විහිළුකාරයන් කයිවාරුකාරයන් මුග්ධයන් මැද කෝටියක් ඡන්ද හිමිකරුවා

ලබන වසරේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වෙන බව ජනාධිපතිවරයා කිහිපවතාවක්ම තහවුරුකර තිබේ. එමෙන්ම මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් පැහැදිලිය. කෙසේ නමුත් ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල්ගේ ඉදිරිපත්වීම ගැන තිබූ දෙගිඩියාව අවසන් කරමින් ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ඔහු සිය දේශපාලන සගයන් හමුවේ තහවුරු කර ඇති බවත් පසුගිය සතියේදී වාර්තා වී තිබිණි. කෙසේ නමුත් මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් රනිල් අපේක්ෂකයකු ලෙස ඊට ඉදිරිපත්වීම සිදුවෙන බවත් සියල්ලට පෙර පවසා සිටියේ “චැතම් ස්ටී්‍රට් පුවත්පත” විසිනි. ඒ, රටේ වත්මන් දේශපාලනය ගැන ගණන් හැදීම සහ අනාගතය සූත්‍රගත කිරීමේ පරිචය අනුවය. මේ සම්බන්ධයෙන් අප ලිපි ගණනාවක් පසුගිය සති කිහිපයේදී පළ කරමින් විය හැකි දේ පෙන්වා දුන්නෙමු.
එසේම ජනාධිපතිවරණයේ දේශපාලනය ක්‍රියාත්මකවීමට නියමිත ආකාරයත් ඒ අනුව ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වනු ඇත්තේ කුමක්ද යන්න ගැනත් අපගේ විශ්ලේෂණයන්ද අප මේ වන විට පළකර අවසන්ය. ඒ අනුව නියත වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ ජනාධිපති රනිල් මිසක වෙන කිසිවකු නොවේ. ඊට හේතු භූත වන දේශපාලනික හා ආර්ථිකමය කරුණු කාරණා බොහොමයක් තිබේ. එසේම මෙවර ජනාධිපතිවරණය ගල උඩ සටනක් වන්නේද නැත. ඒ මන්ද යත් ජනාධිපති රනිල් ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේම රට ගොඩගත් අසහාය නායකයා ලෙසය. එසේම රට මෙතුවක් කල් ඉල්ලා සිටි දෘඩතර හා බුද්ධිමත් නායකත්ව පෞර්ෂය සහිතවය. එම සූර නායකත්වය යළි අහිමිකර ගැනීමට ජනතාව මෙවර මෝඩ නොවේ. මන්ද ජනප්‍රිය රැළි විසින් රටට අත්පත් කරදුන් විනාශය ගැන අත්දැකීම් ජනතාවට ඇති බැවිණි. මේ නිසා අභියෝගයකින් තොර පහසු ජයග්‍රහණයක් ඔහුට හිමිය. එය මේ වන විටත් තහවුරුව තිබෙන විට රනිල්ට අභියෝග කරන්න ද කිසිවකුත් ඉදිරියට නොඑනු ඇත. රනිල් හමුවේ සෙසු අපේක්ෂකයන්ට වන්නේ පරාජිතයන් අතර පළමුවැන්නා දෙවැන්නා වන්නේ කවුද යන්න ගැන අවධානය යොමුකරමින් තමන්ගේ තැන ආරක්ෂා කරගැනීමේ කුළල් කාගැනීමට පිවිසෙන්නය. ඒ දැනටමත් පෙන්නුම් කරමින් තිබෙන්නේ ජාජබය හා සජබය අතර වන ගැටුම සහ එම දෙපක්ෂයේම ඇතිව තිබෙන අභ්‍යන්තර ආරවුල් උත්සන්නවීම ප්‍රසිද්ධ තලයට පැමිණෙමිනි. මෙම තත්වයන්ගේ වර්ධනය විසින් වෙන්ඩ ජනාධිපතිවරුන් වී සිටින සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර හෝ ජනාධිපති අපේක්ෂකයන් නොවීමද විය හැකිය.
ඒ කොහොම වුණත් ඉදිරි මැතිවරණයේදී වඩාත් තීරණාත්මක වන්නේ රට ගොඩගැනීම
වෙනුවෙන් මෙතෙක් කල් ක්‍රියාත්මක කරමින් පැවැති ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයාගේ ජයග්‍රහණයය. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණයන් කඩාකප්පල් කරන තැනට වැඩ සිද්ධවුවහොත් යළි රට බංකොලොත්වීම නියතයකි. ඒ ගැන විවාදයක් නැත.
එළැඹෙන 2024 වසර ජනාධිපති රනිල්, පසුගිය වසර එකහමාරක සුළු‍ කාලයක් තුළ ක්‍රියාත්මක කළ ආර්‍ථික ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිලාභ එකින් එක ජනතාවට ලැබෙන කාලයක් බවට පත්වන විට ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යෑම වැළැක්විය නොහැක. එසේම 2022 වසර තුළ ජනතාව මුහුණ දුන් අතිශය පීඩාකාරී තත්වයන් අවම කිරීමට ජනාධිපතිවරයා ගත් කඩිනම් තීන්දු තීරණ නිසා හැකිවූ අතර මෙම වසර තුළදී තවදුරටත් ඒ වැඩසටහන් ඉදිරියට ගෙන යමින් ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක පියවරයන්
රැසක් ක්‍රියාත්මක කිරීමට ඔහු සමත් විය. මේ සමත්කම ඔහුගේ ජයග්‍රහණයට පාර කපා ඇත.
කෙසේ නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කර සංවර්ධන මාවතට ඇදගැනීමට තිබු මූලික පියවර වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයන්ට පිවිසීම සහ ඒ අනුව රටේ ආර්ථික පිළිවෙත් වෙනස් කිරීමය. ඒ ඉලක්ක අසීරුවෙන් නමුත් සපුරා ගැනීමට හැකි විය. ඒ අතර විශාලම අභියෝගය වූ දෙස් විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ද මේ වන විට අවසානයකට පැමිණ තිබේ. ලබන වසරේ මුල් මාස කිහිපය තුළ එම කටයුතු නිමා වී යළි ජාත්‍යන්තර මුල්‍ය ආයතන, රාජ්‍යයන්ගේ සහ ජාත්‍යන්තර ආයෝජකයන් සමඟ රටේ සංවර්ධනය සඳහා ගන්නා පියවරයන් වේගවත් කිරීමේ හැකියාව ලැබේ.
මෙම ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිඵල අනුව පසුගිය 2022 වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම හැකිළෙමින් පැවති මෙරට ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙන බව මෙම 2023 වසරේ තෙවන කාර්තුවේදී ආර්ථිකය සියයට 1.6ක වර්ධනයක් වාර්තා කරමින් පෙන්වා තිබේ.
එසේම දිගු කාලයකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකිවීම තවත් සුවිශේෂී කරුණකි. කෘෂිකාර්මික අංශය සියයට 3.0කින්ද, කාර්මික අංශය සියයට 0.3කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය සියයට 1.3ක වර්ධනයක් වාර්තා කර තිබේ. මෙම ඉලක්කම් පොඩි වූවද මෙහි තේරුම වර්ධනීය තත්වයන් අත්පත් කරගනිමින් සිටින බවය. මේ අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය සහතිකකර ඇති නමුත් තවමත් ඇත්තේ යම් සිරවීමකය. අමාරු තැනකය. නමුත් ඉදිරියට ඇදෙමිනි.
එහෙත් එය ලබන වසර තුළ හැල්මේ දුවන තැනට පත්වන ලකුණු ඇත. නතරව පැවැති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මේ වන විට පියවර ගෙන ඇත. රට මුහුණදුන් ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර 03ක කාලයක් දිස්ත්‍රික්ක සඳහා විමධ්‍යගත අයවැය ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු බිම් මට්ටමේ ව්‍යාපෘති කඩාවැටීමකට ලක්ව තිබිණි. එය නැවත ආරම්භ කරමින් එළැඹෙන ජනවාරියේම ප්‍රදේශීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ විමධ්‍යගත මුදල් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපතිවරයා පසුගිදා පවසා තිබිණි. මීට අමතරව ප්‍රාදේශීය සංවර්ධනයේ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන ව්‍යාපෘති ගණනාවක් සඳහා තවත් ප්‍රතිපාදන රැසක් අයවැයෙන් ලබා දී ඇත.
ඒ අනුව දැනට ආරම්භකර ඇති කෘෂි නවීකරණ වැඩසටහන සමඟ මීළග වසර දෙක තුළ කෘෂි නිෂ්පාදන ඉහළ යනු ඇත. කෘෂි නිෂ්පාදන වැඩිකර තරගකාරී කෘෂිකර්මාන්තයක් ඇති කිරීම රජයේ අරමුණ වන අතර එහි වාසිය ගමේ ආර්ථිකයට ලැබෙනු ඇත. මේ ආදී වශයෙන් ගමේ සංවර්ධනය නව ජවයකින් ආරම්භ වෙනු ඇත. ගමේ ආදායම් සරු වෙනු ඇත.
මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය මෙරටට ලැබී ඇති අතර ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන අරමුදල විසින් මෙරටට අරමුදල් ප්‍රදානයන් කිහිපයක් සිදුකර ඇත. මුල්‍ය අරමුදල වෙතින් ඩොලර් මිලියන 337ක දෙවන වාරිකයක ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250 ක් ද හිමි විය. මෙම ඩොලර් මිලියන 787 ක් වන මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ විදෙස් සංචිත වැඩි කිරීමට දායක වෙයි.
එමෙන්ම ආර්ථික අර්බුද මධ්‍යයේ පවා මෙම වසර තුළ ඩොලර් බිලියන දෙකකට අධික සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට
සමත්ව ඇති අතර රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබී තිබෙන සහතිකය නිසා නියත වශයෙන් ලබන වසරේදී විදේශ ආයෝජන වැඩිවීම ගැන බලාපොරොත්තු තබාගත හැක.
මේ අතර ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් සඳහා පිවිසීම වෙනු ඇති අතර යුරෝපීය සංගමය සමඟ වෙළඳ සබඳතා වැඩි දියුණු කරගැනීමටද රජය යොමුව සිටී. ඒ අනුව මෙරට අපනයනයන් වර්ධනය වීමේ අවස්ථා වැඩි දියුණු වේ. ඒ සඳහා වන නව ක්ෂේත්‍ර ඔස්සේ කෘෂි සහ කාර්මික අංශයන් ගොඩනැගෙනු ඇත. රැකීරක්ෂා ආදායම් මාර්ග ගොඩනැගෙනු ඇත.
මේ අතර මෙරට ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අනුව මේ වන විට පූර්ණ ඩිජිටල්කරණයට රටම යොමුකරවීම සිදුවේ. ඒ අනුව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘතිම බුද්ධිය :්ෂ* පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය ගොඩනගා තිබේ. එමෙන්ම හරිත ආර්ථිකයක් බවට පත්වීමේ උත්සාහයන් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය තිරසාර ඉලක්ක සපුරාගැනීම සඳහා පරිසර හිතකාමී පරිචයන් සහතික කරමින් ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරාගැනීමට කටයුතු කරමින් සිටී. මේ වෙනුවෙන් විදේශ ආධාර, නව ආයෝජන අවස්ථා මෙරටට ලැබීමට නියමිතය. පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව ඉහළය. ඒ අනුව ඉන්දියාව ඇතුළු තවත් රටවල් සඳහා අතිරික්ත බලශක්තිය අපනයනය කළ හැකි බවට හඳුනා ගෙන ඇත. ඒ අනුව සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනයක් කිරීමට ද රජය අපේක්ෂා කරයි. මේවා රටේ නවතම ආදායම් මාර්ග වෙනු ඇත.
මේ අනුව වන විවිධ සංවර්ධන ව්‍යාපෘති රට තුළ මුදල් සංසරණය වේගවත් කරනු ඇත්තේ මෙරට පුරවැසියන්ගේ මුල්‍ය තත්වයන්ද පෝෂණය කරමිනි. එමෙන්ම සංචාරක ව්‍යාපාරයද මෙම වසර තුළ වර්ධනය වූ අතර විදේශ ප්‍රේෂණයන්ද වර්ධනය වූයේ මෙරටට මුදල් නොඑවන්නැයි විපක්ෂ කොටස් විදේශගත ශ්‍රමිකයන්ගෙන්
ආයාචනා කර තිබූ තත්වයන් යටතේ වීම සුවිශේෂීය. එමඟින් කියවෙන්නේ විපක්ෂය මොන නාඩගම් නැ‍ටුවත් මෙරට ජනතාව ජනාධිපති රනිල් කෙරෙහි විශ්වාසය තබා ඇති බවය.
මේ තත්වයන් අනුව අද විපක්ෂය ජනතා රැල්ල ඇත්තේ තමන්ට බව කියමින් බිලියන ගණන් වියදම් කරමින් ප්‍රචාරක වැඩ කළත්, මාධ්‍ය සංදර්ශන පැවැත්වූවත් ඇත්ත කතාව නම් රටේ බහුතරය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සමඟ සිටින බවය. ජනාධිපති රනිල් මීට වසර එකහමාරකට පෙරත් කියා සිටියේ රටේ නිහඬ බහුතරය මෙම නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ එකඟව රටේ සංවර්ධනය බලාපොරොත්තුව සිටින බවය. එය ඇත්තය. රජය ගත් අමාරු දුෂ්කර ජනප්‍රිය නොවන තීන්දු හමුවේ විපක්ෂය ජනතාව පාරට ගෙන්වමින් එක එක අරගල නාඩගම් විගඩම් නටන්න උත්සහ කළත් ඒ සියල්ල අසාර්ථකවීමෙන් පෙන්වන්නෙත් එයමය.
කොහොම නමුත් ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වෙමින් රට සාමාන්‍ය අතට පත්වෙමින් තිබීම මත ඉදිරියේදී පුරවැසි ජනතාවට තවදුරටත් සහනදායක ජීවන පරිසරයක් නිර්මාණය වීමත් වෙනු ඇත. මේ වන විටත් එළැඹෙන ජනවාරියේ විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි බිලට සහනයක් ලැබෙන බව විදුලි හා බලශක්ති ඇමැතිවරයා පවසා තිබේ. ඒ ආකාරයෙන් හැකි සෑම විටම ජනතාවගේ සුබසිද්ධිය තකා ගතහැකි පියවරයන් එකින් එක ක්‍රියාත්මක වෙනු ඇත. රාජ්‍ය සේවකයන්ගේ වැ‍ටුප් දීමනාවත් ජනවාරියේ සිට ලැබෙනු ඇත. රටේ ආර්ථිකය වඩා සක්‍රීය වන විට රැකීරක්ෂා වැඩි වනු ඇත. ව්‍යාපාරික ක්ෂේත්‍රය යළි ගොඩනැගෙනු ඇත. එසේම වඩාත් පීඩාවට පත් ලක්ෂ විස්සකට වැඩි පවුල් වෙනුවෙන් ඉතා ශක්තිමත් සමාජ ආරක්ෂණයක් ක්‍රියාත්මකවීම තුළ එම ජනතාවටත් රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් දායකත්වය සැපයීමේ අවස්ථාව උදාවන අතර ඔවුගේ පීඩාවන් එමඟින් තවදුරටත් පහව යෑම සිදුවෙනු ද ඇත. ඒ අනුව 2024 වසර යනු යළි කෙලින් කටින් සිටගැනීම වන වසරයි. නමුත් එහි තේරුම සියලු‍ පීඩාවන් අවසන් වෙනවා කියන එක නොවේ. දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයන්
අනුගමනය කරමින් තවදුරටත් ඉදිරියටම යෑම විය යුතු බවය. ඒ අනුව මීලඟ පියවර තැබීම විය යුතු බවය. එම ඉදිරි පියවර සාර්ථක වෙන්න නම් අද ගන්නා පියවර නිවැරදිවත් ශක්තිමත්වත් තැබිය යුතුය.
“වර්තමාන අභියෝගයන්ට අප සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර පහක් හයක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අපට අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව විශ්වාසයි.” මේ ජනාධිපතිවරයාගේ විශ්වාසයයි. ඔහු කරන දේ කියපු, කියපු දේ කර පෙන්වු නායකයාය.
ඒ නිසා රටේ අනාගතය ගැන සුබවාදී ලෙස කල්පනා කරන්න පුළු‍වන් වාතාවරණය පැහැදිලි වෙමින් තිබියදී නැවත වරක් ඒ පැහැදිලිතාවය අඳුරු නොකරගත යුතුය. ඒ අනුව ඉදිරි මැතිවරණවලදී සිහිබුද්ධියෙන් තීන්දු තීරණ ගැනීම සිදුවිය යුතුය. එක එක විහිළුකාරයන්, කයිවාරුකාරයන්, මුග්ධයන් මැතිවරණ වේදිකා මතට වී කුමක් දෙසුවත් රට යායුතු මඟ පැහැදිලි නම් ඒ මාවත හැරපියා, බැදිවල නොයා සිටීමට ජනතාවට හැකි විය යුතුය.
කොහොම නමුත් ඒ ගැන බිය සැක සංකා ඇති කරගන්න නොවෙන තරමට ජනාධිපති රනිල් වැඩකර පෙන්වා ඇත. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ජීවිතය පරදුවට තබා පෙනී සිටියේ රටේ අභිවෘද්ධිය වෙනුවෙනි. කොන්ද පණ ඇතිව තීන්දු ගත්තේ ජනතාවගේ අභිලාශයන් වෙනුවෙනි. ඒ අනුව රටේ අභිවෘද්ධියත්, ජනතාවගේ අභිලාශයත් කෝටියක් ජන මනාපයෙන් තහවුරුවීම ඉදිරි ජනාධිපතිවරණයෙන් අහඹුවක් වන්නේ නැත. තර්කානුකූලවම අනිවාර්ය සිදුවීමකි.

ඝෝෂක