෙරට සිදු කළ සංචාරය අවස්ථාවේ කළ කී දේය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ වූ හමුවේ දී ඇය IMF සමඟ වන වැඩසටහන ගැන පමණක් නොව, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධව රටේ සුළු පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡා මෙන්ම, සංහිඳියාවට අදාළව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුකර සිටියාය.
ඒ කියන්නේ ජනාධිපති රනිල්ගේ මේ මාර්ගයේ ඉදිරියට යාමට මිස ආපසු හැරවීමට ඉඩක් නොමැති බව නොවේද? යම් ආකාරයක ආපසු හැරීමක් පෙරළා අර්බුදයට අතවැනීමක් විය නොහැකි බව නොවේද? එබැවින් ගතයුතු තීන්දුව වන්නේ තවදුරටත් අවස්ථාවාදී නරුම දේශපාලනය වෙනුවෙන් ඉරණම අවධානමේ දමා ගැනීමද? නැත්නම් ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙළ ඔස්සේ විමුක්තිය ලැබීමද? හිස් ටිං බෙලෙක්ක මොන සද්ද නැගූවද මිලියන 22ක ජනතාවගේ නිහඬ බහුතරය ගන්නා තීන්දුව මත සියල්ල තීරණය වනු ඇත.

……..කුසල් ජයම්පති……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *