රනිල් නැතුව මෝදිටත් බෑ

ගහ දන්නා මිනිහාට කොළ කඩා පාන්න එපා යැයි කියති. ඒ ගහ හොඳින් හඳුනන නිසාය. ඒ රනිල් වික්‍රමසිංහට රටේ ආර්ථීකය ගැන අමුතුවෙන් කිව යුතු නැති සේමය. එහි අග මුල මැද ගැන ඔහු හොඳින් දනී. ආර්ථීකය හෙට දවසේ තිබිය යුත්තේ කොහෙද? කොහොමද? ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? කියා ඔහු ගණන් හදන්නේ ඒ ගැන දන්නා නිසාය. බංකොලොත් රට වසරක් යන්නට පෙර ගොඩගන්න හැකි වූයෙත් ඒ නිසාය. නමුත් ගහ නොදන්නා මිනිහාට කොළ කඩාපෑවත් ගහ හොයාගැනීමට ලෙහෙසි නැත. රනිල් හමුවේ රටේ ආර්ථීකය ගැන නන්දොඩවන වුන්ගේ කෙඳිරිගෑම් ද එසේය.

රනිල්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියට අවුරුද්දක් පිරුණු පසුගිය 21 වනදා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සමග ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථීක හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත්කර තිබිණි. මෙහි මුලික පදනම වූයේ දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා දැවැන්ත වැඩ පිළිවෙලක් සකස් කරගැනීමය. සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථීක සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ වන සංවර්ධන ක්‍රියාදාමයක් මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබේ. මෙය රනිල්ට අවුරුද්දක් පිරුණු දා රටට ලැබුණු විශාලම ත්‍යාගයකි.

එහෙත් මේ වන විටත් කෝකටත් විරුද්ධ වන්නන් මෙන්ම ජාතිකවාදීන්, වාමාංශිකයන් මෙයට විරුද්ධ යුධ ප්‍රකාශ කරන්න පටන්ගෙන තිබේ. පැරණි යල් පැන ගිය ඉන්දියානු විරෝධී සටන් පාඨ යළි පොලිෂ් කරන්න පටන් ගෙන තිබේ. හෙට අනිද්දාට ඉන්දියානු විරෝධය උස්සාගෙන කැරලි ගසන්නටත් බැරි නැත. එහෙම මුග්ධ වැඩ ඉතිහාසයක් තිඛෙන රටක මේවා බලාපොරොත්තු විය යුතුය. නමුත් මෙලෙස ගොඩනගන විරෝධයන් නිසා අවසානයේ වැරදුනේම ශ්‍රී ලංකාවටය. මෙරට පුරවැසියාටය. 75 වසරක් තිස්සේ රට සංවර්ධනය කරගන්න අවශ්‍ය තරම් අවස්ථාව හැකියාව තිබියදීත් එය නොහැකි වුණේ පටු අවස්ථාවාදී දේශපාලනය නිසාමය. දුපත් මානසිකත්වයක සිට කල්පනා කර තීන්දු තීරණගැනීම හැර රට ලෝකයට විවෘත කර එහි ප්‍රතිලාභයන් රටට අත්පත් කර ගන්න උත්සාහ කළේ නැත.

ජනාධිපති රනිල් උත්සහ කරන්නේ මේ දූපත මහාද්වීපයක් කරන්නය. ඒ සඳහා වන උපාය මාර්ගය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපීය සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම සහ සමෘද්ධිය උත්ප්‍රේරණය කිරීම (ඡරදපදඑසබට ක‍දබබැජඑසඩසඑහ – ක‍්ඒකහිසබට ඡරදිචැරසඑහ) මත පදනම්ව සංවර්ධිත හා බලවත් කලාපීය රාජ්‍ය සමුහයක හවුල්කාරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ නැගීමය. සංවර්ධනය කරා ගෙන යෑමය. නමුත් මෙය රට ආර්ථීකමය වශයෙන් ලබන ජයග්‍රහණයකට එහා ගිය ජාත්‍යන්තර වශයෙන් වැදගත් දේශපාලනික එළඹුමක්ද වෙයි. ජනාධිපති රනිල් මෙම කලාපීය සහයෝගිතාවේ අනිවාර්යතාවය සහ අත්‍යාවශ්‍ය බව පසුගිය කාලයේ ජාත්‍යන්තර සමුළු කිහිපයකදීම අවධාරණය කර තිබිණි. ගෝලීය භූ-දේශපාලන දාම් පෙතෙහි ශ්‍රී ලංකාවටත් දකුණු ආසියානු කලාපයටත් ඇති හැකියාව වැදගත්කම සහ බලය කුළු ගන්වමින් කලාපීය සංවිධානත්මක් වීමෙහි වැදගත්කම පෙන්වා දී තිබිණි.  නරේන්ද්‍ර මෝදි සිටින්නේද රනිල් සිටින තැනය. මෝදිට, රනිල් අවශ්‍ය වන්නේ ඒ නිසාය. රනිල් ඒ මොහොත රට වෙනුවෙන් කැපකර තිබේ. රටක් හදන්න නම් රට පෙරටු කරගත් එහෙම නායකයන් අවශ්‍යය. එහෙම ජනතාවකුත් අවශ්‍යය. රනිල් රට රැගෙන යන තැන එතැනය. කොළ අතේ තියාගෙන ගස් වටේ කැරකි කැරකි ඉන්නට ඔහුට අවශ්‍යතාවයක් නැත.