සමාජවාදී පාලනයක් – ධනවාදී ජීවිතයක්

0

ලංකාව බංකොලොත්භාවයට පත් වීමට වගකිව යුත්තේ කවුරුන්ද? යන්න විමසා බැලීම සඳහා පාර්ලිමේන්තු අනුකමිටුවක් පත්කර ඇත. මේ අනු කමිටුවේ සාමාජිකයන්ගේ පැටිකිරිය දෙස බලා බොහෝ දෙනෙක්, ඔවුන් විසින් සකස් කිරීමට නියමිත වාර්තාව කුමක් විය හැකි දැයි දැනටමත් උපකල්පනය කර අවසන්ය. එම කමිටුවේ වාර්තාව කුමක් විය හැකි දැයි උපකල්පනය කිරීමට අපට උද්‍යෝගයක් ඇත්තේ, කුමන විද්‍යාත්මක පදනමකින් එවැනි කමිටුවල සංයුතිය වෙනස් කළ ද වාර්තාවේ අන්තර්ගතයට විශාල බලපෑමක් විය නොහැකි බැවිනි. මීට පෙර මෙවැනි සංවාදයක් ඇති වූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ,

“වැරදිකාරයා කවුද කියලා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ආපස්සට ගියහම අපිට නවතින්න වෙන්නෙ විජය කුමාරයගෙන්. ඒ නිසා වරද කාගේද හොයනවට වඩා දැන් නිවැරදි වෙන්නේ කොහොමද කියල හිතමු” යනුවෙනි.
නිවැරදි වීම පිළිබඳව ද උපදෙස් දෙන්නන්ගෙන් අඩුවක් නැත. මේ උපදෙස් දෙන්නන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍යවල අකුරු කොටන මැද පාන්තිකයන් ය. ඔවුන් මේ දිනවල දේශපාලනඥයන් ද ආගමික නායකයන් ද නිලධාරීන් ද ලෙස සියලු‍ බල ව්‍යුහයන් පතුරු ගසයි. ඒ විවේචනවල කිසිදු අසාධාරණයක් නැත. ඒ රට අද පවතින තත්වයට ඒ සියල්ලන්ම වගකිවයුතු බැවිනි. එහෙත් මේ එකම විවේචනය සෝද සෝදා මඩේ දාන ඔවුන් තමන් පිළිබඳව කිසිදා ස්වයං විවේචනයක් කරන්නේ නැත.

පසුගිය දශක කිහිපය තුළ පත් වූ සියලු‍ ආණ්ඩු හැකි සෑම විටම රාජ්‍ය සේවයට අලු‍තෙන් පිරිස බඳවා ගන්නා ලදි. එසේම විටින් විට වැටුප් දීමනා වරප්‍රසාද වැඩි කරන ලදී. මේ තත්වය තුළ රජය මඟින් නඩත්තු කරන විශාල මැද පංතියක් රට තුළ නිර්මාණය විය. මෙම මැද පන්තිය, අවශ්‍යතාවයන් සඳහා මෙන්ම තම පන්තිය ඉහළට ඔසවා පෙන්වීම වෙනුවෙන් ද විලාසිතාවක් ලෙස ද අධිපරිභෝජනය කරන්නන් ය.

රජය විසින් නඩත්තු කරන මෙම මැද පන්තියේ සිහිනයන් වන්නේ හැකි තරම් විශාල නිවසක්, රෝද හතරක වාහනයක්, දරුවන්ට විදේශ අධ්‍යාපනය වැනි ඩොලර් ගිලින සිහිනයන් ය. පසුගිය දශක කිහිපය තුළ වැඩි වූ රාජ්‍ය සේවක සහ අර්ධ රාජ්‍ය සේවක වැටුප් නිසා මොවුන් බොහෝ දෙනෙක් කුඩා කාර් එකක්වත් මිලදී ගැනීමට සමත් විය. පසුගිය කාලයේ විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටතට ගලා යාමට මැද පන්තියේ මෙම රථගාය හේතු විය. එසේම උදේ හවස නිවසේ සිට ප්‍රධාන නගරවලට ඇදෙන මෙම රථ පෙළ විසින් පරිභෝජනය කරන පෙට්‍රල් සහ ඩීසල් වෙනුවෙන් වැය වන්නේ ද ඩොලර්ය.
ජීවිතය පවත්වාගෙන යාමේ පහසුවට මෙන්ම එය ඉක්මවා යන විලාසිතාවක් ලෙස ද බොහෝ විදුලි මෙවලම් සහ උපාංග භාවිතා කරන මේ සමාජ තීරුව රටේ විදුලිබල පරිභෝජනයෙන්ද විශාල පංගුවක් භාවිතා කරනු ලබයි. ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයටද වැය වන්නේ ඩොලර් ය. ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධාන සිහිනයක් වන විදේශ අධ්‍යාපනය සඳහා දරුවන් යැවීමට වැය වන්නේද ඩොලර් ය.

ජීවිතය සුවපහසු කරගැනීමට සහ උසස් කරගැනීමට එසේ පරිභෝජනය වැඩි කර ගැනීමේ වරදක් නැත. වරද ඇත්තේ ඔවුන්ගේ අධිපරිභෝජනයට වැය කරන ඩොලර් ප්‍රමාණය ඉපයීමට ඔවුන්ගේ දායකත්වයක් නොමැති වීමය. ඔවුන් වෙනුවෙන් ඩොලර් ඉපයීම රජය විසින් කළ යුතු බව ඔවුන් අවිඥානිකව විශ්වාස කරයි. ඒ නිසාම ඔවුන්ගේ සුවපහසු ජීවිතය බිඳක් හෝ සෙළවුන විට ඔවුන් කුපිත වී රජයට එරෙහිව විරෝධතා අවි අමෝරා පෙරට එති. ඔවුන්ගේ මෙම මානසිකත්වය හොඳින් දන්නා දේශපාලන කණ්ඩායම් කිහිපයක් ඇත. ඔවුන් හැමවිටම මෙම මැද පාන්තික මනෝභාවයට ගැළපෙන සටන් පාඨ තෝරා ගනිමින් ඔවුන්ගේ එම මානසිකත්වයෙන් සිය දේශපාලනය පවත්වාගෙන යයි. ඒ නිසාම ඔවුන් මෙම මැද පන්තියේ මනෝභාවය වෙනස් කිරීමට හෝ එම මැද පන්තියේ අවශ්‍යතා ඉටු කළ හැකි පරිදි ආර්ථිකය වෙනස් කිරීමට ද ඉඩකඩ ලබා නොදේ.

“රෝද හතරේ සිහිනය” හුදු මැද පන්තියේ විලාසිතාවක් පමණක් නොව පොදු ප්‍රවාහනයේ සුවපහසුව පිළිබඳව ද ඇති අඩුපාඩු විසින්ද ඇති කරන ඇති කරන තත්ත්වයකි. එයට විකල්ප ලෙස ඛඍඔ වැනි ව්‍යාපෘති යෝජනා වන විට මෙම මැද පාන්තික ස්ථරයේ දේශපාලන මතය හැසිර වීමෙන් වාසි ලබාගන්නා දේශපාලන කණ්ඩායම් ඒවාට එරෙහි වෙයි. ඒවා කඩාකප්පල් කරයි. එදා වියත්මග කළේ ද අද ජවිපෙ කරන්නේද එයයි.

විදේශ අධ්‍යාපනය වෙනුවෙන් රටින් ගලාගෙන යන විශාල ඩොලර් ප්‍රමාණය නවත්වා ගැනීමටත්, කලාපීය රටවලින් ශිෂ්‍යයන් මෙරටට ඇද ගනිමින් ඩොලර් ඉපයීමට විදේශ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට ඉඩදිය යුතු යැයි රජය යෝජනා කරන විට “නිදහස් අධ්‍යාපනය රැක ගනිමු” යි කියමින් සටන් පාඨ තාප්ප පුරා අඳිමින් පාරට එන්නේ ද මෙම කුහක දේශපාලන ධාරාව ය.

ඔවුන්ගේ එම සුපුරුදු දේශපාලන ලණුව කන මැද පන්තිකයන්ද විදේශ විශ්වවිද්‍යාල පිහිටුවීමේ වැඩසටහනට දශක ගණනාවක් තිස්සේ විරෝධය දක්වමින් සිටී. එහෙත් ඔවුන්ගේ සිහිනය කෙසේ හෝ තම දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබාදීමට ඩොලර් සොයා ගැනීමය. නමුත් ඒ ඩොලර් ඉපයීමට දායක වෙමින් නොවේ.

ඒ තත්වයන් එසේ සිදුවන විට රටට ඩොලර් ඉපයීම සිදුකරන්නේ අඩුවෙන්ම ඩොලර් පරිභෝජනය කරන සමාජ ස්ථරයන්ය. මෙරට ප්‍රධාන තම ඩොලර් ප්‍රභවය වන විදේශ ප්‍රේෂණ උත්පාදනය කරන්නේ මැද පෙරදිග ප්‍රමුඛව රැකියා කරන මෙරට විදේශ ශ්‍රමිකයන්ය. මේ දිනවල ජවිපෙ මතවාදය වෙනුවෙන් ප්‍රබලම ලෙස පෙනී සිටින යුරෝපය සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවල ජීවත් වන ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඩොලර් ඉපයුව ද ඔවුන් පෙරලා රටට ඩොලර් එවන්නේ මැද පෙරදිග සහ කොරියාව වැනි රටවල ශ්‍රමිකයන්ට සාපේක්ෂව ඉතා අල්ප වශයෙනි. එයට හේතුව ඔවුන්ගේ යැපෙන්නන් ද එම රටවල පදිංචියට රැගෙන ගොස් ඇති තත්වය තුළ ඔවුන්ට ශ්‍රී ලංකාවට මුදල් එවීමේ අවශ්‍යතාවයක් නොමැති වීමය. ඒ නිසා වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එවන මැද පෙරදිග වැනි රටවල සේවය කරන පිරිසගේ අරමුණ මෙරට නිවසක් ඉදිකර ගැනීම, හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවේ සිය පවුල සමග එක්වීම, කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි අරමුණු වන නිසා ඔවුන් මැද පන්තිය මෙන් ඩොලර් ගිලින්නන් බවට පත්වී නැත.

දෙවන විශාලතම ඩොලර් උපයන්නන් වන ඇඟලු‍ම් කර්මාන්තවල සේවය කරන්නන්ගේ ජීවන විලාසය ද හැඩ ගැසී ඇත්තේ මැද පන්තිය මෙන් විශාල ඩොලර් පරිමාණයෙන් පරිභෝජනය කරන ආකෘතියකට නොවේ. අඩු ආදායමක් සමඟ දුෂ්කර ජීවිතයක් ඔවුන් වෙත උරුමව තිබේ. තෙවන විශාලතම ඩොලර් උපයන්නන් වන වතු ආශ්‍රිත සේවකයන් යනු අපේ රටේ ඉතාමත්ම අඩු පරිභෝජනයක් සිදුකරනා පිරිසක් මෙන්ම වඩාත් පීඩාවට පත්ව සිටින ප්‍රජාවකි.
මේ නිසා අපේ රටේ ආර්ථික හැඩය සැකසී ඇත්තේ රටට ඩොලර් ඉපයීමට දායක වන නමුත් පාරිභෝජනය අවම පීඩිත ප්‍රජාවක් සහ ඩොලර් අධි පරිභෝජනය කරන එහෙත් ඉපයීමට දායක නොවන ස්ථිර ඉහළ වැටුප් දීමනා ආදායම් සහිත මැද පංතික ප්‍රජාවකගෙන්ය.

මෙයින් අදහස් වන්නේ රාජ්‍ය සේවයේ සිටින විශාල මැද පන්තිය, රාජ්‍යයේ ආර්ථික ක්‍රියාවලියට කිසිදු සම්බන්ධයක් නැති පිරිසක්ය යන්න නොව ඩොලර් ඉපයීම සහ ඩොලර් පරිභෝජනය අතර විශාල පරතරයක් ඇති බව පෙන්වීම පමණි. ව්‍යවසායකත්ව සම්ප්‍රදායක් ඇති රටක මැද පන්තිය නිර්මාණය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙනි.
එවිට ඔවුන් ඩොලර් පරිභෝජනය කරන්නාක් මෙන්ම ඉපැයීමද සිදු කරයි. රටකට අවශ්‍ය මැද පංතිය විය යුත්තේ එයය. එවැනි ව්‍යවසායකත්ව සම්ප්‍රදායක් රට තුළ ගොඩනැඟීමට නම් රටේ අධ්‍යාපන ක්‍රමය සහ සමාජ ආකල්පවල බරපතල පරිවර්තනයක් සිදු කළ යුතුව ඇත. එහෙත් එම පරිවර්තනය පිළිබඳ සංවාදය ඇරඹෙන සැම විටම රටේ පවතින මේ විශාල මැද පාන්තික ස්ථරය කැළඹවීමට, ඔවුන්ව මතවාදීව ගොදුරු කරගෙන ඇති දේශපාලන කණ්ඩායම් කටයුතු කිරීම එම ප්‍රතිසංස්කරණ වලට ඇති ප්‍රධානම අභියෝගයයි.

රජය විසින් තමන්ව බලා ගත යුතුය කියන සමාජවාදී පාලනයක් ඉල්ලා සිටින, එහෙත් ධනවාදී ජීවිතයක් අපේක්ෂා කරන, මෙම මැද පාන්තික මනෝභාවය සමග විවෘත මතවාදී සංවාදයක් නිර්මාණය කිරීමේ අභියෝගය භාර ගැනීමට නිර්භීත නොවන කිසිවෙකුට රට තුළ සුබවාදී ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කළ නොහැකිය . ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් වීමට වගකිව යුත්තේ කවුරුන්ද? යන්න විසඳාගැනීම ආරම්භ කළ යුත්තේ එතැනිනි.

  • වරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *