2024 අයවැයට පෙර දන නොතලා බදු ගැනීමේ විසඳුමක් අවශ්‍යයි

0

මෙ රට ක‍්‍රියාත්මක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 සිට 27 දක්වා කරන ලද සමාලෝචනයෙන් පසුව, සමාජයේ කතිකාවකට භාජනය වී ඇති මාතෘකාවක් වන්නේ ”බදු වැඩි කිරීමක්” නැවත සිදුවේද? යන්න කුතුහලයයි. ඒ නිසා මෙම සටහන එතැනින් පටන් ගැනීම සුදුසුය. 2023 අයවැය යෝජනාවලදී රාජ්‍ය ආදායමේ බදු ප‍්‍රතිශතය වැඩිකිරීම සඳහා සියළු වර්ගයේ බදු සඳහා, බදු ලිපිගොනු ලක්ෂ 10ක් අලූතින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. නමුත් එම අයවැය ක‍්‍රියාත්මකවී ඇති පසුගිය මාස 09 තුළ අලූතෙන් ආරම්භ කර ඇති සෘජු බදු ලිපිගොනු සංඛ්‍යාව 8,533ක්ද, සමාජ ආරක්ෂණ බදු සඳහා 2,094ක්, හවුල් ව්‍යාපාර සඳහා 14ක්, එකතු කළ අගය මත ලිපිගොනු 104ක් පමණි. මෙයින් පෙනී යන්නේ සෘජු බදු අයකර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේදි බදු පරිපාලනයේ පවතින මන්දගාමීත්වයයි.

සාමන්‍යයෙන් අයවැයක් සම්මතවීමෙන් පසුව එය පනතක් නැතිනම් නීතියක් බවට පත් වේ. ඉන් පසුව එම පනත ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම රජයේ කාර්යය වනු ඇත. ඒ අනුව අවශ්‍ය අයවැය අරමුණු කරා යාමට රෙගුලාසි නිකුත් කිරීම හරහා ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මකවීමට අදාළ යාන්ත්‍රණය සැකසිය යුතුය.

විධිමත් බදු පරිපාලනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කොළඹදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප‍්‍රශ්නයක සාරංශය මෙසේය: ඒ ”මෙතෙක් ශ‍්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක‍්‍රමය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් නොවන බව ඔබ සඳහන් කර තිබේද?” යනුවෙනි. පිළිතුරු දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා කියන කාරණය සරල කරගතහොත් ඒ මෙසේය: ”බදු එකතු කිරීම ශ‍්‍රී ලංකාව සැලකිල්ලට ගත යුතු කාරණයක්, මොකද රජයේ අත්‍යවශ්‍ය වියදම් පවත්වා ගැනීමට ආදායම් රැස්කර ගැනීම වැදගත් වන නිසා. ඒ වගේම මෙම කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමේ, වැඩසටහනේ වැදගත් කුළුණක්. රජය ජනතාවට සපයන සේවා වන අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම්, දිළිඳු හා අවදානමට ලක්වූවන් සඳහා ආධාර සැපයීමට වැනි දෑ සඳහා සුදුසු ආදායම් ප‍්‍රමාණයක් පවත්වා ගත යුතුය. නමුත් ලංකාවේ වියදම් හා ආදායම් අතර ලොකු පරතරයක් තියෙනවා. වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 19%ක් හෝ ඊට වැඩියි. ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක් හෝ ඊට ආසන්නයි. එම පරතරය පිරවිය යුතුය.” තවදුරටත් මූල්‍ය අරමුදලේ නියෝජිතයාගේ අදහස් සාරාංශය මෙසේයි. ”ආදායම් උපයා ගැනීමේ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා, ඊට අනුබල දෙන සුදුසු බදු ප‍්‍රතිපත්ති සහ බදු පරිපාලන ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම වැදගත්. එම පරතරය පියවා ගැනීමටත් 2019 දී සිදු කරන ලද බදු කප්පාදුවලින් සිදුව ඇති අවාසිය ආපසු හැරවීමටත්, පසුගිය වසරේ සිට ආරම්භ කරන ලද බදු ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණවත් නොවෙයි. එමෙන්ම ශ‍්‍රී ලංකාව මුළු ලෝකයේම අඩුම බදු අය කරන රටවලින් එකක් වීමෙන් ඉවත්වීමට නම් 2024 දී ශ‍්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ට සමාන බදු ආදායමක් ලබා ගැනීමට හැකිවිය යුතුයි.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කීවත් නැතත් බදු ආදායම්වලින් තොරව තවදුරටත් රාජ්‍ය සේවාවන් සැපයීමට දේශීයව හෝ විදේශීයව ණයවීමට හැකියාවක් තවදුරටත් අප සතුව නැත. ණය නොගෙවීම නිසාම බංකොලොත්භාවය අත් කරගෙන සිටින රටක් ලෙස පමණක් නොව, ගත් ණය ආපසු ගෙවීමට ඇති අපහසුව නිසා විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමද සාකච්ඡා මට්ටමේ පවතින රටක් වශයෙන් තවදුරටත් බදු මත ආදායම් ඉපයීමෙන් පිට වෙනත් විකල්පයක් ශ‍්‍රී ලංකාවට නැත.

ජනාධිපතිවරයාගේ අදහස

2023 සඳහා වූ අයවැය යෝජනා අනුව අපේක්ෂිත මුළු ආදායම රුපියල් බිලියන 3,408කි. එයින් බදු වශයෙන් රුපියල් බිලියන 3,130ක් අපේක්ෂා කරයි. එමෙන්ම රාජ්‍ය වියදම වන්නේ රුපියල් බිලියන 5,819කි. ඉන් වැටුප් ගෙවීම, පොලී ගෙවීම හා රජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලට ගැණීම හා සහනාධාර ගෙවීම් සඳහා පමණක් රුපියල් බිලියන 4,906ක් අවශ්‍යය. ඒ අනුව රුපියල් බිලියන 2404ක අයවැය හිඟයක් ඇති වේ.

2023 ආරම්භයේදී අපේක්ෂා කරන ලද අයවැය තත්ත්වය ඉහත පරිදි වුවද, පසුගිය ජූනි මාසය දක්වා වූ වාර්තා අනුව ශ‍්‍රී ලංකාවේ බදු ආදායම ලෙස උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 1,198කි. නමුත් එය පෙර වසරට සාපේක්ෂව 50%ක වැඩිවීමකි. එය ආර්ථික අර්බුදයෙන් රට මිදෙමින් පවතින බව පෙන්වන සාධනීය තත්ත්වයකි. කෙසේ වෙතත් පසුගිය ජූනි වන විට වත්මන් වියදම් ද සියයට 48කින් වර්ධනය වී රුපියල් බිලියන 2,325ක් වී ඇත. වත්මන් වියදම්වලින් විශාල කොටසක් හෙවත් රුපියල් බිලියන 1,212ක් පොලී වියදම් ලෙස වාර්තා වේ.

මේ තත්ත්වය හමුවේ, ජනාධිපතිවරයාගේ අදහස වන්නේ තවදුරටත් බදු පැනවීමක් කළ නොහැකි බවයි. ඔහු එය කීවේ ඇමරිකාවේදී මූල්‍ය අරමුදලේ ප‍්‍රධානියාටමය. එසේ නම් බදු පැනවීමක් නොකර බදු ආදායම් වැඩිකර ගැනීමක් ක‍්‍රියාත්මක කළ හැක්කේ කෙසේද? මේ සඳහා ඇති එකම විකල්පය නීතිගත කර ඇති බදු ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා බදු පරිපාලනය විධිමත් කිරීමය. බදු පරිපාලනය විධිමත් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමය.

සාධාරණ බවේ මූලධර්මය රැකීම

ශ‍්‍රී ලංකාවේ තිබෙන්නේ ස්වෙච්ඡුාවෙන් බදු ගෙවීමේ ක‍්‍රමයකි. ඒ අනුව රජය පනවන බද්දක් සම්බන්ධයෙන් බදු ගෙවීමට යමෙක් යෝග්‍ය වන්නේද, ඔහු එම බද්ද ගෙවීම සඳහා සිය කැමැත්තෙන් ඉදිරිපත්වී අදාළ බදු ප‍්‍රමාණය ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් එය අපේ රටේ සිදුවන්නේ අඩුවෙනි. නමුත් යම් යම් හඳුණා ගැනීම් මත බදු නිලධාරීන් බදු පැහැර හරින පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් බදු දැළට හසුකර ගනී. මෙය විධිමත්ව ක‍්‍රියාත්මක කළ හැකි පහසු තැන්වලදි පවා ක‍්‍රියාත්මක නොවන්නේ බදු පරිපාලනයේ දුර්වලතාවය නිසාය.

බදු පරිපාලනය විධිමත් කිරීමට හැකි එක් සරල උදාහරණයක් සලකා බලමු. 2023 අයවැයෙන් හඳුන්වාදුන් බදු නීති අනුව, පුද්ගලයෙක් උපයන ආදායමෙන් වාර්ෂිකව රුපියල් 1,200,000ක් (වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක්) දක්වා බදුවලින් නිදහස්ය. නමුත් සෑම පුද්ගලයෙක්ම සතු බැංකු තැම්පතුවලින් උපයන  ඕනෑම පොලි මුදලක් සඳහා 5%ක රඳවා ගැනීමේ බද්දක් (උසඑය ්‍යදකසාසබට ඔ්ං) 2023 අපේ‍්‍රල් 01 සිට පනවනු ලැබ ඇත. ඒ අනුව පොලියෙන් 5%ක් බදු වශයෙන් කපා ගැනීමක් සිදු කරයි. යම් පුද්ගලයෙක් සතු ගිණුමකින් හෝ ගිණුම් කීපයකින් ලැබෙන ”පොලිය” පමණක් මාසිකව රුපියල් 100,000ක් හෝ එය ඉක්මවයි නම් ඔහු බදු ලිපිගොනුවක් ආරම්භ කර බදු ගෙවන අයෙක් බවට පත්විය යුතුය. එමෙන්ම රුපියල් 100,000 සඳහා රුපියල් 5,000ක් රඳවා ගැනීමේ බද්දක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකම හැඳුණුම්පත් අංකයක් යටතේ ලැබෙන බව නිරීක්ෂණය වන ලෙස පරිගණක පද්ධතිය පවත්වාගෙන යන්නේ නම්, එසේ රඳවා ගැනීමේ බද්ද රුපියල් 5,000ක් ඉක්මවන සෑම ගිණුම් හිමියකුම බදු ක‍්‍රමයට නිතැනින්ම අන්තර්ග‍්‍රහණය කර ගත හැකිවනු ඇත. එම බදු ආදායම් උපයා ගැනීමට සැලසුම් සකස් කිරීම යනු බදු පරිපාලනය විධිමත් කිරීමකි. මෙය බදු පැහැර හරින්නන්ගෙන් බදු අය කිරීමක් සිදු කළ හැකි සරල එක් උදාහරණයක් පමණි. මෙවැනි විවිධ ක‍්‍රම බදු පරිපාලනයට එක් කරන්නේ නම් දැනට පවතින බදු අනුපාත හා නීති යටතේ විශාල ආදායමක් ලැබෙනු ඇත. එමෙන්ම එය හොඳ බදු ක‍්‍රමයක තිබිය යුතු මූලධර්මයක් වන සාධාරණ බවේ මූලධර්මය ඉටුවීමක්ද වනු ඇති බැවින් මහජනතාව තුළ බදු ගෙවීමට ඇති අකමැත්ත ඉවත්වීමටද හේතුවක් වනු ඇත.

සෑම අයවැයකදීම බදු සම්බන්ධ අයවැය යෝජනා පාදක වන්නේ, පිළිගත් බදු සංකල්ප හැසිරවීම තුළය. ඒ සඳහා ආර්ථිකයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනියි. ඒ අනුව බදු සංකල්ප ”බදු පදනම” වෙනස් කිරීම, ”බදු අනුපාත” වෙනස් කිරීම මෙන්ම බදු ගෙවන්නන් හෝ බදු ගෙවීමට කැමැත්ත දක්වන අය තුළ ”බදු අනුකූලතාවය” ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීම සිදු කරයි.

මේ අනුව 2023 අයවැයේදී ආදායම් බදු සඳහා, බදු පදනම පහත පරිදි වෙනස් කරන ලදි. එනම් රුපියල් ලක්ෂ 12ක් දක්වා පුද්ගලයෙක්ගේ ආදායම බද්දෙන් නිදහස් යනුවෙනි. එනම් මාසිකව රුපියල් ලක්ෂයක් ආදායම් බද්දෙන් නිදහස්ය. නමුත් බදු පදනම එසේ නිශ්චය කර තිබුණද රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් මාසිකව උපයන සියළු දෙනා බදු ක‍්‍රමයට අන්තර්ග‍්‍රහණය කරගෙන නැත. එසේ ඇතුළත් කරගත හැකි ප‍්‍රමාණයෙන් 10%ක් වත් බදු ක‍්‍රමයට ඇතුළත් වී හෝ ඇතුළත් කරගෙන නැත. බදු පදනම අසාර්ථක නම් බදු අනුපාත වෙනස් කිරීමෙන් ඵලක් නොවන්නේය. පැවැති බදු අනුපාතයන්ට වඩා වැඩි බදු අනුපාත පැනවීමක් සිදු වනවිට, බදු පදනම පුළුල් කළ ද ඒ තුළට ඇතුල්වීම මඟ හැරීම වැඩිවනු ඇත. බදු ගෙවන්නාද බදු ගෙවීමට ඇති කැමැත්තෙන් බැහැර වනු ඇත. එනම් බදු අනුකූලතාවය හෙවත් බදු ගෙවීමට දක්වන කැමැත්ත අඩුවනු ඇත. මෙහි බදු ගෙවීමට ඇති කැමැත්ත යනු: නිවැරදි බදු ගොනුවක් ඉදිරිපත් කිරීම, තම ආදායම අඩුවෙන් ඉදිරිපත් නොකිරීම, හා අදාළ බදු මුදල හිඟයකින් තොරව ගෙවීමයි.

එහෙත් ලංකාවේ මෙම බදු පිළිබඳ සංකල්පයන් බිඳවැටී ඇත. ඒ සඳහා බලපාන සාධක රාශියකි. මෙයට හේතුව වන්නේ හොඳ බදු ක‍්‍රමයක පැවැතිය යුතු මූලධර්ම හෙවත් ”බදු මූලධර්ම” උල්ලංඝනය වීමයි. මේවා දීර්ඝ කාලයක් පුරාවට උල්ලංඝනයවීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ අඩුම බදු ආදායම් ලබන රටවල් අතරට අප එක්වීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බදු අනුපාත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂණ අංශයේ වාර්තාවල දැක්වෙන ආකාරයට සංවර්ධනය වන අප රට වැනි රටක බදු ආදායම ද.දේ.නි. 12.75%ක අගයක පවත්වාගත යුතුය. එම අගය පහසුවෙන් අඛණ්ඩව තබා ගැනීමට නම් ආසන්නව ද.දේ.නි. 15%ක පමණ බදු ආදායමක් අප වැනි රටවල් ඉපයිය යුතුය. නමුත් අප දැන් සිටින්නේ ද.දේ.නි. 9% ආසන්නවය. එමෙන්ම මධ්‍ය ආදායම් ලබන රටක මෙම අගය අවම වශයෙන් එනම් බදු ආදායම ද.දේ.නි. 18%කවත් පවත්වා ගත යුතු බවත් සංවර්ධිත රටවල් බදු ආදායම ද.දේ.නි. 26ක වත් පවත්වා ගැනීම අවශ්‍යය. ඒ අනුව රාජ්‍ය ආදායමෙන් කළ යුතු වියදම් පහසුවෙන් දැරීමට මෙම ආදයම් තත්ත්වයන් ඒ ඒ ආර්ථිකයන්ට වැදගත්ය.

අප එම ඉලක්කයන් සපුරා ගනිමින් නොසිටියා නොවේ. අපගේ ආර්ථිකයේ විවිධ ගැටළු පැවැතියද, 2015ට කළින් ගත් ණය ගෙවීමට ණය ගැනීමට සිදු වුවද, 2015 – 2019 යුගයේ ක‍්‍රියාත්මක කරන ලද බදු ප‍්‍රතිපත්තීන් නිසා, අපගේ ආර්ථික ගැටළුවට සාධනීය පිළිතුරු දීමට හැකියාවක් 2019 වන විට ගොඩනැගී තිබුණු බව නොරහසකි. ෑඣභධඵශ භෑඞඔ වෙබ් අඩවිය 2019 දෙසැම්බර් 30 දින එවකට ශ‍්‍රී ලංකා මහබැංකුවේ හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප‍්‍රකාශයක් ගෙන දක්වමින් ආර්ථිකයේ තත්වය වාර්තා කරන්නේ මෙසේය. 2020 වර්ෂයේදී ශ‍්‍රී ලංකාව නැවත ගෙවීමට ඇති විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 4.8කි. 2020 වසරේ පළමු අර්ධයේදී ගෙවීමට අවශ්‍ය මුදල් ප‍්‍රමාණය මේ වනවිටත් මුදල් සපයාගෙන ඇත. නව පරිපාලනය (2019 පිහිටවූ ගෝඨාභය ජනධිපතිවරයාගේ ආණ්ඩුව) කෙටි හා මධ්‍යකාලීන ණය රැස් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු නමුත් වසරේ පළමු කොටස සඳහා මූල්‍ය පහසුකම් සැපයිය හැකිය. එමෙන්ම නිසැක ලෙසම වාණිජ පදනමින් මුදල් ප‍්‍රමාණයක් ලබා ගැනීමට සිදුවන අතර බහුපාර්ශ්වීය ණය දෙන්නන්ගේ ව්‍යාපෘති මූල්‍යකරණයෙන් ඩොලර් බිලියන 1.5ක් පමණ ලැබෙන අතර ඔක්තෝබර් මාසයේදී ස්වෛරීත්ව බැදුම්කරයක් ගෙවීමට ඇති බවත් ඒ වන තුරු එතෙක් බාහිර ආපසු ගෙවීම් සුමටව කළ හැකි බවත් ඔහු පවසයි. ඔහු වැඩිදුරටත් කියන්නේ පසුගිය වසරේදී, අපි ලබන වසරේ මුල් මාස කිහිපය සඳහා ප‍්‍රමාණවත් මුදල් රැස්කර ඇති අතර නව පාර්ලිමේන්තුව ආරම්භ වන තුරු රජයේ ණය සේවා ගෙවීම් පියවා ගැනීමට අපට පහසුවක් පවතින බවය.

ඉහත අදහස තුළ ගැබ්ව ඇති අර්ථය වන්නේ 2015 – 2019 දක්වා පැවැති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව අනුගමනය කරන ලද බදු ප‍්‍රතිපත්තියේ හරස්කඩයි. එනම් 2020 ආරම්භය වන විට දැකිය හැකි දෙයක් වූයේ ආර්ථිකය ස්ථායි වෙමින් පැවැති අතර දශක ගණනාවකින් පසුව මෙම වකවානුවේ ණය ස්ථායිකරණයට වැදගත් ප‍්‍රධානම කාර්යයක් වන ප‍්‍රථමික ගිණුම අතිරික්තයක් පවා නිර්මාණය වීමය.

2024 අයවැය යෝජනා සැකසෙමින් තිබෙන මේ අවස්ථාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ තවදුරටත් බදු ගෙවන්නාට පීඩනයක් නොකරන ලෙස බදු ප‍්‍රතිපත්ති සෑදීමය. බදු පරිපාලනය විධිමත් කිරීම ඒ සඳහා ඇති එකම විකල්පයයි. බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන සෑම දෙනාමට පවතින බදු නීති යටතේ බදු දැල හසු කරගත හැකිය. එය බදු මූලධර්මවලටද එකඟය.

සරත් හේවගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *