නිෂ්පාදන ආර්ථික මිත්‍යාවෙන් ඔබ්බට

“‍දේශීය කෘෂි කර්මාන්තය පදනම් කරගත්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම”‍ යන්න අපේ රටේ මිනිසුන්ගේ අනාගත බලාපොරොත්තුව බවට පත් කරමින්,’දේශපාලන වේදිකා මත දශක ගණනාවක් පුරා ජප කරන ලද යාතිකාවක් විය. එය අදටත් එසේම ය. නමුත් මේ වන තෙක් නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වන නෛතික හෝ පාරිසරික මෙන්ම සමාජ මතවාදීමය සූදානමක් නිර්මාණය කිරීමට පැවැති කිසිදු රජයකට නොහැකි විය. එය එසේ වූයේ ඇයි ද යන්න මනා අවබෝධයකින් යුතුව විමසා බැලිය යුතුව තිබේ.

නිෂ්පාදන ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් යනු ඉහළ ගුණත්වයෙන් යුතු නිෂ්පාදනයන් තරගකාරී වෙළඳපොළ ඉල්ලු‍මට සරිලන පරිදි සැපයුම් කිරීම හරහා සමස්ත ආර්ථිකයේ වැඩි දායකත්වයක් එමඟින් ආවරණය කරගනු ලබන ආර්ථික ක්‍රියාවලියකි. ඒ සඳහා භූමිය,’ශ්‍රමය,’ප්‍රාග්ධනය සහ ව්‍යවසාය යන සාධක මනා සංකලනයකින් යුතුව ආර්ථික ක්‍රියාවලියට යොදාගත යුතුය.

නිෂ්පාදන ආර්ථිකයන් ප්‍රධාන වශයෙන් කර්මාන්ත හා කෘෂිකර්ම නිෂ්පාදන මත පදනම් වේ. සේවා ආර්ථිකයක් යනුද යනුද නිශ්පාදන ආර්ථිකයේම කොටසකි. නමුත් නිශ්පාදන ආර්ථිකය යන්නේ තේරුම් ගෙන තිබෙන්නෙ භණ්ඩ නිශ්පාදනය ගැන පමණය. මේඩ් ඉන් ශ්‍රි ලංකා ලේබලය සහිත භාණ්ඩ නිශ්පාදනය උත්කර්ශයට නැන්වෙන්නේත් ඒ නිසාය.

ලංකාවේ ආර්ථික ක්‍රමය

1948 දී නිදහස ලැබෙන සමයේ මෙරට පැවතියේ සහල්, කරවල, කිරිපිටි ආදී’අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කූපන් ක්‍රමයට ලබාදෙන සුබසාධන ආර්ථික රටාවකි. එතැන් සිට 1977 දක්වා කාලය පුරා ක්‍රියාත්මක වූයේ, සුබසාධන ආර්ථික ක්‍රමවේදය සහිත දේශීය ආර්ථිකයක් ගොඩනඟා ගැනීමේ උත්සාහකි. එය “සිරිලක දේ සිරි සැප දේ” වැනි සංකල්ප මත ගොඩනැගුණු ආවෘත ආර්ථික ප්‍රතිපත්තියකි. රටට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කර පරිභෝජනය කිරීමේ ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කිරීම එකී’උත්සාහයයි.

ලාභ ඉපැයීමේ අරමුණකින් තොර සරල ක්‍රමයන් සහිත මෙම සමස්ත ආර්ථිකය තුළ සියලු‍ දෙනාට සාධාරණත්වය, සමානාත්මතාව සහ සම්පත් බෙදී යෑමේ විෂමතාවය අවම කෙරෙන ආකාරයේ සැලසුම් ක්‍රියාත්මක වුවද එකී අරමුණ ඉටුකර ගැනීමට පැවැති කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නොලැබිණි. මෙසේ පැවැති ආර්ථික ක්‍රමවේදයන් සහමුලින්ම වෙනසකට ලක්කරමින් 1977 බලයට පත් වූ’ජේ.ආර්. ජයවර්ධන විසින් විවෘත ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වා දෙමින් ඊට අනුව ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය,’නිදහස් වෙළඳපොළ ක්‍රමය මේ රට තුළ නියමාකාරයෙන් ක්‍රියාත්මකවීමට අවස්ථාව නොලැබිණි. ඊට විවෘත ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරේ නිසි නියාමනයක් සිදු නොවීමත්, දේශීයව පැවැති සමාජ මතවාද සහ විකල්ප දේශපාලන බල උවමනාවන්ගේ මැදිහත්වීම්, විරෝධතා ප්‍රධාන වශයෙන් බලපෑ බව පෙනී යයි. ඒ නිසාම නිදහස් වෙළඳපොළ’ආර්ථික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන රටක් වුවද ශ්‍රී’ලංකාවට නිෂ්පාදන ආර්ථික ක්‍රමවේදයක් මෙතෙක් ගොඩනගා ගැනීමට නොහැකි වී තිබේ. තවද අපේ රටේ ආර්ථිකය සංවර්ධනය විය යුත්තේ,’කෘෂිකර්මාන්තය ආශ්‍රයෙන් යැයි විශ්වාස කරන්නෝ ද කර්මාන්ත ගොඩ නැගීමෙන් යැයි කියන්නෝ ද බොහෝ විට ඊට බාධා කරන්නෝද වෙති.

ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයේ සීමා

අදටත් ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය ගත්විට පොදුවේ දැකිය හැකි ප්‍රධානම ලක්ෂණ’වනුයේ,’ඉතා නොදියුණු හා අවම තාක්ෂණයක් සහිත වෙළඳපොළ’ තරගකාරීත්වයට සරිලන ගුණත්වයෙන් තොර නිෂ්පාදනයන්ගෙන් යුත්ත බවය. එවැනි නිෂ්පාදන හරහා රටේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කළ නොහැකිය.

අප මෙතෙක් කාලයක් සිදු කළේ බොහෝ විට සැපයුම පිළිබඳව පමණක් කල්පනා කොට නිෂ්පාදනයන් සිදු කිරීමය. එවිට අපේ නිෂ්පාදන මිලදී ගැනීමට වෙළඳපොළ සූදානමින් සිටිනවා යැයි උපකල්පනය කළ ද එය එසේ නොවන බවට අපගේ අතීත අත්දැකීම් බොහොමයක් ඇත. උදාහරණයක් ලෙස අදටත් බොහෝ අය කතාබහ කරන කැළණි ටයර්වලට අත්වූ ඉරණම පෙන්වා දිය හැකිය. ඒ නිසා ගෝලීය ආර්ථික රටාව හමුවේ අප නිෂ්පාදනයන් සිදු කළ’යුත්තේ අපගේ වුවමනාවන් අනුව නොව වෙළඳපොළ’ඉල්ලු‍මට අනුවය. නැතහොත් එවැනි නිෂ්පාදන රට තුළ’ගබඩා කර හෝ විනාශ කොට දැමීමට සිදුවනු ඇත. ඒ නිසා අපගේ හැකියාව අනුව කිසියම් නිෂ්පාදනයක් සිදුකර එය වෙළඳපොළට යැවීමෙන් ඵලක් නොවේ. එය සහල්,’අල,’බතල,’බඩ ඉරිඟු‍ හෝ වෙනත් ඕනෑම නිෂ්පාදනයකට අදාළය. එසේම රටකට මිනිස් පරිභෝජනයට අවැසි සියල්ල නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ද කිසිදු රටකට නැත. ඒ නිසා වඩාත් ලාභදායී’ඉහළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදනයන් කෙරේ අවධානය යොමු කළ’යුතුය. එසේම එය ලෝකයත් සමග තරඟ කළ හැකි නිෂ්පාදනයක් ද විය යුතුය.

ලෝකයේ කිසිදු රටක් එසේ ලෝක වෙළඳපොළ’ඉල්ලු‍මට හෝ තරගකාරීත්වයට අනුව සැපයුම් කළ නොහැකි කිසිදු භාණ්ඩ නිෂ්පාදනයකට යොමුවීමක් හෝ පිරිවැය දැරීමක් සිදු නොකරයි. එසේ කිසියම් රටක් සිදුකරන්නේ නම්,’ඒ රට තුළ පවතින දේශපාලන ඕනෑ එපාකම් අනුවය. උදාහරණයක් ලෙස ගොවියන්ගේ ඡන්දය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ගේ සිත් සතුටු කිරීම පිණිස ගුණත්වයෙන් හීන වුවද ඇතැම් කෘෂි නිෂ්පාදන සඳහා අධික පිරිවැය දැරීම පෙන්වා දිය හැකිය.

මේ අනුව නිෂ්පාදන ආර්ථිකයක් කෙරේ යොමු වන්නේ නම් මූලිකව හා ප්‍රධාන කරුණු දෙකක් කෙරේ අවධානය යොමු විය යුතුය. එනම් ඉල්ලු‍ම කවරාකාර ද යන්න සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු තත්වයෙන් උසස් නිෂ්පාදනයක් සිදුකිරීමේ හැකියාව ඇත්ද යන්නයි. උදාහරණයක් ලෙස ජංගම දුරකතන ගත් විට ඉහළ පිරිවැයක් දරමින්,’ඉහළ’තාක්ෂණික ඥානය මෙන්ම යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් සම තත්වයේ නිමි දුරකතන නිෂ්පාදනය කළ යුතුය.

අපේ රටට අදාළව ගත් විට,’නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධයෙන් කතාබහ කරන බොහෝ අයගේ ආකල්පය වනුයේ,’අපේ රටට භෞතික සම්පත් ඇති බවය, මිනිස් ශ්‍රමය ඇති බවය. නමුත් ඔවුන් කිසිවකු කතා නොකරන කාරණය වන්නේ,’මෙකී භෞතික සම්පත් හෝ මිනිස් ශ්‍රමයේ සීමාවන් මොනවාද යන්නයි. උදාහරණයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදනය ගත් විට,’එය අදටත් පැරණි සාම්ප්‍රදායික කෘෂි මෙවලම් සහ අවම තාක්ෂණික යන්ත්‍ර යොදා ගනිමින් සිදු කරනු ලබන්නකි. මහා පරිමාණ නිෂ්පාදනයක් සඳහා සුදුසු විශාල භූමි ප්‍රදේශයන් නොමැතිවීම,’ඉහළ’තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර යොදවා ගැනීම සඳහා අවශ්‍ය පිරිවැය නොමැතිවීම,’කුඹුරු ඉඩම්වල කිසියම් ඉදිකිරීමක් සිදුකිරීමට පවතින නීතිමය බාධාවන් ද මෙහිදී හඳුනාගත හැකිය.

අනෙක් අතට විදේශීය අයෝජකයකු කිසියම් නිෂ්පාදන කර්මාන්තයක් මෙරටට ගෙන එන්නේ නම්,’ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුව ඇත. නමුත් ලංකාවේ කිසිදු භූමියක් ආයෝජකයන්ට සුදුසු පරිදි නිමවා ගැනීමට බාධා කිරීම, විදෙස් ශ්‍රමිකයන් ගෙන්වීමට බාධා කරනවා මිස මෙරට’විශේෂඥ දැනුමින් යුතු ශ්‍රමිකයන්ගේ හිඟකම පිළිනොගැනීම ද නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම අවහිර කළ’බාධාවන් වේ.

මහා පරිමාණ දේශීය අයෝජකයන්ගේ හිඟකම විසින් විදේශීය අයෝජකයන් කැඳවා ගැනීමේ වුවමනාව නිර්මාණය කර තිබේ. එහෙත් ඒ සෑම අවස්ථාවකම විදේශ අයෝජකයන් සම්බන්ධයෙන් සමාජ භීතිකාවක් නිර්මාණය කිරීමට “‍සිරිලක දේ සිරිසැප දේ”‍ පරම්පරාව විසින් කටයුතු කරනු දැකිය හැකිය. එය එසේ නොවන්නට ලංකාවේ නිෂ්පාද ආර්ථිකය සම්බන්ධයෙන් වන පිරිවැය හිඟකමට පිලියමක් ඉන් සැපයෙනු ඇත.

එසේම විරුද්ධ වන්නන් කුමන තර්ක ඉදිරිපත් කළ ද ලංකාවේ ඒ ඒ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුම් (විශේෂ’ප්‍රාගුණ්‍යය) සහිත පුද්ගලයන්ගේ හිඟතාවයක් ඇති බව පිළිගත යුතුව ඇත. එසේම එවැනි වටපිටාවක රටේ උන්නතිය වෙනුවෙන් විදෙස් ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගැනීමට බාධා නොකර සිටීම ද කළ යුතුය. උදාහරණයක් ලෙස ඇපරල් ආයතනය විසින් බංගලාදේශයේ කර්මාන්ත ආරම්භ කරද්දී ඒ සඳහා පළපුරුදු සේවකයන් ලෙස කැඳවාගෙන තිබුණේ ශ්‍රී ලාංකිකයන්ය. නමුත් ලංකාවේ මෙන් ඒ රටෙත් විදෙස් ශ්‍රමිකයන් කැඳවීමට බාධා කිරීම් සිදුකර තිබුණේ නම් අද බංගලාදේශයේ පිහිටුවා ඇති ඇපරල් නිෂ්පාදන ආයතන වෙනත් රටකට ගෙනයන්නට ඉඩ තිබුණි.

එපමණක් නොව අද දේශපාලන වේදිකා මත කියවන ආකාරයට අපේ රටේ අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය හැකිද යන්න මෙහිදී සැලකිය යුතුය. අපිට ඉල්මනයිට් තියෙනවා,’පිඟන් මැටි තියෙනවා, මැණික් තියෙනවා,’අරවා තියෙනවා,’මේවා තියෙනවා. ඒවා යොදාගෙන රටේ ආර්ථිකය ගොඩගන්නවා කියන අයවලු‍න් නොකියන ඇත්තක් මෙහි ඇති බව වටහා ගත යුතුය. උදාහරණයක් ලෙස පිඟන් මැටි භාවිතයෙන් පිඟන් නිෂ්පාදනය කරනවා යැයි සලකමු. එකී නිෂ්පාදනයේ පිරිවැය සැලකීමේ දී මැටි සඳහා වැයවන්නේ 2%ක් තරම් සුළු ප්‍රමාණයකි. ඉතිරි 98%ම ඩිසයින් හා ආලේපන සහ බලශක්තිය ආදී’අනෙකත් කාර්යයන් සඳහා වැයවනු දැකිය හැකිය. එසේම මේ සඳහා යොදාගන්නා ආලේපන වර්ග විදේශ වෙළඳපොල මගින් ගෙන්වා ගැනීමට ද සිදුවනු ඇත.

මේ සියලු‍ කරුණු සැලකීමේ දී පැහැදිලි වනුයේ, ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට යෝජනා කරන බොහෝ දෙනා සැඟවූ අවබෝධයකින් හෝ පැහැදිලි අනවබෝධයකින් දේශපාලන වුවමනාවන් මත කටයුතු කරන බවය.

එපමණක් නොව අද ලංකවේ කිසියම් කාර්මික භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්නේ නම් එය චීන වෙළඳපොල සමග තරඟ කළ හැකි විය යුතුය. මන්ද මහා පරිමාණ නිෂ්පාදන ආර්ථිකයට චීනය යොමුවී ගෝලීය වෙළඳපොළේ වැඩි ප්‍රමාණයකට වගකියන බැවින්’අද ලෝකයේ කර්මාන්ත ආයතනය බවට චීනය පත්ව ඇති බැවිනි. ඒ නිසාම චීන නිෂ්පාදන හැකියාව,’ශක්තිය ඉදිරියේ ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සහිත රටක් භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයක් කෙරේ යොමු වන්නේ නම්,’ඒ විශේෂ ඉල්ලීම් සහිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොමු විය යුතුය. එය ද ලෝක නිෂ්පාදන දාම තුළ කටයුතු කිරීමෙනි.

ආර්ථික ප්‍රවේශය

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් යන්නෙන් ඉතිහාසයක් පුරා සමාජය මත නිමවා ඇති මතවාදය යට සැඟවුණු කරුණු බොහොමයක් ඇති බව පැහැදිලිය. රට සංවර්ධනයේ මාවතකට යොමු කිරීම අපේක්ෂාව නම් තවදුරටත් එකී මිත්‍යා මතවාදයේ නොගිලී ඇත්ත පිළිගෙන ඉදිරියට යා යුතුය. ඒ වෙනුවෙන් ආයෝජන,’ව්‍යවසාය හෝ කර්මාන්ත පිළිබඳව සම්ප්‍රදායික සමාජ ආකල්ප වෙනස් කරගත යුතුය,’නියාමන හෝ වෙනත් නීතිමය බාධාවන් ඉවත් කළ යුතුය. එසේ නොවන්නට අනාගතයේ ද නිෂ්පාදන ආර්ථිකයක් යන්න හිස් ප්‍රලාපයක් මිස කිසිදා සැබෑ නොවන මිත්‍යාවක්ම වනු නිසැකය.

– නවන් පතිරත්න