ඉදිරි සති අන්තයේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක්

    

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බැවින් නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදු කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු මර්දන අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබු බවත්, එම කමිටුවල මෙහෙයවීමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් දීප ව්‍යාප්තව සක්‍රීයව ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත් හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂිත දින වෙන් කරමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන අතර අනෙකු පළාත් සඳහා ඔවුන්ට ආවේණික ගැටලු හදුනාගෙන විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරන බවද රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී දී අද (25) පැවති මාධ්‍ය හමුවේදීය.
ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගයද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකි බවත් සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙසේද පැවසීය
“ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම ලෝක තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. මේ වසරේ මුල් භාගයේ පමණක් අපේ රටේ ඩෙංගු රෝගීන් 47,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර ඩෙංගු මරණ 27ක් වාර්තා වෙනවා.

මේ තත්ත්වය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබුවා .

මෙම විශේෂඥ කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසක් ඇතුළත් වෙනවා.

ඩෙංගු මර්දනයේදී මදුරුවා බෝවීම වැළැක්වීම වගේම මදුරුවාට වෛරසය ලැබීම වැළැක්වීමත් ඉතා වැදගත් වෙනවා. වර්ෂාවත් සමඟ ජලය රැ‍ඳෙන ස්ථාන හඳුනා ගෙන මදුරුවන් බෝවීම වළක්වා ගැනීමෙන් වාහකයා අඩු කර ගත හැකියි. එසේම මදුරුවකු දෂ්ඨ කිරීමට ඇති අවස්ථා අඩු කර ගැනීමට ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. ජන ඝණත්වය වැඩි ස්ථානවල එක් මදුරුවකුගෙන් විශාල පිරිසකට ඩෙංගු බෝවීමට ඇති අවස්ථාව වැඩියි.

පළාත් වශයෙන් පත් කර ඇති ඩෙංගු මර්දන අනු කමිටු හරහා කඩිනම් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. එළැඹෙන මාසවලදී දරා ගත නොහැකි තරම් රෝහල්ගත වන රෝගීන් ධාරිතාවකට නොයා ඉන්න තමයි මේ මඟින් උපරිම උත්සාහය ගන්නේ.

ඒ අනුව එළැඹෙන සති අන්තයේදී ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතුව කොළඹ නගරය තුළ විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ඊට ඩෙංගු මර්දන ඒකකය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ පළාත් පාලන ආයතනය ද එක් වන අතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මඟින් අදාළ දැනුම් දීම් සිදු කරනු ඇති. ඒ අනුව එළැඹෙන සති අන්තයේ නි‍වසේ රැඳී සිටිමින් ඊට සහාය ලබා දෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම වැඩසටහනෙන් පසු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල විශේෂිත දින වෙන් කර සතියක් පුරා ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත් හැර දමා ඇති බිම් කොටස් කීට පරීක්ෂාවන් සිදු කරනවා.

ඊට සමගාමීව අනෙකුත් සියලුම පළාත් තුළද ඔවුන්ට ආවේණික ගැටළු හඳුනා ගෙන පළාත් සෞඛ්‍ය නිලධාරී ගේ උපදෙස් අනුව විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
ඩෙංගු රෝගියා තමන් රෝගියකු ලෙස වගේම, තමන් ගෙන් අන් අයට රෝගය බෝ නොවන ලෙස ආරක්ෂා කිරීම පිළිබඳවත් දැනුවත් විය යුතුයි. ඒ සඳහා විශේෂයෙන් මේ වෙලාවේ මාධ්‍යට විශාල කාර්යභාරයක් කළ හැකියි.

ඩෙංගු මර්දනයේදී වැඩි අවධානය යොමු කරන්නේ ප්‍රාථමික සෞඛ්‍යයටයි. මෙම තත්ත්වය සෑම වසරකම අප මුහුණ දෙන තත්ත්වයක් නිසා මගේ අදහස නම් මෙම දැනුවත් කිරීම් පාසැල් මට්ටමෙන් පුළුල්ව සිදු කළ යුතු බවයි. ඒ වගේම මෙය විෂය මාලාවට ඇතුළත් කළ යුතු විශේෂිත තත්ත්වයක් ලෙස මම දකිනවා.