රාජතාන්ත්‍රික මැන්ඩේඩ් එකේ අප්ඩේඩ් එක කොහොමද?

0

”‍ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට මැන්ඬේට් එකක් නෑ. ඒ නිසා ජාත්‍යන්තරයේ කිසිම පිළිගැනීමක් නෑ. කවුරුත් සුබ පැතුවෙත් නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ ජනාධිපතිවරයෙක් පත්වුණාට පස්සේ පළමුවෙන් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කරනවා, මේ පාර ඒකත් නෑ. ජාත්‍යන්තරේ පිළිගත් නායකයා කිව්වට දැන් ඒ මොකුත් නෑ.”‍

මේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති වූ පසුව මේ රටේ බංකොලොත් විපක්ෂය කියපු කතාය. නමුත් ඒ කිසිවකටවත් ජනාධිපතිවරයා පිළිතුරු දෙන්න ගියේ නැත. ඒ වෙනුවට ඔහු මුළුමනින්ම අවධානය දී සිටියේ වැටුණු රට ගොඩගැනීම කෙරෙහිය. ඔය අතරේ 2022 සැප්තැම්බරයේ ජනාධිපති රනිල් ලෝකයේම අවධානය දිනාගත් අවමංගල්‍ය උත්සව 2ක් සඳහා සහභාගී විය. එකක් බි‍්‍රතාන්‍ය රැජිණ වූ දිවංගත දෙවැනි එළිසබෙත්ගේ ය. ඊට සතියකට පසුව සහභාගී වූ අනෙක ඝාතනයට ලක් වූ ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය ය. මෙහිදීද විපක්ෂය කෝචෝක් දැමුවේ, ”‍මැන්ඬේට් එකක් නොමැති ජනපති කරන්නේ ලොව පුරා අවමංගල්‍ය උත්සව සඳහා සහභාගීවීම පමණයි”‍ කියමින්ය.

එහෙත් ජනපති රනිල් මේ යන එන ගමන් කරන්නේ මොකක්ද කියා තේරුම් ගන්න හැකියාවක් විපක්ෂයට තිබුණේ නැත. ජනපතිගේ මැන්ඬේට් එක ප‍්‍රශ්න කළ විපක්ෂයට තරු පැන්නේ පසුගිය ජුලි මාසයේය. එනම් ජනපති පදවි ප‍්‍රාප්තියට වසරක් පිරෙන තැනය. ඒ වෙනුවෙන් ලද පළමු ත්‍යාගය වූයේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ නිල ආරාධනයක් අනුව ජූලි 20 සිදු කළ ඉන්දීය නිල සංචාරයය.

එහිදී අගමැති මෝදී සමඟ වූ සුවිශේෂ භෝජන සංග‍්‍රහය කාගේත් අවධානය දිනාගෙන තිබු අතර ඒ, ඊට පෙර එවන් බුහුමනක් ලබාදී තිබුණේ ප‍්‍රංශ ජනාධිපති වෙත පමණක්වීම නිසාය. නායකයන් අතර පැවති සාකච්ඡුාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා සහභාගී වූ ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අගමැති මෝදී කියා සිටියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී පාලමක් සහ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා පිළිබඳ කටයුතු කරන බවය.

ඉන්දීය ප‍්‍රතිපත්ති තුළ ශ‍්‍රී ලංකාව සෑම විටම වැදගත් ස්ථානයක පසුවන බවත් ඉන්දියාවේ ”‍අසල්වැසියා ප‍්‍රථමයෙන්”‍ යන ප‍්‍රතිපත්තිය සහ ”‍සාගර්”‍ දැක්ම යන දෙකෙහිම ශ‍්‍රී ලංකාව ද වැදගත් ස්ථානයක් ගන්නා බවත් සඳහන් කළේය. එසේම ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බවට විශ්වාස කරන බව ද අග‍්‍රාමාත්‍ය මෝදී මෙහිදී ප‍්‍රකාශ කළේය.

එසේම සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු, පුද්ගල සබඳතා යන ක්ෂේත‍්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු වූ ඒකාබද්ධ ප‍්‍රකාශනයක් ද එළිදැක්විණ.

පදවි ප‍්‍රාප්තියට වසරක් පිරෙන තැන මැන්ඬේට් එකක් නැති නිසා ඉන්දියාව ජනපති රනිල්ව නොතකා ඇති බවට විපක්ෂය කී කතා පුස්සක්ව ගියේ එහෙමය. මේ හරහා ජනපති උදාකර ගත්තේ ලොව නැගී එන විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමේ අවස්ථාවය. කවුරුන් කොහොම පම්පෝරි ගැහුවත් වත්මන් ගෝලීය හැඩගැස්ම තුළ ලෝකයේ කිසිඳු රටකට තනිව ගමනක් නැත. එවැන්නක් ගැන සිතීමත් මුග්ධකමක්ය. ඒ ලොව දියුණු සෑම රටක්ම එම ප‍්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් වන නිසාය. ඒ අනුව දෙපාර්ශ්වයටම ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු – ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බව පැහැදිළිය.

ඉන්දීය සංචාරය නිමාකර ලංකාවට පැමිණි ජනාධිපතිවරයා මුණගැසුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් ඇතුළු චීන නියෝජිත පිරිස ය. ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් ප‍්‍රමුඛ චීන නියෝජිත පිරිස දැනුවත් කළ අතර රට තුළ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද පැහැදිලි කළේය.

එසේම මෙම කටයුතුවලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රශස්තකරණ වැඩසටහනෙහි ප‍්‍රගතිය මෙන්ම රජය ක‍්‍රියාවට නංවා ඇති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එහිදී අදහස් දැක්වීය. එම කටයුතු අවසන් වීමෙන් පසු, නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කර ජාතික ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස දායක කරගත හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ඉදිරි දශක දෙක, තුන තුළ ලෝකයේ සිදුවන ආර්ථික වර්ධනයෙන් තුනෙන් දෙකක් පමණ සිදු වන්නේ ආසියානු පැසිෆික් කලාපය තුළ වන අතර නායකත්වය ගනු ලබන්නේ ඉන්දියාව සහ චීනය බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව එක් පසෙකින් ඉන්දු – ශ‍්‍රී ලංකා සබඳතා පුළුල් කරගන්නා අතරේ කිසිම ගැටලූ‍වකින් තොරව චීනය සමඟද සබඳතා ශක්තිමත් කරන බව මේ හරහා තහවුරු වන්නේය.

ජූලි 22 සිදුවූ මෙම හමුවෙන් අනතුරුව තවත් ඓතිහාසික රාජතාන්ත‍්‍රික පැමිණීමක් සිදුවිය. ඒ ප‍්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජූලි 28 වනදා ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණීමය. ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප‍්‍රංශයේ කැපවීම එහිදී ප‍්‍රංශ ජනාධිපතිවරයා යළි සහතික කළ අතර ණය ප‍්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ‍්‍රී ලංකාවට ප‍්‍රංශයේ සහාය අඛණ්ඩව හිමිවීමද සහතික කෙරිණ. එපමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ වැඩ නායක දෙපළ සාකච්ඡුා පැවැත්වුහ.

එහිදී ප‍්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප‍්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප‍්‍රංශ ජනාධිපතිවරයා පැවසූ අතර ප‍්‍රංශය ක‍්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ කැපවීම ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ. 2023 ජුනි 22 සිට 23 දක්වා ජනාධිපති මැක්‍රොන් විසින් පැරිස් නුවරදී සංවිධානය කළ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඉතා කාලෝචිත බව ඊට සහභාගී වුවෙකු වශයෙන් අගය කරන බව එහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ තිරසාර අනාගතයක් සඳහා වන ගෝලීය ප‍්‍රයත්නයන් සඳහා ශ‍්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත‍්‍රයට සම්බන්ධ වීමට ශ‍්‍රී ලංකාවේ එකඟතාව ද ප‍්‍රකාශ කෙරිණ.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ”ශ‍්‍රී ලංකාව සහ ප‍්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත, විස්තීර්ණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි. කොළඹදී අපි එය තහවුරු කළා. අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු” යනුවෙන් සඳහන් කර තිබුණි. ප‍්‍රංශය වැනි ධනවත් මෙන්ම බලවත් රටක පළමු පුරවැසියෙක් මේ ආකාරයට රටකට ආවාට ගියාට එන්නේ නැත. ඒ පැමිණීම සිදුවූයේම ඔවුන්ට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධව ඉහළ රාජතාන්ත‍්‍රික ඇගයීමක් තිබූ නිසාය.

මෙම හමුවට පසුදින එනම් ජූලි 29 වනදා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා ඇතුළු දූත කණ්ඩායමක් ය. ජපානය වැනි රටක විදේශ අමාත්‍යවරයෙක් යනු රාජතාන්ත‍්‍රික වශයෙන් කෙතරම් වැදගත්ද යන්න සහ ඔවුන්ට මෙරට සම්බන්ධව ඇතිවී තිබෙන තහවුරුව මේ හරහා තහවුරු වන බව අමුතුවෙන් කිවයුතු නැත. ජපාන සහය ඇතිව මෙරට ආරම්භ කෙරුණු සැහැල්ලූ‍ දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට පසුගිය ගෝඨාභය පාලනය කටයුතු කිරීමත් සමඟ ජපානය මෙරට ක‍්‍රියාත්මක කර තිබු සියලූ‍ සංවර්ධන කටයුතු අත්හිටුවනු ලැබිණ. නැවත වැරදීමකින්වත් මේ රට දෙස බලන තැනක ජපානය හිටියේ නැත.

එවැනි පසුබිමක ජපාන විදේශ අමාත්‍යවරයා ප‍්‍රමුඛ දූත කණ්ඩායමේ මේ ශ‍්‍රී ලංකා සංචාරය සැබවින්ම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ විදේශ ප‍්‍රතිපත්තිය නිසාය. රාජතාන්ත‍්‍රික විෂයෙහි ඔහු සතු පරිණත හැසිරීම යළි යළිත් තහවුරු කිරීමක්ය. ඒ අනුව ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡුාවේ දී ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රශස්තකරණ ක‍්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ණය ප‍්‍රශස්තකරණ ක‍්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක‍්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග සිදු කළ සාකච්ඡුාව පිළිබඳව ද කරුණු පැහැදිළි කළේය.

එසේම ජපාන – ශ‍්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලූ‍ දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡුාවේ දී අවධානයට ලක් විය. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහගේ ජනාධිපති පදවි ප‍්‍රාප්තියට වසරක් පිරුණු ජූලි මාසයේ ලොව බලවත්ම නායකයන් වන මෙන්ම ශ‍්‍රී ලංකාවට තීරණාත්මකව වැදගත් වන නායකයන් රැසක්

දින දහයක් තුළ හමුවී නිල සාකච්ඡා පැවැත්වීම කොහෙත්ම සුළුකොට තැකිය හැකි කාරණයක් නොවේ. මේ හැර 2022 වසරේ ජූලි 21 වැනිදා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අවස්ථා හයක දී විදේශ සංචාරයන්වල නිරත විය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය වසරේ දී බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය සඳහා සහභාගීවීමට ද, පසුව තුන්වන චාර්ල්ස් රජුගේ පදවි ප‍්‍රාප්ති උත්සවයට ද ඇතුළුව අවස්ථා තුනක දී බ්‍රිතාන්‍ය සංචාරය කරනු ලැබුවේ ය. එසේම අවස්ථා දෙකක දී ජපානයේ නිල සංචාරවල ද නිරත විය. පිලිපීනයේ පැවති ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිවාරය, ඊජිප්තුවේ පැවති 2022 එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස පිළිබඳ සමුළුව සහ ප‍්‍රංශයේ පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී වූයේ ය. මීට අමතරව, සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් ජනාධිපති වික‍්‍රමසිංහ එරට සංචාරයක නිරත වූයේ ඉකුත් මැයි මාසයේ දීය.

විපක්ෂය මොනවා කිව්වත් ජනපති රනිල් මේ සෑම සංචාරයක්ම සිදුකර සිටියේ 2048 බලගතු සංවර්ධිත රටක් ඇති කිරීමට අවශ්‍ය විදෙස් සම්බන්ධතා ජාලය ශක්තිමත් කර ගන්නටය. ඒ වෙනුවෙන් මුලික පදනම් සකස් කරගන්නටය.

ජපානය සමඟ ඒ වන විටත් මෙරට රාජතාන්ත‍්‍රික සබඳතා පැවතියේ බරපතළ පළුදුවීමකට ලක්ව ය. එම පළුදු වූ සම්බන්ධතා යළි සකස් කිරීමට අවස්ථාවක් මේ ඔස්සේ උදාකර ගන්නට ජනාධිපති රනිල් ක‍්‍රියා කළේය. එසේම එම ගමනේදී තවත් වැදගත් කාරණයක් සන්නිවේදනය කරන්නටද ජනාධිපති රනිල් කටයුතු කළේය. මේ මොහොතටද වලංගු ආසියානු කලාපය සම්බන්ධව ජපාන හිටපු අගමැති ශින්සෝ අබේගේ දැක්ම සහ වැඩපිළිවෙල ය.

 ආසියා පැසිෆික් කලාපය තුළ ඇමරිකානු මිත‍්‍ර රටවල් සියල්ල එක් යෝධ නිදහස් වෙළඳ කලාපයකට ගෙන ඒම සඳහා වූ ජනාධිපති බරක් ඔබාමා ගොඩනැගූ සුවිසල් සැලැස්ම වූ ට‍්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වයෙන් (TPP) 2016 දී, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉවත්වූ අවස්ථාවේ එහි නායකත්වය භාරගත්තේ අගමැති ශින්සෝ අබේ ය. ඒ ට‍්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප‍්‍රගතිශීලී ගිවිසුම හෙවත් ක්‍ඡුඔඡුඡු නිර්මාණය කරමින්ය. එසේම එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සන්ධානයක් වන ූම්ා නිර්මාණය කිරීමේදී ද අබේ අගමැතිවරයා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. අබේ අගමැතිගේ අභාවය ඉන්දියාව ප‍්‍රමුඛ ආසියානු කලාපයේ රටවල් රැුසක් කම්පා කළේ ඒ නිසාය. විශේෂයෙන් අබේ සැළකෙන්නේම ජනප‍්‍රියවාදී නොවුණු නමුත් අවශ්‍ය දේ කළ අයෙකු ලෙසය. එකී අවමංගල්‍ය සඳහා සහභාගී වෙමින් ජනපති රනිල් ද සංකේතවත් කළේ, තමන්ද ලංකාවේ මෙතෙක් සිදු නොවුණු, ජනප‍්‍රිය නොවන නමුත් අනිවාර්යයෙන් සිදු කළ යුතු ප‍්‍රතිසංස්කරණ දියත් කිරීමට සූදානම් ජනාධිපති මෙන්ම ආසියාව සම්බන්ධව අබේගේ මැදිහත්වීම ගෞරවයෙන් යුතුව සළකන්නෙකු බවය. බාහිර බලපෑම්වලින් තොර බලගතු ආසියාවක් ගොඩනැගීමේ ප‍්‍රයත්නයට දායකවීම සඳහා තම සුදානමය.

එසේම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ලෝකයේම අවධානය යොමුකරගත් තවත් සිදුවීමක් නම්, ”චාල්ස් රජු, ලෝක දේශගුණ සමුළුවට සහභාගීවීම අනවශ්‍ය බවට බි‍්‍රතාන්‍ය රජය දැනුම්දී තිබියදී, ඊට ප‍්‍රතිවිරුද්ධ මතයක් දරමින් අදාළ සමුළුවට චාල්ස් රජුගේ පැමිණීමේ වැදගත්කම අවධාරණය කිරීම”‍ ය. එසේම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට (UNFCCC අයත් සාමාජික රටවල් අතර දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමේදී මෙම සමුළුව වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර පොදුරාජ්‍ය මණ්ඩලයට ඊට සැළකිය යුතු දායකත්වයක් සැපයිය හැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. දේශගුණ විපර්යාස සඳහා බලවත් රටවල කැපවීමේ අවශ්‍යතාව තමන් සහභාගී වූ සමුළු වාර දෙකෙහිදීම දැඩිව අවධාරණය කිරීමද රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති දෙස ලෝක අවධානය යොමුවූ කරුණක් විය.

මේ ආකාරයට ආසියාවේ මෙන්ම ගෝලීය බල දේශපාලනය තුළද අවධානය යොමු නොකර බැරි තැනට ප‍්‍රබල වූ ජනාධිපති රනිල්ගේ විදෙස් ප‍්‍රතිපත්තියේ තවත් තීරණාත්මක කඩයිමක් වූයේ, පසුගිය

ජූලි මාසයේ සිදු කළ සිංගප්පුරු සහ ජපාන සංචාරයන්ය. සිංගප්පූරුවේදී මෙතෙක් අත්සන් කර ගැනීමට නොහැකිවූ වෙළඳ ගිවිසුම් අත්සන් තැබීමේ තම සූදානම සමඟ ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත්තේය.

අනතුරුව ජපාන සංචාරයේදී ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අවධාරණය කළේය. ඒ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුණු ”ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව” Nikkeri Forum අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එහිදී අවධාරණය කළේ ආසියාවේ විවිධත්වය කලාපයේ ආර්ථික වර්ධනයට දායක වන සාධකයක් වන අතර එය සැළකිය යුතු ගෝලීය

බලවේගයක් බවය. එසේම, ආසියා-පැසිෆික් කලාපය සහ ඉන්දියන් සාගරය අතර වෙනස පිළිබඳව පැහැදිළි කළ ජනාධිපතිවරයා ආසියා-පැසිෆික් කලාපය ව්‍යුහගත කලාපීය සංවිධානයක් වන අතර ඉන්දියන් සාගර කලාපය නැගී එන අවකාශයක් බව ද සඳහන් කළේය. 1955 බැන්ඩුං නුවර පැවති ආසියානු අප‍්‍රිකානු සමුළුවේදී සහ ඉන්දියන් සාගරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනය ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් ලෙස නම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපයේ සබඳතා පෝෂණය කිරීමට ශ‍්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කර සිටියේය.

චීනය සමඟ ස්ථාවර සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා ජපානයේ G7 සහයෝගීතා ප‍්‍රවේශයේ වැදගත්කම පිළිගත් ජනාධිපතිවරයා ”නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක්” සඳහා ජපානයේ දැක්මට සහාය පළ කළ අතර කලාපයේ සාමය සහ සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ආසියානු ජාතීන් අතර විවෘත සංවාදයක් ද ඉල්ලා සිටියේය. තවද ඉන්දු-පැසිෆික් කලාපයේ බහු ස්ථර සම්බන්ධතාවයක් සඳහා ශ‍්‍රී ලංකාව කැපවී සිටින බවත්, අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ”සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති” ප‍්‍රතිපත්තියට ජනාධිපතිවරයා පූර්ණ සහය පළ කරන බවත් ජනාධිපති වික‍්‍රමසිංහ එහිදී පැවසීය.

සෞභාග්‍යය සඳහා වන රීතිවලට අනුකූලව, ශ‍්‍රී ලංකාව ආර්ථික ලිහිල්කරණයේ ඉහළ මට්ටමක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (RCEP) හි සාමාජිකත්වය සඳහා ඉල්ලූ‍ම් කරන බවද සඳහන් කළේය. චීනය සමඟ ස්ථාවර සහ ඵලදායී සබඳතාවක් ගොඩනඟා ගැනීමට ගෙන ඇති G7 ස්ථාවරය ශ‍්‍රී ලංකාව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා, එයට ශ‍්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත්, එය සාමකාමී වාතාවරණයක් උදාකර ගැනීමට ඉවහල් වන බව ද ප‍්‍රකාශ කළේය.

අනතුරුව ජපාන අග‍්‍රාමාත්‍යවරයා හමුවූ ජනාධිපතිවරයා ජපාන රජයේ සහය මත ක‍්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලූ‍ දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය. අදාළ ව්‍යාපෘතිය නැවත ඇරඹීම සඳහා ජපානයේ එකඟතාව පළවුණේ එහිදීය. එම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි, ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය යසු ඕ ෆුකුඩා, ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ටාරෝ අසෝ සමඟ ද සාකච්ඡුා පැවැත්වීය. තවද එම සංචාරයේදී ම සිංගප්පූරු නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් සමඟද සාකච්ඡුා පැවැත්වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කර සිටියේය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ තමන් කවුද මොනවද කරන්න යන්නේ යන්න ගෝලීය ප‍්‍රජාව හමුවේ තැබූ තවත් විශේෂ අවස්ථාවක් වන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයේ (IDU 40 වන සංවත්සරයට සමගාමීව ලන්ඩන් නුවර පැවති එහි වාර්ෂික සංසදය අවස්ථාවේ දීය. එහිදී කැනඩාවේ හිටපු අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සමඟ පැවති සම්මුඛ සාකච්ඡුාවේ දී ජනපති රනිල් මෙසේ අදහස් දැක්වීය.

”‍මූලික වශයෙන්, අපි ගෝලීය දකුණේ සහ ආසියාවේ ස්ථාවරය සමඟ සිටිනවා. එක්සත් ජනපදය හා චීනය යන ලෝක බලවතුන් දෙදෙනාම අපට අවශ්‍යයි. ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියානු රටවල ඉදිරි දැක්ම යන කරුණ සැලකිල්ලට ගැනීමේදී පැසිෆික් සහ අනෙකුත් කරුණු අතිශයින්ම වැදගත්. චීනයේ නැගීම, කලාපයේ රටවල දියුණුව සඳහා ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. එබැවින් චීනයේ ආර්ථික සංවර්ධනය අපට ඉතා වැදගත්. ඉන්දියාව සහ ආසියානු කලාපිය රටවල්වල මෙන්ම මැදපෙරදිග අඛණ්ඩ තිරසාර වර්ධනයක් දැකීමට තවත් වසර 20 – 25ක් වත් ගතවනු ඇති. බහුපාර්ශ්වීය සබඳතා ශක්තිමත්ව ස්ථාපිත කරන අතර, පවත්නා ද්විපාර්ශ්වීය ශ‍්‍රී ලංකා එක්සත් ජනපද සබඳතා අගය කරනවා.”

 ඒ සියලූ‍ අදහස් දැක්වීම් හරහා තහවුරු කෙරුණේ මෙරට සතු නොබැඳි විදෙස් ප‍්‍රතිපත්තිය ය. නැගී එන ආසියාවේ කුඩා නමුත් බලපෑම් සහගත රටක් ලෙස ශ‍්‍රී ලංකාව නැගී සිටීමේ සුදානම ය. ඒ වෙනුවෙන් මෙරට සතු ප‍්‍රතිපත්තිය සහ වැඩපිළිවෙලය. එහි කාටවත් ඇහිඳින්නට කළු ඇට තිබුණේ නැත. ගළවා උගුල්ලන්න වල් පැල තිබුණේ නැත. මේ ආකාරයට ජනාධිපති රනිල්ගේ විදේශ ප‍්‍රතිපත්තිය ලෝකයේම දේශපාලන අවධානය දිනාගන්නා පසුබිමේ, රටේ ආර්ථිකය යළි ගොඩගැනීම වෙනුවෙන් අනිවාර්යයක්ව තිබෙන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලියද සාර්ථක කරගන්න ඔහු සමත් විය. විදෙස් ණය හිමියන් තුළ විශ්වාසය තහවුරු කළා පමණක් නොව, පාර්ලිමේන්තුවේ අනුමැති ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට එක්ව අනෙකුත් මුල්‍ය ආයතනවල විශ්වාසයද දිනාගත්තේය. ආයෝජක ආකර්ශනයට ද එය ඉවහල් වන බවද රහසක් නොවේය. මේ ආකාරයට ජනාධිපති රනිල්ගේ වෙහෙසේ ප‍්‍රතිඵල මේ මොහොතේ ලැබෙමින් ඇතුවා මෙන්ම ඉදිරියටත් ලැබීමට නියමිතය.

සැබවින්ම මෑත ඉතිහාසයේ මෙරට පාලකයකු වෙතින් මෙතරම් පුළුල් සහ නිරවුල් මෙන්ම ඉහළම රාජතාන්ත‍්‍රික හැසිරීමක් සහිතව ලෝකය ආමන්ත‍්‍රණය කර නොමැති බවට සැක සංකා නැත. එය එතරම්ම පැහැදිළිය. රටේ අනාගතය ද පැහැදිළි වන්නේ ඒ මග දිගේ ඉදිරියට ගියොත් පමණය.

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *