හිරු නොබසින අධිරාජ්‍යටත් ආර්ථික අවපාතයක්

එක්සත් රාජධානිය මේ වසර අවසන් වන විට ආර්ථිකය අවපාතයකට මුහුණ දීමට ඉඩ ඇති බවට එරට මහ බැංකුව අනතුරු අඟවා තිබේ. මෙයට හේතුව යුක්රේන රුසියා ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ගෑස් මිල සීග්‍රයෙන් ඉහළ යාමයි. තොග ගෑස් මිල දෙගුණයකින් ඉහළ යාම හේතුවෙන් වසර 42කට පසුව එරට උද්ධමනය ඉහළම මට්ටමට ළඟා වනු ඇතැයි බැංකුවේ විශේෂඥයෝ විශ්වාස කරති. බැංකුව අනාවැකි පළ කර ඇත්තේ වසරේ අවසාන කාර්තුවේදී උද්ධමනය 13%ට වඩා වැඩි වනු ඇති බවයි. මෙය ජුනි මාසයේදී වාර්තා වූ 9.4% අනුපාතයෙන් සැලකිය යුතු ඉහළ යාමකි.

මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ශීඝ්‍ර උද්ධමනය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස පොලී අනුපාත සියයට භාගයකින් ඉහළ දැමීමට බැංකුව තීරණය කර ඇත. බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව විසින් 8-1 ඡන්දයකින් සහාය දුන් මෙම තීරණය බැංකුවේ ප්‍රධාන පොලී අනුපාතය 1.75% දක්වා ඉහළ නැංවීම සිදුවේ. මෙය 2008 දෙසැම්බරයේ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.

උද්ධමනය පාලනය කිරීමට ප්‍රමාණවත් තරම් ඉක්මනින් ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් එංගලන්ත මහ බැංකුව විවේචනයට ලක්ව ඇති අතර, එය ජුනි මාසයේදී 9.4%ක ඉහළම අගයට ළඟා වූ අතර එම තත්වය මත ජීවන වියදම් අර්බුදයකට තුඩු දී තිබේ.

ලොව පුරා මහ බැංකුවලට තම ආර්ථිකයන් අවපාතයකට ඇතුල් නොකර ඉහළ යන උද්ධමනය පාලනය කිරීමට අපහසු වී ඇත. මෙම ආර්ථිකයන් කොරොන වයිරස් වසංගතයේ බලපෑමෙන් යථා තත්ත්වයට පත්වීමට පටන් ගත්තා පමණි. ඉහළ පොලී අනුපාත පාරිභෝගිකයින්, ව්‍යාපාර සහ රජය සඳහා ණය ගැනීමේ පිරිවැය වැඩි කරයි. ඉහළ යන මිල ගණන් නිසා වියදම් කිරීමේ හැකියාවන් සීමිත වන අතර සමස්ත ආර්ථික වර්ධනය මන්දගාමීවීමට ද ඉඩ ඇත.

පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වන සිය පුරෝකථනයන් පහළ දැමීය. මෙය බලාපොරොත්තු වූවාට වඩා ඉහළ උද්ධමනය, චීනයේ යළිත් පවතින Covid-19 පැතිරීම සහ යුක්රේන යුද්ධයේ අඛණ්ඩ බලපෑම් හේතුවෙන් විය. ලබන වසරේ එක්සත් රාජධානියේ ආර්ථිකය 0.5% කින් පමණක් වර්ධනය වනු ඇතැයි IMF පුරෝකථනය කර ඇති අතර එය ලෝකයේ දියුණු ආර්ථිකයන් අතර මන්දගාමීම වර්ධන වේගය වේ.

  • නිරෝෂන් පෙරේරා