අභියෝග හා විශ්වාසභංග හමුවේ ලෙඩ වන සෞඛ්‍ය

0

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ”විශ්වාසභංගය” යන්න මහා අරුමයක් නොවේ. සමස්ත දේශපාලනයමත් විශ්වාසභංග වී ඇත. ඒ කෙසේ වුවත් මෙහි නවතම විශ්වාසභංග යෝජනාව සුදානම් වී ඇත්තේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිවය. බාල ඖෂධ මිලදී ගැනීම හා එම`ගින් රෝගීන් මියයාම පදනම් කරගෙන මෙම යෝජනාව ගෙනවිත් ඇත. කිසිවෙකු විසින් යම් වරදක් කොට ඇත්නම් එයට දඩුවම් ලැබීම අනිවාර්ය විය යුතුය. එයට පුද්ගල තරාතිරම්ද, පාක්ෂිකභාවයන්ද හිතවත්කම් හෝ වෙනත්  ඕනෑම සම්බන්ධතාවයක් අදාළ නොවේ. මන්ද ඖෂධයක් නිසා යමෙකු නැවතත් රෝගී වීම හෝ මරණයට පත් වීමත් හරියට බත් පතට වස දමා දීමක් බඳු බරපතල වරදක් වන නිසාය.

කොහොම නමුත් බාල ඖෂධ මිළදී ගැනීම් පිළිබද කතා අසන්නටද ලැබෙන්නේ ද අද ඊයෙක නොවේය. මෙතෙක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බාල ඖෂධ හේතුවෙන් මිය යාම්ද සිදුවන්නේ අද ඊයෙක නොවන අතර මාධ්‍ය මගින් වාර්තා නොවුනද එය නිතිපතා පාහේ බොහෝ රෝහල්වල සිදුවෙමින් තිබෙන්නකි. යම් සිදුවීමකදී එය වාර්තා කිරීමට අදාළව මිය ගිය තැනැත්තාගේ පැමිණිල්ල සහ සමාජ තරාතිරම් ආදිය බලපාන අතර මහනුවර රෝහලේ තරුණ කාන්තාවක් මිය යාම පිළිබද වාර්තා කිරීමද සිදුවන්නේ එම කඩඉම් පැන යාමට සමත් වීම තුළය.

කෙසේ වුවද ඖෂධ බාල වීම හා එම ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ඇමතිට මෙන්ම මීට පෙර සෞඛ්‍ය ඇමතිකම් දැරූ බොහෝ දෙනෙකුට ද එකී වගකීමෙන් පැන යා නොහැකිය. පසුගිය ආණ්ඩු කාලයේ සෞඛ්‍ය ඇමතිකම දැරූ රාජිත සේනාරත්නටද මෙම චෝදනාව මෙලෙසම එල්ල විය. ඒ් සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ ප‍්‍රශ්න කිරීම්ද සිදුවිය. එනම් හදිසි මිලදී ගැනීම් යැයි කියමින් වැඩි මිලට ඖෂධ ගැනීම හා තමන්ට හිතවත් ඖෂධ සමාගම්වලින් පමණක් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිසා අපේ රටට පසුගිය වසරවලදී රුපියල් කෝටි 114 ක් අහිමි විය. 2015 සිට 2019 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වැඩි මිලට ඖෂධ මිළදී ගෙන රටට කෝටි 340 ක් පාඩු සිදු කර ඇති බව වාර්තා විය.

Captopril 5mg Syrup යන ඖෂධය 2019 දී මිලදී ගෙන ඇත්තේ රුපියල් 55,188 ටය. එහෙත් එම ඖෂධය. 2020 දී මිළදී ගෙන ඇත්තේ රුපියල් 395 ටය. ඒ් අනුව එම ඖෂධය මිළදී ගෙන ඇත්තේ 138% ගුණයක් වැඩියෙනි. Lorazepam නැමැති එන්නත 2019 දී මිලදීගෙන ඇත්තේ රුපියල් 17957 ටය. එහෙත් එම ඖෂධය 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇත්තේ රුපියල් 375 ටය. මෙවැනි ඖෂධ වර්ග 35ක් පමණ අධික මිළ ගණන් යටතේ හදිසි මිළදී ගැනිම් ලෙස ගෙන ඇත.

ලෝකයේ වැඩියෙන්ම සල්ලි හොයන ජාවාරම් අතර ආයුධ හා ඖෂධ ජාවාරමට ප‍්‍රමුඛත්වය ගන්නා අතර මේ අනුව පසුගිය කාලයේ අපේ රටේත් සමහර බලධාරීන් හා නිලධාරීන් මෙන් ම ඖෂධ ව්‍යාපාරිකයන් ඖෂධ ජාවාරම්වලින් අයුක්ති සහගත ලෙස ලක්ෂ ගණන් මුදල් උපයා ඇතැයි ඒ පිළිබඳ කළ පර්යේෂණ මඟින් පෙන්නුම් කරන බව ගවේෂකයෝ පවසති.

2018 දී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන වාර්තාවක් අනුව ද, විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අනුව ද 2015 – 2019 වකවානුවේදී මෙරට ඖෂධ සැපයුම් මිලදී ගැනීමේදී අක‍්‍රමිකතා රැසක් හා අපතේ යැවීම් රැසක් සිදුවී ඇති බව පෙන්වා දෙයි.

කවර ආණ්ඩුවක් යටතේ හෝ කවර අමාත්‍යවරයෙකු යටතේ හෝ අපහසුතාවයට හා මරණයට පත් වන්නේ මේ රටේ ජනතාවය. ඖෂධ සම්බන්ධයෙන් කවර හෝ ඇමතිවරයෙකු යටතේ වංචාවක් හෝ අසාධාරණයක් වන්නේ නම් එම වරදට අනුව ඔහු වෙත දඩුවම් ලැබිය යුතුමය. එය විශ්වාසභංගයක්ද නැතිනම් අනෙක් නෛතික ක‍්‍රියාමාර්ගයන්ද යන්න පදනම් නොකොට අදාළ වරදට දඩුවම් ලැබීම කළ යුතුය. එවැනි අවස්ථාවක කවර පක්ෂයකද යන්න නොවිමසා මෙම ක‍්‍රියාමර්ග ගැනීමද අතිශය වැදගත් වේ.

ඒ අනුව පසුගිය කාලයේ දී වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල චෝදනා ලබන මිළදී ගැනීම් අතර එම ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් දූෂිත බවත් එම දූෂිත ටෙන්ඩර් ක‍්‍රියාවලිය පිටුපස ඇමතිවරයාද නිලධාරීන්ද ඖෂධ සමාගම්ද ඇති බවට චෝදනාවන් එල්ලවිය.

චීනය ලබාදුන් අමරිකානු ඩොලර් කෝටි තුනක මුදලින් අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් මිලදී ගෙන ඇති අතර ඉන්දීය ණය ක‍්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලින් ඉතිරි මුදලක්ද ඖෂධ ගෙන්වීම සඳහා යොදවා ඇති බවත් පසුගිය කාලයේ ප‍්‍රකාශ විය. ඇත්තටම රෝහල්වල ඖෂධ හිඟයක් නොමැතිද? සේලයින් හිඟයක් නොමැතිද? එහි ඇත්ත නැත්ත කුමක් වුවත් රෝහල්වලින් ප‍්‍රතිකාර ගන්නා

රෝගීන්ට පුද්ගලික ෆාමසිවලින් බොහෝ දේ මිලදී ගන්නට ද සිදුව ඇත. මෙවැනි තත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD) බරපතළ චෝදනා රැසක් එල්ල වී ඇත.  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් විසින් මහරගම අපේක්‍ෂා රෝහලට එවා තිබූ අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් මාසයක් තිස්සේ වරායේ පවතී. මාධ්‍ය මගින් ඒ පිළිබඳව හෙළිකරන තුරු වෛද්‍ය සැපයුම් අංශය ඒවා නිදහස් කර ගැනීම දිගින් දිගටම පමාකර කොට තිබිණි.

මේ අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධානියෙක් හා වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් එක්වී හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට කටයුතු කළේය. ඒ සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කරමින් විධිමත් නොවන ටෙන්ඩර් පටිපාටිවලට යමින් එම පිරිස කටයුතු කරමින් සිටින බවද හෙළි වී තිබේ. මෙහි කූටප‍්‍රාප්තිය සිදුවෙමින් තිබෙන්නේ මේ වනවිට හිඟ යැයි සැලකෙන ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට යෑමෙනි. ජාතික ඖෂධ නියාමන අධිකාරියද නොමග යවමින් මෙම නිලධාරීන් පිරිස මේ උත්සාහ කරන්නේ ආර්ථික අර්බුදයට මුවාවී ජාවාරමක යෙදීමට බවට තොරතුරු හෙළි වී ඇත.

 මේ දිනවල මාධ්‍ය මගින් හෙළිකළ එක් සිද්ධියක් මීට උදාහරණයක් ලෙස දැක්විය හැක. ඉන්දියන් ණය ක‍්‍රමය යටතේ යැයි කියමින් රුධිරයේ සීනි මනින ග්ලූකෝමීටර් තොගයක් මිලදී ගන්නට ඉකුත්දා ටෙන්ඩරයක් කැඳවා ඇත. ඉන්දියන් ණය ක‍්‍රමයට අනුව එම තොගය මිලදී ගත යුත්තේ ඉන්දියාවෙනි. ටෙන්ඩර් කැඳවීමේදී ඊට මිල ගණන් ඉදිරිපත්කර ඇත්තේ එක් ඉන්දීය සමාගමකි.

එය මෙරට ලියාපදිංචි වී නොසිටියත් ටෙන්ඩර් පටිපාටියට අනුව එම සමාගමට එය පවරා ඇත. මෙම ග්ලූකෝමීටර් තොගය අදාළ සමාගමෙන් මිලදී ගැනීමේදී ඒ සඳහා වැයවන මුදල කෝටි 38 ත්, රුපියල් කෝටි 70 ත් අතර වනු ඇත. දේශීය සමාගම් හතකින් රුපියල් 12 සිට රුපියල් 32 ක මිලකට එක් ග්ලූකෝ මීටරයක් ලබාදීමට මිල ගණන් ඉදිරිපත් කර තිබියදී මෙකී ඉන්දීය සමාගමට එක් ග්ලූකෝමීටරයක් සඳහා රුපියල් 38 ක් ගෙවීමට නියමිතය. ඉදිරි මාස 10 ක් සඳහා මෙම තොගය මිලදී ගන්නට සැරසුනත් අදාළ මීටර් වර්ගය ඉන්දියාවේ හෝ භාවිතා නොකරන ප‍්‍රමිතියෙන් තොර ඒවා බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු කියා ඇත. මෙම ටෙන්ඩරය ඉදිරි මාස 20 කට දික් කිරීමටද සැලසුම් කර ඇත.

 මෙම ටෙන්ඩරයට අදාළ ලියකියවිලිවලට අත්සන් නොකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියක්ද මාරුකර යවා ඇත. එම තනතුරට පත්කර ඇති වත්මන් නිලධාරියා හරහා අදාළ කටයුතු කරගෙන යෑම සැලසුමයි. මූලික ටෙන්ඩර් ක‍්‍රියාපටිපාටියද ඒවායේ අඩංගු රෙගුලාසිද වෙනස් කරමින් අදාළ ටෙන්ඩරය හිමි සමාගමට නොව නිෂ්පාදන සමාගමට මුදල් ලබාදෙන පරිදි ගනුදෙනුව කනපිට හරවමින් තිබෙන බවට තොරතුරු හෙළිවී ඇත.

ඉහත දැක්වූ සිද්ධිය මෙම ක‍්‍රියාදාමයේ එක් සිදුවීමක් වන අතර මෙවැනි ක‍්‍රියාදාමයන් ඖෂධ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ දියත් වූ ක‍්‍රියාවලියය. එසේ නම් වරද කාගේ වුවද වරදක් ලෙස මෙය භාරගත යුතුය. එසේම මෙවැනි දේ සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි අයුරින් පවත්වා සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමටද කටයුතු යෙදිය යුතුමය. එසේ නොමැතිව මෙවැනි අක‍්‍රමිකතා වසා දමා අයෙකු බේරා ගැනීමට කටයුතු කිරීම තුළින් සමස්ථ සෞඛ්‍ය ගොඩ නැගීමට ඇති තත්වයන් වැලකි යනවා නම් එය රටක සෞඛ්‍ය ගොඩ නැගීමට කරන බාධාවකි.

වර්ෂ 2030 දී සංවර්ධිත රටක් සදහා සෞඛ්‍යය ගොඩනැගීම ස`දහා යන සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩපිළිවෙල යටතේ ඖෂධ බෙදාහැරීම හා ඖෂධ මිළදී ගැනීම සම්බන්ධයෙන් විනිවිද භාවය ප‍්‍රමුඛ වන අතර මේ සදහා වත්මන් ජනාධිපතිවරයා විසින් ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් වන ඩිජිටල් දත්ත පද්ධතියක් හෙවත් අන්තර් ජාල බිහිදොරක් ඇති කිරීම සදහා යොජනාවක් සිදු කළේ තත්වයේ බරපතලකම වටහා ගෙනය. එමගින් ඖෂධ හිඟයකදී වෙනත් රෝහල්වල ඒ අදාළ ඖෂධය තිබෙන්නේ ද යන්න ද සොයා ගැනීමට හැකි වන අතර වෛද්‍යවරුන්ට, පවතින ඖෂධ තොග ඩිජිටල් ක‍්‍රම මගින් පරීක්ෂා කර, කල් තබා හිඟ ඖෂධ ඇණවුම් කිරීමට හැකිවීම විශේෂ වේ.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින වර්තමාන අර්බුදයන් විසදීම සදහා අත්‍යවශ්‍ය වන අණ පනත් කඩිනමින් ක‍්‍රියාත්මක කොට වඩාත් පිරිසිදු සෞඛ්‍ය සේවාවක් ගොඩ නැගීම කළ යුතුය. එසේ නොමැති නම් මෙයත් හිඟන්නාගේ තුවාලය මෙන් තවත් ඉදිරියට ගමන් කිරීම අනිවාර්යයක් වන ඇත.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *