ජාත්‍යන්තරයේ වැඩ පෙන්වන රනිල්

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට වැදගත් ආරාධනාවක් ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙතින් ලැබී තිබිණි. ඒ ”නව ගෝලීය මූල්‍ය කතිකාවක් සඳහා වන සමුළුව” (Summit for a New Global Financing Pact) ආමන්ත‍්‍රණය කරන ලෙසය.

මෙම නව ගෝලීය මූල්‍ය කතිකාවක් සඳහා වන සමුළුව ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මූලික වී සංවිධානය කරනු ලැබුවකි. පසුගිය වසරේ පැවැති G-20 සමුළුව සහ COPE 27 සමුළු හරහා අත්පත් කරගත් මිශ‍්‍ර ප‍්‍රතිපලයන් ගෝලීය යථාර්ථයක් කිරීම වෙනුවෙන් 2023 ජුනි මාසයේදී පැරිසියේ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන බවට ඔහු පෙර කර තිබු ප‍්‍රකාශය අනුව මෙම සමුළුව කැඳවීමට මැක්‍රොන් කටයුතු කළේය. ඒ වෙනුවෙන් රාජ්‍ය නායකයන් රැසකගේ සහයද හිමිව ඇති අතර ලෝක බැංකුවේ සභාපති අජේ බංගා, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්, දානපති සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සම නිර්මාතෘ මෙලින්ඩා ෆෙන්ච් ගේට්ස්, ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, දානපතියන් සහ ක‍්‍රියාකාරීන් ගණනාවක් ද සහය පළකර තිබේ.

මෙම සමුළුව සූදානම් කිරීම රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධානවලින් සමන්විත ඉහළ මට්ටමේ ජාත්‍යන්තර මෙහෙයුම් කමිටුවක් මගින් සිදු කෙරේ. එයට ප‍්‍රංශය, බාබඩෝස්, දකුණු අප‍්‍රිකාව, ජර්මනිය, බ‍්‍රසීලය, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධානිය, සෙනගල්, යුරෝපීය කොමිසම, එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය OECD සහභාගී වේ. මේ අනුව මෙම සමුළුවෙහි ඇති වැදගත්කම පැහැදිලිය.

මෙවර පැවැත්වෙන පළමු සමුළුව ”වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන තේමාව යටතේ ජුනි මස 22 සහ 23 යන දෙදින ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවැත් වේ.
දේශගුණික විපර්යාස සහ ගෝලීය වශයෙන් ප‍්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳීම සඳහා උතුරේ සහ දකුණේ රටවල් අතර නව කතිකාවක් ගොඩනැගීම එහි ප‍්‍රකාශිත ඉලක්කය වන අතර ඒ වෙනුවෙන් සියලූ‍ ආකාරයේ මාර්ග භාවිතා කරමින් දකුණු රාජ්‍යයන් වන ¥පත් රාජ්‍යයන්ද ඇතුළත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් වෙත සංවර්ධිත රාජ්‍යයන්හී මූල්‍ය සහයෝගීතාව වැඩි කිරීම, තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන කාබන්වලින් තොර, ගෝලීය ආර්ථිකයකට මාවතක් තැනීම සඳහා හවුල් දැක්මක් ස්ථාපිත කිරීම ආදිය සමුළුවේ අරමුණු අතර වේ. මෙම සමුළුව ආමන්ත‍්‍රණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට ආරාධනා කිරීම සිදුවන්නේ ඔහු පසුගිය කාලය තුළ මෙම ජාත්‍යන්තර පොදු වුවමණාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිමින් ජාත්‍යන්තර වේදිකාවේ හඩක් නැඟීම අනුවය. විශේෂයෙන්ම පසුගිය දේශගුණික විපර්යාස සමුළුවේදී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින සහ දූපත් රාජ්‍යවලට මුහුණ දීමට සිදුව තිබෙන අභියෝග හමුවේ සංවර්ධිත රාජ්‍යයන්හි මුල්‍ය සහයෝගිතාවේ අවශ්‍යතාවය මතු කළා පමණක් නොව එය ඔවුන්ගේ වගකීමක් වන බවද අවධාරණය කළේය. ඔහු කළ යෝජනාවන්ට එම සමුළුවේ දී විශේෂ වැදගත්කමක් ලැබී තිබිණි. නව මූල්‍ය කතිකාවක් සඳහා වන සමුළුව මඟින් සිදු වන්නේත් එම යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා වන තවත් පියවරකි. එසේම පසුගියදා ජපානයේ පැවැති ”ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව” (Nikkei Forum) ආමන්ත‍්‍රණය කරමින් ජනාධිපති රනිල් ගෝලීය භූ-දේශපාලනික ගැටුම සමතයකට පත් කරගැනීම සහ ආසියානු කලාපීය නව ආර්ථික හා දේශපාලනිත බල ක්ෂේත‍්‍රයක් ගොඩනැංවීම ගැන අදහස ප‍්‍රකාශයට පත්කර තිබු අතර එයද මේ වන විට ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡුාවට ලක් වෙමින් ඇත. මේ අනුව ජනාධිපති රනිල් පසුගිය කාලයේ මතු කරන ලද මෙම කරණු කාරණා සම්බන්ධයෙන් තවදුරටත් ලෝක නායකයන් හමුවේ අවධාරණය කිරීමේ සහ ඔවුන් සමග සංවාදයක යෙදීමේ අවස්ථාව ප‍්‍රංශ ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත. ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද ජාත්‍යන්තරය හමුවේත් බලපෑම් සහගත රාජ්‍ය නායකයකු බව මේ අනුව පැහැදිලි වන අතර එය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ඉහළට ඔසවනු ලැබීමට හේතු වනවා ද ඇත.

රටකට වැදගත් නායකයකු පත් කරගනු ලැබු විට ලෝකය හමුවේ රට බැබලවීම සිදුවන බව රනිල් වික‍්‍රමසිංහ මේ වන විට පෙන්වා දී ඇත. නමුත් මෙය ”ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” කියන්නා සේ වන රැවටීමක් නොවේ. මන්ද බංකොලොත් කරනු ලැබු රටක් තවත් වසර දහයකටවත් ගොඩගන්න බැරි වෙනවාය කියපු රටක් ලෝකය මවිත කරවමින් වසරකටත් අඩු කාලයක් තුළ යළි දෙපයින් නැගී සිටුවීමට රනිල් වික‍්‍රමසිංහ සමත් වීම නිසාය. ශ‍්‍රී ලංකාව ඉතා කෙටි කලකින් ආර්ථික අර්බුදයෙන් ගොඩගත්තේ කෙසේද යන්න අනාගත ලෝකයට ආදර්ශයක් කරගත හැකි ක‍්‍රමවේදයක් ලෙසින් ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර වන්නේත් ඒ නිසාය. එමෙන්ම අනෙක් වැදගත් කාරණය නම් විපක්ෂ දේශපාලන කණ්ඩායම්, ආණ්ඩු විරෝධීන්, රනිල් විරෝධීන් සහ ජාත්‍යන්තර මා‍ෆියා කල්ලි, ත‍්‍රස්ත කල්ලි, ආගමික කල්ලි ආදී වශයෙන් රටේ යහපැවැත්ම විනාශ කිරීමට මාන බලන, රජය විසින් ගන්නා ක‍්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට දත කන කල්ලි කණ්ඩායම් කවරක් කිව්වත් කෙරුවත් ඒ සියලූ‍ අභියෝග ජය ගනිමින් මේ වන විට ජනාධිපතිවරයා සහ දේශපාලන අධිකාරියත්, රාජ්‍ය යාන්ත‍්‍රණයත් රට ගොඩනැගීමේ කාර්යයට සාර්ථකව උර දී සිටීමය.

ජනාධිපතිවරයා රාජ්‍යයේ අභ්‍යන්තර ගැටළු සහ ජාත්‍යන්තර වශයෙන් රටට බලපාන ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් බරපතල, අසීරු මෙහෙයුමකට උරදෙමින් සිටින අතර, අඩුම තරමින් රට අමාරුවේ වැටී තිබෙන මොහොතේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යමක් කළ යුතු වූ විපක්ෂ කණ්ඩායම් විසින් තවමත් සිදු කරමින් සිටින්නේ තමන්ගේ ප‍ටු දේශපාලනික වුවමණාවන් සහ බඩගෝස්තරය වෙනුවෙන් වන තුට්ටු දෙකේ සිල්ලර දේශපාලනයකි. ජාතිවාදය ආගම්වාදය වැනි ගෝත‍්‍රික වුවමණාවන් සපුරාගැනීම හරහා මේ සිදු කරමින් තිබේ. පසුගියදා කුරුන්දි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන ජනාධිපතිවරයාගේ මැදිහත් වීම විවේචනය කරමින් විපක්ෂ කණ්ඩායම් විසින් මේ වන විට ගෙන යමින් තිබෙන ප‍්‍රචාරක මෙහෙයුම් පදනම් වී ඇත්තේත් මේ ගෝත‍්‍රික වුවමණා එපාකම් මතය. පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දේ රැක ගැනීම රටක් විසින් සිදු කළ යුතුය. රජය ඊට අනුග‍්‍රහ දැක්විය යුතුය. නමුත් එය විය යුත්තේ රටේ වුවමණාවකටත් වඩා ජාත්‍යන්තර වශයෙනුත් මානව වර්ගයාට වැදගත් වන නිසාය. මානව සංහතියේ සංවර්ධනය ගැන වන මඟ සලකුණු ලෙස පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සැලකිය හැකිය. එය රටකට, ජාතිකට, ආගමකට ආදී වශයෙන් පාර්ශ්වික වුවමණාවක් බවට පත්වීම නොවිය යුත්තකි. මන්ද යත් වර්තමාන සමාජය සහ එහි සාමාජිකයන් යනු වර්තමානය නියෝජනය කරන වුන් මිසක අතීතයේ නියෝජනයක් නොවේ. අතීත මිනිසා ගොඩ නැගූ දෙයෙහි අයිතිය ඇත්තේ ඒ අතීත මිනිසාටය. නමුත් එය වර්තමාන මිනිසා සිය අනන්‍යතා උරුමයක් කරගන්නට යෑම නිසා අද මෙම අර්බුද මතුව තිබේ. කුරුන්දි භූමිය සම්බන්ධ ගැටළුවද එවැන්නකි. එය අද සිංහලයාගේ ද දෙමළාගේ ද වෙනත් කාගේ හෝ උරුමයක්ද කියන සංවාදය අදාල නැති එකකි. එය ශ‍්‍රී ලංකික පොදු උරුමයකි. පුරා විද්‍යාවට ආගමක් ජාතියක් කුලයක් පරම්පරාවක් ආදී වශයෙන් වර්ග කිරීමකට යටත්ව කටයුතු කළ නොහැක. අතීත මිනිසා යම් ගොඩනැඟීමක් කළේ ඒ මොහොතේ පැවැති දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික වටපිටාව අනුව අනාගතය වෙනුවෙන් තමන් සිටි තැන සළකුණු කරන්නටය. ඒ වටපිටාව සහ අද වටපිටාව වෙනස්ය. එමෙන්ම වුවමණාවන් වෙනස්ය. ඒ නිසා අතීත මිනිසාගේ වුවමණාවන් වර්තමාන මිනිසාගේ වුවමණාවන් වන්නේ නැත. ඒ අතීතය වර්තමානයෙන් යටපත් කිරීම හෝ වර්තමානය අතීතයෙන් යටපත් කිරීම හෝ නොවිය යුතුය. මේ නිසා පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මානව සංවර්ධනයේ මඟ සලකුණු මිස කර ගහගෙන යායුතු දේ නොවේ. මේ නිසා කුරුන්දි භූමිය හෝ වේවා වෙනත් පුරාවිද්‍යාත්මක දේ පිළිබඳ ප‍්‍රශ්නවලට මැදිව සිටින සියළු පාර්ශ්ව එය බේරාගත යුත්තේ ඒ පොදු උරුමයක්, ජාතික උරුමයක්, ලෝක උරුමයක් නැති නම් මානව සංහතියේ උරුමයක් ලෙස කල්පනාකර ය.

අද ජාතිය, ආගම, කුලය, ගෝත‍්‍රය ආදී වෙනස් කොට සැලකීම ශිෂ්ට ලෝකය පිළිගන්නේ නැත. පිළිගන්න අවශ්‍යතාවයකුත් නැත. එහෙම වුවමණාවන් වෙනුවෙන් පෙනී සිටින වුන්වත් පිළිකෙව් කළ යුතුය. ලෝකයම තනි යායක් ලෙස, එකම මානව වර්ගයක් ලෙස සලකමින් අද ලෝකය හැඩ ගැසෙමින් පවතී. ඉහත කී නව ගෝලීය මූල්‍ය කතිකාවක් සඳහා වන සමුළුව වුව සංවිධානය වන්නේ ඒ වුමණාවන් මතය. රට රාජ්‍ය අතර ඇති නැති භේදය පවා තිබිය යුතු නැති බව එම සමුළුවෙන් කියාපාන සත්‍යයය. මේ අනුව මෙරට විපක්ෂ කණ්ඩායම් තව දුරටත් සිල්ලර අශිෂ්ට දේශපාලනික භාවිතාවක යෙදී සිටිමින් රට නැවත අශිෂ්ට යුගයක් කරා දැක්කවීමට ගන්නා වෑයම ඔවුන්ගේ නොදන්නාකමට වඩා අවස්ථාවාදී තක්කඩිකමක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. මන්ද යත් මේ තරම් දෙයක් තේරුම් ගන්නට බැරි තරම් මේ අය මුග්ධයන් නොවන බැවිනි.

විපක්ෂ නායකයෝ, ජනාධිපති රනිල් හමුවේ දේශපාලන අඳ බාලයන් අසරණයන් බවට පත් වූවා කියා රනිල් පරාජය කරන්නට අශිෂ්ට භාවිතයන්ට පැමිණීම පිළිගත නොහැක. රනිල් පරාජය කරන්නට නම් රනිල් අභිබවා යෑමේ දේශපාලනික හැකියාව ගොඩනගා ගැනීම විය යුතුය. රනිල්ට වඩා ශිෂ්ට විය යුතුය. රනිල්ට වඩා නායකත්ව පෞර්ෂයක් තිබිය යුතුය. රනිල්ට වඩා දැනුමක් දැක්මක් තිබිය යුතුය. රනිල්ට වඩා රාජ්‍යතාන්ත‍්‍රික විය යුතුය. රනිල්ට වඩා ප‍්‍රතිපත්ති ගරුක විය යුතුය. සැලසුම් සහිත විය යුතුය. ඒ තබා අඩුම තරමින් රනිල්ට වඩා කොන්ද පණ තිබිය යුතුය. මේ කිසිවක් නොමැතිව රනිල්ව පරාජය කළ නොහැක. දෙකයි පනහේ සිල්ලර වැඩවලින් රනිල්ට අභියෝග කරන්නට තබා විපක්ෂය මොකක් හෝ දේශපාලනයක නිරත වෙමින් සිටින බව හෝ ජනතාවය දැනවීමට නොහැක. විපක්ෂයේ වියරු කෑ මොර ගෑම් ගැන ජනතාව මීක් නැතිව සිටින්නේ ඒ නිසාය.

රනිල් මේ වන විට රටේ අර්බුදය සමතයකට පත්කර බින්දුවටම බැස තිබූ විදේශ සංචිත වැඩි කරගැනීමට සමත් වී ඇත. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට සමත් විය. ජනතාව මත පැටවී තිබු පීඩාවන් අවම කර තිබේ. ඒ ඔහු සතුව තිබූ සැලසුම්, වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරමින්ය. ඒ එසේ තිබියදීත් තවම සජිත් පේ‍්‍රමදාස තැන් තැන්වල කියවමින් යන්නේ තමන් බලයට පත්කළහොත් ”හොරු අල්ලනවා, දඬුවම් දෙනවා, හොරාකාපු සල්ලි ටික ලංකාවට ගෙනවා, ඒ සල්ලිවලින් රටේ අර්බුදය විසඳනවා…” කියන විකාරයය. මේ කළ හැකි වැඩක් නොවන බව ලෝක යථාර්ථය වුවත් සජිත්ට ඒ බොරුව හැර රට ගොඩගන්නේ කොහොමදැයි වෙන කියන්න දෙයක් ඉතිරිව නැත. අනුර කුමාරත් කියන්නේ ඒ ටිකමය. විශාල ෆයිල් තොගයක් පෙන්න පෙන්නා අපි ආවාම හොරු අල්ලනවා…, නඩු දානවා…, දඩුවම් දෙනවා…, හොරා කාපුවා ගේනවා… කියමින් සිටී. මේ අය හොරු අල්ලා පිටරට සල්ලි ගෙනෙන්න තටමන විට රනිල්ට රට පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කාලය තිබේ. අද ජාත්‍යන්තරයත් ජය ගනිමින් රනිල් සිදු කරමින් තිබෙන කාර්යභාරය, විපක්ෂයට සිහිනෙන්වත් සිතන්නට හැකි දේ නොවේ. එහෙම සුපිරි වැඩත් තියෙනවා කියා ඔවුන් මුල් වරට දකින්නෙත් රනිල්ගෙනි. අඩුම තරමින් තමන්ගේ අනාගතය වෙනුවෙන්වත් රනිල්ව ආදර්ශයට ගෙන, ඒ අනුව ඒ ගැන ඉගෙන ගනිමින් හෝ කටයුතු කරනවා නම් මේ අය තවමත් අශිෂ්ට දේශපාලන භාවිතයන් අනුව වැඩකරන්නේ නැත. ඒ කියන්නේ එහෙම ඉගෙන ගැනීමටවත් කැමැත්තක් නැති බවය. නැති නම් එයටවත් හැකියාවක් නැති බවය. මෙහෙම විපක්ෂයක් කෞතුක භාණ්ඩ ලෙසවත් අනාගතය වෙනුවෙන් රැකගත යුතු නැත. මන්ද ඉතිහාසය හා සම්බන්ධයක් ඔවුන්ට ගොඩනොනැගෙන බැවිනි.

පසුගිය දින කිහිපයේදීත් මේ අය බලන් හිටියේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැ‍ටුම් දුර දිග ගොස් පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවන තෙක්ය. තමන්ට ආණ්ඩු පෙරළන්නට බැරිකම විසින් එහෙමවත් දෙයක් වෙතැයි කට ඇරන් බලා සිටියේය. නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තිබුණා වඩා ශක්තිමත් වී ඇත. ආණ්ඩුවේ බහුතර කණ්ඩායම වන පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල යළිත් අනුමත කරමින් ඊට පූර්ණ සහයෝගය ලබාදෙන බවට පසුගියදා දුන් ප‍්‍රතිඥාව සමඟ විපක්ෂයේ බලය ගන්නට බලා සිටි ෂෝර්ට් කට් එකත් වැසී ගියේය. ෂෝර්ට් කට්වලින්, කුමන්ත‍්‍රණවලින්, බාහු බලයෙන් බලය ගැනීම කරන්න හැකි වූයේ අතීතයේ දීය. නමුත් අද මොළය වෙහෙසිය යුතුය. එනම් ගේම ගහන්න ඕන මොළයෙනි. ඒ කියන්නෙ රනිල් සමඟ හැප්පෙන්න නම් වැඩකරන හොඳ මොළයක් තිබිය යුතු බවය. විපක්ෂය මුලින්ම කළ යුතු වන්නෙ හිස් ඔළු ගෙඩියට මොළයක් සොයා ගැනීමය. එහෙම නැති වුණොත් ජනාධිපතිවරයාගේ ප‍්‍රංශ සංචාරයත් තේරුම් ගනු ඇත්තේ රනිල් සැප ගන්න රට සවාරි යනවා කියාය. මැටි මොළවල තරම එහෙමය.

– ඝෝෂක