ඇමතිත් එක්කම ක්‍රීඩාව සොහොනට!

ලූලා නැති කලට කණයා පණ්ඩිතයා කියා කියමනක් ඇත. එවැනි කණයින්ට ක්‍රීඩාව හසුරුවාලීම සදහා අවස්ථාව ලැබේ නම් එය සමස්ත ක්‍රීඩාවේම මළගම යැයි කිවහොත් වැරදි නැත. ක්‍රීඩාව පෙර යුගවල සංස්කෘතිකාංගයක් ලෙස පැවැති නමුත් අද එය පවතින්නේ ආර්ථිකමය කාරණාවක් ලෙසය. විශේෂයෙන්ම තරගකාරී ක්‍රීඩාව ඔස්සේ ජාත්‍යන්තරයට පිවිසීම රටක ආර්ථිකයට බලපවත්වන ක්ෂේත්‍රයක් බවට ක්‍රීඩාව පත්වේ. තරගකාරී ක්‍රීඩාවෙන් රටට අත්වන ජාත්‍යන්තර කීර්තිය, විදේශ විනිමය ගලාගෙන ඒම වැනි කරුණු රාශියකි.

මෙවැනි කප් රුකක් වැනි ක්‍රීඩාව සම්බන්ධයෙන් එහි පාලනාධිකාරීන්ගේ කෙරුවාව අවුල් සහගත බව පසුගිය
කාලය පුරාම දැඩි කතා බහට ලක්විය. මෙරට ජාතික ක්‍රීඩා සංගම් පනහකට ආසන්න ප්‍රමාණයක් වෙතත් වැඩි අවධානය යොමුවන්නේ ඉන් කිහිපයකටය. ඒ අතරින් මූලීකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික ඔලිම්පික් කමිටුව, පාපන්දු සම්මේලනය, රග්බි සංගමය, මලල ක්‍රීඩා සංගමය වැනි සක්‍රීය ක්‍රීඩා සංගම් කිහිපයක් වෙයි. මේ අතලොස්ස හැර අනෙක් බොහෝ ක්‍රීඩා සංගම් දුවන්නේ අතින් කා හරක් බලන න්‍යායෙන් ය. ඒවායේ පරිපාලනයක් තියෙනවා දැයි නොහිතෙන තරම්ය. ක්‍රීඩාවක්ද නැති ගාණය.

ක්‍රිකට් ඇද දැමූ’තැන

ශ්‍රී ලංකා ක්‍රිකට් නවසිය අසූ ගනන්වල සිටම ජනප්‍රියව පැවැති අතර ස්වර්ණමය යුගය උදා වන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුවය. එතැන් පටන් ක්‍රිකට් යනු ජනතාවගේ අධ්‍යාමික ප්‍රබෝධයට දැඩිව බලපාන ක්‍රිඩාවක් විය. එහෙත් අත්පත් කරගත් ස්වර්ණයම තත්වයන් දිගු කාලීනව පවත්වාගෙන යෑමට ක්‍රිකට් පරිපාලනය සමත් වූයේ නැත.

මේ කාලය පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ නැගිටීම් වැටීම් අපමණය. ක්‍රිකට් පරිපාලනයේ අර්බුද වරින්වර මතු වුණි. දේශපාලන ඇඟිලි ගැසීම් සිදු විය. දැන් ආගමික ඇගිලි ගැසීම් ගැනද කියවෙයි. විටින් විට දේශපාලනික වුවමණාවන් මත සංගමය විසුරුවා හැරීම්ද අතුරු කමිටු ද ආවේය. මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇත්තේ අර්බුදයකය. ඒ අර්බුදය මේ වන විට ජාත්‍යන්තරය දක්වා දිව ගොස් ඇත. ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රිඩා සංගම් තිබුණත් ජාත්‍යන්තරයට යෑම විය යුත්තේ ඒ ඒ ක්‍රීඩාවට අදාල ජාත්‍යන්තර මව් සංගමය සමග වන බැඳීම අනුවය. එහි නීති රීතින්ට යටත් විය යුතුය. සංගමේ පරිපාලනය මව් සංගමයේ කොන්දේසි වලට අනුව සිදු විය යුතුය. විශේෂයෙන්ම මෙම ක්‍රීඩා සංගම් වල තීන්දු තීරණ වලට දේශපාලන ඇඟිලි ගැසීම් නොවිය යුතු වීම ගැන මව් සංගම් දැඩිව අවධාරණය කර ඇත. රජයකට කළ හැක්කේ ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍ය’පහසුකම් සලසා දීමය. සෑම සියළු දෙනාට සාධාරණ අවස්ථාවන් ලැබීම වෙනුවෙන් වූ නෛතික වටපිටාව සකසා දීමය. රටක ක්‍රීඩා පනතක් සැකසෙන්නේ ඒ වෙනුවෙනි. ඒ අනුව ජාත්‍යන්තර කීර්තියත් දේශීයව බලපවත්වන නීතියත් අතර ගැටුමක් නොවන පරිදි අවබෝධයෙන් මෙම ක්‍රීඩා පරිපාලනය සිදු කිරීම සංගම් නිලධාරීන්ගේත් රාජ්‍ය බලධාරීන්ගේත් වගකීම වෙනු ඇත.
නමුත් මෙම වගකීම් සහගත බව දැරීමට සියළු පාර්ශ්ව අසමත් වීම නිසා තවත් ජාත්‍යන්තර තරඟ තහනමක් රටේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වීමේ අවධානමක් දැන් මතුව තිබේ.

එම අවධානමට මූලික හේතූන් සැකසී ඇත්තේ වත්මන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ ක්‍රියා කලාපයන් හා මතවාදයන් අනුවය. පහත දැක්වෙන්නේ එවැනි චෝදනාවන් කිහිපයකි

  1. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ගේ හිතුමතයට සහ තමන්ගේ වාසියට ඩුබායි දේශයට පිදුවා යන චෝදනාව.
  2. ආසියානු කුසලාන තරගාවලිය ඩුබායි යනවා තමන් දැක්කේ මාධ්‍යයෙන් යයි ක්‍රීඩා ඇමතිවරයාගේ වගකීම් විරහිත හැසිරීම
  3. ආසියානු කුසලාන තරගාවලියේ දී එසේ තමන් විසින් හිතුවක්කාර ලෙස වැඩ කර ඇති දැයි පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ක්‍රිකට් බලධාරීන් ඉල්ලීමක් කළත් එවැන්නක් සිදුනොවීම
  4. එල්පීඑල් ක්‍රිකට් තරගාවලියට අදාළ ගිවිසුම් සහ ලිපි ලේඛන ඇමැති ලෙස තමන් නොදුටු බවට වන වගකීම් විරහිත හැසිරීම හා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් නොමැතිවීම
  5. පසුගිය 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම පිණිස අනිසි ලෙස මුදල් භාවිතා කළ චෝදනාව. ඒ පිළිබඳව පංච පුද්ගල කමිටුවකින් විමර්ශනයක් ද සිදු කිරීමට පෙර පරිපාලකයන් සමග මනා සම්බන්ධයක් පවත්වා නොගෙන ඔහේ හිතුමනාපයට පරිපාලකයන්ට කටයුතු කිරීමට ඉඩදීම

වැනි චෝදනාවන් රාශියකි.

මේ තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කෙරෙහි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ලියනු ලැබූ ලිපියකින් සනාථ’වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන බලපෑම් එල්ල වන බවත්, අතුරු කමිටු පත්කිරීමේ අවදානමක් පවතින බවත් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා ඇත. ඉන් පසුව සිදු වූ දේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී බලාපොරොත්තු වූ දස්කම් නොදැක්වීමත් අතිරේකව ඇති තවත් හේතුවකි.

පසුගියදා පැවැති ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගාවලිය 3-0ක් ලෙස පරාජය විය. පන්දු වාර 20-20 තරගාවලිය 2-1ක් ලෙස පරාජය විය. මෙම පරාජය තමන්ගේ අනුදැනුමක් නොමැතිව සිදු වුනු සංචාරයක් නිසා බව කියන ඇමැතිවරයාට මේ අනුව ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීම කළ යුතු තරම් බරපතල සිදුවීමක් ලෙස පෙනෙනවා විය හැකිය. සමහර විට තමන්ගේ හිතෛශීන්ට ක්‍රිකට් බාර දීමට මේ හොඳ අවස්ථාවක් කර ගැනීමේ සිතුවිල්ල පහල වූවාද විය හැකිය.

කෙසේ නමුදු, ඉන්දියාවට ගිය නවසීලන්තයට සිදු වූයේ ද ශ්‍රී ලංකාව මෙන්ම එක් දින තරගාවලියේ 3-0ක පරාජයක් සහ අතර පන්දු වාර 20-20 තරගාවලියද 2-1ක් ලෙස ද පරාජය වීමටය. ශ්‍රී ලංකාව ඉන්දියාවට ගියේ මේ තරග අංශ දෙකේ ශ්‍රේණිගත කිරීම්වල 8 – 9 ස්ථානවල සිටිමින් ය. නවසීලන්තය ඉන්දියාවට ගියේ 1- 2 ස්ථානවල සිටිමින් ය. නවසීලන්තය ද ශ්‍රී ලංකාව මෙන් ම පරාජය විය. එහෙත් එම පරාජය දඩමීමා කරගෙන එරට ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැරීමට හෝ තේරීම් කමිටුව විසුරුවා හැරීමට හෝ පරාජය ගැන වාර්තා කැඳවීමට එරට ක්‍රීඩා භාර ඇමතිවරයා කටයුතු කළේ නැත. අඩුපාඩු සකසා ගැනීමට දිරි දුන්නා පමණය.

මේ අනුව දේශපාලනඥයන් පදනම් විරහිත, ද්වේෂ සහගත චෝදනා කරන බව ද ක්‍රිකට් සභාපති අයිසීසීය ට යැවූ ලිපියේ සඳහන්ය. පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පරිබාහිරව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එසේ විවේචනයට ලක් වූ බව නොරහසකි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා අයි.සී.සී.ය වෙත ක්‍රිකට් අර්බුදයන් සම්බන්ධයෙන් ලිපිය යොමු කර ඇත්තේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්වීමෙන් පසුවය. සභාපතිවරයා පවසන්නේ මෙමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනියම් දේශපාලන බලපෑම් ද සිදුවන බවයි.
මෙම කරුණ තහවුරු කරමින් පසුගිය 25 වන දින (2023/05/25) ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර සිටින්නේ. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධූරයට පත් අර්ජුන රණතුංගගේ පත් කිරීම නීති විරෝධී’බවයි.

ඔහු ඒ සදහා ක්‍රීඩා පනතේ 1973 අංක 25, 4(3) දරණ වගන්තියට අනුව ක්‍රිඩා සභාවට පත් කරනු ලැබූ’සාමාජිකයෙකු තමාගේ සාමාජිකත්වය දරන කාලය තුළ’ශ්‍රී’ලංකා ජාතික ක්‍රීඩා සංගමයක හෝ වෙනත් ක්‍රීඩා මණ්ඩලයක සාමාජිකත්වය නොදැරිය යුතු බව දක්වා ඇත.

ඒ අනුව වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ශ්‍රී’ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (ීක්‍) විධායක කමිටු සාමාජිකයෙකු ලෙස 2021 ජුනි මස සිට තේරී’පත් වී’ඇති අතර ඔහු 2022 අගෝස්තු මස 10 දින ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පත් කරන විටත් මේ දක්වාත් එම ධූරයේ රැදී සිටී.

මේ අනුව අර්ජුන රණතුංග කරුණු වසංකොට සභාපතිත්වයට පත්ව ඇති අතර එය ක්‍රීඩා පනත අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බවත් සුදත් චන්ද්‍රසේකර වැඩිදුරටත් අදාළ’ලිපිය මගින් ක්‍රීඩා ඇමතිවරයා වෙත දන්වා ඇත.

මේ අනුව ජාත්‍යන්තරව රටට කීර්තියක් අත් කර දුන් ක්‍රීඩාවක තහනමක් ලගදීම ක්‍රීඩා ඇමතිවරයාගේ ආනුභාවයෙන් උදාවීම සිදුවනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දුව ලෝකයෙන් ඉවතට

ඒ ක්‍රිකට්ය. මේ පාපන්දුය. මේ වන විටත් ක්‍රීඩා පරිපාලකයන් විසින් හිතුමතයට වැඩ කරන්න ගොස් ජාත්‍යන්තර තරග තහනමක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවාගෙන ඇත. දැන් අපේ රටේ පාපන්දුව ජාත්‍යන්තරයෙන් කොන් වූ ක්‍රීඩාවකි. විදෙස් තරග නැත. රට ඇතුලේ පාපන්දු ගැසිය හැක. එතැනින් එහා සම්බන්ධයක් අපේ පාපන්දුවට නැත. මේ තත්ත්වය එකපාර ඇති වූවා නොවේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඒ පිළිබඳව කීප වරක් අනතුරු ඇඟවීම් කර තිබුණි. ක්‍රීඩා ඇමැතිගේ අලු‍ත් ගැසට්ටුවට අනුව රටේ ක්‍රීඩා නීතිය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව ගැටෙන තැන් තිබේ. ලංකාවට පාපන්දු තහනමක් පැනවීමට බලපෑ ප්‍රධාන කාරණය වූයේත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීමය. මේ පිළිබඳව අප දැඩිව අවධානය යොමු කළ යුතුය. එසේම තවදුරටත් ක්‍රීඩා ඇමැති පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තමාගේ අලු‍ත් ගැසට්ටුව කිසිලෙසකවත් රිවස් නොකරන බවය. කුමක් හෝ කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගත්තද ඇමැතිවරයාගේ මෙම දරදඬු ක්‍රියා පිළිවෙත මත ඉදිරියට යෑම අපහසු වනු ඇත. ඉදිරියට ද ශ්‍රී ලංකා නීතිය හා ජාත්‍යන්තර පාපන්දු සංගමයේ නීතිය ගැටෙනු ඇත. රට තිබෙන්නේ ලෝකය ඇතුලේ මිස ලෝකය තිබෙන්නේ රට ඇතුළේ නොවේය. අප ඒ බව දැනගෙන කටයුතු කළ යුතුය. හුදු ජනප්‍රියත්වය උදෙසා ඇමැතිවරයා විසින් කියන කරන දේවල්වල බරපතළකම ඔහුට නොවැටහීම ක්‍රීඩාවට හෙට දවසක් නැති කිරීමේ තැනට වැටෙනු ඇත.

රග්බිවලට වෙච්චි දේ

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවටද සිදුවන්නේ පාපන්දුවට වූ දේමය. 2023 මැයි 11වැනිදා රැස් වූ ලෝක රග්බි කවුන්සිලය, ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව මැයි 17වැනිදා ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්ෂ හෂාන් සිංහවංස වෙත දැනුම් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බාහිරව පවත්වන කිසිම රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම්වලට අවස්ථාව හිමිවන්නේ නැත.
ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිල වශයෙන් පත් වූ රග්බි ශ්‍රී ලංකා කමිටුව අවලංගු කර ස්ථායිකරන කමිටුවක් පත් කිරීම ලෝක රග්බි නීතියට අනුකූල නොවීම, ශ්‍රී ලංකා රග්බි තහනමට හේතුව බව මෙහි මූලික හේතුවය. එසේම ලෝක ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුවද රග්බි ස්ථායිකරණ කමිටුව පිළි නොගන්නා බවද අවධාරණය කර සිටියි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල්ද සිල්වා සඳහන් කර සිටියේ ජාතික ඔලිම්පික් කමිටුව ලෙස ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශ සහ අනපනත් අනුව කටයුතු කරන බවත් ජාතික ක්‍රීඩා සංගමයක වලංගු බව පිළිගනු ලබන්නේ අදාළ සංගමයේ සාමාජිකයින් විසින් පත්කරගනු ලැබූ විට පමණක් බවය. කෙසේ වෙතත් රග්බි තහනම පිළිබඳ තම ආයතනයට අදහස් පළ කල නොහැකි බවත් ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකා රග්බි සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වයක් වන හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් පවසා සිටියේ ශ්‍රී ලංකා රග්බි තහනමට හේතුව පැහැදිළිව ලෝක රග්බි සංගමය විසින් අවධාරණය කර ඇති බවත් දේශපාලනික මැදිහත්වීම් ලෝක රග්බි සංගමය අනුමත නොකරන බවත් ය. රග්බි සභාපතිවරයා ලෙස තමා වග කියනු ලබන්නේ ශ්‍රී ලංකා රග්බි කවුන්සිලයට බවත් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ඔහුගේ අදහසයි.

මේ අනුව ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා කිහිපයක් ජාත්‍යන්තරය හමුවේ තහනමට හා පරාජයට මෙන්ම කිර්ති නාමය විනාශ’කිරීමේ කටයුත්තට ක්‍රීඩා ඇමැතිවරයාගේ බලපෑමක් සිදු වෙනවා නම් එය වැලැක්වීම රජයේ යුතුකමය. කුකුලන්ගේ ආරක්ෂාව නරින්ට බාර දීමෙන් සිදුවිය හැකි අනතුර ගැන අමුතුවෙන් කිව යුතු නැත.

  • කේ.පී.අයි. ප්‍රියංගනී