විපක්ෂයට වැලේ වැල් නැතිවෙයි – තවත් කුමන්ත්‍රණයක් පරාජය වේ.

0

ආර්ථික අර්බුදයෙන් රාජ්‍යය බේරාගැනීම වෙනුවෙන් සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ වන විට ගෙන තිබෙන සහ ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා විපක්ෂය ගත් ක‍්‍රියාමාර්ග රැසක් මේ වන විට පරාජයට පත්ව තිබේ.

මේ අතර දේශීය ණය ප‍්‍රතිව්‍යහගතකරණය වෙනුවෙන්, සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 2025 තෙක් සියයට 12ක් සහ එතැන් සිට සියයට 09 ක අවමයක් දක්වා අඩු කිරීමට රජය යෝජනා කිරීමෙන් පසුව, පාර්ලිමේන්තුව විසින් අනුමත කළ එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා ද විපක්ෂ කණ්ඩායම් කිහිපයක්ම අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබිණි. නමුත් මේ වන විට ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහත්, ජවිපෙ තවත් පතුරු සංවිධානයක් වන ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ හා ඒ වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සංධානයේ සුමන්තිරම් මන්ත‍්‍රීවරයාත් විසින් අරමුදලේ සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීමට ත‍්‍රි පුද්ගල විනිසුරු මණ්ඩල දෙකක් විසින් පසුගියදා තීන්දු කළේය. රාජ්‍ය මුල්‍ය පාලනය පිළිබඳ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට වීමත් පාර්ලිමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් සම්මත කළ නීතියකට අධිකරණය හමුවේ අභියෝග කිරීම සිදුකළ නොහැකි වීම මෙම පෙත්සම් ප‍්‍රතික්ෂේප කිරීමට මුලික පදනම විය.

කෙසේ නමුත් විපක්ෂ කණ්ඩායම් මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ මෙහි නීතිමය තත්වයන් නොදැන නොවන බව පැහැදිලිය. ඒ අනුව මොවුන්ගේ අවශ්‍යතාවය වූයේ අධිකරණය හරහා මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම පමා කිරීම වෙනුවෙන් අතුරු තහනම් නියෝගයක් හෝ ලබාගනිමින් ආර්ථික ප‍්‍රතිසංස්කරණය වැඩපිළිවෙල ඉදිරියට යාම වැලැක්වීම විය හැකි බව දේශපාලන හා ආර්ථික විචාරක මතය වේ. මන්ද යත් මෙම ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් කිසිදු පාර්ශ්වයකට අවැඩදායක නොවන ලෙස මෙම කටයුතු සිදුකිරීමට රජය කටයුතුකර ඇති නිසාය.

කෙසේ නමුත් නියමිත පරිදි ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සිදු නොවුණහොත් එළැඹෙන සැප්තැම්බරයේදී මෙරටට ලැබීමට නියමිත මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරීකය නොලැබීමේ අවදානමක් ඇති අතර මුල්‍ය අරමුදල විසින් රජය වගවීමක් ඇතිව මෙම කටයුතුවල නොයෙදීමේ චෝදනාව මත මෙරටට ලබාදෙන සහය අවසන් කිරීමේ අවදානමක්ද පවතී. ඒ අනුව විපක්ෂයේ චේතනාව යළි රාජ්‍යය බංකොලොත්භාවයට ඇදදමා ජනතාව පීඩාවට පත්කර, එය ජනාධිපතිවරයාගේ දුර්වලකමක් ලෙස පෙන්වා බලය වෙනුවෙන් දුෂ්ඨ අරගලයක් දියත්කිරීම බව පැහැදිලිය.

කොහොම නමුත් මේ වන විට ජනාධිපතිවරයා රට දුෂ්කර තත්වයෙන් මුදවා ඔහුගේ වචනවලින්ම කියන ලෙස වැල් පාලමෙන් එතෙර කිරීමට ගත් සියළු උත්සාහයන් සාර්ථක කරගනිමින් තිබුණත් විපක්ෂයට වැලේ වැල් නැති වෙන තැනට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *