කොන්ක්‍රීට්වාසීන්ගේ බතලේගල සංහාරය
ලෝක පරිසර පද්ධතිය ගැන බුදුන්ගේ දේශනාව වනුයේ කෙළෙසුන් ගෙන් මිදුනු, කෙළෙසුන් මඬනාවුන්ට නොකෙළෙසුන පරිසරය වටින්නේය යන්නයි. ඒ අනුව කෙළෙස් දමනය උගන්වන බුදුදහම මේ පාරිසරික සංහාරය ඉවසන්නේ සියළු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය යන්නට යටත් කරය. ඒ අනුව ස්වභාව ධර්මයද විනාශවීම නියතයක් යැයි සිතා නූතන කොන්ක්‍රීට්වාසීන් පරිසරය වැනසීම වරදක් ලෙස භාර නොගන්නවා විය හැකිය.
බුදු දහම රැකීමට සිවුරුලාගත් පිරිස් සහ එහි අයිතිකරුවන් ලෙසින් පෙනී සිටිනවුන් විසින් ස්වභාවික පාරිසරික සාධකවල වටිනාකම් නොතකා එය වනසමින් කෘත්‍රිම කොන්ක්‍රීට් පරිසර පද්ධතින් ගොඩනැගීම් සිදු කරන අවස්ථා පහුගිය කාලය මුළුල්ළේම දකින්නට ලැබුණු දෙයකි. බතලේගල කඳුමුදුනේ වන ඉදිකිරීමද අයත් වන්නේ එයටය. ජෛව විවිධත්වයෙන් හා ශාක හා සත්ව ගහණයේ සුවිශේෂී පාරිසරික කලාපයක් වන බතලේගල මුදුනෙහි වන ඉදිකිරීම් නිසා එම පාරිසරික පද්ධතියට මේ මොහොතේත්, අනාගතයේදීත් සිදුවන හානිය ගණන් බැලීමක් කර නැත. මේ රූප රාමු මඟින් පෙන්නුම් කරන්නේ එසේ කළ ඉදිකිරීම්ය. මේ අන්දමට විනාශ’කරන්නේ කවර භූමියක්ද යන්න පාරිසරිකව අධ්‍යනය කිරීමෙන් මේ විනාශයේ දිග පළල අවබෝධ’කොට ගත හැක.
බතලේගල කවර භූමියක් ද?
බතලේගල යනු අක්කර 150ක රක්ෂිත කලාපයකි. එය ජෛව විවිධත්වයෙන් අනූන වූවකි. බතලේගලට අයත් බිම් ප්‍රමාණයෙන් අක්කර 06ක් පමණ පූජා භූමියක් ලෙස මීට බොහෝ කලකට පෙර විහාරස්ථානයට වෙන් කර ඇත. එයද එදා ගත් වැරදි තීරණයකි. කොහොම නමුත් මෙම පූජා භූමියට පර්වතය අයත් නොවේ.
බතලේගල පර්වතය මතුපිට තැනිතලා ස්වරූපයක් ගනී. එහි දිග සාමාන්‍යයෙන් 350පක් පමණ වන අතර, පළල 38ප පමණ වේ. මෙහි මතුපිට අඩි 5-6ක පමණ පස් තට්ටුවක් ඇති අතර, එම පස් තට්ටුව රතු, කහ, පොඩිසොලික් හා ලැටරයිටි යන පාෂාණවලින් සමන්විත වේ. මෙකී තැනිතලා බිමේ මාන පඳුරු, කහට ගස් ආදිය ද තැනින් තැන දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 23ක පමණ උෂ්ණත්වයක් ද වාර්ෂිකව 4500පපක් පමණ වර්ෂාපතනයක් ද ලැබේ. ආර්ද්‍රතාව 85%ක පමණ ඉහළ අගයක් ගනී.
මෙම පරිසර පද්ධතියේ දැක ගත හැකි ශාක හා සතුන් රාශියකි. අලංකාර උඩුවියනකින් යුත් ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ සුලභ ලෙස දැකිය හැකි ශාක හා පැළෑටි අතර, ඉතා දුර්ලභ හා ආවේණික ශාක රාශියක් ද ඇත. එමෙන් ම අලංකාර මල් පිපෙන ඕකිඩ් වර්ග විශාල සංඛ්‍යාවක් ද මේ පරිසරයේ දක්නට ලැබේ.
ලංකාවට ආවේනික ශාක අතර ඇටඹ, වල් දෙල්, හල්මිල්ල, මිල්ල, බලබොඩ, බදුල්ල, කළුමැදිරිය, කිතුල්, භූකෙන්ද, අත්කෙන්ද, වල් කුරුඳු, මහෝ, පුස් වැල්, රසකිඳ වැල්, සත්සඳ, කොතල හිඹටු, අරත්ත, තෙඹු, ගඳපාන, කොටකිඹුල, කැන්ද, හවරි නුග, පොඩිසිඤ්ඤාමරම් වැනි ශාක සුවිශේෂී’වේ.
එසේම මෙම රක්ෂිතයට ආවේණික පක්ෂීන් හා සතුන් ද රාශියකි. ඒ අතර රිළවා, මුවා, කළවැද්දා, හිකණලා, ගල් මුගටියා, හූණා, වල් ඌරා, පිනුම් කටුස්සා, උරුලෑවා, පළා පොළඟා, කබල්ලෑවා, පොළොං තෙලිස්සා, බළල් දිවියා, කනඋල්ලන්, ඇටි කුකුළා, ගැටහොඹු කටුස්සා, කොට්ටෝරුවා, දඬුලේනා, කිරි වවුලා, නරියා, අළු කෑදත්තා, ඌරු මීයා, බකමූණා, ඉත්තෑවා, පිළිහුඩුවා, වළි කුකුළා,හාවා,සර්ප උකුස්සා,ලේනා,කහ කුරුල්ලා ආදින් බහුලව දකින්නට ලැබේ.
සංහාරයේ තරම
කඳු මුදුන මත චෛත්‍යයක් හෝ එවැනි ඉදිකිරීමක් කිරීම මඟින් මේ පරිසර පද්ධතියට සිදු වන මහ ලොකු හානියක් නැති බව පෙන්වා දෙන ඇතැමුන්, මෙම විරෝධය බෞද්ධාගම් විරෝධි කණ්ඩායම්වල ව්‍යාපෘතියන් බව හඟවමින් ද තිබේ. නමුත් මෙතැන ඇත්තේ ආගමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. අනෙක් කාරණය මෙවැනි ඉදිකිරීමක් සිදු කරන විට ලබා ගත යුතු නීත්‍යානුකූල අවසරයන් මේ වෙනුවෙන් ලබා ගෙන නොතිබීමය. එලෙස ඉල්ලීමත් මේ අය කළා නම් රටේ පවතින නීති රීති අනුව කෙසේවත් ඊට අවසරයක් හිමි වන්නේත් නැත. මේ අය මෙම ඉදිකිරීම සදහා සංස්කෘතික අමාත්‍යංශයේ අවසරයක් ඇති බව පවසා නීතියෙන් ගැලවීමට ප්‍රයත්න දරමින් ද තිබේ.
ඒ අනුව මුල සිටම මෙහි සිදු කර ඇත්තේ නීති විරෝධි කටයුත්තකි. නීති විරෝධි භාවිතාවකට යන්න නම් මේ ඉදිකිරීමේහි ප්‍රතිපලය ද යම් ජාවාරමක් හා ගැට ගැසී තිබිය යුතුය. මේ කතාවේ පදනම ඇත්තේ එතැනය. මේවා
බුද්ධාගමක් රැකගැනීමට පෝෂණය කිරීමට කරන වැඩ නොවේ. මේ තනිකර කූඨ ව්‍යාපාරයකි. සංචාරකයන් අද්දවා ගැනීම හරහා කීයක් හෝ හරි හම්බ කරගැනීමේ ජාවාරමකි. මේ කූට වෙළඳ වුවමණාවන් මුදුන් පමුණුවාගැනීමට චීවරධාරීන් හා බෞද්ධයන් වෙසින් සිටින වසලයෝ පිරිසක්, අන්ධ භක්තියෙන් සිටින බෞද්ධ ජනතාවද ගොනාට අන්දවමින් මේ ජාවාරමට අතගසා ඇති බව පැහැදිලිය.
පාරිසරික වශයෙන් සහ ආකර්ෂණීය භූ-දර්ශනයක් වශයෙන් වැදගත් වටිනාකම් සහිත දැනට ඉතිරිව තිබෙන ප්‍රදේශ හෝ විනාශ නොකර රැකගැනීමේ වුවමණාව ඇල්ල – නුවරඑළි සංචාරක කලාප නිරීක්ෂණ කළ සමයේදීම ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබිණි. ඒ අනුව කිසිදු ලෙසක මෙවැනි භූමි මත ඉදිකිරීම් සිදු කිරීම නොකළ’යුතු බවට නීති පැනවීමක් සඳහා උපදෙස් දී තිබිණි. ඒ තත්වයක් තුළ’ඇමතිවරයෙකුගේ රාජ්‍ය නිලධාරීන්ගේ අනුදැනුමක් මේ සදහා ලැබුනේ නම් එය ද වරදක් බව දැක්විය යුතු වේ.
කෙසේ නමුත් රැල්ලට කඳු මුදුන් මත පන්සල් ඉදිකිරීමේ මේනියාවක් මෑතක සිට වර්ධනය වී ඇත. මංපහරන්නෙක් අපරාධකාරයකු වූ සූරසරදියල් විසුවා කියන උතුවන්කන්ද මුදුනද සරදියෙල්ගේ නාමයෙන් ශුද්ධ වූ බෞද්ධ භුමියක් කර තිබෙන අයුරු ද දැකිය හැකිය. මෙය ආගමික උමතුවකි. මේවා ගැන මුලික පියවර ගත යුත්තේ බුදු දහම රැකීමට
වැඩ සිටින දැන උගත් මහානායක හිමිවරුන් සහ චීවරධාරීන් නොවන සැබෑ සංඝරත්නය විසිනි. එසේ නොමැති නම් තවමත් ඉතිරිව ඇති නිර්මල බුදුදහම විනාශ වන්නේ මේ පාරිසරික පද්ධතීන් සියල්ලද විනාශ කරමිනි.
“යස්ස රුක්ඛස්ස ජායාස – නිසීදෙය්‍ය සයෙය්‍ය වා – න තස්ස සාඛං භඤජෙය්‍ය – මිත්තදුඛිභෝ හි පාපකෝ” එම්බා මිනිසුනි, යම් ගහක් සෙවණේ කවුරුන් හෝ ඉඳගෙන සිටිනවා නම්, නිදනවා නම් ඒ තැනැත්තාට තමන්ට සෙවණ දුන් ගහේ අතු ඉති බිඳින්නේ නෑ. ඒක මිත්‍රද්‍රෝහී පවක් (ඛුද්දක නිකාය, පේතවත්තු, අංකුර පේත වත්තුව)
සෙවන දුන් ගසක අත්තක් සිඳ දැමිම මිත්‍රද්‍රෝහි ක්‍රියාවක් බව පේත වත්ථුවේ සදහන් වන දෙසුමට අනුව මේ විනාශ කොට දමන්නේ සියවස් ගණනාවක් ලෙස නොඉදුල්ව තැබූ භූමීන්ය. මේ ඊනියා ආරාම නැති නම් ආගමික විනෝදස්ථාන ඉදිකිරීමෙන් පසු මේවාට සංචාරකයන් ඉවක් බවක් නැතිව ඇදෙන කොට, කඩකෑලි පාර දෙපස හැදෙන කොට, නවාතැන් පොළවල් හැදෙන කොට, යටිතල පහසුකම් දෙන්න නව ඉදිකිරීම් කරන කොට, ප්‍රදේශය ක්‍රමයෙන් ජනාවාස වෙමින්, ඊට ඉඩ ගැනීම වෙනුවෙන් තවතවත් රක්ෂිතය සුද්ද වෙන කොට, පරිසර හානියේ තරම ගැන කතා කිරීමෙන් පලක් නැත. විලපත්තුවේ වන විනාශයට, සිංහරාජයේ වන විනාශයට ආදී වශයෙන් පරිසර හිතකාමීන් ඒ ඒ වකවානුවල විරෝධය ගොඩනැගුවේ දේශපාලනික හෝ ආගමික හෝ වර්ගවාදයක් අනුව නොවේ. නමුත් එම විරෝධයන් තුළ එවැනි අවභාවිතයන් සිදුවූවද අවසාන තර්කය වූයේ පරිසරය ආරක්ෂා කරගෙන විය යුතු සංවර්ධනයක්වීම පදනම් කර ගෙනය. තිරසර සංවර්ධනය කියන්නේ එයටය. දේශගුණික විපර්යාස වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව පෙනී සිටින විට, රටට සිදුව තිබෙන විනාශයට සංවර්ධිත රටවලින් වන්දි ඉල්ලන විට, මෙරට පරිසරය විනාශ කිරීමේ කිසිදු වැඩපිළිවෙලකට එකඟවීමේ හැකියාවක් රටට නැත. මේ නිසා කුමන වේෂයකින් පැමිණියද පරිසර හානියට එරෙහිව නැගී සිටිය යුතු බව බතලේගල කන්දේ ඉදිවන මෙම කොන්ක්‍රීට් ඇතිරීමේ විනාශයට එරෙහි වීමෙන් පෙන්විය යුතු වේ. බෞද්ධ’වේවා අබෞද්ධ’වේවා පරිසර සංහාරය නම් පරිසරය සංහාරයකි.
- කේ.පී.අයි. ප්‍රියංගනී