ඉල්ලුවට අපිත් කැමති නෑ ඡන්දයකට යන්න

0

“එදා ජනාධිපතිවරු පාර්ලිමේන්තුව පැත්ත බලන්නේවත් නැති කාලයේ ජනපති පාර්ලිමේන්තුවට එන්නේ නෑ කියා අඩපු විපක්ෂයේ අය අද ජනපති රනිල් පාර්ලිමේන්තුවට එද්දී විධායකයෙන් පාර්ලිමේන්තුව යටපත් කරන්න හදනවා කියා බෙරිහන් දෙනවා.” මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතරවූ සංවාදයකි.
ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණිම ගැන විපක්ෂය චෝදනා කරද්දී පාර්ලිමේන්තු ලොබියේ වූ මේ කතා බහ ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමති ප්‍රසන්න ජනපතිගේ කනේ තැබූවේය.

“හැමෝම ඉල්ලුවේ පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක්. මම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ උත්තර දුන්නාම ඒකත් වැරදි කියනවා නම් මම ඒකට මොනවා කරන්න ද”. ජනපති රනිල් කීවේ සිනහ සෙමිනි.

ජනපති ඉකුත් අගහරුවාදා සහ බදාදා යන දෙදිනම පාර්ලිමේන්තු පැමිණියේ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වෙනුවෙනි. ඔහු ජනපති වූ දා සිටම පාර්ලිමේන්තු පැමිණීම මඟ හැරියේ නැත. ඔහු ජනපතිවූ ජුලි 20 දා සිට ඉකුත් 18 දා දක්වා කාලය තුළ දින 29 ක් ඔහු පාර්ලිමේන්තු පැමිණ තිබුනි.

“සර් ජනාධිපති වුන දවසේ ඉදලා අද වෙනකම් දවස් 29 ක් පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙනවා. මේක වාර්තාවක් වෙන්න ඕනේ.” මන්ත්‍රී සහන් ප්‍රදීප් කියද්දී සැවොම හිස සැලූහ.

ජනපති පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී ලොබියේ මුණ ගැසුණු විපක්ෂ මන්ත්‍රිවරුන් කිහිපපොලක් විමසා සිටියේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැතිද යන්න ගැනය.

“මම ඉතින් ඡන්දයට මැදිහත් වෙන්නේ නෑ. ඡන්දය පවත්වනවා කියලා මැතිවරණ කොමිසම කියලා තියෙනවානේ .” ජනපති කීවේ සැහැල්ලුවෙනි.

“නෑ සර් විපක්ෂය ඡන්දයක් ඉල්ලුවාවට අපිත් කැමති නෑ ඡන්දයකට යන්න.” විපක්ෂ මන්ත්‍රීවරුන් කියද්දී ජනපති සිනාසී හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත.

මුජිබර්ගේ දේශපාලනය අවධානමේ

මෙහිදි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විමසා සිටියේ මුජුබර් මන්ත්‍රීතුමා කොළඹට එන්න මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන්නේ කවාද ද යන්නයි. “තාම හරියට දිනයක් කියන්න දන්නේ නෑ.” යැයි ඔවුන් කියද්දී වජිර මතු කළේ කවුරුත් නොසිතූ කාරණයකි.

“එතුමා දැන් ලොකු ප්‍රශ්නයක නේද ඉන්නේ. ඉල්ලා අස්වුනාට පස්සේ ඡන්දය නිකමට හරි කල් ගියොත් එතුමාගේ දේශපාලන දිවියට ප්‍රශ්නයක්. හැබැයි ඉල්ලා අස් නොවුනොත් බයේ අස්වුනේ නෑ කියලා මතයක් හැදෙනවා.” වජිර කියද්දී ඔවුන් තුෂ්නිම්භූත වූහ.

ජනපති රනිල් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටය. ඔහු එදින පාර්ලිමේන්තුවෙන් නික්මව ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙද්දී දැනගත හැකිවූවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත ගැන විවාදය මාසයකින් කල් ගොස් ඇති බවය. එය 18 දින විවාදයට ගැනීමට තිබුණ ද අධිකරණ අමාත්‍යාංශ උපදේශක කරක සභාවේදි එය මසකින් කල් ගොස් ඇති බව දැනගන්නට ලැබුනි.

ජනපති වහාම අගමැතිට හා අධිකරණ ඇමතිට කතා කොට මේ ගැන විමසූහ. සිවිල් සමාජයේ ඉල්ලීමක් වූ මේ පනත කල් දාන්න දෙන්න බෑ. මේ ගැන කතා කරලා තීන්දුවක් ගන්න. පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැදවන්න ජනපති අගමැතිට උපදෙස් දුන්නේය.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමට විපක්ෂයේ පක්ෂ කිහිපයක් හැර සෙසු පක්ෂ පැමිණ සිටි බැවින් පනත 19 දා විවාදයට ගෙන සම්මත කිරීමට තීන්දු කෙරිනි. එහිදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මතු කළ තර්කය වූවේ මැතිවරණ වියදම් වෙනුවෙන් මුදල් ලැබුණු ආකාරය හෙළිවන මෙම පනතට විපක්ෂය විරුද්ධ වන්නේ මන්ද යනුවෙනි.

“මේ පනත ඉතාම හොද පනතක්. මැතිවරණයේදි අපේක්ෂකයාට, පක්ෂයට මුදල් දුන්නේ කොහොමද කියලා මෙතනදි සොයා ගන්න පුළුවන්. හැමෝම කියන මැතිවරණ දුෂණය මෙතනදි නතර වෙනවා.” පක්ෂ නායක රැස්වීමේදි ඉදිරිපත් වූ බහුතර මතය එය විය.

ජනපති රනිල් ඉකුත් සතියේ ඉරුදින යාපනයේ ගත කළේ තෛපොංගල් උත්සවයට සහභාගීවීම වෙනුවෙනි. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටියේය. ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මෙම උත්සවය සංවිධානය කර තිබුනි.

තවත් පිරිසක් එදින විරෝධෙතාවයක් සංවිධානය කර තිබූ අතර ඒ ගැන ජනපති දැනුම්වත් කළේ ඇමති දේවානන්ද විසිනි.

සංස්කෘතිය විනාශ කළ විරෝධයක

“සර් තෛපොංගල් කියන්නේ අපේ ඉහළම උත්සවයක්. මේවගේ දවසක විරෝධා කරන්නේ නෑ. හැබැයි එක් කණ්ඩායමක් දේශපාලනය ඉස්සරහට දාලා අපේ සංස්කෘතියත් විනාශ කරනවා.” දේවානන්ද කියද්දී ජනපති සිනාසී හිස සැලූවේය.

සදුදා පෙරවරුවේ කොළඹ පැමිණි ජනපති රනිල් සවස ඇමති මණ්ඩල රැස්වීමට මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද එක්වූවේය. ඇමති මණ්ඩලයේදි රටේ ආර්ථික තත්ත්වය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිනි. රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුම් සේම, සමෘද්ධි දිමනා ගෙවිම සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යංශය මගින් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුනි.

රජයේ මාණ්ඩලික ශේණියේ නිලධරයන්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද වනු ඇති බවට ද මෙහිදි හෙළිදරව් වූවේය. ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මන්ත්‍රීවරු පළාත් පාලන ඡන්දය ගැන විමසා සිටි අතර ජනපති කීවේ තමන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ නොවන බැවින් පක්ෂ විසින් එය කරනු ඇති බවය.
බදාදා පාර්ලිමේන්තුවේදි ජනපති රනිල් හමුවූ මැති ඇමතිවරු රටේ ආර්ථිකය ගැන කතා බහ කරන්නට වූහ.

“පොහොර දුන්නා වගේම වී කිලෝවකට රුපියල් 100 ක සහතික මිලක් අපි දෙනවා. ඒ වගේම සහල් අතිරික්තයක් ඇති වෙන නිසා අපි දිළිදු පවුල් ලක්ෂ 20 ට මසකට කිලෝ 10 බැගින් කිලෝ 20 ක් දෙනවා. ඒ වගේම ඉන්දියාව, චීනය, ජපානය අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සහාය දෙන්න එකඟ වෙලා ඉන්නේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ අයි.එම්.එෆ් එකඟතාවයන්ට අනුවයි.” ජනපති කරුණු පැහැදිලි කළේය.

වීවලට මිලක් ද? නැත්නම් ඡන්දයක් ද?

“අපි වී ගන්න බිලියන 10 ක් වෙන් කරනවා. ඒක ඡන්දෙට දීලා වී මිල අඩු කර ගන්නවාද කියලා ගොවියෝ තීරණය කරන්න වෙයි.” ඇමති සියඹලාපිටිය ද ජනපති කතාවට ඌණපූරණයක් එක් කළේ එලෙසිනි.

“ඔන්න දැන් ඔයාලටත් ගමට ගිහින් ජනපතිතුමා ජනතාව වෙනුවෙන් දෙන සහන ගැන මැතිවරණ වේදිකාවේ දි කියන්න පුළුවන්.” ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග කීවේ මන්ත්‍රීවරුන් දෙස එක එල්ලේ බලමිනි.

“ආණ්ඩුව බිංදුවේ ඉදලා දැන් ඉහළට එමින් තියෙනවා. ඒ නිසා අපේ ඡන්ද ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි විපක්ෂයේ පක්ෂවලට 50% ගන්න බැරි වුනොත් එය තමයි ප්‍රශ්නය.” ඇමති සුසිල් ද කතාවට එක් වූවේය.

“මැතිවරණ කොමිසම ඡන්දය තියන්න සල්ලි තියෙනවා කියලා උසාවියට කියලා තියෙනවා. දෙන්න සල්ලි තියෙනවාද? සර්” ඇමති චාමර සම්පත් පැනයක් මතු කළේය.

“ මුදල් අමාත්‍යාංශයේ ලේකම් දිවුරුම් ප්‍රකාශයක් උසාවියට දීලා තියෙනවා මුදල් නෑ කියලා. තෙල් සංස්ථාවත් මැතිවරණ කොමිසමට කියලා තියෙනවා ඉන්ධන දෙන්න මුදල් නෑ කියලා. පොලිස්පති නිලධාරී හිඟය ගැන කියලා තියෙනවා. දැන් මැතිවරණ කොමිසමට තියෙන්නේ ගොඩනැගිල්ලයි පුටු, මේස ටිකයි විකුණලා ඡන්දයට මුදල් වියදම් කරන්න තමයි.” ඇමති බන්දුල ගුණවර්ධන කියද්දී සැමට සිනහව නවතාගත නොහැකි විය.

පොදුජන පෙරමුණේ ප්‍රධානීන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධානීන් බදාදා සවස මුණ ගැසුණු ජනපති ඇමතිධූර දෙකක් පත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියේය.

අනුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පවිත්‍රාදේවි වන්නිආරච්චි හා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන් කැබිනට් ඇමතිවරු ලෙස දිවුරුම් දුන්හ.

දිවුරුම අවසානයේ ජීවන් තොණ්ඩමන් ජනපති අසලට ගොස් ස්තූතිය පුද කරද්දී ජනපති අපූරු ඉතිහාස කතාවක් සිහිපත් කළේය. “ඔයාගේ සීයා සෞම්‍යමූර්ති ඇමතිතුමා මම අගමැති වෙද්දී මගේ කැබිනට් එකේ හිටියා.

යාගේ තාත්තා ආරුමුගම් මම අගමැති වූ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියා. දැන් පුතා මම ජනාධිපති හැටියට මගේ ඇමති මණ්ඩලයේ ඉන්නවා.” ජනපති කියද්දී ඇමති ජීවන් තොණ්ඩමන් හිස නවා ජනපතිට ගෞරවය පුද කළේය.

ඇමති දිවුරුම අවසන්වී පිටතට පැමිණෙද්දී ජනපතිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක හා මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න මුණ ගැසුණේය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විමසා සිටියේ ඇමතිවරු දෙදෙනා ගේ දිවුරුම ගැනය.

“ඔයාලා කිව්වානේ ඇමති මණ්ඩලයේ කාන්තාවෝ නෑ කියලා ඔන්න 75 වෙනි නිදහසට කලින් ඇමතිතුමියක් ඉන්නවා. ඒ වගේම ඉන්දියානු සමභවයක් තියෙන කෙනෙකුත් ඇමති මණ්ඩලයේ ඉන්නවා.” යැයි කියමින් ජනපති පිටව ගියේය.

ඉන්දියාවෙන් ලැබුණු සුභ පණිවිඩය

මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමති එස් ජයශංකර් ජනපති මුණ ගැසුණේ සිකුරාදා ය. පැරණි මිතුදම් ගැන මෙන්ම ඉන්දීය හා ශ්‍රී ලංකා ආර්ථික කටයුතු ගැන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාවේ එකඟතාවය ගැන එහිදි සාකච්ඡා කරනු ලැබීය. මීට අමතරව වෙළෙද ගිවිසුම් කිහිපයක් ද එහිදි අත්සන් කරන ලදි.

එන මැතිවරණයට අපි සූදානම්

පළාත් පාලන මැතිවරණයේදී සියලු පළාත් පාලන ආයතනවලට තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කළ අතර නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක හා මහලේකම් රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතිය පුරා පැවැත්විනි.
අවසානයේ සියලු දිස්ත්‍රික් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වූ අතර කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරුණේ ඉකුත් බ්‍රහස්පතින්දාය. ඒ නියෝජ්‍ය නායක රුවන් හා ජාතික සංවිධායක සාගලගේ ප්‍රධානත්වයෙනි.

Mediaman

Chatham Street Journal පුවත්පතේ 2023.01.22 දින පළ වූ පුවතකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *