“මිහින්තලේ ලයිට් බිල නාඩගමේ“ විචාරය

0

ලංකාව යනු නාඩගම්වලට නම් දරාපු රටකි. එහි කලින් කලට විවිධ තේමාවන් මුල් කර ගනිමින් නාඩගම් පෙන්වමින් ඇත. සාමාන්‍යය වන්නේ මෙම නාඩගමක් පෙන්විය හැකි උපරිම කාලසීමාව සතියක් වැනි සුළු කාලයක් වීමයි. හේතුව පේ‍්‍රක්ෂකයින්ට නාඩගම එපාවීම නොව, එක් නාඩගමක් සතියක් ඇඳගෙන යන විට තවත් නාඩගමක් කරළියට පැමිණීමයි. ඇතැම් විට සතියට නාඩගම් දෙකක් හෝ තුනක් පෙන්වන අවස්ථාවන් ද නැතුවා නොව්.

පසුගිය සතියේ කරළියට ගෙන ආ නාඩගම ”මිහින්තලේ ලයිට් බිල” නම් නාඩගමයි. මෙහි ප‍්‍රධාන චරිතය ර`ගපෑමට පාර්ශ්ව ගණනාවක් වෑයම් කළ ද අවසානයේ මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් හා විපක්ෂ නායක පුතාණෝ අතර සම සේ

ප‍්‍රධාන චරිතය බෙදී ගියේය. සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් ලෙස මෙය කරලියට ගෙන ආවද එහි තිබුණේ හිනා යන අඳෝනාවක් පමණි. නමුත් මෙම නාඩගම එතරම් ජයප‍්‍රිය නොවූයේ මෙම නාඩගමේ කතා තේමාවටම සමාන වෙනත් නාඩගමක් මීට පෙර ද මිහින්තලේ කරළියේ ර`ග දැක්වුණු බැවිනි. කෙසේ වෙතත් මෙම නාඩගමේ ර`ග දැක්වුණු කතාංග තේමාව සුළුවෙන් තැකිය හැකි කාරණාවක් නොවීය.

මෙහි ප‍්‍රධාන තේමාව වූයේ මිහින්තලා රාජමහා විහාරයට ලංකා විදුලි බලමණ්ඩලය විසින් ලබා දුන් විදුලි සැපයුමට අදාල බිල්පත් නොගෙවීම හේතුවෙන් මිහින්තලා රාජමහා විහාරයේ විදුලි සැපයුම අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය විසින් පියවර ගැනීමය. මෙය රට කළඹවන කතා පුවතක් වෙතැයි නිර්මාපකයෝ විශ්වාස කළහ. නමුත් එය සිදුවූයේ නැත.

මේ කතාව ආරම්භ වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිහින්තලා රාජමහා විහාරයට 2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පසුගිය ජූලි මාසය දක්වා විදුලි සැපයීම වෙනුවෙන් රුපියල් හතළිස් එක් ලක්ෂ හතළිස් දහස් පන්සිය විසිදෙකයි ශත හතළිහක (4,140,522.40) මුදලක් ගෙවීම විහාරස්ථානය විසින් පැහැර හැර ඇති බව දැන්වීමෙනි. එසේම මෙම විදුලි සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇති ලංකා විදුලිබල මණ්ඩලය පවසා ඇත්තේ මෙම බිල්පත ගෙවීමට අදාලව සහන කාලයක් ද ලබා දුන් බවත්, ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ වගකිවයුතු කිසිවෙකු කිසිදු අවධානයක් යොමු කර නැති බවත්, එබැවින් අඛණ්ඩව ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට මණ්ඩලය විසින් පියවර ගත් බවත් ය.

කෙසේ වෙතත් මෙහි ප‍්‍රධාන චරිතය රඟ දැක්වූ මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියන් මාධ්‍ය සාක ගණනාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් රජයට විවිධ චෝදනා ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. මිහින්තලා පූජා භූමිය කිලෝමීටර් දෙකකට වඩා වැඩි ප‍්‍රමාණයක් පුරා පැතිර ඇති බවත්, මෙම කිලෝමීටර් දෙකක භූමි ප‍්‍රමාණය පුරාම විදුලි බුබුළු දැල්වෙන බව පැවසූහ.

මෙම නාඩගමේ ලොකුම විහිළුව වුයේ විහාරාධිපති හිමියන්ගේ අඳෝනාවයි. උන්වහන්සේ කැමරා ඉදිරියේ පවසා සිටියේ තමන් ඉතා දුෂ්කර දිවිපෙවතක් ගත කරන බවත්, තමන් වහන්සේ දානය උදෙසා පොල්සම්බෝලයක් පවා සකස් කර ගනු ලබන්නේ කටු සෑයට ගහන පොල්වලින් බවයි.

කෙසේ වෙතත් මෙම නාඩගමේ මීළ`ග ප‍්‍රධාන නළුවා රංග භූමියට පිවිසෙන්නේ මින් අනතුරුවය. ඒ නළුවා අන් කවරෙකුවත් නොව විපක්ෂ නායක පුතාණෝය. පුතාණෝ මුළින්ම කළේ නිවේදනයක් නිකුත් කිරිමයි. එම නිවේදනය ම`ගින් පුතාණෝ දන්වා සිටියේ ‌ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයට දැවැන්ත විදුලි බිලක බරක් ආණ්ඩුව විසින් පටවා ඇති බවත්, ඒ හේතුවෙන් විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය හා බැතිමතුන් ද බලවත් පීඩනයට පත්ව ඇති බවත්ය.

අනතුරුව ඊළ`ග ජවනිකාවට පිවිසි විපක්ෂ නායක පුතාණෝ සමගි ජන බලවේගය විසින් ලක්ෂ 41ක් වූ එම විදුලි බිල සම්පූර්ණයෙන්ම ගෙවා දැමූ බවත්, ඒ සඳහා සමගි ජන බලවේගයේ සාමාජිකයින් හා ධානපතීන් විසින් පරිත්‍යාගයක් ලබා දුන් බවත් පවසා නිවේදනයක් නිකුත් කළේය. ඉන් නොනැවතුණු විපක්ෂ නායක පුතාණෝ කැමරා පිරිවරාගෙන මිහින්තලා රාජමහා විහාරස්ථානයට ගොස් තමන් විදුලි බිල් ගෙවූ බව පවසමින් විහාරාධිපති හිමියන් සනසන ආකාරය රටටම පෙන්වීමට කටයුතු කළේය. හැමදාම එකම රංගනය කරන නිසා මේ විහිළුව ලොකු වූයේ නැත. කෙසේ නමුත් මෙම නාඩගම එයින් අවසන් විය. රට කැළඹුණේ නැත. විපක්ෂ නායක පුතාණෝගේ රංගාවතරණය ගැන හෝ විහාරාධිපති හිමියන්ගේ රංග කෞෂල්‍යය ගැන ඉන් පසු කිසිවෙක් කතා නොකළ අතර, සිදුවීම එයින් අවසන් විය.

නාඩගම එසේ අවසන් වූ නමුත් එය අවසන් යැයි හිත හදාගැනීමට අපට නොහැකිව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව, මෙම නාඩගමේ සිදුවීම්වල අවස්ථා සම්බන්ධය සහ විශ්වාසනීයත්වය ගැන අපට යම් යම් සැක හා කුතුහලක් උපදවා ඇති බැවිනි.

එයින් පළමුවැන්න නම් ප‍්‍රධාන චරිතය ර`ග දැක්වූ විහාරාධිපති හිමියන්ගේ රංගනයයි. උන් වහන්සේ පවසා සිටියේ තමන්ට විදුලි බිල් ගෙවීමට තරම් වත්කම් නොමැති බවත්, දානයට පොල්සම්බෝලය පවා සකස් කර ගනු ලබන්නේ කටු සෑයට ගසන පොල්වලින් බවත්ය. රංගනයේදී උන් වහන්සේ එතරම්ම අහේනියකින් පෙළෙන බව ප‍්‍රකාශ කළ ද මිහින්තලා රාජමහා විහාරස්ථානය ම`ගින් සෑම දිනකම එම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගෙන් විදුලි ආලෝක පුජාව වෙනුවෙන් යැයි පවසමින් ආධාර එකතු කරන බව නොරහසක්. මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර තනතුර යටතේ වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ වගකීම යටතේ මුද්‍රණය කර ඇති මෙම එක් ටිකට් පතක වටිනාකම රු.500.00කි.

