IMFණය ලැබුණා ඊළඟට මොකද වෙන්නේ ?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදළේ IMF විස්තීරණ ණය සහන පැකේජය මෙරට ලැබීම මේ වන විට තහවුරුව තිබේ. මාර්තු මස අවසන් වීමට පෙර එහි පළමු වාරිකය ලැබෙනු ඇති බවත් රජය අපේක්ෂා කරයි. කොහොම නමුත් මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට වසරක පමණ කාලයක් වෙහෙසෙන්නට රජයට සිදු විය. වර්ධනය වූ ආර්ථික අර්බුදය හමුවේ මේ සහනය ලබා ගැනීමට ශ්‍රි ලංකාව ඉල්ලුම් කළ යුතුව තිබුණේ ඊටත් වසරකට පමණ පෙර සිටම බව එවකට මෙරට ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි. එසේම එවකට මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ පවා දිගින් දිගටම ගෝඨාභය පාලනයට බලකර කියා සිටියේ වහාම මුල්‍ය අරමුදලට ගොස් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට මාර්ගයක් පාදාගන්නා ලෙසය. එය නෑසූ කන්ව සිටියා පමණක් නොව මුල්‍ය අරමුදලට යන්නෙම නැතැයි දැඩි මතයක්ද එවක ආණ්ඩුවේ ප්‍රධානින් විසින් පිළිතුරු ලෙස කියා සිටියේය. එහෙත් නියමිත කාලයේදී මුල්‍ය අරමුදලේ උපදේශ, නිර්දේශ මත මෙරට ආර්ථිකය සකස් කිරීමට ගෝඨා පාලනය විසින් පියවර ගත්තා නම් ඒ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණයකට ගියා නම් අදත් රටේ ජනාධිපති ගෝඨාභය විය හැකිව තිබිණි. නමුත් මුග්ධ ආර්ථික ප්‍රතිපත්තීන් මත ගත් තීන්දු තීරණ මත රටේ ආදායම් අහිමි කරගනිමින් විදේශ සංචිත අවසන් කරගනිමින් රට බංකොලොත්ම වෙන තැන දක්වා පත්විය. රට යළි ගොඩනැඟුමක් ගැන සිතන්නවත් බැරි තරම් ආගාධයකට රට ඇද වැටිනි.

මේ තත්වය තුළත් ඉතිරිව තිබූ එකම විසඳුම වූයේ මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමම පමණි. පසුව අගමැතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ලෙසත් පත් වුණේ රනිල් වික්‍රමසිංහ නොවන්න අදත් මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමක් වන්නේ නැති බව සහතික කර කිව හැකිය. එල්ලවූ බලපෑම් හමුවේ ප්‍රමාද වී හෝ ගෝඨාභයගේ අවසන් කාලය තුළ මුල්‍ය අරමුදල වෙත යෑමට උත්සහ ගත් නමුදු එම ආණ්ඩුව තුළ තිබුණු මත ගැටුම්, ගෝඨාභය රාජපක්ෂගේ අනවබෝධයන් සහ ඔහුගේ සහයට විශ්වාසවන්තයන් නොසිටිම ආදිය නිසා මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවට යෑම හෝ නිශ්චිත වූයේත් නැත. ඒ කෙසේ වෙතත් මුල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථිකය නිවැරදි කරගැනීම වෙන්වෙන් ලබාදෙන නිර්දේශයන් කිසිසේත්ම ඉටු කරගැනීමට හැකියාවක් නොලැබෙනු ද ඇත. මන්ද ගෝඨාභය පොරොන්දු වූ ආර්ථිකයට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තීන්ට හදිස්සියේ තබා, සෙමින් ක්‍රමිකවවත් මාරු වීමේ හැකියාවක් එම පාලනයට නොතිබිණි. ඒ අනුව එම පාලනය අවසන් වීමත් තාර්කික අවශ්‍යතාවයක් ඉටුවීමකි.

කොහොම නමුත් රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ සිටියේය. ඔහු කඩිනමින් ගත් දේශපාලනික සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා නිසා වසරක් ඇවෑමෙන් හෝ මුල්‍ය අරමුදලේ සහයත් රටේ ආර්ථික නිවැරදි මාර්ගයේ ගමන් කරනවාය කියන අරමුදලේ සහතිකයත් ලබාගැනීමට හැකි විය. ශ්‍රි ලංකාව තරම්වත් ආර්ථික අර්බුදයකට මුහුණ නොදුන් පකිස්ථානය 2019 වසෙරේ සිටම මුල්‍ය අරමුදලෙ ණය සහනයක් අපේක්ෂාවෙන් කටයුතු කළත් තවමත් කාර්ය මණ්ඩල මට්ටමෙ හෝ එකඟතාවකට පැමිණිමට නොහැකි විය. ඒ අතර කාලය තුළ ආණ්ඩු පාලන දෙකක්ද පකිස්ථානයේ බිහි විය. පාලකයන් වෙනස් වූවා කියා රටවල ප්‍රශ්න විසක්‍ෂෙන්නේ නැත. එය කළ හැක්කේ නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙලවල අඛන්ඩව ක්‍රියාත්මක කළ හැකි නම් පමණි. එවැනි නිවැරදි ක්‍රමවේදයකට මාරු වීම සම්බන්ධයෙන් ශ්‍රිලංකාව මේ මොහොතෙ ලෝකයට වැදගත් ආදර්ශයක් සපයා ඇතැයි කීමද නිවැරදිය.

එහෙත් මුල්‍ය අරමුදලේ සහය ලැබූ පමණින් රටක් ගොඩ දැමිය හැකිද කියන ගැටලුව තිබේ. පසුගිය කාලයේ විපක්ෂය කියමින් සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් වුණාම, ජනවරමක් නැති ජනාධිපතිවරයකුට, ජාත්‍යන්තර සහය නොලැබෙන බවය. එමෙන්ම රනිල් චීනයට එරෙහි බටහිර ගැත්තකු නිසා චීනයේ සහය හිමි නොවන බවය. එසේ කියමින් අනෙක් අතට රනිල් චීනය සමඟ මිතුරු නිසා අමරිකාවේ සහය නොලැබෙන බවත් කිවේය. අරගල උද්ඝෝෂණ ආදිය මර්දනය නිසා, මැතිවරණය කල් දැමීම, ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් නිසා අරමුදලේ හෝ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය රටට නොලැබෙන බවත් ඊයේ පෙරේදා වෙන තුරුත් විපක්ෂයේ කියමින් සිටියේය. නමුත් මේ සහය ලැබෙන්නේ තමන්ව බලටය ගෙනාවොත් පමණය කියමින් ජනතාව නොමඟ යවමින් සිදු කළ සියළු ප්‍රකාශ අද බොරුවක් වී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සත්‍ය වී ඇත.

විපක්ෂය දැන් ගහපු පදය මාරුකර ඇත. දැන් කියන්නේ අරමුදලේ සහය ලැබුණාට රට ගොඩයන්නේ නැති බවය, මීට කලින් 16 වතාවක් ණය ගත්තත් රට ගොඩගියාද අසයි. ඩොලර් බිලියන 56 ක ලෝක ණයක් තිබියදී අරමුදලෙන් ලැබෙන බිලියන 2.9 න් රට හදන්න පුළුවන්ද අසයි. මේ ලැබෙන මුදලත් පාලකයෝ කොල්ල කණු ඇති බව කියයි. ණය වාරික එකක් දෙකක් ගෙන නැවත පරණ විදිහටම ආර්ථිකය අයාලේ යන බවත් කියයි. ආර්ථික ප්‍රතිසංස්කරණයන් කරන්න නැතියිද රට ආපහු වළපල්ලට යනවා. ආදි වශයෙන් අලුත් කතන්දර රැසක් මේ දිනවල විපක්ෂ වේදිකා වල, ඔවුන්ගේ සමාජ ජාලා ප්‍රචාරක වැඩ වල ඉහලින්ම තිබේ.

මේ අතර මෙම ණය මුදල ලැබීමටත් පෙර මෙරට ආර්ථිකයද වඩාත් යහපත් තැනකට තල්ලු විය. ඒ අනුව ඩොලරයේ රුපියල් අගය අඩු විය. උද්ධමන තත්වයන් සීග්‍රයෙන් අඩු වෙමින්ද පවතී. විශේෂයෙන්ම ආහාර මිල ගනන් අඩු වෙමින් තිබේ. එහෙත් විපක්ෂයට අනුව මේවා ඉලක්කම් විජ්ජාය. කෘතිමව කළ මවාපෑම්ය. පදනම් විරහිතය වංචනිකය. ඒ අනුව ඩොලරය තව කෙටි කලකින් ඉහළ නගිනු අත. නැවත බඩු මිල ඉහළ යනු ඇත. විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාගේ දැක්ම නැතිනම් වුවමණාව ප්‍රකාශවන්නේ එසේය. එහෙත් රජය ගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වල යහපත් ප්‍රතිපළ මේ මොහොත වන විට ජනතාව බුක්ති විඳිමින් තිබේ. පවතින් අනෙක් පීඩාකාරිත්වයන්ද ඉදිරි මාස කිහිපය තුළදී පහව යනු ඇත.

මුල්‍ය අරමුදලේ සහය ලැබෙන්නේ නැතැයි කියපු විපක්ෂය දැන මුල්‍ය අරමුදලේ ණය අරගෙන ගොඩගිය රටක්ද නැති බව කියමින් කෙදිරි ගාන්නේ රට ගොඩ ගියොත් ඔවුන්ට වන දේශපාලන හානිය පදනම් කරගෙන බව පැහැදිලිය. කොහොම නමුත් මුල්‍ය අරමුදලේ ණය ලැබුණු පලියට රට ගොඩයන්නෙ නැත. රට ගොඩ යන්න නම් ආර්ථිකය නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් මත ක්‍රියාත්මක කළ යුතුය. ලෝකයේ ගොඩ ගිය රටවල් නැති නම් සංවර්ධිත රටවල් මුල්‍ය අරමුදල වෙත ගියේ නැත. ඒ තමන්ගේ ආර්ථිකය නිවැරදි පිළිවෙත් අනුව ක්‍රියාත්මක කිරීම නිසාය. පැහැදිලිම සත්‍යය එයය. මේ අනුව රටේ ආර්ථිකය නිවැරදිව කළමණාකරණය කරගැනීමට නොහැකි නම් කොහෙන් කොහොම ණය ආධාර ලැබුණත් රටවල් ගොඩදාන්න නොහැකිය.

අයාලේ ගොස් නන්නත්තාර වූ ගිය ශ්‍රි ලංකාවේ ආර්ථිකය නිවැරදි මඟට ගැනීමට ඉදිරියේදී මාස කිහිපය තුළදී කළ යුතු දේත් සරළ නැත. මන්ද ණය මුදල ලැබීමෙන් පමණක් මේ ගැටලු කිසිවක් විසක්‍ෂෙන්න නැති නිසාය. මුලිකවම සිදුවන කටයුත්ත වන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය ඇතිවීමය. එය අතිශයින්ම වැදගත්ම දෙයය. මේ වන විටත් ලෝක බැංකුවේ ආධාරයන් ප්‍රකාශට පත්ව තිබේ. ඩොලර් මිලියන 400 ක මුදලක් හෙට අනිද්දාට මෙරට බැංකු පද්ධතියට ලැබෙනු ඇත. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපාන රජයෙන් ඩොලර් බිලියන් 2.5 පමණ දැවැන්ත සහයෝගයක් ලැබීම ගැන අපේක්ෂාව තිබේ. ඒ අතර අමරිකානු රජයේ සහ යුරෝපීය රාජ්‍යයන් ගනනාවක සහයෝගය ලබා දීම ගැන ප්‍රකාශයන් නිකුත්ව තිබේ. මීට අමතරව මුල්‍ය අරමුදලේ ණය සහනය සමඟ මෙරට විදේශ සංචිත සම්බන්ධ තහවුරුවක් ලැබීම මත ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතන විසින් පහළ හෙළා ඇති ශේණියෙන් යම් තරමකට ඉහළ දැමීම සිදු වෙනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කර ඇති නිසා මෙම ජාත්‍යන්තර ආයතන වලට එම ගැටලුව තාවකාලිකව අත්හැර ශ්‍රි ලංකාවට අවශ්‍ය සහතිකය ලබා දීමට සිදු වෙනු ඇත. මේ වන විටත් ෆිච් රේටිංග්ස් වෙතින් ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ යෑමක් ගැන පසුගියදා ප්‍රකාශ කළේ ඒ වන විට තිබු තත්වය මත මිසක් ඉදිරියේදී ලැබීමට නියමිත් ඩොලර් ප්‍රමාණය ගැන ගනනය කිරීමක් නොකරය. කොහාම නමුත් අභියෝගයන් මධ්‍යයේ වුව ආර්ථිකය ජය ගැනීම ගැන සුබවාදී ප්‍රතිචාර පළව තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් තව දුරටත් ණය ලබාගැනීම් ඉල්ලුම් කිරීමේ හැකියාවත් ලැබෙනු ඇත. විදේශ ආයොජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකි වෙනු ඇත. කොහොම නමුත් ජාත්‍යන්තරයෙන් ණය සහනයන් ලබාගැනීමට වඩා වැදගත් වන්නෙ රට තුළ රුපියල ශක්තිමත්ව තබාගෙන රටේ ආදායම් උත්පාදනයට පියවර ගැනීමය. එසේම රජයේ වියදම් ආදායමට පහළඅගයක තබාගැනීමය. වංචාව දුෂණය නාස්තිය අවම කරගැනීම ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය යාන්ත්‍රණයේ බර සැහැල්ලු කිරීම පිණිස මේ වන විටත් රජය ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ සඳහා වන නව නෛතික රාමු පද්ධතීන් පසුගිය කාලයේදී සකස් කරනු ලැබීය.

රුපියල ශක්තිමත්ව තබාගැනීම, ඩොලරය අගය වෙළඳපොළට අනුව වෙනස් වීමට ඉඩහැර, උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒම, පොලී අනුපාතයන් පහත හෙළීම යන අපේක්ෂා ප්‍රධාන ඉලක්කයන් ලෙස පවතී. මේ වන විට ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස පහල යෑමට හේතු වූ කරුණු කාරණා රැසකි. ඩොලර් ආදායම් ලැබෙන මාර්ග වන සංචාරක කර්මාන්තය, අපනයනය, විදේශ ප්‍රේෂණ ක්‍රමයෙන් වැඩි වීම විදේශ සංචිත ඉහළ යෑමට බලපා තිබේ. එමෙන්ම බැංකු පද්ධතියට පිටතින් උන්ඩියල් ආදී ක්‍රම හරහා නීති විරෝධීව වු ඩොලර් හුවමාරු වීම යළි බැංකු පද්ධතියට පැමිණෙමින් තිබේ. ඒ අනුව ඉදිරියේ දී මෙරට ලැබීමට නියමිත මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ, අනෙකුත් මුල්‍ය ආයතන සහ රාජ්‍යයන්ගෙන් ලැබෙන ඩොලර් අනුව තව දුරටත් ඩොලරයේ අගය පහළ යනු ඇත.

නමුත් ඩොලරය වේගයෙන් පහලට යෑමත් නැවත ආර්ථිකයට හානිකර වෙයි. මන්ද ඩොලර් වලින් ආදායම් ලැබීම් මාර්ග වලට එය අලාබදායක වීමත්, අපනයනය අධෛර්යමත් කරයි, ආනයනයන් කෙරෙහි පෙළඹවීම ඉහළ යාමත් වෙයි, අධි පාරිභොජන තත්වයක් ඇතිවී ආනයනය වර්ධනය වේ. උද්ධමනය විශාල ලෙස අඩු වී අවධමනකාරිත්වයක් දෙසට හැරීම නැවත මෙරට වෙළඳපොළ කඩා වැටීමට හේතුවෙයි. මේ අවධමනය වැලැක්වීම වෙනුවෙන් රටේ මුදල් සැපයුම වැඩිකළහොත් මහ බැංකුවේ පොලී අනුපාතික වේගයෙන් පහළ යයි. එමෙන්ම, මෙම ඩොලර් ලැබීම හැමදාම ඒකාකාරව වන්නේ නැත. ඒ අනුව මාස කිහිපයක් ඇතුළත වුවත් නැවතත් ඩොලර් ඉල්ලුම ඉහළ ගොස් සංචිත හිඳී එහි අගය ඉහළ යා හැකිය. මෙවැනි තත්වයන් වලක්වාගැනීම වෙනුවෙන් සංකීර්ණ ක්‍රියාදාමයක නියැලීමට රජයට සිදුවෙයි. සියල්ල සමබර වන ලෙස පවත්වාගෙන යා යුතුය.

මේ අනුව ඩොලර් සංචිත එකවර වැඩිවීමත් ගැටළුවක් බව පැහැදිලිය. එම තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් රට තුළ සඟවා තිබු හෝ නොසෙල්වා තිබූ ඩොලර් යම් ප්‍රමාණයක් මිලදී ගෙන සංචිතවලට එකතු කරගැනීමට පසුගිය දින වල මහ බැංකුව කටයුතු කළේ ඩොලර් සඳහා තිබූ ඉල්ලුම පාලනය කර එම මිල අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ යෑම වැලැක්වීමටය. එමෙන්ම පොලී අනුපාතයන්ද ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ උද්ධමනය පාලනයක් සහිතව අවම කරගැනීම වෙනුවෙනි.

මේ ආදී වශයෙන් ඉදිරි මාස කිහිපය රටේ ආර්ථිකය මෙහෙයවීම අතුරේ යෑමක් මෙන් ඉතා සැලකිල්ලෙන් පරිස්සමට කළ යුතුව තිබෙන්නකි. එම කාලය තුළ ආර්ථිකමය වශයෙන් රජය ගන්න තීන්දු තිරණ වේගවත් මෙන්ම සංකීර්ණ ඒවා වෙනු ඇත. මෙය ඉතාම අභියෝගාත්මක තත්ත්වයකි. වක්කඩ කැඩුවා සේ දිය පහර එක එල්ලේ කඩාගෙන යෑමට ඉඩ නොදී ඩොලරයක මිල යම් ස්ථාවර මට්ටමකට පත් වන තෙක් සියල්ල පාලිතව තත්වයක තබාගැනීම සිදු වෙනු ඇත. මේ අනුව රජය මුහුණ දී සිටින තත්වයන් තවදුරටත් සංකීර්ණය. විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා දොඩන කතන්දර තරම් සරළ නැත.

කොහොම නමුත් මුල්‍ය අරමුදලේ නිර්දේශයන් මත මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංකරණයන් අඛන්ඩව ක්‍රියාත්මක වීම සිදු වුවහොත් පමණක් සිහින දකින සුබදායී අනාගතය යථාර්ථයක් වෙනු ඇත. රජයේ ආදායම ඉක්මවා වියදම් නොකර අවශ්‍ය ඉලක්ක වලට යෑම නොකළොත්, ඕනෑම මොහොතක රට යළි බංකොළෙත්භාවයට ඇද වැටීමට එතරම් කාලයක් ගත වන්නේ නැත. ඒ අනුව කෙටි කාලයක් තුළ වෙනස් වීම් වලට ලක්වෙමින් තිබෙනු ඇත. කොහොම නමුත් මහ බැංකුවට හෝ රජයට ගැලරි චුන් කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැත. පසුගිය කාලයේ ගැලරි චූන් කිරීමට ගොස් රට බංකොලොත් කරගැනීමෙ පාඩම ඉගෙන ගෙන තිබෙන නිසා දුෂ්කර තත්වයන් තුල අමාරු තීන්දු තීරණ සමඟ තවදුරටත් කටයුතු කිරීමට සිදුව තිබේ. ජනතාවට තාවකාලික සහන දෙනවා වෙනුවට දිගු කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනිවාර්යයයෙන්ම කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව හමුවේත් පවසා සිටියේ මෙම ආර්ථික ප්‍රතිසංස්කරණයන් තුළ අඛන්ඩ ගමන් කිරීම විය යුතු බවය. එය කඩාකප්පල් කරන කිසිදු වෑයමකට ඉඩ නොදෙන බවත් තදින් පවසා තිබිණි. ඒ අනුව මෙරට ආර්ථිකයේ විප්ලවීය සමයක් ලෙස මේ යුගය හැඳින්විය හැකිය, මෙම පිම්ම පැන ගතහොත් යළි යළිත් මුල්‍ය අරමුදලෙ ණය පස්සෙන් යෑමට අවශ්‍ය නොවනු ඇතිවා මෙන්ම මෙරට ජනතාවට ඉතා යහපත් ආර්ථික තත්වයක් මත තමගේ සිහින සැබෑ කරගැනීම ගැන බලපොරොත්තු තබා ගත හැකිය.