විකට නිලියක සොයා මැලේසියාව ජාත්‍යන්තරය පීරයි

හාස්‍යමය ඉදිරිපත් කිරීමක් කියන්නෙ යම් පිරිසකට සිනහව ඇති කරන නැතිනම් විනෝදයක් ජනිත කරවන යම් ක‍්‍රියාකාරිත්වයක් නැතිනම් ප‍්‍රබන්ධයක් ගොඩනැගීමකි. නැතිනම් විහිළුවක් කිරීමක් ලෙස හැඳින්විය හැකිය. විහිළු කියන්නෙ ඇත්ත හෝ වේවා බොරුවක් හෝ වේවා එය අසන දකින අය සිනහවට ලක් කිරීම අරමුණු කරගෙන කරන දෙයකි. නමුත් ඉන් හැමෝම සිනවා වන්නේ නැත. විහිළු නිසා ඇස් රතු කරගන්නා අයද සිටී. ඒ විහිළුව එහි සීමාවන්ගෙන් ඔබ්බට ගොස් අනෙකකුට කරන අපහාසයක්, අවලාදයක්, පහත් කිරීමක්, හිංසවක් බවට පත් වෙන විටය.

ඒ නිසා අනෙකාගේ ඇස් රතුවෙන විහිළු කිරීම අද නම් නීතියෙන් දඩුවම් ලබන තැනක තිබේ. පසුගිය කාලයේ මෙවැනි අත්දැකීම් බොහොමයක් මෙරට තිබිණි. මේ අතර විහිලූවක් දුර දිග ගොස් එය රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූවක් දක්වා වර්ධනය වූ අවස්ථාවක් පසුගිය සතියේදී සිදු විය. මේ විහිළුව කළේ එක්සත් ජනපදය වාසස්ථානය කරගත් මැලේසියානු හාස්‍යෝත්පාදක ශිල්පිනියක වන ජෝසලින් චියා විසිනි. ඇගේ විහිළුව සිංගප්පූරුව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා අවුල් කරන තැනට පත් වී තිබිණි. 2014 වසරේදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානය මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 12 දෙනෙකු සමග ඉන්දියන් සාගරයේ යම් ස්ථානයකදී අතුරුදහන් විය. අද දක්වාම ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව තිබේ. මේ ඛේදනීය සිදුවීම පදනම් කරගෙන ජෝසලින් චියා මැලේසියාවේ ගුවන් යානාවලට පියාසර කිරීමේ නොහැකියාව පිළිබඳ මෙම විහිළුව කර තිබිණි.
අතුරුදන් වූ MHය370 මැලේසියානු ගුවන්යානය සම්බන්ධයෙන් රට සමච්චලයට ලක් කිරීම නිසා අපහාසාත්මක කථන සහ අපහාසාත්මක හෝ අසභ්‍ය අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධයෙන් රටේ නීති යටතේ විමර්ශනය කෙරන බව පසුගියදා මැලේසියාවේ රාජ්‍ය ප‍්‍රවෘත්ති ඒජන්සිය බර්නාමා වාර්තා කර තිබිණි. එමෙන්ම එරට පොලිස් ප‍්‍රධානී ඇක‍්‍රිල් සානි අබ්දුල්ලා සානි පැවසුවේ ඇයගේ සම්පූර්ණ අනන්‍යතාවය සහ සිටින ස්ථානය සොයා ගැනීමට පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා සිටින බවය. මෙය බරපතල සිද්ධියක් වූවේ ඇය සිදු කළ විහිළුවෙන් අතීතයේ එකට තිබු රටවල් වූ මැලේසියාව සහ සිංගප්පුරුව යන දුපත් රාජ්‍ය දෙක 1965 දී වෙන් කිරීම ගැන සඳහන් කරමින් එදා මැලේසියාව විසින් සිංගප්පුරුව කුණු වළකට ඇද දැමීමට කටයුතු කළ බව ඇය පැවසීමය. එසේම පසුව සිංගප්පූරුව
පළමු ලෝකයේ රටක් බවට පත්ව මැලේසියාවෙන් හොඳම පළිගැනීම සිදු කර ඇති බවත් මැලේසියාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස පවතින බවත් පැවැසීමය.

MH370 ගුවන්යානය අතුරුදන් වීම මත එහි ගුවන්යානා පියාසර කළ නොහැකි නිසා මැලේසියානුවන් වසර ගණනාවක් සංචාරය නොකළ බව ඇය පැවසුවාය. මේ කතාවට පේ‍්‍රක්ෂකාගාරයේ
සිටි ඇතැමුන් සිනාසෙන්නේ නැති බව පෙනෙන විට ඇය තවදුරටත් කීවේ, මැලේසියානු ගුවන් සේවය අතුරුදහන් වීම විහිළුවක් නෙවෙයි නේද? සමහර, විහිළු එහෙම නැහැ. යනුවෙනි.

ඇමරිකාවේදී රූගත කළ මෙම හාස්‍යමය විඩියෝ පටයට විශාල ප‍්‍රතිචාර හිමිව තිබු නමුත් මෙමගින් සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල් දෙකම පහත් කිරීමක් සිදු විය. සාම්ප‍්‍රදායික මිත‍්‍රශීලී එදිරිවාදිකම් සහිත රටවල් දෙකක් වූවද දෙරටේම විදේශ ඇමතිවරු ඇගේ ප‍්‍රකාශය හෙළා දැක තිබිණි. සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක‍්‍රිෂ්ණන් පැවසුවේ ඇයගේ බිහිසුණු ප‍්‍රකාශවලින් තමා කම්පනයට පත් වූ බවත්, චියා සිංගප්පූරු වැසියන් වෙනුවෙන් කතා නොකළ බවත්ය. ”අපි මැලේසියාවේ සිටින පවුලේ අය සහ මිතුරන් සමග අපගේ සබඳතා අගය කරන අතර, සියලූම මැලේසියානුවන්ට සිදු වූ වරද සහ රිදවීම ගැන කණගාටු වෙමු” යැයි ඔහු පසුගිය සතියේ පවසා තිබිණි.
මේ සිදුවීම අනුව පැහැදිලි වන්නේ පිරිසක් සිනහා ගැන්වීම වෙනුවෙන් කරන විහිළු තවත් පිරිසකට වේදනාවක් ගෙන එම සිදු විය හැකි බවය. ඒ නිසා විහිළුවලද සීමාවක් තිබිය යුතු බවය. එය ඒ සීමාව පැන්න විට එය තව දුරටත් විහිළුවක් ලෙස පවතින්නේ නැත. නීතිය ක‍්‍රියාත්මක වන්නෙ එවිටය.


– නිරෝෂන් පෙරේරා