කළු සතියෙන් වැසෙන කළු පැල්ලම්

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව රජයේ ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය වෘත්තිකයන් සහ වෘත්තීයවේදීන් කියන පිරිසක් පසුගිය 22 වනදා සිට ආණ්ඩුවට එරෙහිව කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව විරෝධතා, වැඩ වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමර්ග ගනිමින් රජයේ වැඩ කටයුතු අඩපණ කර රාජ්‍යය බියට පත්කර තමන්ගේ ඉල්ලිම් දිනා ගැනීම මෙහි දී අරමුණු කරගෙන තිබේ.

අප දිගින් දිගටම රට අද මුහුඛ දී තිබෙන අර්බුදයේ බරපතලකම ගැනත් ඉන් මිදීම වෙනුවෙන් රජය ගෙන තිබෙන නිවැරදි මෙන්ම දුෂ්කර තීන්දු තීරණ ගැනත් ඔනෑ තරම් කතා කර තිබේ. එමෙන්ම මේ වෘත්තීය සමිතිකාරයන්ගේ මාෆියාව යනු කුමක්ද මේවනවිට කරමින් සිටින කඩාකප්පල්කාරී වැඩ මොනවාද යන්නත් හෙළිදරව් කර තිබිණි. මේ නිසා නැවත නැවත මේවා ගැන කතා කිරීමෙහි තේරුමක් නැත. පටු ලාබ ප්‍රයෝජන, ආත්මාර්ථකාමී, දේශපාලනික බලලෝබීත්වය මත පදනම්ව කරන මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් ගැන රට වැසියා දැනුවත්ව, සිහි බුද්ධියෙන්, අවබෝධයෙන් මේ පිළිබඳව මැදිහත්ව කල්පනා කරයි. මේවාට කිසිදු මහජන සහයක් නොමැත්තේ ඒ නිසාය. මේ වෘත්තීය සමිතිකාරයන්ට ඒවායෙන් වැඩක් නැත. තමන්ගේ වුමණාවන් සපුරාගත්තත් නැතත් ඒ අයගේ දේශපාලන රාජකාරිය රජයත් ජනතාවත් පීඩාවට පත්කිරීමය. විශේෂයෙන්ම මෙම ක්‍රියාමාර්ග පිටුපස සිටින්නේ ජවිපෙ, පෙරටුගාමී සහ සමගි ජන බලවේගයය. ඔවුන්ගේ දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් රෙදි නැතිව හරි පෙනී සිටීමට සූදානම් ඔවුන්ගේ වහල් සාමාජිකයන්ය. මේ තත්වයන් මේ මොහොතේ කෙතරම් අයුක්ති සහගත වුවත් සාධාරණ නොවුණත් මේ කඩාකප්පල්කාරී ක්‍රියා ඔවුන් වෙතින් ඉවත් වන්නේ නැත. මේ වෘත්තීය සමිතිකාර නඩය රටේ අතිශය සුළුතරයක් වන නමුත් රජයේ කටයුතු කඩාකප්පල්කර රටම විනාස කර දැමීමට තරම් හැකියාවක් ඔවුන් සතුව තිබේ. ඔවුන් රාජ්‍ය සේවය තුළ හදාගෙන තිබෙන බලය එහෙමය. හරියට දින ගනන්වක් බඩගින්නේ සිටින වෘකයකු තම ජීවිතය පරදුවට තබා ගොදුරක් ඩහැ ගැනීමට වුව පෙළඹෙනවා මෙන් මේ අයත් මේ ජඩ ක්‍රියාකාරකම් වල යෙදෙයි. ඔවුන්ගේ බඩේ ගින්දර නිවා ගන්න තුරු රට ගිණි තැබීම කරයි.

කොහොම නමුත් කළු සතියක් බැරිනම් කළු වසරක් ප්‍රකාශයට පත් කළත් ඔවුන්ට දිනා ගන්න ඉල්ලීමක් ඇත්තේ නැත. මන්ද එම ඉල්ලිම් දෙනවා කියන්නේම රට නැවත වටයකින් අර්බුදයේ ආගාධයට කඩා වැටිමකි. අඩුම තරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබී මාස 6 ක් වත් යනතුරු මේ ඉල්ලීම් ගැන සලකා බලන්නවත් හැකියාවක් රජයට ඇතැයි කල්පනා කළ නොහැකිය.

වෘත්තීය සමිතිකාරයන් කෙසේ වෙතත් ජනතාව සිටින්නේ කළකිරීමන් බව ඇත්තය. මන්ද ජනතාව 2019 ට පෙර ගත කළේ මෙහෙම දුෂ්කර ජීවිතයක් නොවේ. තමන්ගේ සුපුරුදු ජීවන චර්යාවන් වෙනස් කරගෙන පීඩාවන් දරාගෙන ජීවත් වීමට කිසිවකුත් කැමති නැත. හැමෝටම අවශ්‍ය සුව පහසු, සාමකාමී, නිදහස් ජීවිතකි. ඒ වෙනුවෙන් අමාරුවක් නැතිව ආදායම් ලැබෙන, තමන් කැමති දෙයකට වියදම් කරගෙන ජීවිතය විනෝදයෙන් සතුටෙන් ගත කරන කවුරුත් කැමතිය. එහෙත් ඒ අවස්ථාවන් අද අතිශය සීමා වී තිබේ. ඊට වගකිව යුත්තේ කවුද කියන ප්‍රශ්නයට වඩා දැන කළ යුතුව ඇත්තේ එතැනට රට වැටුණේ ඇයිදැයි සොයා බලා ඊට පිළියම් යෙදීමය. ඒ වැරද්ද නිවැරදි කිරීමය. අවශේෂ ප්‍රශ්න පසුව බේරාගත හැකිය. එසේ නොකර අහිමි වූ දෙය රජයෙන් ඉල්ලීමෙන් පලක් නැත. මන්ද රජයටත් ඒ හැකියාව අහෝසි වී ඇති නිසාය. රජයට ලබා දිය නොහැකි දේ ඉල්ලා වැඩක් නැත. රජය දැන් කරමින් සිටින්නේ වැරදුන තැන් සකස් කර ඒ අහිමි වු දේ යළි උපදවා ගැනීමට වෑයම් කිරීමය. වැටී ඇති ආගාධයේ තරම අනුව ඒ පහසු නැත. අමාරු වැඩකි. තනියම නැගිටීමේ හැකියාවවත් නොමැති නිසා බාහිර සහයෝගයක් ලැබෙන තෙක් ඉවසීම හැර ජනතාවට වෙන විකල්ප විසඳුම් ලැබෙන්නෙ නැත.

මේ මොහොතේ රජයේ ඉලක්ය කෙසේ හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන මේ පවත්න අර්බුදයෙන් මීදීමේ මාර්ගයට පිවිසීමය. ඒ නිසා මේ දුෂ්කර කාල පරිච්ඡේදය ඉවසීමෙන් සාමකාමීව සහ ඊට සහයොගයක් දෙමින් කටයුතු කිරීම සමස්ත පුරවැසියාගේ යුතුකමය වගකීමය. කොටින්ම එය තමන් වෙනුවෙන් වගවීමක් කරගත යුතුව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ආණ්ඩුවත් සහ රට ගැන වගකීමකින් කටයුතු කරන අවංක රජයේ නිලධාරීනුත් මේ මොහොතේ රට පත්ව තිබෙන අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් අමාරු තීන්දු තීරණ ගනිමින්, වෘත්තීය සමිති කාරයන්ගේ මඩ අවලාද තර්ජනයන්ට ගොදුරු වෙමින් විශාල කැපකිරීමක් කරමින් සිටී. ඒ කටයුතු වැරදි යැයි කිසිවකුට කිව නොහැක.

පසුගියදා ජනාධිපතිවරයා කටත් තේරෙන බාසිවෙන සරළව පැහැදිලිව මේ තත්වය ගැන යළිත් අවධාරණය කර තිබිණි. ඒ අනුව වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව රටත් ජනතාවත් අරබුදයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් බව පවසා තිබිණි. එම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුලත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිදු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවද 2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි. එනම් මේ තත්වයන් තාවකාලික බවය. එහෙත් මුල්‍ය අරමුදලේ සහය නොගෙන රටට තවදුරටත් ඉදිරියට යෑමක් නැති බව විපක්ෂයත්, මේ වැඩ වර්ජය කරන වෘත්තීය සමිති කාරයනුත් නොදන්නවා නොවේ. ඒ අනුව රජයේ උත්සාහය පරාජයට පත්කර රට යළි අඩපණ කර ජනතාව බඩගින්නේ තබා, බෙහෙත්හේත් ටික නැතිව මරා දැමීමට තරම් මේ අර්බුදයන් පාවිච්චි කරන ම්ලේච්ඡ තත්වයට විපක්ෂයත්, සමිතිකාරයනුත් පත්ව තිබෙන බව පැහැදිලිය.

මේ ඊනියා වෘත්තීය සටන් ක්‍රියමාර්ගවලට අවතීරණය වී සිටින්නේ රජයේ ඉහළ වැටුප් ලබන, ඉහළම වරප්‍රසාද ප්‍රමාණයක් බුක්ති විඳින්නන් අතරිනුත් සුළු පිරිසකි. මේ අයට තමතමන්ගේ ජීවිත නඩත්තු කරගෙන යෑමේ කිසිදු දුෂ්කරතාවයක් සහිත අය නොවේ. තව පවුල් දෙක තුනකට කන්න අඳින්න දෙන්න තරම් ආදායම් මොවුන්ට තිබේ. එමෙන්ම මේ අයගේ වැටුපට උපයන විට බදු යනුවෙන් බද්දක් අලුතෙන් ගැසුවේ නැත. කලිනුත් තිබුණ බද්දමය. නමුත් එහි අනුපාතයන් සුළු ප්‍රමාණයකින් වැඩි කර රජයේ බදු පදනම සුළ වශයෙන් පුළුල් කිරීම පමණක් කර තිබේ. වෙනත් රටවල් හා සන්සන්දනය කිරීමේ දී ගනන් ගන්න තරම් දෙයකුත් නැත. එම සොච්චම් බදු මුදල ගෙවීමෙන් තමන්ගේ ජීවන තත්වයන් කඩා වැටී හිඟමන්ට වැටෙන තරම් දෙයක් මෙතින වී නැත. මෙය තඩි බොරුවකි.

විදුලි බිල වැඩි වීමත් මේ අයට දරාගන්න බැරි දෙයක් නොවේ. මේ කිසිවකුත් විදුලි බිල වැඩියි කියා තමන්ගේ විදුලි බල පාරිභෝජනය අඩු කිරීමටත් කැමති නැත. මන්ද එහෙම යම් පුරුද්දක් හදා ගත්තා නම් විදුලි බිල ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැත. තමන් ගතකරන අධිපාරිභෝජනවාදී සුඛෝපභෝගී ජීවන විලාසය වෙනස් කරගනිමින් මේ මොහොතේ රට වෙනුවෙන් සුලු කැපකිරීමක් කරන්නට නොහැකි මේ ආත්මාර්ථකාමීන් සුළු පිරිසක් වෙනුවෙන් රජය එක අඩියක්වත් පස්සට ගත යුතු නැත. මේ කිසිවෙක් රට ගැන හැඟීමක් ඇත්ත වුන් නොවේ. මේ අය රාජ්‍ය සේවයේ සිටියා කියා එයින් රාජ්‍ය සේවයටවත් වැඩක් ඇති පිරිසක් නොවේ. මේ අය හැමදාම කළේ රාජ්‍ය සේවයෙන් තමන්ගේ සුඛ විහරණයට අවශ්‍ය දේ අත්පත් කරගත යුතුදේ කෙසේ හෝ ලබා ගැනීමය නැතිනම් හොරකම් කිරීමය. රාජ්‍ය සේවා ආයතන පාඩු ලැබුවේත් මේ වෘත්තීය සමිති කාරයන්ගේ අර්ථ ලාබය වෙනුවෙන් මේ ආයතන දූෂිතව පවත්වගෙන යෑම නිසාය. වසරකට මාස් 12 වුවද වසරක් තුල මාස 21 ක තරම් වැටුප් ලබා ගන්න පිරිසද මේ ජඩ වෘත්තිය ක්‍රියාමාර්ග වල සිටී. කොටින්ම මෙතුවක් කල් මේ අයගේ වැටුපට ගහන උපයනවිට බද්ද පවා ගෙවා තිබුණේ වැටුපෙන් නොව රාජ්‍ය ආයතනයෙන්මය. එතරම්ම මොවුන් දූෂිතය. ඒ නිසා මෙතුවක් කාලයකට ඒ බදු වැඩි කිරීමෙන් රජයට ඇත්තටම ආදායමක් ලැබුණේ නැත.

නමුත් ඒ දූෂිත ක්‍රමවේදය සැකසුවෙත් මේ කියන වෘත්තීය සමිතිකාරයනමය. රට කාපු ඇත්තම දූෂිතයන් මේ වෘත්තීය සමිතිකාරයන් කියා කීමෙහිහිද වරදක් නැත්තේත් මේ රාජ්‍ය ආයතන පාඩු ලබන තැනට පත්කර රාජ්‍ය ආදායම් ඒ වෙනුවෙන් යොදවන් තැනට පත් කරගත්තා පමණක් නොව එම රාජ්‍ය ආයතන ලාබ ලබන තැනකට පත්කරන්න රජයයන් ගත් ක්‍රියාමාර්ගවලට පවා මේ අය එරෙහිව කටයුතු කළේය. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරීමට, කොටස් විකිණිමකට, බදු දීමකට, පෞද්ගලිකකරණයට ලක් කිරීමට නැතිනම් සම්පූර්ණයෙන් විකුණා දැමීමට ආදී ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් සියල්ල විනාශ කළේද මේ වෘත්තීයසමිති කාරයන්ය. ඒ අනුව රට අද බංකොලොත් කිරීමට වැඩිම දායකත්වය මේ ජඩ සමිතිකාරයන් ලබා දුන් බව කීම අතිශයෝක්තියක් නොවේ. ඇත්ත එයය. අද මේ වෘත්තීය සමිති තනිකර මාෆියා ජාලයක් ලෙස ක්‍රියාත්මක වේ. කළු සතිය කියන්නේ ඒ ජාලයේ මෙහෙයුමකි.

කොහෙම නමුත් අද මේ මාෆියා ජාලය රටට විශාලම විනය කරන පිළිලයක් බවට පත්ව තිබේ. පිලිල ගලවා විනාශ නොකළොත් ගහේ සාරය උරා බී, පලදාව ලබා නොදී අවසන්යේගහම විනාශ වන තැනටපත් වන බව අප දනිමු..මේ රාජ්‍ය වෘත්තී සමිති පිලිලය අවසානනයේ රටට කරමින් ඇත්තේද එයමය.

සාමාන්‍යයෙන් වෘත්තීය සමිතියක් කියන්නේ වෘත්තිකයන්ගේ අයිතිවාසිකමකි. වැඩ වර්ජනය කිරීමද කම්කරුවන්ගේ ,වෘත්තිකයන්ගේ අයිතියක් ලෙස පිළිගනියි. මේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඉතිහාසය මුළුල්ලේ සටන් කරමින්, දිවි පුදමින් කැපකිරීම කළ කම්කරුවන්, වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් සිටියේය. එහෙත් වෘත්තීය අයිතිවාසිකම් කියන්නේ තමන්ගේ වෘත්තීය ජීවිතයට අදාල යහපත් තත්වයන් වෙනුවෙන් දිනාගත් දෙයකි. නමුත් අද මේවා බහුතරයක් ක්‍රියාත්මක වන්නේ වෘත්තීය අයිතීන් දිනාගැනීමට නොවේ. ඊට එහා ගිය ජරා ජීර්ණ දේශපාලන වුමණාවන් සහ බඩගෝස්තරය වෙනුවෙන් වන ආර්ත්මාර්ථකාමි වුවමණාවන් වෙනුවෙනි. මෙරට නීතිය තුළ වැඩ වර්ජනය කිරීමේ අයිතිය පැහැදිලිව පිළිගන්නේ නැතත් වෘත්තිය සමිති ආඥාපනත, කාර්මික ආරවුල් පනත මඟින් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් කුමක්දැයි නිර්වචනය කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවල වැඩ වර්ජන තහනම් කිරීම විස්තර කර ඇත. ඒ අනුව වැඩවර්ජනය ආරම්භ කෙරෙන දිනට දින 21 කට පෙර සේවායෝජකයෙකුට දැනුම්දීමක් කරන්නේ නම්, අත්‍යවශ්‍ය සේවාවල හැර අනෙක් තැනක වැඩවර්ජන ක්‍රියාමාර්ග නීත්‍යානුකූල සහ නීතිය මගින් අවසර ඇති දෙයක් ලෙස පිළිගැනීමක් තිබේ. කොහොම නමුත් වැජඩවර්ජනයක් කියන්නේ යම් කාර්මික ආරවුලක් මත අදාල ක්ෂේත්‍රය සීමාව තුළ වැඩ නතර කිරීමක් ලෙස සරළව හැඳින්විය හැකිය.

වර්තමාන වෘත්තීය සමිති ක්‍රියකාරිත්වය දෙස බැලූ විට වෘත්තීය අයිතීන්වෙනුවෙන් සටන් කළ, ජීවිතය පුදා සටන් කළ ඒ ශේෂ්ඨ මිනිසුන්ටත් තුච්ඡ අපහාසයක් සිදු කරන බව පැහැදිලිය. එදා කම්කරුවො අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේ රටක් ජනතාවක් විනාශ කරන්න නොවේ. රටට වඩාත් යහපත් හෙට දවසක් ගොඩනගන්නය. රට වෙනුවෙන් අවංක කැපකිරීමක් ඒ මිනිස්සු එදා කළහ. බඩගොස්තරවාදී සටන් වල ඒ මිනිස්සු සිටියේ නැත. පක්ෂ වල පටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් තමන්ගේ වෘත්තීය අයිතීන් පාවලා දුන්නේ නැත. වෘත්තියෙත් පක්ෂ දේශපාලනයේත් සීමාව දැනගෙන ඔවුන් කටයුතු කළේය. වෘත්තීය සමිති වටිනිකම් විනාශ කළේ පටු අවස්ථාවාදී පක්ෂ දේශපාලනය ඒ තුලට රිංගවා ගැනීමෙන් පසුවය. අද දකින්න ලැබෙන්නේ ඒවායේ ආදීනවය.

  • ප්‍රභාත් ජයසුමන