ප්‍රොපගැන්ඩා මාෆියාවක්

0

ලංකාවට 2023 දුෂ්කර වසරක් වෙනු ඇති බව රනිල් වික්‍රමසිංහ පැවසූවේ මීට වසරකට පෙරය. ජනාධිපති ධුරය භාර ගැනීමට පෙර සතියේ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකට දුන් සම්මුඛ සාක්ච්ඡා කිහිපයකදීම ඔහු මේ ඇත්ත පැවැසීමට එඩිතර වී තිබිණි. නමුත් මෙහිදී ඔහු අවධාරණය කළේ එම දුෂ්කරතාවය විඳ දරා ගතහොත් 2024 යළි ආර්ථිකය ප්‍රකෘර්තිමත් වීම ඇරඹෙන බවය. එසේ කීවේ බංකොලොත් වූ රට යළි ගොඩගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල ගැන විශ්වාසය ඇතිවය.

එහෙත් මේ වන විට එම විඳ දරා ගැනීම පහව ගොස් ජනතාවට යළි ජීවිතය විඳීමට හැකි වපසරියකට රට ගෙන ඒමට ජනාධිපතිවරයා සමත්ව තිබේ. ඒ අනුව 2024 ගැන අපේක්ෂා වෙලාසනම සපල වෙමින් තිබේ යැයි කිව හැකිය.
ඒ කොහොම නමුත් තවමත් දුෂ්කර අවධිය පසුකර අවසන් නැත. රට වැල් පාලමෙන් තවම එතෙර වූයේ නැත. තවදුරටත් අභියෝගකාරී පියවර කිහිපයක් යෑමට ඉතුරුව තිබේ. මේ පියවර කිහිපය යෑමට බාධා කරන සතුරු කුමන්ත්‍රණ එල්ල වෙමින් තිබීම මොහොතේ විසඳාගැනීමට ඇති ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබේ.

විශේෂයෙන්ම මේ දිනවලදී විපක්ෂ කණ්ඩායම් වෙතින් ව්‍යාජ අර්බුද මවමින් එල්ල කරන පීඩනය රටේ ඉදිරි ගමනට බාධාවක්ව පවතී. ඕනෑම රටක්, ජන සමාජයක් එක තැන පල් වෙමින් නොසෙල්වී තිබෙන්නේ නැත. හැල හැප්පිලි සමඟ ඉදිරියට ගමන් කරයි. එහිදී ඇතිවන ගැටළු විසඳා ගැනීම දේශපාලනයේ පදනමය. ඒ දේශපාලනය කියන්නේම අර්බුද මැවීම සහ අර්බුද විසඳා ගැනීමේ ගේම් එකකි. ඒ නිසා අර්බුද මැවීම විශේෂ තත්වයක් නොවේ. එහෙත් අද රට මුහුණ දී තිබෙන දුෂ්කර අවස්ථාව යනු එහෙම සෙල්ලම් කළ හැකි තත්වයක් නොවේ. අතිශය සංවේදී විය යුතු, සුක්ෂම විය යුතු සහ වඩාත් ඉවසිලිවන්තව නිවැරදිව ඉදිරියට පියවර කිහිපයක් තැබීම විය යුතු වීම අනිවාර්ය වී ඇති මොහොතකි.

එහෙත් රජයට එරෙහි පිරිස් කුමන්ත්‍රණය කරමින් තිබෙන්නේ ඒ ගැන වගේ වගක් නොමැතිවය. සමාජය මුහුණ දෙන හුදකළා සිදුවීම් මහා ජාතික අර්බුදයක් කරමින් ගෙන යන තක්කඩි මාධ්‍ය මෙහෙයුම් මේ දිනවල සුලබය. ඇතැම් මාධ්‍ය ආයතන සහ විපක්ෂ කොටස් මෙම ප්‍රචාරණයට හවුල් ව සිටී. මේ වන විටත් සෞඛ්‍ය ක්ෂෙත්‍රය, මාර්ග අනතුරු, සේවක අර්ථ සාධක අරමුදල වැනි දේ ඈඳා ගනිමින් භයංකර බිල්ලන් මවමින් විශාල ප්‍රචාරක මෙහෙයුමක් සිදුවෙමින් පවතී.
මේ තත්වය වෙනම පාතාල දේශපාලන මාධ්‍ය මෙහයුමක් ලෙස හැඳින්විය හැකිය. එය ප්‍රොපගැන්ඩා මා‌ෆියාවකි. පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය ආයතන පුද්ගලයන් අතට මුදල් ලබා දී රජයට එරෙහිව ව්‍යාජ ප්‍රකාශ ලබාගෙන විකාශනය කරන බව හෙළිදරව් විය. එසේම සිය ප්‍රාදේශිය වාර්තාකරුවන්ට අඛණ්ඩව මෙවැනි ව්‍යාජ පුවත් වාර්තා නිර්මාණය කර ලබා දීමට බල කර තිබිණි. ප්‍රමාණාත්මක ඉලක්ක ලබා දී ඒ අනුව ගෙවීම් සිදු කරනු ලැබ තිබිණි. එසේම ඇතැම් පාර්ශ්ව බිය ගන්වා රජයට එරෙහිව යොදා ගන්නා තැනට මේ මාෆියාව බලවත්ව තිබිණි.

පසුගිය ගෝඨා පාලනය මේ මා‍ෆියාව හමුවේ අසරණව, ඊට දණ නැමීම එම පාලනය අවසන් වීමේ මුල් අදියර ලෙස හැඳින්වීම වැරදි නැත. මන්ද එය එසේ සිදුවූ බැවිනි. මේ මා‌ෆියාව හමුවේ දණ නමන තත්වයකට රජය පත් වුවහොත් එහි ඉදිරි ප්‍රහාරයන් ක්‍රියාත්මක වන්නේ හතර හන්දි කඩා දමමින්, ඉන්න හිටින තැනුත් නැති කරමින් බව ගෝඨා පාලනයට සිදුවූ දේ අනුව පැහැදිලිය. මෙම ප්‍රචාරක මා‍ෆියාව හමුවේ දණ නොනැමීමට නම් ඇත්ත ප්‍රශ්නයට ඇත්ත විසඳුම් දිය යුතුය. බොරුව, ඒ අනුව අවසන් කළ යුතුය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටින්නේ මේ ඇත්ත ප්‍රශ්නයට ඇත්ත විසඳුම් දෙමින් ඉදිරියට යමිනි. ඒ නිසා මේ ව්‍යාජ ප්‍රචාරක මෙහෙයුම්වලට ඔහු යටත්ව නැත. නමුත් ඉදිරියටත් එය එසේ විය යුතුය. මන්ද රට හමුවේ තිබෙන ව්‍යාකූල, දුෂ්කර තත්වයන් හමුවේ එය විසඳීමට අනෙක් සියල්ල යටපත් කිරීම විය යුතු නිසාය. මේ මොහොතේ වැල්පාලමෙන් එගොඩවීම වඩාත් තීරණාත්මක වනු ඇත්තේත්, මේ ප්‍රොපගැන්ඩා මා‌ෆියාව පාරාජය කිරීමත් විය යුතු බැවිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *