ආර්ථික බලවතුන් දෙදෙනෙක් ලෝක දේශපාලනය හොල්ලයි

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවයේ සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා දින තුනක අමෙරිකානු සංචාරයක නිරත විය. මෙම සංචාරයේ සාර්ථකත්වය අනුව ගෝලීය භූ-දේශපාලනික උපායමාර්ගය තුළ ඉන්දියාවේ තීරණාත්මක භූමිකාව එක්සත් ජනපදය විසින් හඳුනාගෙන තිබෙන බව මැනවින් පැහැදිලි වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව ඕවල් කාර්යාලයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. එසේම මෝදිට දෙවන වරටත් එක්සත් ජනපද කොංග්‍රසය ඇමතීමේ අවස්ථාව හිමිවූ අතර අමරිකාව සමඟ තාක්‍ෂණික සහ ආරක්‍ෂක ක්‍ෂේත්‍රවල ගිවිසුම් කිහිපයකට ද එළඹ ඇත.
එක්සත් ජනපද කොංග්‍රසය අමතා කළ කතාවේදී මෝදි ඉන්දීය – එක්සත් ජනපද සබඳතාවේ ශක්තිය අවධාරණය කරමින් එය මෙම සියවසේ හවුල්කාරිත්වය යන්නට නව අර්ථ දැක්වීමක් ලෙස විස්තර කළේය. දේශගුණික විපර්යාස, ආර්ථිකය, කාන්තා සවිබල ගැන්වීම්, ත්‍රස්තවාදය සහ සමාජ සුබසාධනය වැනි විවිධ ගැටළු පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.

මෝදිගේ සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවල සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරන බව විශේෂඥයෝ විශ්වාස කරති. ඉන්දියාව සහ එක්සත් ජනපදය සාම්ප්‍රදායිකව මිත්‍ර රටවල් නොවූවත්, විශේෂයෙන්ම පශ්චාත් සීතල යුද්ධයේ යුගයේ ඔවුන්ගේ සබඳතාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව ඔවුන් සඳහන් කරයි. මෙහිදී දෙරට අතර පවතින ගැඹුරු විශ්වාසය සහ සහයෝගීතාව සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම පිළිබිඹු කරමින් මෙම සංචාරයේදී ගනු ලැබූ තීරණවල පරිවර්තනීය ස්වභාවය ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා අවධාරණය කළේය.

ධවල මන්දිරයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මෝදි ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගතිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ද උද්දීපනය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ඉන්දියාව සහ එක්සත් ජනපදය යන දෙරටේම ගැඹුරින් මුල් බැස ඇති බවත්, ඉන්දියාව තුළ වෙනස් කොට සැලකීමට ඉඩක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ආරක්‍ෂක සහ නැඟී එන තාක්‍ෂණික ක්‍රම පිළිබඳ ප්‍රධාන ගිවිසුම් ද ඇති විය. සැලකිය යුතු කරුණක් නම්, ජෙට් එන්ජින් නිෂ්පාදන දැනුම ඉන්දියාවට පැවරීමට එක්සත් ජනපදය එකඟ වූ අතර, ඉන්දියාව එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 3 ක් වටිනා MQ-9B සන්නද්ධ ඩ්‍රෝන 31 ක් මිලදී ගැනීමට එකඟ විය.
මෙම ගිවිසුම් 2008 දී අත්සන් කරන ලද සිවිල් න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමෙන් පසු ලබා ඇති ප්‍රගතිය මත පදනම්ව දෙරට අතර සබඳතාවයේ සැලකිය යුතු වැඩිදියුණු කිරීමක් නියෝජනය කරයි.

මේ අතර Micron Technology, Applied Materials iy Lam Research රජය ඇතුළු එක්සත් ජනපද සමාගම් කිහිපයක් අර්ධ සන්නායක පරීක්ෂණ සහ එකලස් කිරීමේ පහසුකම්, ඉංජිනේරු සහයෝගීතාවය සහ ශ්‍රම බලකායේ පුහුණුව සඳහා ඉන්දියාවේ ආයෝජන ප්‍රකාශයට පත් කරන ලදී.
කෙසේ නමුත් තාක්‍ෂණය, සැපයුම් දාම සහ පිරිසිදු බලශක්තිය පිළිබඳ අනාගත ගනුදෙනු කලාපය තුළ, විශේෂයෙන් චීනය සම්බන්ධයෙන් ඉන්දියාවේ තත්ත්වය ශක්තිමත් කිරීම එක්සත් ජනපදයේ පුළුල් උපාය මාර්ග කොටසක් ලෙස සැලකේ.

නායකයින් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ චීනය පිළිබඳව පැහැදිලිව සඳහන් කර නොතිබුණද, ඉන්දු-පැසිෆික් කලාපය සහ Quad Alliance (එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ටේ්‍රලියාවෙන් සමන්විත) වෙත යොමු කිරීමෙ භූ දේශපාලනික පෙළගැස්ම අවධාරණය කර තිබිණි.
අවසාන වශයෙන්, මෝදිගේ එක්සත් ජනපද සංචාරය ආරක්ෂක සහ නැගී එන තාක්ෂණයන් සම්බන්ධයෙන් ඇති කර ගත් සැලකිය යුතු එකඟතා සමඟ දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කර ඇත. මෙම සංචාරය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර සම්බන්ධතාවයේ නව පරිච්ඡේදයක් නියෝජනය කරන අතර අනාගතයේ දී තවදුරටත් සහයෝගීතාවය පුළුල් සහ ශක්තිමත් කිරිමෙ හැකියාව ඇත. කෙසේ නමුත් මෙම ඉන්දු අමරිකානු සම්බන්ධතා වර්ධනය ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු කලාපීය රටවලටද භූ – දේශපාලනිකව දැඩි බලපෑමක් කරනු ඇත.

  • නිරෝෂන් පෙරේරා