ගැටළුව ඇත්තේ විහාරස්ථානය විසින් විහාරාධිපති හිමියන්ගේ වගකීම යටතේ මුද්‍රණය කර මෙලෙස ටිකට්පත් අළෙවිය මගින් උපයා ගන්නා මුදල් බැර වන්නේ කොතැනටද යන්නයි. මෙම ටිකට් පතේ මුද්‍රණය කර ඇත්තේ ද ”එසේ හෙයින් මිහින්තලේ විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාත් දිනපතා පවත්වන ආලෝක පූජාව සඳහාත් ඔබගේ නොමසුරු ආධාරය පරිත්‍යාග කර නිවන් සුව පතාගන්නා ලෙස ශාසනාලයෙන් දන්වා සිටිමි” යනුවෙනි. මිහින්තලා පුදබිමට පැමිණෙන බැතිමතුන්ට නිවන් සුව පතා ගන්නා ලෙස දන්වා බැතිමතුන්ගේ සාක්කුවෙන් ඩැහැගන්නා මෙම මුදල් කිසිදු තැනක විගණනය වන බවත් දක්නට නැත.

විහාරස්ථානයේ පිං පෙට්ටිවලට ලැබෙන ආධාර විගණනයට ලක් වන නමුත්, මෙලෙස ටිකට්පත් හරහා උපයන මුදල් කිසිදු තැනක විගණනයට ලක් වී නැත. එය සම්පූර්ණයෙන්ම බැර වන්නේ විහාරාධිපති හිමියන් පමණක් දන්නා ගිණුමකට පමණක් විය යුතුය. සාමාන්‍යයෙන් විහාරස්ථානයක ආධාර මුදල් ලබා ගැනීමේ අරමුණින් ගිණුමක් ආරම්භ වන අතර, ටිකට්පත් ඇතුළු වෙනත් ක‍්‍රම ම`ගින් උපයනු ලබන මුදල් බැරවන්නේ විහාරස්ථ දායක සභාව, විහාර සංවර්ධන කමිටුව වැනි බහු පාර්ශ්වීය පුද්ගලයින්ගේ පොදු ගිණුමක් වෙතය. නමුත් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මෙම ටිකට්පත්වල වගකීම එවැනි බහුපාර්ශ්වීය ගිණුමක් වෙත බැරවන බවක් දක්වා නැත. එහි සෘජු වගකීම දක්වා ඇත්තේ එක් පුද්ගලයෙකු වෙත පමණි. එනම් විහාරාධිපති හා භාරකාර වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ට පමණි.

නාඩගමේ අනෙක් කරුණ නම් විහාරස්ථානයට විදුලිය සැපයීම කරනු ලබන්නේ ආගමික සිද්ධස්ථාන පදනමිනි. එනම් සාමාන්‍ය මහජනතාව වෙත ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා දෙන ඒකක ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් අයකරමින් විහාරස්ථාන වෙත විදුලිය ලබාදීම සිදු කරනු ලබයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් සාමාන්‍ය පිරිවැයට වඩා අඩු මුදලක් යටතේ විහාරස්ථානයට විදුලිය සපයන්නේ ඒ වෙනුවෙන් රජය විසින් යම් පිරිවැයක් දරමිනි. රජය විසින් දරන්නා වු මෙම පිරිවැය වෙනුවෙන් දායකත්වය දක්වන්නේ රටේ ජනාධිපතිවරයා හෝ විදුලිබල අමාත්‍යවරයා හෝ රජයේ නිලධාරීන් හෝ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් නොවේ. එකී පිරිවැය වෙනුවෙන් දායත්වය දරනු ලබන්නේ මෙරට සමස්ත ජනතාවය. සමස්ත ජනතාව රජයට ගෙවනු ලබන බදුවලිනි. ඒ අනුව මිහින්තලා රාජමහා විහාරස්ථානයට පමණක් නොව ලංකාවේ සියලූ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් රටේ මහජනතාව දැන හෝ නොදැන සිය දායකත්වය දක්වා ඇත. විදුලිය වෙනුවෙන් නිවන් පතා හෝ නොපතා සිය දායකත්වය දක්වා අවසන්ය.

මෙසේ රටේ සමස්ත ජනතාව විසින් විහාරස්ථානයේ විදුලිය වෙනුවෙන් සිය දායකත්වය දරා තිබියදී විහාරාධිපති හිමියන් විසින් බැතිමතුන් නාමයෙන් විහාරස්ථානයට පැමිණෙන රටේ පුරවැසියන්ගෙන් නැවත වරක් ටිකට්පත් අළෙවි කොට විදුලිය වෙනුවෙන් ආධාර එකතු කරමින් සිටී. බැතිමතුන් නිවන් සුව පතා හෝ විහාරස්ථානයට ආධාර කිරීමේ සද්චේතනාවෙන් කොපමණ මුදලක් පූජා කළ ද අපට එයින් වගක් නැත. නමුත් අපට ඇති ගැටළුව වන්නේ රටේ ජනතාවගෙන් නැවත නැවතත් මුදල් ගරමින් එම මුදල් ආලෝක පූජාවේ නාමයෙන් භාවිත කරන විදුලිය වෙනුවෙන් ගෙවීම් නොකිරීමයි.

අනෙක් ගැටළුව වන්නේ එසේ ගසා කනු ලබන මුදල් පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් හෝ වෙනයම් කරුණක් වෙනුවෙන් හෝ ස`ගවා තබා ගනිමින් විදුලිබල මණ්ඩලයට අය විය යුතු මුදල් නොගෙවා විදුලිය විසන්ධි කළ පසු නාඩගම් නැටීමයි. එමෙන්ම සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විපක්ෂ නායක පුතාණෝ වැනි දේශපාලනඥයින්ට රංග භූමිය සකස් කර දීමට කටයුතු කිරීමයි.

සිය රංගන කුසලතාවට ඔප් නංවා ගැනීම වෙනුවෙන් විහාරාධිපති හිමියන්ට තමන් කැමති ලෙස නාඩගම්හි රංගනයේ නියැලීම අපට ගැටළුවක් නැත. එය රටේ සුවහසක් බෞද්ධයින් විසින් තෝරා බේරා ගත යුතු ගනුදෙනුවකි. එම ගනුදෙනුව අපට අදාළ නැත. නමුත් අපට අදාලවන ගනුදෙනුවක් විහාරාධිපති හිමියන්ගේ මෙම රංගනය තුළ අඩංගුව ඇත. එනම් අප මුළින් සඳහන් කළ පරිදි රටේ ජනතාවගේ බදු මුදල් වැය කරමින් ආගමික සිද්ධස්ථානයක නාමයෙන් අඩු මුදලකට ලබා ගන්නා විදුලිය වෙනුවෙන් නැවත වරක් ටිකට්පත් මුද්‍රණය කර ඒවා ලබා දෙමින් උපයා ගන්නා මුදල් වැය නොකොට රජය විසින් මේ සිද්ධස්ථානය නඩත්තු කළ යුතුය යන පදනමින් දේශපාලනයේ නියැලීමයි.

රජය විසින් බෞද්ධ ආගමට ප‍්‍රමුඛස්ථානය දිය යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සටහන්ව ඇත. එහි තේරුම් රාජ්‍ය ආදායම් මේ වෙනුවෙන් වැයකිරීම ප‍්‍රමුඛ විය යුතු බව නොවේ. නමුත් රජය විසින් මෙම විහාරස්ථාන වෙත  ඕනැවටත් වඩා පහසුකම් සලසා ඇත. එය විහාරාධිපති හිමියන් ම`ග හරින ඇත්තකි.

මේ වන විටත් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ සිදුකරමින් පවතින ප‍්‍රතිසංස්කරණ කටයුතු, නඩත්තු කටයුතු හා නව ඉදිකිරීමේ වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් අති විශාල ප‍්‍රමාණයක් වෙන් කර ඇත. ඔවුන් වෙනුවෙන් මාසික වේතනයක් ඇතුළු අනෙකුත් සියලූ පහසුකම් සලසා ඇත්තේ රජය විසිනි. එසේම විහාරස්ථානයේ විවිධ කාර්යයන් වෙනුවෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, විවිධ දෙපාර්තමේන්තු, දිස්ත‍්‍රික් / ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආදිය හරහා රජය ප‍්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. මේ සියලූ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇත්තේ පොදු මහජනතාවගෙන් රජය අයකරගන්නා බදු මුදල්ය. එනම් රාජ්‍ය ආදායම් කොටසකි.

එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති පෙන්වා ෂයිලොක් පන්නයෙන් විහාරධිපති හිමියන්ට මස් රාත්තලම ඉල්ලා සිටීමේ අයිතියක් ඇත්තේ නැති බව අවධාරණය කළ යුතුය. රජය විසින් දරණ වගවීම එලෙස ඉටු කරමින් ඇත. එහි මදිපාඩුව හෝ අතිරික්තයක් නිවන් සුව පතා බැතිමතුන් විසින් පූර්ණ කරමින් ඇත. මේ අනුව තව දුරටත් විහාරාධිපති හිමියන්ට අමුතු නාඩගමක් නැටීමේ වුවමණාවක් තිබීමේ හේතුව මේ කතාංගය අනුව පැහැදිලි වන්නේ අමු තක්කඩිකමක් ලෙසය.

රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *