සජීටම කැපෙන බනානා සුජී

මහා ගං වතුරකට ගසාගෙන යන දිරා පත් වූ කොටයක් උඩට ගංවතුරේ පාවෙමින් සිටින සියලු සතුන් පණ බේරා ගැනීමට එයට ගොඩ වූ කතා පුවතක් අප අසා ඇත්තෙමු. මේ කතාව මේ දිනවල හරියටම ගැලපෙන දේශපාලන පක්ෂයක කණ්ඩායමක් සිහියට නැගේ. ඒ අන් කවරක් නොව දේශපාලනය නැමැති ගං වතුරේ ගසා ගෙන යන දිරච්ච කොටයක් වැනි සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයයි. දැන් මෙයට ගං වතුරේ ගසාගෙන ගොස් අතරමං වූ පිරිස් එකතු වෙමින් සිටී. මෑතක එසේ ගසාගෙන ගිය අයෙකු ගොඩ වූයේය. ඒ මීට වසර කිහිපයකට පෙර මහ මැතිවරණයෙන් පැරදුණු දුකට දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූ සුජීව සේනසිංහය.

සජිත් ප්‍රේමදාස ඒ අතින් මරුය. ඕනෑම කුන්ඩවාලියක් තමන්ගේ ඔඩොක්කුවට දාගැනීමට තරම් අසරණ වූ තැනකට පත්ව තිබීම සුජීවලාට ඕනෑම මොහොතක නැවත පැමිණීමට ලැබුණු චාන්ස් එකය. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු හා ප්‍රචාරක ලේකම්කමද පිරිනමා ඔහු සජබයට නැවත වද්දා ගත්තේය.

ප්‍රේමදාසට අවශ්‍යව තිබුණේ තමන්ටම හරි යන කට වාචාලකමක අඩුවකි. එය සපුරා ගැනීම සඳහා සුජීව සේනසිංහ කදිම බඩුවකි. සජිත්ගේ පියාණෝ රණසිංහ ප්‍රේමදාස යුගය සිහිපත් කරවන්නට මේ නව ප්‍රචාරක ලේකම්ගේ භූමිකාව සමත්ය. එදා රණසිංහ ප්‍රේමදාස වෙනුවෙන් කටවාචාලක්ම ප්‍රශස්ති ගැයු අය සිටියේය. රණසිංහ ප්‍රේමදාසගේ ඕනෑම ක්‍රියාවක් අනුමත කරමින් සාධාරණීයකරණය කරමින් එය මනාව ඉටුකර දීමට එදා ඒ.ජේ.රණසිංහ සුදුසුකම් සැපිරීය. ජනමාධ්‍ය අමාත්‍යධුරයද දැරූ ඒ.ජේ. රණසිංහ ඒදා ප්‍රසිද්ධියේ කීවේ ප්‍රේමදාසගේ සෙරෙප්පු වලින් සුප් හදා බීමටද තමන් සූදානම් බවය. එතරම්ම වහල් භාවයක්ම ඔහු පෙන්වා තිබිණි. දැන් සජිත් ප්‍රේමදාසටද ඒ.ජේ. රණසිංහ කෙනෙක් ලැබී ඇත. ඒ සුජීවය.

මේ සුජීව ගැන කත්නදරත් ගොඩකි. යහපාලන යුගයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ බැඳුම්කර ගනුදෙනුව ගැන ඔහු දරු මතය වැරදි හෝ නිවැරදි වූවද ඒ සඳහා අල්ලසක් ගත් බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබිණි. 2016 වසරේ සුජීව සේනසිංහ ඇමතිවරයෙකු ලෙස සිටිමින් කඩුවෙල ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්වයට මුහුණ දුන් අසරණ ජනතාවට එම තත්වයෙන් මුදවා ගැනීම සදහා කළ යුතු කාර්යයන් ගණනාවක් තිබියදී බෝට්ටුවක නැගී අවතැන් වූ ජනතාවට කෙසෙල් ගෙඩිය බැගින් බෙදමින් ගියේය. මේ නිසාම බනානා සුජී යන අන්වර්ථ නාමයක්ද පට බැදුනේය.

බනානා සුජී ටෙන් පසන්ට් සුජී බවට පත් වන්නේ ජර්මනියේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ විදුලි දුම්රිය පෙට්ටි නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා ජර්මනියේදී පැවැති සාකච්ඡාවකදීය. ඒ අදාළ ආයෝජනය සිදු කිරීම වෙනුවෙන් තමන්ට සියයට 10ක කොමිස් මුදලක් ඉල්ලා සිටීම හේතුවෙනි.
කෙසේ නමුත් එය ලබා නොදීමට අදාළ ආයෝජකයා හා ඔහු නියෝජනය කරන ජර්මානු සමාගම තීරණය කළේය. ඊට අදාල හඬ පටයන් ප්‍රසිද්ධ කිරීමක් සිදුව තිබිණි. එහිදී ඔවුන් සුජීව සේනසිංහට කියා සිටියේ ලංකාවට අතිශය වටිනා කර්මාන්තයක් ඔබගේ මේ කොමිස් මුදල් ඉල්ලීම විසින් නැවතෙන බවයි.

මෙහෙව් සුජීව දැන් වේදිකා ගත වී ඇත. ඒ පසුගිය කාලයේම සක්වල බස් රථ පාසල් වෙත ලබා දීම සම්බන්ධයෙන් සජිත්ට තැලූ ජවිපෙට බැටදීම සඳහාය. බස් රථ බෙදීම ජවිපෙ නායකයාට රිදෙන් වැඩක් වූයේ අනුර ගිය පාසලට බස් රථයක් ප්‍රදානය කර සජිත් ජවිපෙ විවේචනය කිරීම නිසාය. ඒ සමඟම ජවිපෙ දිගින් දිගටම සජිත්ට තලන්න පටන් ගත්තේය. ඒ ජවිපෙ තැලීම සජිත්ට සෑහෙන්න රිදී ඇත. ජවිපෙ විසින් දිගින් දිගටම කියා සිටියේ රටේ විපක්ෂ නායකවරයා දේශපාලන වාසි ලබාගැනීම සදහා බස් රථ බෙදමින් යන බවත් එය මෙවැනි ආර්ථිකමය වටපිටාවක නොකළ යුත්තක් බවයි. එසේම දේශපාලන විහිළු සපයන්නෙකු බවට සජිත් පත්ව ඇති බවද ඔවුන් අවධාරණය කර සිටියේය.

සුජීව වේදිකාවට ගොඩවන්නේ සජිත් විසින් ඔහුට පැවරූ ජවිපෙට ගැසීමේ කාර්යය භාර්යය ඔලුවේ තබාගෙනය. එය මනාව ඉටු කිරීමට සමත් අයෙකු බව දක්වමින් ජවිපෙ පට්ට් ගැසීම සුජීව අඛන්ඩව කරමින් යයි. රාජපක්ෂවරු බලයට ගෙනාවේ ජවිපේ බව කියමින් ඔහු වැඩ පටන් ගත්තේය. එසේම ආර්ථික වැඩපිළිවෙල ගැන කට මැත දෙඩෙව්වාට ප්‍රායෝගික තලයේ කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවද සඳහන් කරමින් මිනුවන්ගොඩ පැවැති සජබ රැළියකදී ඔහු සදහන් කොට සිටියේ තමාගේ වියදමින් ජවිපෙට සුපර්මාර්කට් එකක් ලබා දෙන බවත් එය කරගෙන යාමට අනුර කුමාරට භාර දෙන බවයි. එසේම එහි මැනේජර් ලෙස අනුරද, කැෂියර් එකට හඳුන්නෙතිද , ආරක්ෂාවට ලාල් කාන්ත ද, ෆාමසිය දොස්තර නලින්ද ජයතිස්සටද විජිත හේරත්ට ගිණුම් තැබීමටද සේල්ස් අංශය වසන්ත සමරසිංහටද භාර දී කැට දැමීමෙන් තොරව ටිකට් විකිණීමෙන් තොරව මෙය මාස හයකින් දියුණු කොට පෙන්වන ලෙස අභියෝගයක් එල්ල කොට කියා සිටියේ මෙය කරගෙන යාමට ඔවුන් කළ නොහැකි බවයි. එහෙව් ජවිපෙය රටක ආර්ථිකය හදන්නේ කෙසේද යන්නයි.

සුජීව සේනසිංහගේ කට මැත දෙඩවිල්ල පුස්සක් වන්නේ දැන් ජවිපෙ ඇති ආර්ථිකමය වටපිටාව නොදන්නා නිසාය. මාලිමාව වටා එකතු වී ඇති මහා ධනවත් ව්‍යාපාරිකයන් විසින් සුපර් මාර්කට් සිය ගණනක් වුව ලබාගැනීමට තරම් වත්කමක් ඔවුන් සතුව ඇති බව සුජීව නොදන්නා දෙයය. කට මැත දෙඩෙව්වාට සුජීවට ගත හැකි සුපර්මාර්කට් එකක් නැත. එසේ ගත හැකි නම් සුජීව නැවත දේශපාලන වේදිකාවට පැමිණෙන්නේ ද නැත.

සජිත් ප්‍රේමදාස දැන් වැටී ඇති තත්වය ගැන හොදම පූර්වාදර්ශය සුජීව සේනසිංහගෙන් කියවා ගැනීම අතිශය මනරම්ය. සජිත්ට ගැලපෙන ප්‍රචාරක ලේකම් තනතුර සදහා සුදුස්සකු සජබය තුළ නැත. මරික්කාර් සහ හිරුණිකා ඒ සඳහා සෑහෙන්න උත්සහගත් නමුදු ඒ අසාර්ථක විය. මන්ද මෝඩකමට කට වාචාලකම් දොඩවීම පමණක් මීට ප්‍රමාණවත් වී නැති නිසාය. සජිත්ට තකට තක සෙට් වෙන්නේ සජිත්ගේ වර්ගයේම විහිළුකාරයෙකි. සෙරෙප්පු සුප් බීමේ සූදානම ඇති අයකුය.

මේ වන විට සජිත් සුජීව ලවා රනිල් වික්‍රමසිංහටද බැට දීමට පටන් ගෙන ඇත. ඒ අසාර්ථක නායකයෙකු පක්ෂය නැති කළ නායකයෙකු බව පවසමිනි. ඒ සදහා ඔහු අතීතයේ සිටි එජාප නායක ලැයිස්තුවක් ගැන කියයි. එම පිරිස අතරට සජිත් ප්‍රේමදාස ස්ථානගත කරන්නේ ජනතා දුක හඳුනන නායකයෙකු ලෙසය. හැබැයි ජනතා දුක නැතිකරන්න රට බාර ගන්න කියපු මොහොතේ සජිත් සැඟ වුණ බව ඔහු කියන්නේ නැත. අභියෝග හමුවේ පළා යන්නකු බව කියන්නේ නැත.

පියාණෝ කළ වැඩගැන කටමැත දොඩවනවා හැර, ආර්. ප්‍රේමදාස මහතාගේ පුතෙකු ලෙසවත් වැඩ කිරීම ගැන සමත්කමත් සජිත් පෙනවා නැත. කවර කලකවත් සජිත්ට පක්ෂ දේශපාලන නායකත්වයක් හොබවන්නට තරම් හෝ වැඩපිළිවෙලක් නොතිබුණේය. ලබා දුන් ඇමතිධුරවලින් සංදර්ශන පවත්වමින් වැඩ කරන බව පෙන්නුවා මිස වැඩකට ඇති දෙයක් කර නැත. වැඩ විදිහට දැන්නේ දිනිපතා මොන මොනවා හෝ බෙදමින් රට පුරා යෑම පමණි. ඒ වෙනුවෙන් ද රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇත. ගසා කෑම් හා වංචා සිදුවීම් කප්පරක් සිදුවූ අමාත්‍යංශයක් ලෙස සජිත් සිය අමාත්‍යංශයද පත් කර තිබිණි. රජයේ මුදල්ද අවභාවිතා කොට ඇති බවට කෝප් වාර්තා මඟින්ද හෙළි විය. සජිත්ගෙ ඇමති කෙරුවාවද එලෙසය. සුජීවට දැන් ජනදුක හඳුනන නායකයාය කියන්න සිදුව ඇත්තේ මේ සජිත් ගැනය.

සජිත් තරුණයන්ට රජයේ රැකියා බෙදුවේ ”උසනම් සිකුරිටු -කොටනම් කම්කරු” ලෙස ප්‍රතිපත්තියක් යටතේය. මෙහෙම නායකයකුට රටක් බාරදුන්නොත් කුමකින් කුමක් සිදුවේදැයි අමුතුවෙන් කිව යුතු නැත. එදා එජාපයේ නායකත්වයට සජිත් කෙතරම් පොර කෑවත් ඔහුට ඒ අවස්ථාව නොදීමට එජාප නායකයන් කටයුතු කළේ මේ වැනි විහිළුකාරයකුට පක්ෂය බාර දී එජාපය විගඩමක් නොකළ යුතු බැවිනි. ජනප්‍රිය වූ පමණින් දේශපාලනය කළ නොහැක. රටකට නිවැරදි නායකත්වයක් දිය නොහැක. ජනප්‍රිය යැයි කියන, මහා ජනවරමක් තිබුණයි කියන නායකයන් නිසා රටට වූ දේ තවම අමතක වන්නට කාලයක් වූයේ නැත.

ඒ කොහොම වුණත් ගං වතුරේ ගසාගෙන යන දිරාපත් ලී කොටය උඩට නයි මුගටි ගැරඩි ගෙම්බන්ද බැරි නම් නරියන් හෝ එක්කර ගැනීම සජිත්ගේ නිදහසය. බනානා සුජී වැනි කවටයන්ටත් එතැන ගැලපුනත් රටට ගැලපෙන්නේ නැත. අද දේශපාලනය පවතින්නේ ඒ පහත් තැන නොවේ. උඩුගං බලා පිහිනා යන්න හැකි මිනිස්සු අද දේශපාලනයට අවශ්‍යය. අඩුම තරමින් රනිල්ගෙන් ඉගෙන ගැනීමට සූදානම් මිනිස්සුන්වත් අවශ්‍යය.

කේ.පී.අයි. ප්‍රියංගනී