වමක් නොව දැන් පිළක්
අනුර නායකයා
වූවා පමණි
එය ”වමක්”
නොව
දැන් ”පිළක්”
2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද ප්‍රමාණය 418,553ක් වීම සහ එහි ප්‍රතිශතය 3.16%ක් වීම, මෙරට වාමාංශික බහුජන ව්‍යාපාරයකට දේශපාලන බලය සම්බන්ධයෙන් හෙට්ටු කිරීමට තිබූ සූක්ෂම අවස්ථාවක් අහිමිකර ගැනීමක් සේම වාමවාදයේ අතිශය පසුබෑමක් බවත් මෙරට වාමවාදී දේශපාලන විශ්ලේෂකයන් බහුතරයකගේ අදහස විය. ඔවුන්ගේ පශ්චත්තාපී අදහස් දැක්වීම්වලට අනුව මෙම පසුබෑම, ජනතා විමුක්ති පෙරමුණට පිටතින් සවිකර ඇති වාම-ලිබරල්වාදී බුද්ධිමය චින්තනය හේතුකොට ගෙන අත්කරගත් අනිවාර්ය ප්‍රතිඵලයක් බව පෙන්වා දී තිබිණි.
එසේම වාමවාදී අදහස් දැරූ ජනතා විමුක්ති පෙරමුණ වහා වහා අලුතින් එක්කර ගන්නා ලද බුද්ධිමතුන්, කලාකරුවන් හා වෘත්තිකයන්ගෙන් සුසැදි ජාතික ජන බලවේගය නම් වූ ලිබරල්වාදී චින්තන ගොදුරෙන් අත්මිදී නැවතත් පක්ෂයේ බුද්ධිමය සහ සදාචාර නායකත්වය පක්ෂ ක්‍රියාකාරීන් අතට අත්කර ගැනීමෙන් හෝ දිනා දීමෙන් පමණක් වාමාංශික බහුජන ව්‍යාපාරයට ජයග්‍රහණ අත්කර දිය හැකි යැයි ද වාමවාදී විශ්ලේෂකයන් විසින් අවධාරණය කර තිබිණි. ඒ මේ රට තුළ වම දිනාගැනීම වෙනුවෙනි. සමාජවාදය ගොඩනැගීම වෙනුවෙනි. මාක්ස් ලෙනින්වාදී සමාජ විප්ලවය සිදුකිරීම වෙනුවෙනි.
ඒ කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක මණ්ඩලයට අවශ්‍ය වූයේ එවැන්නක් නොව කෙසේ හෝ අලුතින් ගොඩනගන ලද බහුජන ව්‍යාපාරය ශක්තිමත් කොට ආණ්ඩු බලය දිනාගැනීමට කටයුතු කිරීමය. ඒ වෙනුවෙන් බොහෝ ප්‍රතිසංස්කරණ පක්ෂය තුළත් බහුජන ව්‍යාපාරය තුළත් නොවලහා සිදුකිරීමට පියවර ගත් බව දක්නට ලැබිණි.
බොල්ෂෙවිත්වෝ ද?
මෙන්ෂෙවිත්වෝ ද?
”අවස්ථාවාදය යනු හදිස්සියේ ඇති වූ දෙයක්වත්, වැරදීමකින් ඇති වූ දෙයක්වත් නැතහොත්, පුද්ගලයන්ගේ ද්‍රෝහිකමක්වත් නොවේ. එය සමස්ත ඓතිහාසික වකවානුවක සමාජ නිපයුමකි.” සමාජවාදී විප්ලවීය පක්ෂයක් අවස්ථාවාදයට ගොදුරු වීම පිළිබඳ න්‍යායික පැහැදිලි කිරීම එසේය.
ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පුරා අවස්ථාවාදී ප්‍රවණතාවන් හිස ඔසවා ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම බොල්-ෂෙවික්වාදීන්ගේ න්‍යාය පැහැදිලි කිරීම් හරහා පක්ෂය රැක ගැනීමටත් මෙන්ෂෙවිකයන් පක්ෂයෙන් නෙරපා දැමීමටත් කටයුතු කර තිබිණි. නිදසුනක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පළමු මහලේකම් වරයා වූ ලයනල් බෝපගේ පක්ෂයෙන් ඉවත්කරන ලද්දේ පක්ෂය අවස්ථාවාදයට ගොදුරු කිරීමට තැත් කළා යැයි චෝදනා කරමිනි. එසේම මෑත කාලීනව ගත් කළ ජනතා විමුක්ති පෙරමුණේ සුප්‍රසිද්ධ ප්‍රචාරක ලේකම් වූ වීරවංශ ඇතුළු කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීම, හිටපු දේශපාලන මණ්ඩල සාමාජිකයකු යැයි කියන කුමාර් ගුණරත්නම් ඇතුළු විශාල කණ්ඩායමක් පක්ෂයෙන් නෙරපා දැමීම හා 90 දශකය දක්වා රහසිගත දේශපාලනයක නිරත වූ ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට කැඳවාගෙන විත් වසර කිහිපයක් තුළ පක්ෂය සතුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 40ක් දක්වා ඔසවා තැබීම දක්වා පක්ෂයට නායකත්වය දුන් සෝමවංශ අමරසිංහ පක්ෂයෙන් ඉවත් කිරීම ද අවස්ථාවාදයෙන් පක්ෂය රැකගත් සුවිශේෂී අවස්ථාවන් ලෙස අර්ථ නිරූපණය කෙරී ඇත.
ඒ අනුව බොල්-ෂෙවික්වාදීන්ගෙන් සැදුම්ලත් ජවිපෙ විසින් කල්යල් බලා වර්තමානයේ ගොඩනගන ලද පාර්ලිමේන්තුවාදී බහුජන ව්‍යපාරය වූ ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ අවස්ථාවාදයට ගොදුරු වූ පශ්චාත් නූතන ප්‍රවණතාවයක් යැයි අර්ථ නිරූපණ සැපයීමට හදිසි විය යුතු නැත. ලෙනින්ගේ මෙන්ෂෙවික්වාදයේ න්‍යායික පැහැදිලි කිරීමට අනුව එය මෙසේ අර්ථ ගන්වාගත හැකිය.
- එය සැලසුම් සහගතව වසර කිහිපයක් තුළ ගොඩනගන ලද බහුජන ව්‍යාපාරයක් වීම.
- ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ වැරදි තීන්දුවක් නිසා නිර්මාණය වූවක් ද නොවන බව පැහැදිලි වනුයේ න්‍යාය පැහැදිලි කිරීම් හා සිදුකර ඇති වෙනස්කම් සියල්ල නායකත්ව මණ්ඩලය විසින් අනුමත කරන බැවිනි.
- අනුර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත් හෝ ලාල් කාන්ත වැනි සමාජවාදය විශ්වාස කළ ජවිපෙ නායකයන්, සමාජවාදය හෝ කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ කිසිදු ද්‍රෝහිකමකින් තොරව රටේ අනාගතය නිර්මාණය කිරීම උදෙසා ගොඩනැගූ බහුජන ව්‍යාපාරයක් වීම.
- 1965 ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ දා පටන් 2015 අවසාන භාගය දක්වා සිදුකළ සියලු දේශපාලන ක්‍රියාකාරකම්වල, මැදිහත්වීම්වල හා ගොඩනැගූ විවිධාකර ව්‍යාපාර, සංවිධාන, පෙරමුණු සියල්ලේම අත්දැකීම්, අත්වැරදීම්, පසුබැසීම් මෙන්ම ඉහළ නැගීම් ආදී සමස්තය කිරා මැන බලා ඉතිහාසයේ නිශ්චිත මොහොතක ගතයුතුව තිබූ අනිවාර්ය තීන්දුවක් ලෙස ගොඩනැගුණු සංවිධානයක් වීම. එකී සංවිධානය නමින් ජාතික ජන බලවේගය විය.
තවද ලෙනින්ගේ කොමියුනිස්ට් ජාත්‍යන්තරය දෙවෙනි සම්මේලනය වෙලුම 03 හි පැහැදිලිව දක්වා ඇති ආකාරයට, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය පුරාම විවිධ ස්වරූපයෙන් පැන නැගි අවස්ථාවාදී උපනතීන් ලෙස දක්වා ඇත්තේ, බකුනින්වාදය, පෘදොන්වාදය, ලසාල්වාදය, බ්ලැන්කිවාදය, කෞට්ස්කිවාදය, ස්ටාලින්වාදය, ට්‍රොස්කිවාදය මාවෝවාදය හා පසුකාලීනව යුරෝ කොමියුනිස්ට්වාදය හා පශ්චාත් මාක්ස්වාදය වැනි ප්‍රවණතා ය. මේ කිසිදු වාදයක පාර්ලිමේන්තුවාදය නිරූපණය නොවන්නේ යැයි උපකල්පනය කළ හැකි නම්, ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදී ප්‍රවණතාවක් යැයි කිසිවකුට අර්ථ ගැන්විය හැකි නොවේ.
ලිබරල් ආගමනය
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලය නියෝජනය කළ අනුර කුමාර දිසානායකගේ දේශපාලන ශක්තිමත්භාවය පක්ෂයට බලපෑමක් නොවන තාක් පුරා ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පංති සතුරා වූයේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ලිබරල් ප්‍රතිපත්ති සහිත ලංකාවේ ධනේෂ්වර පක්ෂය වූ බැවිනි. අනෙකුත් පක්ෂ සම්බන්ධයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ පිළිබඳ විවිධ වූ විවේචන, චෝදනා තිබුණ ද අවස්ථා ගණනාවක දී එකමුතු පෙරමුණු, හවුල් සන්ධාන, එක්සත් ක්‍රියාමාර්ග වැනි දේශපාලන තීන්දු ගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි. හවුලේ ආණ්ඩු කිරීමට පවා ඔවුන් කටයුතු කළේය. නමුත් වසර 45ක් පුරාවට ජවිපෙ විසින් දිවිහිමියෙන් සිරැකි මෙකී ප්‍රතිපත්තිමය කන්‍යාභාවය බිඳිමින් 2010 වසරේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජවිපෙ දායක වීම, නූතන ලිබරල් වාමවාදයේ පළමු හැරවුම් ලක්ෂ්‍ය විය.
එහි දෙවන පියවර වූයේ රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයට නතුව තිබූ රට ඉන් මුදවා ගැනීම සඳහා 2015 දී එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයට උරදීම පමණක් නොව එකී ආණ්ඩුවේ ඉහළම තනතුරු සඳහා ජවිපෙ දායක වීම හරහා ය. ඒ අනුර දිසානායකගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ ගත් පළමු එක්සත් ක්‍රියාමාර්ගය ද විය.
මේ තත්වය යටතේ රාජපක්ෂවාදීන්ගේ පළමුපෙළේ සතුරකු බවට ජවිපෙ නායකයා පත් වූ බව ‘රතු අලි පැටවා‘ යන නාමකරණයෙන් මනාව පැහැදිලි වේ. එකී චෝදනාවට අත්‍යවශ්‍ය කාරණාවක් සේ සලකා පිළිතුරු බැඳීමට ජවිපෙ නායකයා කටයුතු නොකළ බව ද සිහිතබා ගත යුතුය.
යහපාලනයේ සුජාත පුත්තු
යහපාලන ආණ්ඩුව යනු ලිබරල්වාදී ආර්ථික දැක්මක් (සමාජ වෙළඳපොල ක්‍රමය) සහිත එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් වැඩවසම් මානසිකත්වයක් සහිත ජනාධිපතිවරයකු යටතේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවකි. මෙකී පරස්පර විරෝධී නොගැලපීම නිසාම යහපාලන ආණ්ඩුව විසින් රටේ ආර්ථික, සමාජයීය හෝ සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා සිදුකළ කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් සමාජගත වීම හෝ යාවත්කාලීන නොවීම ම එහි පරාජයේ මූලික හා ප්‍රබල සාධකය වූවාට සැකයක් නැත. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමග සිදුකළ ගනුදෙනුව හා දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී තමන්ගේ සුජාතභාවය තහවුරු කිරීමට උත්සාහ දරනු දක්නට ලැබිණි.
යහපාලන ආණ්ඩුව පිහිට වූ පසු එහි ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ජනතා විමුක්ති පෙරමුණ විසින්ම යෝජනාවක් අනුව පිහිටුවන ලද ජාතික විධායක සභාවේ මෙන්ම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස ජවිපෙ නායකයා කටයුතු කරනු ලැබිණි. එකී ආයතනවල ක්‍රියාකාරීත්වය මෙන්ම තමන්ගේ දායකත්වය කෙසේ සිදු වූවාද යන්න අනුර දිසානායක පසුගියදා පෞද්ගලික රූපවාහිනී සාකච්ඡාවක දී සිදුකළ ප්‍රකාශය හරහා මනාව පැහැදිලි කළේය. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් තමන් සක්‍රීයව දායක වූ බව සහ ධනපති පාලකයන්ට වඩා සුජාතව තමන් ඒ කාර්ය මැනවින් සිදුකළ බව ද පෙන්වා දී තිබිණි.
ප්‍රතිපත්තිමය වෙනස්කම්
ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ පටන් මේ රටේ සමාජවාදී ආණ්ඩුවක් කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් වූ ප්‍රතිපත්ති සමූහයකින් යුත් වැඩපිළිවෙළක් සහිත වාමවාදී නැඹුරුවක් සහිත පක්ෂයක් විය. නමුත් මේ රටේ දේශපාලන වෙනස්කම් හා සමපාත වීමේ හෝ ගලායාමේ වුවමනාව මත ඒ ඒ කාලවල විවිධාකාර වූ රට ගොඩනගන වැඩපිළිවෙළ කිහිපයක් ප්‍රකාශය පත්කර තිබිණි. මෑත කාලීනව ගත් විට 2000 මහ මැතිවරණයේදී ‘පස්අවුරුදු සැලැස්ම’, 2001 මහමැතිවරණයේදී ‘දේශය ගොඩනැගීමේ කෙටිකාලීන වැඩපිළිවෙළ’, 2015 මහමැතිවරණයේදී ‘හෘද සාක්ෂියේ සම්මුතිය’ වැනි අවස්ථා පෙන්වා දිය හැකිය. මේ කිසිදු අවස්ථාවක සිය ප්‍රතිපත්ති වෙනසක් නොකර සිටීමට පරිස්සම් වී ඇත. කෙසේ නමුත් මේ සෑම වැඩපිළිවෙළක්ම සමාජගත කරමින් සිදුකළ දේශපාලනයේ දී ජයග්‍රහණ අත්කර ගැනීමට සැලකිය යුතු දායකත්වයක් එමගින් ඉටු නොවූ බව ජවිපෙ මැනවින් අවබෝධ කරගෙන සිටියා විය හැකිය.
එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ වරින් වර සිදුකිරීමෙන් ඔබ වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම්, ඔබ උමතුවෙන් යැයි වරක් අයින්ස්ටයින් පවසා තිබේ. මෙකී කියමන ජවිපෙ නායකත්වය දැන සිටියා දැයි නොදනිමු. නමුත් සිදුව ඇත්තේ එවැන්නකි. 2015න් පසු එළැඹියේ සිය පක්ෂ ප්‍රතිපත්ති ද වෙනස් කරමින් යන ගමනකි.
මේ දිනවල ජනප්‍රිය කරුණක් බවට පත්ව ඇති පුද්ගලික දේපල සම්බන්ධ වෙනස්කම හරහා මෙම කරුණ තේරුම් ගත හැකිය. එනම් ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ පුද්ගලික දේපළ අහෝසි කොට සියලු පෞද්ගලික දේපළ රාජසන්තක කරන බවට වූ ප්‍රතිපත්තිය පිළිබඳ අද ජවිපෙ දක්වන ආකල්පයයි. මේ සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 18 සමාජමාධ්‍ය සටහනක් තබමින් ජවිපෙ නායක මණ්ඩල සාමාජිකයකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ, එය ජවිපෙ පැරණි ප්‍රතිපත්තියක් බවය. ඒ 1979 පැවැති පක්ෂ සමුළුවක් මගින් ගනුලැබූ තීන්දුවක් බවත් සමාජ දේශපාලන තත්වයන් සලකා ජවිපෙ වරින් වර වෙනස්කම්වලට ලක් වූ පක්ෂයක් බවත් ය.
එසේම තවත් වරෙක එම වෛද්‍යවරයාම සමලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එය මානසික රෝගයක් බවය. එය සමලිංගිකත්වය සම්බන්ධයෙන් ඇඩොල්ෆ් හිට්ලර් දැක්වූ ආකල්පයට වඩා වැඩි වෙනසක් නොවීය. නමුත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා සමලිංගිකත්වය මානව අයිතියක් බව පිළිගෙන තිබීම පැසසිය යුත්තකි.
වාමවාදීන්ගේ දැඩි විවේචන මධ්‍යයේ වුවද ජවිපෙ මේ පියවර තබා ඇත්තේ තවදුරටත් තමන්ගේ නායකත්වයෙන් වාමාංශික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නොව එක්තරා ආකාරයක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හැඩයක් ගත් ලිබරල් ප්‍රතිපත්තිමය කරුණු මත පිහිටා බලයක් අත්කර ගැනීමේ ගමනකි. ඒ වෙනුවෙන් එකතු කරගත හැකි සියල්ලන්ට ආරාධනා කොට රඳවා ගත නොහැකි ”වමක්” වෙනුවට කාටත් රැඳී සිටිය හැකි ”පිළක්” ජවිපෙ විසින් ගොඩනගා ඇත. ඒ ජාතික ජන බලවේගයයි.