පරණ වාමාංශික නායකයෝ තමන්ගේ පාක්ෂිකයෝ දාලා දිව්වේ නෑ

පසුගිය 25 වන සෙනසුරදා ජනාධිපති රනිල්ට සිය රස බර පාසල් දිවිය යළි සිහිපත් කරවූ අපූරව දිනයක් විය. රාජකීය විද්‍යාලයේ නීති සංගමයේ සැමරුමක් එදින කොළඹ හිල්ටන් හෝටලයේ පැවැතිනි.

එහිදී කොළඹ ප්‍රසිද්ධ පාසලක් වූ විශාඛා විද්‍යාලයේ තාප්පයෙන් පැන පාසල් ශිෂ්‍යකු ලෙස එහි ගිය හැටිත්, විදුහල්පතිනය තමන් ඇතුළු පිරිස පිටමං කළ හැටිත් ජනපති රනිල් කීවේ සිය මිතුරන් ඉදිරියේදීය.
මෙම හමුව අති උත්කර්ෂවත් හමුවක් වූවේ පාසල් දිවියේ පැරණි රස මතකයන් පිටතට පැමිණි අවස්ථාවක් වූ නිසාය. ජනපති රනිල් පාසල් අවදියේ කළ කෙලිකවටකම් වලින් සාදය විනෝදබර වූවේ රනිල් ද සාමාන්‍ය පුරවැසියෙකු බවට එහිදි පත්වීම නිසා පාසල් දිවියේ කළ ඇට්ටරකම් රැසක් මෙහිදි එළි බැස්සේය. සුළු වේලාවකට එහි පැමිණ යන්න සිතා පැමිණියද ජනපතිවරයා සාදය නිමවන තෙක්ම එහි රැදී සිටියේ අතීත මතක සිහිපත්වීම ඔහුටද සතුටුජනක අවස්ථාවක් වීම නිසාය.

සදුදා ජනපති ඇමති මණ්ඩලය වෙත ගියේ ආර්ථිකය ගැන කතා කිරීමටය. මෙහිදි ජනපති වත්මන් ආර්ථික වැඩපිළිවෙල ගැන මෙන්ම බදු සංශෝධනය ගැන ද විශේෂ ප්‍රකාශ රැසක් ඉදිරිපත් කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මෙන්ම ලෝක බැංකු ආධාර ගැන ද මුදල් ඇමතිවරයා ලෙස ජනපති රනිල් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය.

ඇමති මණ්ඩල හමුවෙන් පසු ජනපති රනිල් සමඟ ඇමතිවරු පිරිසක් සුහඳ සාකච්ඡාවක නිතරවූ අතර එහිදි පෙරදින පැවැති ජ.වි.පෙ උද්ඝෝෂණය ගැනද කතා බහක් ඇතිවිනි. කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව ඒ අසල පැවැති කඩයක අකුලන දොරක් කඩා ජ.වි.පෙ නායකයා ඇතුලට රිංගා ගත් ආකාරය ගැන ද ඇමතිවරු කියන්නට වූහ. මේ සියළු කතා අසා සිටි ජනපති රනිල් හැමට අපූරු කතාවක් කීවේය.

“අසූව දශකය මුල එන්.එම් පෙරේරා ඇතුළු සම සමාජ නායකයෝ හයිඩ්පාක් පිටිය ආසන්නයේ ඔය වගේම උද්ඝෝෂණයක් කළා, පාර වහගෙන. මෙතනට පොලිසියෙන් ඇවිල්ලා කදුළු ගෑස් ගහලා, මේ අයට හොදටම පහර දුන්නා. එන්.එම් පෙරේරාත් හොදටම ගුටි කෑවා. කකුලට වැදුනු පහරක් නිසා කකුල ආබාදයකට ලක්වුනා. එය ඔහු මැරනෙකම්ම තිබුණා.” ජනපති අතීත කතාවක් සිහිපත් කළේය.

“ඔව් මටත් මතකයි ඔතන සම සමාජ පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඉස්සරහා තමයි ඔය උද්ඝෝෂණය තිබ්බේ. එදා නායකයෝ තමන්ගේ සාමාජිකයෝ එක්ක මැරෙන්න වුනත් හිටියා. කොල්වින්, පිලිප්, ජේ.ආර් එහෙම තමයි. පරණ වාමාංශික නායකයෝ තමන්ගේ පාක්ෂිකයෝ දාලා දිව්වේ නෑ. ගහද්දී ගුටි කාගෙන හිටියා.” ඇමති බන්දුල ද කතාවට ඌණ පූරණයක් එක් කළේය.

“ඒකට දැන් වාමාංශික නායකයෝ කඩවල් අස්සේ හැංගිලා එළියට ඇවිල්ලා වීරයෝ වගේ කෑ ගහනවා. තමන්ගේ පාක්ෂිකයෝ විතරක් අසනීප වෙලා රෝහල්ගත වෙනවා.” ඇමති ප්‍රසන්න ද කතාවට එක් වූවේය.
“අසනීප තියෙන අය මේ වගේ උද්ඝෝෂණවලට ගේන එක සම්පූර්ණයෙන්ම වැරදියි. අනෙක අද කොල්වින් මහත්තයා හිටියා නම් අනේ අනුර මගෙන්වත් ඉගෙන ගන්න කියලා කියයි.” ඇමති මනූෂ කියද්දී කාටත් සිනහව නතර කර ගැනීමට නොහැකිවිය.

විරෝධතාවයට සහභාගී වී පිටත්ව යද්දී අසනීපව රෝහල්ගත කළ අයෙකු මිය ගොස් ඇති බවට පණිවුඩය රැගෙන ආවේ ජනපති ලේකම් සමන් ඒකනායකය. එම පුවත අසා සංවේදී වූ ජනපති රනිල් කීවේ මෙය ඉතාම ශෝක ජනක පුවතක් බවයි. ඔහු හෘද රෝගියෙකු බව ද මෙහිදි හෙළිදරව් වූවේය.
“හෘද රෝග වැනි බරපතල රෝගාබාද තිබෙන පුද්ගලයින් මෙවැනි උද්ඝෝෂණවලට ගෙන ආ යුතු නෑ. නායකයොත් මේ ගැන බලන්න ඕනේ. මේ මරණය ගැන ඇත්තටම මට කණගාටුයි.” ජනපති කීවේ බිදුනු ස්වරයෙනි.

“මේක නම් පොලිසියෙන් ගුටි කාලා හෝ වෙඩි වැදිලා වෙච්ච මරණයක් නොවෙයි. නමුත් අපේ උද්ඝෝෂණවලට එදා පොලිසිය කදුලු ගෑස් ගැහුවා විතරක් නොවෙයි වෙඩිත් තිබ්බා. 2001 ජනබල මෙහෙයුමේදි අපේ දෙන්නෙක්ව පොලිසිය වෙඩි තියලා මැරුවා. ජනාධිපතිතුමාගේ උපදෙස් නිසා දැන් පොලීසිය ඉතා හික්මීමෙන් කටයුතු කරන්නේ.” වජිර අබේවර්ධන අතීතය සිහිපත් කළේය.

ජනපති එදින පකිස්ථානු නාවුක හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් මහතා මුණ ගැසුණු අතර එහිදි දෙරට අතර නවුක කටයුතු හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. එදින ජනපති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් කරනු ලැබීය. ඒ වරාය ගුවන් තොටුපොල හා මගී ප්‍රවාහන සේවා හා ඒ ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කිරීමේ ගැසට් පත්‍රයටය.

එදින ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ උපන් දිනය යෙදී තිබුණු බැවින් ඔහුට සුබ පැතීමට ද ජනපති අමතක නොකළේය. එදින ඔහු කාර්ය මණ්ඩලයට කේක් පිරිනැමූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ඔහුට සුබ පතා තිබුනි.

එදින ඔහු කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ක්‍රියාත්මක වන ප්‍රජාමූලික මුළුතැන්ගේ වැඩසටහනට සහභාගී වී අසරණ පවුල් වෙත දිවා ආහාරය ද පිරිනමනු ලැබූවේ මේ අවස්ථාවේ ජනතාව ඉතා අමරු ජිවන වටපිටාවක සිටින බැවිනි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපනය කිරීම වෙනුවෙනි. යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඒ වෙනුවෙන් විශේෂිත රෝහල් හා සුදුසු ස්ථානයක විශේෂිත ළමා රෝහලක් පිහිටුවන ලෙස ඔහු උපදෙස් දෙනු ලැබීය.

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ජනපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය බැංකුවල ප්‍රධානීන් මුණ ගැසුණේ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පසුදින ක්‍රියාත්මක කිරීමට යෝජිත විරෝධතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදි මෙම දෙපළ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබූවේ ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙසටය.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් ඇතුළු නියෝජිත පිරිස ජනපති මුණ ගැසුණේ ඉකුත් බදාදාය. එහිදි ඔහු ඇතුළු පිරිස මෙරට සංවර්ධනය වෙනුවෙන් දායක වන බවට ජනපතිට පොරොන්දු වූවේය.

එදින සවස ජනපතිට ලැබුණු රහස් වාර්තාවකින් කියවුනේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පැවැති වැඩවර්ජනය ප්‍රාදේශීය වශයෙන් අසාර්ථක වී ඇති බවටය. මේ අතර ජනපති රනිල් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැදවනු ලැබූවේ රජයේ මූල්‍ය කටයුතු ගැන තීරණයක් ගැනීමටය.

මුදල් ඇමති ලෙස ඔහු ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ පත්‍රිකාවෙන් කියවුනේ බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට වර්ජනය හේතුවෙන් රාජ්‍ය බැංකු පද්ධතියෙන් බාධා පැමිණුනොත් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට රාජ්‍ය ආයතනවලට අවසර ලබාදීමය.
“රාජ්‍ය බැංකු සේවකයෝ මේ විදියට කටයුතු කරන්න ගියොත් අවසානයේ පෞද්ගලික බැංකු සමඟ කටයුතු කරන්න රාජ්‍ය ආයතන ක්‍රියාකාරාවි. එහෙම වෙලා බැංකු කඩා වැටුනොත් මේ වර්ජනය කළ සේවකයෝ ඊට වගකියන්න ඕන.” ඇමති බන්දුල කීවේ එවැන්නකි.

“හුගක් අය වර්ජනයට ඇවිල්ලා නෑ. වෘත්තීය සමිති ඒකාධිකාරය මේකෙන් බිද වැටෙනවා. රාජ්‍ය සේවයෙන් 9% ට විතරයි මේ බදු ප්‍රශ්නය බලපාන්නේ. ඉතින් තමන්ට බලනොපාන කාරණයක් වෙනුවෙන් සේවකයෝ මේ වෘත්තීය සමිති එක්ක හිට ගන්නේ නෑ.” ඇමති ප්‍රසන්න කීවේය.
“ලක්ෂයකට වඩා පඩි ගන්න අයට ගහපු බද්දට ලක්ෂයක්වත් පඩි නැති ගුරුවරු එකතු වෙන්නේ ඇයි කියලා තමයි මට ප්‍රශ්නය.” ඇමති දේවානන්දා ද කීවේ එවැන්නකි.

“ගුරුවරු ඔක්කොම ආවේ නෑ. ටික දෙනෙක් කලු ඇදගෙන ගියා. මෙතන හොදම කතාව වර්ජනය නිසා වරායට ලක්ෂ ගණනක් පාඩුයි කියලා ඒකේ වෘත්තීය සමිති නායකයෝ කියන එකයි. මෙච්චර රට වැටිලා තියෙද්දී තමන් පාඩු කලා කියලා උජාරුවෙන් කියනවා. ජනතාව මේ අයව ලගදීම හොද උත්තරයක් දෙයි.” ඇමති මනූෂ ද කීවේය.

“වෘත්තිය සමිති ස්ට්‍රයික් කලා කියලා රජයට වැඩ නතර කරන්න බෑ. අපි මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න ඕනේ.” ජනපති කීවේ කැබිනට් පත්‍රිකාව අනුමැතිය ඉදිරිපත් කරමිනි. අවසානයේ ජනපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්මත වූවේය.

ඩොලරයේ අගය පහත යාම හා රුපියල ශක්තිමත් වීම ගැන ද මෙහිදි සාකච්ඡා කරනු ලැබීය. කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනපති මුණ ගැසීමට මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පැමිණ සිටියේය. ඔවුන් බැදුම්කර නඩුවෙන් රවී කරුණානායක නිදහස්වීම ගැන කතා කළ අතර එහිදි එම නඩුව පැවරීමට නීතිපති කටයුතු කළ ආකාරය නිවැරදි නොවන බවට වනිසුරු මඩුල්ලෙන් කරුණු දැක්වීම ගැන ද කතා බහ කෙරුණි.
ජනපති ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් ත්‍රිකුණාමලය බලා පිටත්ව යන අතරතුර පොළොන්නරුවේද නතර වූවේය. ඒ මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීමටය. එහිදි එකලස් කරන ලද විද්‍යුත් ට්‍රැක්ටර්, විද්‍යුත් යතුරු පැදි හා ත්‍රිරෝද රථ පරික්ෂා කිරීමට ද ජනපති පියවර ගත්තේය. ඉන් පසුව ජනපති ගියේ පොළොන්නරුව ගොවි සමිති නියෝජිතයන් මුණ ගැසීමටය.

එහිදි ඔවුන් ජනපතිට උපහාර තිළිණයක් පිළිගැන්වූවේ කඩා වැටීමට ගිය කෘෂි කර්මාන්තය ආරක්ෂා කිරීමට පියවර ගැනීම උදෙසාය.
“සර් අපි ගොවිතැන නවත්වන්න හිටියේ. පොහොර නැතුව ගොවිතැන් කරන්න බෑ. ඔබතුමා ඇවිල්ලා අපිට පොහොර දුන්න නිසා තමයි අපි ගොවිතැන් කරන්න පටන් ගත්තේ. නැතිනම් අපි ඉවරයි” ගොවීයෝ එක හඩින් කියන්නට වූහ.

“මම උදව් කරන්නම් ඔයාලා මට අස්වැන්න වැඩි කරලා දෙන්නකෝ.” ජනපති කීවේ සිනාසෙමිනි.
නිසැකවම එය සිදුවන බව කී ගොවීන් එදා විපක්ෂ දේශපාලන නායකයෝ පසු බසිද්දී කඩා වැටුණු රට බාර ගෙන එය පිළිසකර කිරීමට පියවර ගැනීම ගැන ජනපතිට තුති පුද කළේය. පසුව ජනපති ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියේ ආරක්ෂා නිලධාරීන්ගේ විසිර යාමේ උත්සවයකට සහභාගී වීමටය.