අනාගත නායකයන්ට හදන්න රටක් නැත

0

විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කරන්නේ එය රජය ගත් නිවැරදි පියවරක් බවය. හදුන්වා දී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධානය පවසයි. ලංකාවේ ප‍්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවාගැනීමට ප‍්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමයි. 2021 වසරේ දී දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස බදු ආදායම 7.3% කි. එය ලෝකයේ අනෙකුත් රටවල් හා සසදා බැලීමේ දී අඩු බදු එකතු කිරීමකි. එය 14% ආසන්නයටවත් නොගෙනාවොත් තවදුරටත් රට අර්බුදයේම ගිලී පවතිනු ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ රජයේ ආදායම් වියදම් අතර ඇති මෙම පරතරය පියවීම සදහා මූල්‍ය පහසුකම් ලබාදීමට බාහිර ණය හිමියන් කැමතිවන්නේ නැති බවය. එය ඇත්තය. අඩුම තරමින් ණයක් ගන්න රටකට ඒ හැකියාවවත් තිබිය යුතුය. ඒ අනුව රජයේ ආදායම් ඉහළ නංවාගැනීම ස`දහා බදු සංශෝධනය අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි. එමෙන්ම මෙම බදු සංශෝධනය ලංකාව සම්බන්ධයෙන් බාහිර ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට ද අත්‍යාවශ්‍යය.

කොහොම නමුත් බදු විරෝධීන් රජයේ බදු ප‍්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් පළ කරන මත දැක්වීම් වලදි රජය බදු වැඩි කර ඇත්තේ වෘත්තිකයන්ට නැතිනම් ලක්ෂයට වඩා වැටුප් ලබාගන්නා අයට පමණක් බව හැඟෙගන ප‍්‍රකාශ සිදුකරමින් තිබේ. විශේෂයෙන්ම මහා පරිමාණ පෞද්ගලික සමාගම්, ව්‍යාපාරයන් ආදියෙන් නියමිත බදු අය කරගන්නේ නැති බවත් ඔවුන්ට බදු සහන හිමිවීම හෝ බදු පැහැරහැරීමට අවස්ථාව දී ඇති බවත් කියමින් සිටී. ඒ නිසා බදු හොරුන්ගෙන් බදු අයකර නොගෙන මේ ඉහළ වෘත්තිකයන්ගෙන් බදු අය කරගැනීම අසාධාරණ බව කියති. නමුත් මෙය ප‍්‍රලාපයකි. 2021 වසරේ බදු අය කරගැනීම් සහ 2023 වසරේ බදු ඇස්තමේන්තු පරික්ෂාකර බැලූවහොත් ඉතා පැහැදිලිව විශාල වශයෙන් බදු අය කරගැනීමක් සිදුකර ඇත්තේ කවරෙකුගෙන්ද යන්න පැහැදිලි වෙනු ඇත. 2021 දී උපයන විට බදු ආදායම වූයේ රුපියල් මිලියන 15,353 කි. එය මිලියන 100,000 කට ගෙන ඒම මෙම වසරේ අපේක්ෂාවය. එමෙන්ම ආයතනික ආදායම් බදු ලෙස 2021 දී ලැබුණේ රු මිලියන 249,837 කි. එය 597,000 දක්වා මෙම වසරේදී අපේක්ෂා කරයි. මේ ආකාරයෙන් මෙරට පවතින බදු වර්ග 20 කින් පමණ බදු ආදායම් ඉහළ දැමීම සිදුකර ඇති අතර ඒ අනුව 2021 දි රු මිලියන 302,115 ක වූ එම බදු ආදායම මිලියන 912,000 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය. සමස්ථ බදු ආදායමෙන් උපයන විට බදු ප‍්‍රතිශතය 11% ක් පමණය.

2021 වන විට බදු ආදායම් පහළ වැටුණේ කිසිදු වගවිභාගයක් නැතිව බදු සහන ලබාදෙමින් බදු ලිපිගොනු ප‍්‍රමාණය ලක්ෂ 5 කට ආසන්නව පහත දැමීමත්ය. 2019 වන විට බදු ලිපි ගොනු ලක්ෂ 14 ක් ඉක්මවා තිබුණු අතර එය තවදුරටත් පුළුල් කර බදු නොගෙවන එහෙත් ඉහළ ආදායම් ලබන පිරිස බදු ක‍්‍රියාවලියට දායක කරගැනීමේ සැලසුම් සකස් කර තිබිණි. එම ක‍්‍රියාමාර්ග සියල්ල අත්හිටුවීම මත රාජ්‍ය ආදායම අඩකින් පමණ අහිමි වී රට බංකොලොත් විය. රටේ ආර්ථිකය 2019 වසරේ තත්වයට හෝ ගෙන ඒමට නම් එම වසරේ ක‍්‍රියාත්මක බදු ක‍්‍රමය යටතේත් තවත් පහක් හයක් ක‍්‍රියාත්මක කළ යුතුව තිබිණි. නමුත් රට තවත් කඩා වැටීම වැලැක්වීමට නම් ඊට පෙර කඩිනමින් ගත යුතු ක‍්‍රියාමාර්ග මඟ හැරිය නොහැකි විය. ඒ අනුව එකවර වැඩි ප‍්‍රතිශතයකින් බදු වැඩි කිරීමටත් බදු නොගෙවා සිටි අය එම ක‍්‍රියාවලියට සම්බන්ධ කරගැනීමෙත් දැඩි පියවරයකට යෑම රජයට අනිවාර්ය විය. ඒ සාර්ථක වුවහොත් රාජ්‍ය ආදයම යම් ස්ථාවරත්වයක්ට පත් වී අනෙක් ආදායම් මාර්ග විවරවීමත් සමඟ මෙම වසර අවසන් වන විට විශේෂයෙන්ම උපයන විට බදු ගෙවන පිරිස් වෙත යම් බදු සහනයක් ලැබීමේ හැකියාව තිබේ. එතෙක් බදු බර දරන්න වෙනු ඇත. ඒ වැලක්විය නොහැක. නමුත් ඇත්ත ප‍්‍රශ්නය මේ බදු බර නොවේ. ඔවුන්ගේ ණය තුරුස්ය. එය වෙනම් විසඳාගතයුතුව තිබෙන්නකි.

කොහොම නමුත් මේ වන විට උද්ධමනය වේගයෙන් පහළ යමින් තිබේ. ඩොලරයේ අගයත් යම් තරමකින් අඩුව තිබේ. පොලී අනුපාතයනුත් අඩු වෙමින් තිබේ. සිම්බාබ්වේ වැනි රටක් වීමේ අනතුර දැන් මුළුමනින්ම පහව ගොස් තිබේ. ඒ සියල්ල සිදු වූයේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගත් කඩිනම් හා නිවැරදි ක‍්‍රියාමාර්ග නිසාය. ඒ ගැන විවාදයක් නැත. ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි මෙම වසර අවසන් වන විට සියලූ දෙනාටම යම් සහනදායක කාලයක් උදා වීමත් සිදුවෙනු ඇත. ඒ බව බොහො ආර්ථික විශේෂඥයන් පවා පෙන්වා දෙයි.

කොහොම නමුත් රට මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ සිදු වූ යහපත් දේවල් ගනනාවක්ද තිබෙන බව අද පැහැදිලි වෙමින් තිබේ. පළමු කාරණාව සුද්දාගෙන් නිදහස ලැබීමෙන් පසුව අනුගමනය කළ ආර්ථික දේශපාලනික සහ සමාජීය සංස්කෘතික දේවල් වල වැරද්ද පැහැදිලිව හඳුනාගන්න ලැබීමය. එමෙන්ම එම තත්වයන් වෙනස් කරලීම වෙනුවෙන් රජය දැඩි ක‍්‍රියාමාර්ගයකට එළඹ තිබීමය. මෙය ශ‍්‍රි ලංකාවේ විප්ලවීය සමයක් ලෙස හැඳින්විය හැකි තරම් බරපතල ව්‍යුහමය වෙනසක් කරන පළමු අවස්ථාව බව කිව යුතුය. 1978 දී ආර්ථිකය විවෘත්ත කිරීමට එහා ගිය වෙනසක් මෙවර රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් සිදුවෙමින් තිබේ. මෙම පරිවර්ථනය හැමදාම සිහිනයක්ව තිබූ සංවර්ධිත ශ‍්‍රි ලංකාවක සිහිනය සැබෑ කරගැනීම සඳහා වන අඩිතලම දැමීමක් ලෙස හැඳින්විය හැකිය. නුදුරු අනාගතයේදී මුග්ධ පාලකයකු පැමිණ මෙම ප‍්‍රතිසංස්කරණයන් වෙනස් නොකෙරේ නම් මේ සිහිනය සැබැවීම නියතයකි.

රනිල් මේ සඳහා මුල් පියවර තැබුවේ 2003 වසරේ අගමැතිධුරයට පැමිණීම සමඟය. ‘යළි පුබුදමු ශ‍්‍රි ලංකා‘ මැයෙන් සිය මූලික වැඩසටහන ඉදිරිපත් කළ නමුත් ඒ ක‍්‍රියාවට නගන්න එදා විපක්ෂය ඉඩ තැබුවේ නැත. ඔහුවත් බලයෙන් පහකරන ලදී. රාජපක්ෂ පාලනය මඟින් රට දශක ගනනාවකට ආපහු හැරවීම සිදු විය. රට ¥ෂිත රාජ්‍යක් බවට පත් කරන ලදී. මවාපාන ලද ආර්ථික වර්ධනයක් පෙන්වමින් රට ලෝකයට ණය කරමින් ගෙන ගිය ආර්ථිකය 2015 /16 වන විට බිඳ වැටී රට බංකොලොත් වෙන තැනට පත්කර තිබිණි. ඒ අනුව නැවත 2015 වසරේ දී ආර්ථිකය නිවැරදි මාවතට ගැනීම වෙනුවෙන් ආර්ථික මෙන්ම දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් ඇති කිරීමට රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට සිදු විය. එහෙත් එම පාලනය තුළින් පවා ඒ නිවැරදව ක‍්‍රියත්මක කරගැනීමට හැකි වූයේ නැත. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන් පවා ඊට හරහට සිටියේය. ඔහුට මේ ආර්ථික දැක්ම වටහාගැනීමට නොහැකිවීම සහ ඔහු වටා සිටි රනිල් විරෝධී පිරිස කළ නොමඟ යැවීම මත ඒ වැඩපිළිවෙල අඩාල කරන ලදී. කොහොම නමුත් ඒ වන විටත් පොහොසත් රටක් ඉලක්ක කර ගනිමින් 2025 වසර දක්වා ආර්ථික වැඩ සටහනක් යෝජනා කර තිබිණි. රාජපක්ෂවරුන්ගේ සහ සෙසු විපක්ෂ කොටස් එකතුව යහපාලනය පෙරලා දමා පිහිටවූ ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය තුළ එතෙක් ඉදිරියට රැුගෙන ආ ආර්ථික වැඩපිළිවෙල මුළුමනින්ම කාබාසීනියා කරදැමුවේය. රට බංකොලොත් කළේ තවත් වසර දහයකටවත් ගොඩ නොඑන තැනට ඇද දැමීමෙනි.

රනිල්ට යළි රට බාරගන්න සිදුවූයේ ඒ අනුවය. රට ඇද දමා තිබූ තත්වයන් මත රටේ එතෙක් ක‍්‍රියාත්මක කළ ආර්ථික දේශපාලනික ක‍්‍රමය හරහා යළි ගොඩනැඟීමක් කළ නොහැකි තැනකටම පත්ව තිබිණි. මේ අනුව නව ක‍්‍රම පද්ධතියක් සහිතව මුළුමනින්ම පරිවර්ථන ක‍්‍රියාදාමයක් අවශ්‍ය විය. එය බිඳ වැටි තිබුණු තත්වයෙන් ගොඩ ඒම පමණක් ඉලක්ක කරගත්තක් නොවේ. 2048 වන විට කලාපයේ සංවර්ධිතම රාජ්‍යය බවට පත් කිරීමේ දීර්ග කාලීන ඉලක්කය සහිතව නිර්මාණය කෙරුනු ශක්තිමත් වැඩපිළිවෙලකි. රට අර්බුදයට වැටීමෙන් වූ යහපත් ප‍්‍රතිඵලය මෙම විප්ලවීය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට පිවිසීමට හැකි වීමය. එසේ නොවන්න තවත් කාලාන්තරයක් මේ නරා වළේම වැටී සිටීමට සිදුවෙන්න නියමිත විය. මේ වන විට ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග රැසක් සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතී. එසේම කෙතරම් දුෂ්කර තත්වයන් හමුවේ වුව රටේ නිහඬ බහුතර ජනතාව ඒ ඉවසමින් ඊට සහයෝගය දෙන තැනක සිටී. විපක්ෂය තම තමන්ගේ රැලි ගැන මොන පුරසරම් දෙඩුවත් රනිල් විරෝධයක් පෙන්නුවත් රනිල් ගෙන යන වැඩ පිළිවෙලෙහි සාධනීය බව ප‍්‍රතික්ශේප කරන්නේ නැත. රට අලූතෙන් ගොඩනැඟිය යුතු බව පිළිගනියි. ඒ වෙනුවෙන් කැපකිරීම කළ යුතු බව පිළිගනියි. එසේම විපක්ෂය යම් ලෙසකින් බලයට ආවත් කළ යුතුව තිබෙන්නෙත් මේ වැඩපිළිවෙලම මිසක් යළි රට ආගාධයට ඇද දමන ජනප‍්‍රිය, ගැලරි චූන් කරන වැඩ නොවන බවත් සිහි බුද්ධියක් ඇති ජනතාව පිළිගන්නා සත්‍යයක්ව තිබේ.

මේ අතර අර්බුදය විසින් මතු කළ අනෙක් යහපත් දෙය නම් තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් පෙනී සිටින වුන්, බඩගෝස්තරවාදීන්, අවස්ථාවාදීන්, කඩාකප්පල්කාරීන්, තක්කඩියන් සහ ජඩයන් කවුද යන්න හඳුනාගැනීමට සමාජයට හැකි වීමය. අර්බුදයෙන් රටත් ජනතාව ගොඩගැනීම වෙනුවෙන් රජය ගනිමින් තිබෙන පියවර විවේචය කරමින්, චෝදනා කරමින්, විරෝධතා උද්ඝෝෂණ වැඩවර්ජනය කරමින්, රාජ්‍ය ආයතන වලට කෝටි ගන්නින් පාඩු කරමින්, රටේ එදිනෙදා කටයුතු කරගෙන යෑමට ඉඩ නොදෙමින්, ක‍්‍රියාත්මක පුද්ගලයන් සහ කණ්ඩායම් රැසක්ම මේ වන විට හෙළිදරව් වී අවසන්ය.

විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය නම් නිවුන් සහෝදර දේශපාලන පක්ෂ දෙකම මෙම මජර භාවිතාවේ ඉදිරියෙන්ම සිටී. පෙරටුගාමී සමාජවාදි පක්ෂයද මේ පිටු පසින්ම වැටී ප‍්‍රචණ්ඩ මැදිහත්වීමක් කරමින් සිටි. මීට අමතරව මේ කියන පක්ෂවලටම සම්බන්ධ වෘත්තීය සමිති මාෆියාව, අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය වැනි සංවිධානත් මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කරයි.

රාජ්‍යයට සමකාමීව පවතින්නට ඉඩ නොදීම තමන්ගේ හපන් කමක් බවට පුරාජේරු ගසන තුච්ඡුත්වයට මේ අය පිවිස ඇත. වැඩවර්ජනය කර රාජ්‍යයට පාඩු කිරීම ඔවුන්ගේ විශිෂ්ටතම හැකියාව බව ප‍්‍රසිද්ධියේ කියමින් තිබේ. ඊට එරෙහිව එල්ල වන විවේචනයන්ට මොවුන් දෙන උත්තරය වී ඇත්තේ වැඩවර්ජනය කරන්නෙම රාජ්‍යයට පාඩු වෙන්න තමයි.. එහෙම පාඩු වෙන එක අවුලක් නම් වැඩ වර්ජනය නොවෙන තැනට රාජ්‍යය කටයුතු කළ යුතුය කියන එකය. මේක මරු කතාවකි. මේ තමන්ගේ පටු අවස්ථාවාදී ඉල්ලිම් ලබාදීම සිදු නොවුණහොත් රාජ්‍යය විනාශ කරනවාය කියන එකය. මේ ඉල්ලීම් ඉටුකරන්න රාජ්‍යයට සාධාරණ අවස්ථාවක් තිබෙද යන්න ගැනත් කිසිදු විමසීමක් නැත.

රාජ්‍ය විරෝධී විරෝධතා වල ප‍්‍රමුඛ සටන් පාඨය වී ඇත්තේ උපයන විට බදු ඉවත් කළ යුතු බවය , විදුලි බිල අඩු කළ යුතු බවය. මෙම ඉල්ලීම කරන්නේ රාජ්‍ය අංශයෙ ඉහළම වැටුප් ගන්නා නිලධාරී පැලැන්තියෙනුත් සුළු කොටසකි. සංඛ්‍යාත්මකව රාජ්‍ය අංශයේ සමස්තය ලක්ෂ 16 ක් පමණ වෙයි. ලක්ෂයට වඩා ඉහළ වැටුප් ගන්නා පිරිස එක් ලක්ෂ විසි පන්දහසකට වැඩි නැත. මෙම සුළු පිරිසගෙනුත් ඉතා කුඩා පිරිසක් පමණක් මේ රාජ්‍ය විරෝධී ක‍්‍රියාමාර්ග වලට අවතීරණය වී සිටී. බහුතරයක් රාජ්‍ය නිලධාරීන්ට බදු ගෙවීම තමන්ට පීඩනයක් වුවත් මේ මොහොතේ රාජ්‍යය මුහුණ දී සිටින අර්බුදය හමුවේ එම කැපකිරීම සිදු කළ යුතු බවට අවබෝධයෙන් පීඩනය ඉවසා සිටිති. අනෙක මෙය කෙටි කලකට පමණකි. අර්බුදයෙන් ගැලවීමේ මාර්ගයට පිවිස පියවරක් දෙකක් ඉදිරියට යන තෙක් පමණකි. විදුලි බිල් වැඩි කරන ලද්දේ කලින් තිබූ වැරදි ක‍්‍රමවේද නිවැරදි කිරීම මතය. ජනතාව පීඩාවට පත්ව ඇති මොහොතක හදිස්සියේ බිල වැඩි කිරීම අවුලක් වීම ඇත්තකි. නමුත් එය එසේ සිදු නොකර වැරද්ද නිවැරදි කරගැනීම සිදු කිරීමට නොහැකිය. රජය හැමදාමත් කළේ සහන මිලකට විදුලිය ලබා දී ඒ පාඩුව රජය දරාගැනීමය. එනම් මහජන බදු මුදලින්ම එම පාඩුව පියවීමය. කොහොම නමුත් කඩිනම් ප‍්‍රතිසංස්කරණයන් අවශ්‍ය වූ මොහොතේ නොපැකිල එය සිදු කිරීමට තරම් ධෛර්යයක් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තිබිණි. ජන ජීවිතය අවුලකට පත්වීම සිදුව තිබුණත් ක‍්‍රමක‍්‍රමයෙන් ඒ තත්වයන් සමනය වීම දැනටමත් සිදු වෙමින් ඇත. ව්‍යාපාරික අංශවලට සහනයන් හිමි වෙමින් තිබේ. සැනසුමක් උදෙසා අවශ්‍ය කාලය ඉවසා සිටීම පුරවැසියාගේ වගකීමය, යුතුකමය. මන්ද මෙහි යහපත් ප‍්‍රතිපලය නැවත ලැබෙන්නේ පුරවැසියාටය. අනාගත පරපුරටය.

මේ නිසා බදු කපා හරින්නැයි කියමින් වැඩවර්ජනය කවර හෝ තක්කඩි කොටසක් නිසා මෙම ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් හැකිලිය යුතු නැත. මීට පෙර ආර්ථිකය හදන්න ගත් පියවරයන් මෙවැනිම මුග්ධ ත‍්‍රාඩ අවස්ථාවාදී විරෝධතා නිසා හකුලාගැනීමේ ප‍්‍රතිපල දැන් වසර දෙකහාමාරක් තිස්සෙ බුක්ති විඳිමින් තිබේ. යළිත් ඒ වළට ජනතාව වැටිය යුතු නැත. එමෙන්ම අනාගත පාලකයන් ද රට ගොඩගැනීමේ දුෂ්කර අභියෝගයන්ට මුහුණ දිය යුතු නැත. ජනාධිපති රනිල් මේ මොහොතේ ඉටුකරමින් තිබෙන්නේ අනාගත නායකයන්ට හැදුනු රටක් උරුම කරදීම මිස හදන්න රටක් බාරගැනීමට සිදු නොවෙන තැනට සිය වගකීම ඉටු කිරීමය. ඊට ඉඩ දිය යුතුය.

  • ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *