පරිස්සමෙන් නැවත අරගලයක් පැමිණිය හැකිය

ආයෙත් තරුණ නැගිටීමක් ඇති වෙයි. ආයෙත් අරගලයක් එය. අරගලයක් ආවොත් ගියපාර වුණාට වඩා ලොකු ප්‍රහාරයක් එල්ල වෙයි… ගෙවල් දොරවල් ගිනි තියයි, මිනී මරයි… මේ නිසා ආණ්ඩුව අරගලයක් එයි කියලා බය වෙන්න ඕනේය, රනිල් බය වෙන්න ඕනේය. අපි කියන හැටියට වැඩ කරන්න ඕනේය… වගේ කතා මේ පසුගිය වසරක කාලය පුරා විපක්ෂයෙන් නිතර අසන්න ලැබෙන්නේය.

මේක දැන් අර මැක්කගේ කතාව මෙනි. ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ ගෙන එන විවේචනයන් අවසන් වන්නේ, මෙහෙම ගියොත් ආයේ මහා තරුණ අරගලයක් එන කතාවකිනි. විශේෂයෙන්ම මේ නන්දෙඩවීම වැඩිපුරම අහන්න තිබෙන්නේ සජබයෙනි. සජබයේ මන්ත්‍රී පඩංගුවලට මේ අරගල භීතිකාව මවන්න සිදුව ඇත්තේම ආණ්ඩුව කෙරෙහි වන විරෝධය නඩත්තු කරන්න වෙන යමක් නැති තැනය. හුදු විවේචනය පමණක් පදනම් කරගෙන ඒ විරෝධය කෙරෙන නිසාය. විවෙච්නය සිදු විය යුත්තේ ගැටලු‍වට විසඳුමක් ඉදිරිපත් කරමිනි. විවේචනය සද්භාවයෙන් කෙරෙනවා කියන්නේ ඒකටය. නමුත් විසඳුම් නැති විවේචනවලට පදනමක් නැති නිසා මෙහෙම ගියොත් අරගල නැවත එයි කිය කියා ඇඟ බේරා ගැනීමට විපක්ෂයට සිදුව තිබේ. හරියට අරගලය ඔවුන් විසින් කළ දෙයක් නම් එසේ කීමෙහි වරදක් නැත.

කොහොම නමුත් මෙයින් පැහැදිලි වෙන දේ නම් මේ විපක්ෂයට තවමත් එදා සිදුවූ අරගලය කුමක්ද යන්න ගැන වැටහීමක් නැති බවය. නැත්නම් ඒ යුගය මුළුමනින්ම අමතක වෙලාය. ඒ අරගලයට සිදු වූයේ කුමක්ද යන්න ගැන වැටහීමක් ද නැත. ඒ අරගලය සිදු කළේ සජබයේ හෝ විපක්ෂ දේශපාලන පක්ෂවල මැදිහත්වීමෙන් නොවේ. අරගලයේ දේශපාලනය හෝ එයින් බලපොරොත්තු වූ යම් දෙයක් වේ නම් එය විපක්ෂයේ දේශපාලන න්‍යාපත්‍රවලින් වෙනස් වූවකි. කොටින්ම අරගලය තුළ විපක්ෂයට තැනක් නොමැති විය. සජිත් ප්‍රේමදාසට, අනුර කුමාරට අරගල භූමිය තහනම් කලාපයක් වූයෙත් ඒ නිසාය. මේ විපක්ෂ නායකයන්ගේ නායකත්වය අරගලය පිළිගත්තේ නැත. විපක්ෂ කෙරෙහිද වුයේ විරෝධයකි. ගෝඨා ගෝ හෝම් පමණක් නොවී 225ම එපා කියන එකත් අරගලයේ සටන් පාඨයක් වූ බව විපක්ෂයට දැන් අමතකය.

අරගලය, මහජනතාව පොදුවේ මුහුණ දුන් පීඩාකාරිත්වයට එරෙහිව වූ සාමුහික ක්‍රියාවලියකි. ඒ පි‍ටුපස කවර අදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වුවත් මහජනතාව ඊට එකතු වන්නේ තමන්ගෙ පීඩාවන් දරාගැනිමට නොහැකිවීම මතය. තෙල් හා ගෑස් හිඟය. විදුලි කප්පාදුව, ආහාර හිඟය සහ භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යෑම, ඖෂධ හිගය, රැකියා අහිමිවීම, කාබනික පොහොර නාඩගම නිසා අවුල් ජාලය, රජයේ වංචා දූෂණ ආදිය මත ජනතාව මත පැටවුණු පීඩාකාරිත්වය ඇති කිරීමට සමස්ත දේශපාලනයම වගකිව යුතු බව පොදු හැඟිම විය.

එම තත්වය මෙරට දේශපාලනයේදී සාමාන්‍ය ජනතාව දේශපාලනය ගැන දැරු පාක්ෂික පටු මතවාදයන්ට වඩා දියුණු තැනකට පත්වීමක් වන අතර සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව කිව්වෙත් ඒ නිසාය. නායකයකුට, පක්ෂයකට රට බාර දෙනවා වෙනුවට සිස්ටම් චේන්ජ් එකක වැඩපිළිවෙලක් අවශ්‍ය බව ප්‍රබලව ගොඩනැගුණු මතය විය. නමුත් ඒ අස්සේ ගෝඨා පාලනය විසින් වසර දෙකක් තුළ විනාශ කර දැමුවේ පෙර පැවැති යහපාලන යුගයේදී වඩාත් නිවැරදි කරගෙන පැමිණි දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ බවට වන මතයද මතු විය. දේශපාලන අර්බුදයක් ආර්ථික අර්බුදයත් විසඳිය හැකි එකම නායකයා රනිල්ය, රනිල්ට රට බාර දුන්නානම් හරිය කියන මතයට ඒ දිනවල වලංගුභාවයක් ගෙන දී තිබිණි. මන්ද ඒ වන විටත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ආසනයක් තබා ගෙන අර්බුදයට ඇති එකම විසඳුම කුමක්ද යන්න ගැන රනිල් දිගින් දිගටම ප්‍රකාශ කරමින් තිබීම නිසාය. ඔහු විපක්යේ හෝ ආණ්ඩුවේ මතයට යට වූයේ නැත, අරගලය දඩමීමා කරගෙන මතු වූ ත්‍රාඩ වමේ හඬට යට වුවේත් නැත. රට අරාජික කරන තැනට පත්කරන විසදුම් සමඟ ඔහු පෙළ ගැසුනේ නැත. නමුත් සිස්ටම් චේන්ජ් විය යුතු බවට ප්‍රබලව පෙනී සිටියේය.

ඒ අතර මැයි 09 – 10 දිනවල වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමඟ අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විය. කැබිනට් මණ්ඩලයද ඒ අනුව අහෝසි විය. එහිදී අගමැති ධූරය ලබාගෙන රට යළි ගොඩනැගිමේ අභියෝගය බාරගන්නා ලෙස අසරණ වූ ගෝඨාභය විපක්ෂයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේය. නමුත් ඒ විවිධ කතන්දර කියමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර එය මග හැරිය හැටි අමුතුවෙන් කිව යුතු නැත. ඒ වගකීමට කර ගහන්න තරම් කශේරුකාවක් හෝ විසඳුමක් ඔවුන් සතු නොවීය. අවසානයේ පාර්ලිමේන්තුවේ තනි අලියා ලෙස සිටි රනිල්ට විවිධ පාර්ශ්ව ගණනාවකින් රට බාරගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි. ඒ කළ ආරාධනය ඔහු බාර ගත්තේ පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරු මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද විමසා අවශ්‍ය සහයෝගය ලැබේ නම් ඒ අභියෝගය බාරගැනීමට සුදානම් බව පවසමිනි.

ඒ මොහොතේ පක්ෂ විපක්ෂ බහුතරයකගේ මතය වුයේ රට අකර්මණ්‍ය වී ඇති අවස්ථාවක මෙය ගොඩගත හැකි නායකයා රනිල් පමණක් බවය. කොහොමත් බහුතරයක් සාමාන්‍ය මහජනතාව පවා සිටියේ රනිල් විසින් තමන්ගේ ප්‍රශ්නයට යම් විසඳුමක් ගෙන එනු ඇතැයි අවංක අපේක්ෂාවෙනි.

මැයි 12 වනදා සවස මෙරට ඉතිහාසයේ අතිශය තීරණාත්මක මොහොතක් සලකුණු කරමින් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26 වැනි අගමැතිවරයා ලෙස සය වැනි වරටත් පත්වීය. මෙය ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයේත් සුවිශේෂි වාර්තාවකි. එක් පුද්ගලයකු සය වැනි වරටත් රටක අගමැති තනතුරට පත්වීමත් එක් ආසනයක පාර්ලිමේන්තුව නියෝජනයක් තිබියදී අගමැති තනතුරට පත්වීමේ ලෝක දේශපාලන වංශාවලිය කණපිට පෙරළු දුර්ලභ සිදුවීමකි.

රනිල් වික්‍රමසිංහ මීට පෙර අවස්ථා 5 කදී අගමැති තනතුරට පත් විය. ඔහු මුලින්ම අගමැති වූයේ වයස අවුරුදු 44 දීය. ඒ 1993 මැයි 07 සිට 1994 අගෝස්තු 19 දක්වාය. අනතුරුව 2001 දෙසැම්බර් 09 සිට 2004 අප්‍රේල් 06 දක්වාත්, 2015 ජනවාරි 09 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගොස්තු 17 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාත්, නැවත 2018 දෙසැම්බර් 16 – 2019 නොවැම්බර් 20 දක්වාත් අගමැති විය.

රනිල්ගේ නව පත්වීම රටට අපේක්ෂාවක් ගෙන දුන් බව පසක් වන්නේ අරගල භූමිවල රැඳී සිටි සාමාන්‍ය ජනතාව ක්‍රමක්‍රමයෙන් ඉන් ඉවත්වීමට පටන් ගැනීම නිසාය. නමුත් ජන අරගලයේ ආධිපත්‍යය ඒ වෙනකොට අත්පත් කරගනිමින් සිටි ත්‍රාඩ වාමාංශික කොටස් රනිල්ට එරෙහිවත් ක්‍රියාත්මක වන තැනට පත් විය.

මැයි 13 වැනිදා අරලියගහ මන්දිරය අසල තිබූ මයිනාගෝගම වෙනුවට නෝ ඩීල් ගම පිහිටවූයේ ඒ අනුවය. රනිල් තෝත් පල කියා සටන් පාඨ ලිවීය. නමුත් ඒ සටන් පාඨවලට ජනතා සහය හිමි වූයේ නැත. ජනතාව තවදුරටත් අවශ්‍ය වූයේ ගෝඨාභය සහ රාජපක්ෂවරුන්ගේ බලපෑමෙන් රට මුදවා ගැනීම පමණි. පසුව ජන අරගලය ඉදිරියට ඇදුනේ ඒ වෙනුවෙනි.

කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවීම හෝ ඔහු ධූරය භාර ගැනීම අරගලයේ ජයග්‍රහණයක් යැයි ඇතැමුන් පැවැසූවද සිදුවූයේ අරගලයේ තර්කානුකූල ප්‍රතිපලයක් ලෙස රනිල් අගමැතිවීමය. එහිදී ඇත්ත ජන අරගලය ජයග්‍රහණය කරවීම රනිල් තමන් මත පටවා ගත් අභියෝගය විය. අගමැති ධූරය බාර ගැනීමෙන් පසුවත් ඔහු අරගලය ආරක්ෂා කළ යුතු බව කීවේ ඒ නිසාය. ඇතැමුන්ට අනුව රනිල් අරගලය මර්දනය කළ දුෂ්ඨ පාලකයෙකි. නමුත් රනිල් මර්දනය කළේ අරගලය නොව ඊට මුවා වී රට අරාජික කර රට වනසා වෙනත් ත්‍රාඩ අරමුණු ජය ගන්නට කටයුතු කළ දුෂ්ඨ බලවේගයන්ය. මේ තුළ ක්‍රියාත්මක වූ විදේශ බලවේග, ආගමික කල්ලි, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සහ ඔවුන්ගේ කොන්ත්‍රාත් ඉටු කළ දේශපාලන කල්ලි කණ්ඩායම් රොත්තය.

රනිල් සැබෑ ජන අරගලය ආරක්ෂා කළේය. ඒ ඇත්ත අරගලකරුවන් රනිල්ගේ නායක්තවයෙන් යළි රට ගොඩනැඟිම සඳහා වන අරගලය සමග අඛණ්ඩව රැඳී සිටි. රනිල් සිස්ටම් චේන්ජ් කිරීම වෙනුවෙන් ගනිමින් තිබෙන පියවරයන් වෙනුවෙන් පෙනී සිටී. ව්‍යාජ අරගලය සෝදා පාළුවට ලක් වූයේත් විපක්ෂය එකක් පිට එකක් රැලි ගොඩනංවමින්, සමස්ත ලංකා වැඩවර්ජන විරෝධතා සංවිධානය කරමින්, බලය වෙනුවෙන් පටු දේශපාලනයක නිරත වුවත් ඒවා හුලං පිරවූ බැලු‍ම්වල හුලං ගියා සේ හැකිලී ගියේත් ජනතාව රනිල් සමග රට ගොඩනංවන වැඩපිළිවෙල සමඟ සිටින නිසාය.

විපක්ෂයට තවමත් මේ ගැන තේරුමක් නැත. ආයේ අරගලය එනවා… ආණ්ඩු පෙරළනවා… රනිල්ව එලවනවා… වැනි මෝඩ කතා කියවන්නේ ඒ නිසාය. යළි අරගලයක් එන්නේ රටට වින කටින විපක්ෂය එළවන්න මිසක් රට ගොඩනගන මිනිස්සු එළවන්න නොවේ.

රජය මෙවන විට ගෙන තිබෙන සාධනීය පියවරයන්ට මෙම විපක්ෂ කොටස් සහය දුන්නේ නැත. ආණ්ඩුවට කිසිඳු සහයක් නොදෙන බවටත් මේ වන විට සජබය පක්ෂ මට්ටමෙන් තීන්දුවක් ගෙන අවසන්ය. ජවිපය නම් කෝක කොහොම වුනත් විරුද්ධවීම පක්ෂයේ සදාකලික නොවෙනස් තීන්දුවකි. මේ නිසා ජන අරගලයෙන් පරිසම් විය යුත්තේ මේ මජර මුග්ධ විපක්ෂයය.
රනිල් තමා බාරගත් රාජකාරිය අකුරටම ඉ‍ටු කරමින් සිටී. බාර ගත් අභියෝගය ජය ගනිමින් තිබේ. ඔහු ජනතාව පොරොන්දු දේශය කරා රැගෙන යමින් තිබේ. එදා අගමැති තනතුරට රනිල්ව පත් කරන විට ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය අදත් කඩ වී නැත. වරක් දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ මත දැරුවද ඔහුගේ සමිප මිතුරකු වූ අනුර බණ්ඩාරනායක එදා රනිල් ගැන කිව්වේ “රනිල් චරිතයේ ඇති ප්‍රබලම ලක්ෂණය නම් ඔහු තුළ ඇති අවංක බවයි. ඔහුගේ දෑත් කිළිටි වී නැත. තමන්ට කළ නොහැකි වූ පොරොන්දු ඔහු මහජනතාවට ලබා නොදෙයි.” යනුවෙනි. ඒ ප්‍රකාශය බොරු නොවන බව අදත් රනිල් ඔප්පු කරමින් තිබේ.

මංගල සමරවීර කිව්වේ, මෙරට බිහි විය හැකි හොඳම ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවය. මන්ද ඔහුට බලය නිසි පරිදි භාවිතාවේ යෙදවීමට හැකි අවස්ථාවක් ලැබෙනුයේ නම් එය රටේ විශාල අභිවෘද්ධියකට හේතු වන නිසාය. ඒ ප්‍රකාශයත් අද සනාථ වෙමින් පවතී. රනිල් අගමැති වූ සෑම අවස්ථාවක්ම රට බරපතල අර්ථික අර්බුදයන්ට ගොදුරුව තිබුණු අවස්ථාවන්වලමය.

වැරදි පාරේ ගිය ආර්ථිකය ඒ සැම විටම නිවැරදි මාර්ගයට ඇද දැමීමට ඔහු සමත් වූවද ඔහුට ඒ ගමන යන්න ඉඩ නොදී බලයෙන් පහ කිරීමට මෙරට ජාතිකවාදී වාමාංශික දේශපාලන බලවේග කටයුතු කළේය ඒ නොවෙන්න මෙරට සංවර්ධිත දේශයක් වන්න නියමිතව තිබුණේ මීට බොහෝ කලකට පෙරය.

රට මුහුණ දුන් අර්බුද හමුවේ ඔහු අගමැති ධුරයෙන් ජනාධිපතිධුරයට පත් කරගැනීම ඔහුට ලැබුණු අගනාම අවස්ථාව වී තිබේ. ඔහු ප්‍රාර්ථනා කළ දියුණු ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විශාල අවස්ථාවක් ලැබී තිබේ. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔහුගේ වැඩපිළිවෙලට විකල්පව වෙනත් විසඳුම් විපක්ෂයෙන් ඉදිරිපත් නොවීමය.

ඒ නිසා මහ ජනතාව කිසිදු විටෙක විපක්ෂයේ බොරු රැවටිලි බස්වලට හසුවී මේ සාර්ථකව සිදුවෙමින් පවතින වැඩපිළිවෙල විනාශ කරන තැනකට පත් කරන්නේ නැති බවත් සහතිකය. අනෙක් පැත්තෙන් ඇත්ත ජන අරගලය විසින් ඉල්ලා සිටියේ මෙම වැඩ පිළිවෙලය. සිස්ටම් චේන්ජ් එකය. බලලෝභී පටු මජර දේශපාලනය විසින් ගොඩනගන සාම්ප්‍රදායික විගඩම් ජනතාව ප්‍රතික්ෂේප කළේ වසරකට පෙර අරගල භූමියේදීම බව විපක්ෂයට තවම තේරෙන්නේ නැත.

– ඝෝෂ