2024 අයවැයේ අධ්‍යාපන යෝජනා වහා ක්‍රියාත්මක කරනු.

0

යක ගුණාත්මක වෙනසක් සිදුවිය හැක්කේ මුලින් පැවති තත්වය අභාවයට යාමෙන් නැතහොත් නිශේධනයෙන් පමණි. අභාවය යන්න තේරුම් ගත යුතුව ඇත්තේ ඕනෑම වර්ධනයක අනිවාර්ය සහ තර්කානුකූල අවධිය වශයෙන්ය. ඒ යම් දෙයක පැවැත්මේ පැරණි ස්වරූපය, නව ගොඩනැංවීමක් සමඟ ගැටුමෙන් පසු පැරණි දේ අභාවයට යෑමෙන් තොරව කිසිඳු නව වර්ධනයක් සිදුනොවන නිසාය. එනම් මේ අවස්ථාවේ අලුත් කිසිවක් බිහි නොවීමය. දයලෙක්තික භෞතිකවාදයේ එන මේ ඉගැන්වීම වම්මුන්ට නම් කටපාඩම්ය. න්‍යාය ඉගෙනීමේදී මෙය ඔවුන් ඕනෑතරම් වනපොත් කළත් එය අත්දකින මොහොතේදී පරණි දෑ රැකගැනීම වෙනුවෙන් මාරාන්තික විරෝධය ගෙනෙන්නේද මේ කියන වම්මුය. වම්මුන්ගේ ඒ මාරාන්තික විරෝධය සෑම ක්ෂේත්‍රයක් තුළම දකින්නට හැකි අතර අධ්‍යාපන ක්ෂේත්‍රය සැළකීමේදී නම් විප්ලවයේ ගිනිසිළුව කියන ශිෂ්‍ය ව්‍යාපාරය පවා පසුගාමී හණමිටි හනපටි වලින් බැඳදමා ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නොව වමේ මේ හණමිටි හනපටි ඇතැම් වියතුන්වද අන්ධ කර ඇත. ලංකාවේ අධ්‍යාපනය යාවත්කාළීන කිරීම, ප්‍රතිසංස්කරණ කිරීම, අතිශය දුෂ්කර, සාමාන්‍යයෙන් රජයක් අතගැසීමට අකමැති මුදානොගත් කලාපයක් බවට පත්ව ඇත්තේද එනිසාය.

මෙහි වන මහා අවාසනාව ඇත්තේද මෙතැනය. රටක් සංවර්ධනය කරා ගෙනයාමට නම් පවතින ගෝලීය තත්වයට හැඩගැසිය යුතුය. මන්ද සංවර්ධනයේ මිනුම ගෝලීයය. එහිදී අධ්‍යාපනය තීරණාත්මක වන අතර, සංවර්ධනය වීමට සිතන, ඒ වෙනුවෙන් වැඩකරන රටක අධ්‍යාපනය තබාගත යුත්තේද, පවතින තත්වයට නොව අනාගතය ඉලක්ක කර පියවර කිහිපයක් ඉදිරියෙන්ය. නමුත් අධ්‍යාපනයට අදාළව අතීත මෙන්ම වත්මන් පරම්පරාවේ මළකා ඇති යදම් ඉතිහාසය පුරා සේවය කර තිබෙන්නේ අධ්‍යාපනය අනාගතවාදී වීම වලක්වාලන්නටය. 80 දශකයේ ධවල පත්‍රිකා විරෝධයේ සිට ඊට අදාළ නිදර්ශන ඕනෑ තරම්ය. එසේ තිබියදී පවා ඔවුන් රටේ සංවර්ධනය ඇණහිටීම විග්‍රහ කරන්නේ ” දූෂණය නිසා”, ”ප්‍රතිපත්තියක් නැති නිසා”, ” වැඩපිළිවෙලක් නැති නිසා” වැනි සරල ජනප්‍රිය හේතු වලට සීමා වෙමින්ය. නමුත් ඊට අදාළ අධ්‍යාපනයේ පංගුව ඔවුන් අදටත් සඟවන, ඉදිරියටත් සඟවන කාරණයක්ය.

නමුත් 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී, එයින් ගැළවීම සඳහා දුෂ්කර ප්‍රයත්නයක යෙදී සිටින මේ මොහොත කියන්නේ සංවර්ධනයට බාධාවක් වූ, විලංගුවක් වූ අධාපනයට අදාළ කොටසද සකසා ගතයුතු අවස්ථාවක්ය. නව දේ වෙනුවෙන් වන අභාවයාගේ අභාවය න්‍යාය මෙතැනටද අදාළ වන නිසාය.

2023 වසර ඇරඹුණේ 2022 වසරේ ආර්ථිකයේ සිදුවූ 7.8% ක පසුබෑමක් සමඟය. 2023 වසරේ ද ඊට වඩා අඩු ආර්ථික පසුබෑමකට මුහුණදීමට සිදුවන බවත් අසත්‍යක් නොවේය. මෙම සෘණ ආර්ථිකයෙන් රටට මිදෙන්න ලැබෙන්නේ 2024 වසරේදීය. ඒ සම්බන්ධව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ 1.8% ක ආර්ථිකයක් 2024 වසරේ අපේක්ෂා කරන බවය. නමුත් ජනතාවට දුෂ්කර නොවන කොන්දෙසි යටතේ ජීවත්වීමට නම් ඊට වඩා පිමි කිහිපයක් පෙරට ගිය ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍යය. එහිලා ආර්ථිකයට ක්ෂණිකව මහත් ධනස්කන්ධයක් මුදාහැරීමට සමත් ස්වාභාවික සම්පතක් හෝ මෙරටට නැත. මේ කුඩා දිවයිනේ එවැනි මාරම ස්වාභාවික සම්පත් ඇතැයි සිතන්නේ ඊනියා ජාතිවාදීන් සහ හම්පඩ වම්මු පමණය. සැබවින්ම නම් එවැනි කිසිවක් මෙරට නැත.

එසේ නම් අනාගතයේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට මෙරටට හැකිවන්නේ කෙසේද ? ඊට අදාළ පැහැදිළි උපක්‍රමික මාර්ගයක් වන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය මානව ප්‍රාග්ධනය රැස් කිරීමය. එමඟින් ගෝලීය වෙළෙඳපොළට තරගයක් ලබාදීමය. එහිලා විධිමත් අධ්‍යාපන ක්‍රමයක් පැවතීම අත්‍යවශ්‍ය ය.

මේ වන විටත් ඒ නව තත්වයට අදාළ බීජ මෙරට ආර්ථිකය හරහා දැකගත හැකිය. ඒ තේ, පොල්, රබර් ලෙස වූ මෙරට විදෙස් විනිමය ඉපයූ අපනයන වෙළඳපොළ පරදා විදෙස්ගත ශ්‍රමික ඉපයීම් පෙරමුණට පැමිණ ඇති නිසාය. නිෂ්පාදන ආර්ථිකයට තිබු තැන සේවා ආර්ථිකය විසින් අත්පත් කරගෙන ඇති නිසාය. නමුත් විදෙස් ශ්‍රමික අංශය මේ මොහොතේ වර්ධනයක් අත්පත් කරගැනීමේ දුෂ්කරතාවට මුහුණදී ඇත. ඒ පුහුණු හා වෘත්තික ශ්‍රමය හිඟ වීම නිසාය. ඒ කියන්නේ මෙරට ශ්‍රම බලකාය, වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා නොගැලපෙන බවය. එහි අර්බුදය තිබෙන්නේ වෙළඳපොළ අවශ්‍යතාවන්ට අනුරූප අධ්‍යාපනයක් නොතිබීමය. මෙරට අධ්‍යාපන ක්‍රමය යාවත්කාළීන නොවීමය.

නොමිලේ අධ්‍යාපනයක් ගැන කියමින් කොතරම් පාරම් බෑවත් සිදුව ඇත්තේ රජයේ ප්‍රාග්ධන අසමත් බවේ වන්දිය තරුණ පරම්පරාවට ගෙවීමට සිදුව තිබීමය. නිදසුනක් ලෙස නිදහස් අධ්‍යාපනය කියා ලබන පාසල් සමයෙන් වසර 11කින් සහ 13 කින් සාතිශය බහුතරයක අධ්‍යාපනය අවසන් වන අතර, ඔවුන් වෙතින්ද සාතිශය බහුතරය ආර්ථිකය සමඟ බද්ධ වන්නේ නුපුහුණු ශ්‍රමිකයන් ලෙසය. ඔවුන් ගේ ආර්ථික දායකත්වය මේ වන විට ත්‍රිරෝද රථ පැදවීම ඇතුළු අවිධිමත් ආර්ථික කටයුතු කිහිපයකට සීමාවී ඇත. එසේම 13 වසරක පාසල් අධ්‍යාපනය අවසන් කළද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබන්නේ සීමිත පිරිසක්ය. බහුතරයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවත් ඒ සඳහා ඇතුළත්වීමට අවස්ථාව හිමිවන්නේ නැත. එහිදී සුළු පිරිසක් පමණක් විදෙස් ගතව අධ්‍යාපනය ලැබුවත් බහුතරයකට කැමැත්තක් තිබුණත් උසස් අධ්‍යාපන අවස්ථා අහිමිය. ඒ අනුව උගුරට හොරා බෙහෙත් නොබී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සතු සීමිත සම්පත්, බහුතර තරුණ පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීමට බාධා කර ඇත යන සත්‍යට මුහුණදිය යුතුය.

සාමාන්‍යයෙන් ඉහළ මැදි ආදායම් ලබන රටක තෘතීක අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමේ අනුපාතය 53%ක පමණ ඉහළ අගයක් ගන්නේය. පහළ මැදි ආදායම් ලබන රටක එය 24% ඉක්මවන්නේය. නමුත් ලංකාවේ තත්වය 19 % ක් පමණය. ඒ පෙන්නුම් කරන දත්ත සැළකුවද පහළ මැදි ආදායම් ලබන රටවල් අතර පවා ලංකාවේ තත්වය ශෝකාන්තයක්ය.
වත්මන් ගෝලීය හැඩගැස්ම තුළ තාක්ෂණය දිනපතා අලුත් වන්නේය. ගෝලීය වෙළඳපොළ තරගයට ඇතුල්වීමට නම් ඒ අලුත් වන තාක්ෂණය සමඟ ගැළපීමේ හැකියාව තිබිය යුතුය. ඒ කියන්නේ ගෝලීය වෙළඳපොළ තුළ රටකට අදාළ පංගුව තීරණයවීමෙහිලා නවීන මෙන්ම උසස් තාක්ෂණය තීරණාත්මකය. ජීව විද්‍යාව, රසායන, සෞඛ්‍ය, වෛද්‍ය, ගණිත, මෘදුකාංග, ඉංජිනේරු, ධීවර, කෘෂි, ඇතුළු කවර විෂය ක්ෂේත්‍රයක් සැළකුවද ඒවාට අදාළ නවීන තාක්ෂණය පිළිබඳ සාක්ෂරතාව ඉහළ තැනක තිබිය යුතුය. ඉහළ නිපුණතාවක් සහිත ශ්‍රමබලකායක් සන්නද්ධ කරගන්නට ලැබෙන්නේ එවිටය.

නමුත් මෙරට උසස් අධ්‍යාපනය තවමත් තිබෙන්නේ මානව සහ සමාජ විද්‍යා විෂය කෙරෙහි මූලිකත්වයක් දෙමින්ය. ඒවායේ තත්වයද ඉතා ප්‍රාථමික වන අතර එම උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරන්නේ එනිසාය. අනෙක් අතට විද්‍යා – වෛද්‍ය, ගණිත – ඉංජිනේරු විෂය සඳහා ඇතුළත් වන්නේ විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් 17%-20% අතර ප්‍රමාණයක් මිස ඊට වැඩි ප්‍රමාණයක් නොවේය. ඒ අර්ථයෙන් රට සංවර්ධනය කිරීමට නම්, මානව සම්පත ප්‍රාග්ධනයක් බවට පත්කර ගන්නට නම් මෙම විෂය ක්ෂේත්‍ර ආශ්‍රිත නව දැනුම මෙරටට ගෙනා යුතුය. ඒ ආශ්‍රිත නිපුණතා වර්ධනය කළ යුතුය. ගෝලීය භාෂා සාක්ෂරතාව නැංවිය යුතුය.

ඒ සඳහා ආර්ථික වර්ධනයට සහාය දක්වන ශ්‍රම බලකායක් ගොඩනැගීමට අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍යව ඇත. ඒ සමඟ උසස් අධ්‍යාපන ප්‍රවේශය සඳහා වන සිසුන් ප්‍රමාණයද වැඩි කළ යුතුව ඇත. එසේම එය තවදුරටත් මඟහැරීමට හෝ වමේ හණමිටි හනපටි ග්‍රහණයේ තැබිය නොහැකිය.

අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් සිදුකළ හැකි වන්නේ අනෙක් සෑම දෙයකදී මෙන්ම මුලින් පැවති තත්වය අභාවයට යාමෙන් නැතහොත් නිශේධනයෙන් පමණය. අධ්‍යාපනයට අදාළ 2024 අයවැය යෝජනා ගැන අවධානය යොමුකළ යුතුව ඇත්තේද ඒ බව සිහියේ තබාගෙනය.

2024 රට ගොඩනගන අයවැයට අදාළ අධ්‍යාපන යෝජනා මඟින් පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කෙරෙන බව සහතික කර ඇත. එසේම ඒ ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම යන ආයතන පිහිටුවීමටත් යෝජනා කර ඇත. උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව උදාකර දීමට පියවර ගැනීමත්, ලොව පිළිගත් ඕනෑම අධ්‍යාපන ආයතනයකට මෙරට විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර ලබාදෙන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා ප්‍රබල නීති රීති මාලාවක් සම්මත කර ගැනීමට කටයුතු කිරීමද යෝජනා කර ඇත.

තවද සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාල ආයතනය, කළමනාකරණ තාක්ෂණ විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ චෙන්නෙයි පිහිටි ෂෂඔ විශ්වවිද්‍යාලයේ මගපෙන්වීම යටතේ මහනුවර නව තාක්ෂණ විශ්වවිද්‍යාලය ලෙස තාක්ෂණික පුහුණුව ඉලක්කකරගත් විශ්වවිද්‍යාල පිහිටුවීම, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා වන නීති රීති සම්මත කිරීම, අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් ඒකාබද්ධ කර ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම මෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීම, යෝජනා කර ඇත.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට දරුවන්ට පොළී රහිත ණය පහසුකම ලබාදෙන අතර වාණිජ බැංකු හරහා ද සහනදායී ශිෂ්‍ය ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. එසේම, පළාත් බදව වෘත්තීය පුහුණුව නැංවීම ආදී වශයෙන් රැඩිකල් ප්‍රතිසංස්කරණ රැසක් අධ්‍යාපනය සම්බන්ධයෙන් 2024 අයවැය යෝජනා තුළ ඇතුළත් ය.

රටේ සංවර්ධනයට අධ්‍යාපනය බාධාවක් වීම වැළැක්වීම වෙනුවෙන් ගෙන ඇති මෙම යෝජනා හේතුවෙන් , පැහැදිලිව රාජ්‍ය විශ්ව විද්‍යාලවල සීමාසහිත බව හේතුවෙන් උසස් අධ්‍යාපන අවස්ථාව අහිමි වෙන ප්‍රමාණය අඩු කරගත හැකිය. එසේම උසස් අධ්‍යාපනය ලැබීම අහිමි වීමට මුදල් නොමැතිකම හේතුවක් වීමද වළක්වා ඇත. විදෙස් විශ්ව විද්‍යාල මෙරටට පැමිණීමට හැකියාව ලබාදී ඇති බැවින් නව දැනුම වෙනුවෙන් වූ දොරටු විවෘතව තිබේ. ඒ හරහා අධ්‍යාපනයේ ගුණාත්මක බවද වැඩිදියුණු වෙයි. විශ්ව විද්‍යාල ප්‍රමාණාත්මකව වැඩිවීම තුළ ඇතිකරන තරගය තුළද අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ යයි.

එසේම අධ්‍යාපනය වෙනුවෙන් විදේශ වෙත විගමනය වන මෙරට සිසුන් හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 2 ට වැඩි ප්‍රමාණයක් පිටතට ඇදී යයි. ශිෂ්‍ය විගමන දියුණු රටවලට පමණක් නොව ඌන සංවර්ධිත රටවලට ද සිදුවන බැවින් ඒ පිරිස හෝ මෙරට රඳවා ගනිමින් ඩොලර් බිලියනයක පමණ විදෙස් ගලායාමද වළක්වා ගන්න මේ හරහා ඉඩ ලැබේ.

වඩාත් වැදගත් කරුණ වන්නේ මේ ක්‍රියාමාර්ග හරහා මෙරට අධ්‍යාපන මධ්‍යස්ථානක් බවට පත්කර ගැනීමට අවස්ථාව හිමිවීමය. ඒ හරහා අධ්‍යාපනය ආශ්‍රිත වෙළඳපොළ පුළුල් කරගන්නට හැකිය. වෙළෙඳපොළ පුළුල් වීමට සාපේක්ෂව අධ්‍යාපන ක්ෂේත්‍රය ආශ්‍රිතව හැසිරෙන ප්‍රාග්ධනයද විශාල වෙයි. එමඟින් වැටුප් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් මෙරට ආචාර්ය මහාචාර්යවරුන් විදෙස් වීම හමුවේ සිදුවන බුද්ධි ගලනය සීමා කරගත හැකිය. එසේම විශ්ව විද්‍යාල ප්‍රමාණාත්මව වැඩිවන බැවින් උසස් අධ්‍යාපනයේ ඉහළට ගිය බොහෝ පිරිසකට ඒවායේ අධ්‍යයන කාර්ය මණ්ඩල වෙත එක්වීමට අවස්ථාව හිමිවේ. එසේම මෙකී අධ්‍යාපන සේවා සැපයීම හරහා ලබන බදු ආදායම් පෙරළා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ආයෝජනය කර ඒවාද ගුණාත්මක සහ ප්‍රමාණත්මකව තවත් පුළුල් කිරීමට හැකිවන අතර ඒවා රජයට බරක් වීමද නවතා ගත හැකිය.

එසේම රාජ්‍ය විශ්ව විද්‍යාල වෙතින් උසස් අධ්‍යාපනයේ ඉහළට යන කිසිවකු පෙරළා එහි සේවය රටට සපයන තත්ත්වයක් මේ පවතින ක්‍රමය තුළ නැත. එනිසා දිගින් දිගටම සිදුවන්නේ අතීත පරපුර ලබන ඵලදායි නොවන පහසුකම් භුක්තිය වෙනුවෙන් අනාගත පරම්පරාව වන්දි ගෙවීමේ සමාජ අසාධාරණයය. මේ හරහා ඒ විෂම චක්‍රය ද වෙනස් කරගත හැකිය. එබැවින් අපේ අවධාරණය වන්නේ වැටුණු රට වර්ධනයේ මාවතට ගන්නට ඉදිරිපත් කර ඇති 2024 අයවැයේ ඇතුළත් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන යෝජනා කෙසේ හෝ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය බවය. අධ්‍යාපනය සංවර්ධනය ට බාධාවක්ව ඇති විකෘතිය වෙනස් කළ යුතු බවය. මළ කෑ අධ්‍යාපන සංස්ථාව අභාවයාගේ අභාවයෙන් අලුත් කළ යුතු බවය. සංවර්ධිත රටක් වෙනුවෙන් සටන් කරන විප්ලවයේ ගිනිසිළු සටන් පාඨය වෙනස් කරගත යුතුව ඇත්තේ, “,2024 අයවැයේ අධ්‍යාපන යෝජනා වහා ක්‍රියාත්මක කරනු !” කියාය.

……කුසල් ජයම්පති…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *