දේශගුණික විපර්යාස ඉතාලිය ගිනි තියයි – ජීවිත හා දේපළ හානි රැසක්

0

පසුගිය පැය 24 තුළ ඉතාලියේ අයහපත් කාලගුණික තත්වයන් දෙකක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රටේ දකුණු ප‍්‍රදේශය ලැව්ගිනි සමඟ පොරබදමින් සිටින අතර උතුරු ඉතාලිය ප‍්‍රචණ්ඩ කුණාටු අත්විඳිමින් සිටී.

සඳුදා දකුණු ඉතාලියේ සිසිලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 දක්වා ඉහළ යාමත් සමඟ හටගත් ලැව්ගිනි 55කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් පැලර්මෝ ගුවන්තොටුපල සහ අධිවේගී මාර්ගයේ කොටස් තාවකාලිකව වසා දැමීමට සිදු විය.

දුමාරය සහ අළු වළාකුළු නගර මධ්‍ය දෙසට ගමන් කිරීම නිසා පලර්මෝ අසල පවුල් 120කට වැඩි පිරිසක් ඉවත් කර ඇත. දුම් ආශ්වාස කිරීම හේතුවෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගෙන ඇති අතර සාමාන්‍යයෙන් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන නගර වීදි දැන් හිස්ව ගොස් ඇත. පලර්මෝහි උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 47 දක්වා වැඩිවී තිබිණි. රෝහල් දෙකක් සාමාන්‍ය රෝගින් බැලිම අත්හිටුවා ඇති අතර, සර්වෙලෝ රෝහලේ රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇත.

පලෙර්මෝ නගරයට ආසන්නයේ පිහිටි 15 වන සියවසට අයත් සැන්ටා මරියා ඩි ගෙසුගේ කන්‍යාරාමයේ දේවස්ථානය ද ගින්නෙන් පීඩාවට පත් විය. සිසිලියේ තවත් නගරයක් වන කැටානියාහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ට ආසන්න වූ අතර විදුලිය විසන්ධි වීම සහ ජල සැපයුම් ගැටළු ඇති විය. ගින්නක් හේතුවෙන් දේශීය ගුවන්තොටුපළ පසුගිය සතියේ වසා දැමුණු අතර එය නැවත විවෘත කර ඇත්තේ අර්ධ වශයෙන් පමණි.

කලාපය තුළ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරන ලෙස සිසිලි ආණ්ඩුකාරවරයා මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ. අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සති දෙක තුළ අවම වශයෙන් තවත් මරණ 6ක් සිදුවී තිබේ. ලැව්ගිනි හේතුවෙන් පවුල් සිය ගණනකට Borgo Nuovo දිස්ත‍්‍රික්කය හැර යාමට සිදු වී ඇත. එක් නිවැසියෙක් පැවසුවේ ඔවුන්ට සියල්ල අහිමි වී ඇති අතර දැන් නිදා ගැනීමට තැනක් සොයමින් සිටින බවයි.

ඉතාලියේ උතුරු ප‍්‍රදේශ ද දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දී ඇති අතර, ධාරානිපාත වර්ෂාව සහ සුළි කුණාටු පුරෝකථනය කර ඇත. කුණාටු සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය ජාලයේ හානි හා බිඳවැටීම් සිදුවී ඇති අතර ගිනි නිවන සේවයට සිය ගණනක් පීඩාට පත් වුවන්ගෙන් ඇමතුම් ලැබෙමින් තිබේ. ඉතාලියේ අනෙකුත් ප‍්‍රදේශවලින් ගිනි නිවන භටයන් ලැව්ගිනි මැඩලීමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මිලානෝ නගරාධිපති Giuseppe Sala ප‍්‍රකාශ කළේ වත්මන් තත්වය සාමාන්‍ය තත්වයක් නොවන බවත් එය දේශගුණික විපර්යාස පිළිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් බවත්ය. දේශගුණික විපර්යාස නිතර නිතර හා මාරාන්තික ව්‍යසනවලට තුඩු දෙන බැවින් වහා ක‍්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.

ඉතාලියේ සිවිල් ආරක්ෂක අමාත්‍ය නෙලෝ මුසුමේසි මෙම අදහස අනුමත කරමින් කියා සිටියේ ඉතාලියේ දැන් නිවර්තන දේශගුණයක් පවතින බවත් අතීතයේ දේශගුණික විපර්යාස කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීමේ මිල මේ මොහොතේ ගෙවමින් සිටින බවත්ය.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *