අපි ධනාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

0

මේ දවස්වල ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වෙමින් තියෙනවා. අවසන් සාකච්ඡාව දින කිහිපයකින් පැවැත්වීමට නියමිතයි. කොහොමද ඇමතිතුමා IMF ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ තත්වය?

ඔව්. ඇත්තෙන්ම අවසාන සාකච්ඡාවෙන් පසු තමයි අපි ප‍්‍රතිඵලය කියන්න අවශ්‍ය. හැබැයි මං විශ්වාස කරන විදියට මේ IMF එකගතාවයන් සාක්ෂාත් කරගන්න රජයේ ඉතාම දැඩි වෑයමක ඉන්නවා මේ අවස්ථාවේ. ඔබතුමා දන්නවා බොහෝ කරුණු අභියෝගාත්මකයි. ඒ වගේම සාම්ප‍්‍රදායික විපක්ෂයක් ඉන්නවා. එකෙන් අදහස් කරන්නේ මේ වෙලාවේ තියෙන අසීරුකම තේරුම් අරගෙන යම්කිසි එකඟතාවයකින් මේ ආර්ථික ප‍්‍රශ්නය ගොඩඑන්න ඕනේ කියලා නොසිතන විපක්ෂයක් එක්ක වැඩ කරද්දි ජනතාව උසිගන්වන දේවල් බොහෝ කරන්න පුළුවන්. දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයේදී ඔවුන් බොහෝ දේවල් කිව්වා. විශේෂයෙන්ම රජයේ අරමුදල්වල තියෙන ශේෂය අඩුවේවි කියලා කිව්ව. අවාසි වෙයි කිව්වා. මේවා නොලැබී යයි කිව්වා. ඉතින් මේවා හරිම අභියෝගාත්මකයි අපි වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට. හැබැයි මේ සියල්ලටම රජය ඉතා සෘජුව, ස්ථාවර ආර්ථිකයක් වෙනුවෙන් මුහුණ දුන්න අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. ඉතින් ඒ වගේ පසුබිමක් තුළ අපිට සමහර ඉලක්ක සියයට සියයක් සාර්ථක කරගන්න බැරි වෙන්න ඇති. නමුත් ඉතා ඉහළ ඉලක්ක ප‍්‍රමාණයක් සාර්ථක කරගෙන, ඒ වගේම අවංක වෑයමක් දරලා, අපිට ප‍්‍රගති සමාලෝචනයට වාඩිවෙන්න පුළුවන් වුණා කියලා මං කල්පනා කරනවා.

දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා ඒක සම්මත වුණා. විදේශීය ණය ප‍්‍රශස්තකරණය සම්බන්ධයෙන් මොන වගේ තැනකට මේ වනවිට ඉන්නේ?

විදේශීය ණය ප‍්‍රශස්තකරණය සඳහා අවශ්‍ය ප‍්‍රධාන සාධකය තමයි දේශීය ණය ප‍්‍රශස්තකරණය. මොකද අපි ඩොලර්වලින් ගත්තොත් බිලියන 46ක් විදේශයන්ට ණයයි. බිලියන 42ක් දේශීයව ණයයි. අපි විදේශීයන්ට යෝජනා කරනවා මේ ණයවලින් බිලියන 17ක් 2027 වසරෙන් පස්සට කල් දාන්න හරි කපා හරින්න කියලා. එක්කෝ පොලිය අඩු කරන්න, එක්කෝ ගෙවන්න පටන් ගන්න වෙලාව පස්සට දාන්න. යම්කිසි කෙනෙක්ට හිමි අයිතිවාසිකම් කියන අරමුදල් ඒවා. ඔවුන්ට එතන තියනවා බිලියන දාහතක්. එතකොට ඔවුන් බලන්නේ නැද්ද අපේ රට තුළ මොකක්ද කරන්නේ කියලා? එතකොට අපේ රටේ අපි කාටවත් කතා කළේ නෑ කපා හරින්න. කල්දමා ගැනීම ගැන විතරයි අපි කතා කළේ. ඉතින් ඒ නිසා එහි විදේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට ලොකු උත්තේජනයක් වෙනවා ශ‍්‍රී ලංකාවේ දේශීය ණය ප‍්‍රශස්තකරණය නිමාවට පත්වුනොත්. ඒ අතර ඊට සමගාමීව දිගින් දිගටම ගිහිල්ලා අපි සාකච්ඡා කරනවා. මම විශ්වාස කරනවා අපිට විදේශීය ණය ප‍්‍රශස්ථකරණය කරගන්න පුළුවන්. ඒකට හොඳම හොඳම සාධකය තමයි මේ සතියේ සිදු වෙච්චි දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරිම.

අස්වැසුම ව්‍යාපෘතිය යටතේ රජය අවධාරණය කළා සමාජ සවිබලගැන්වීම කියන කාරණාව. මේ සම්බන්ධයෙන් රජය කෙතරම් ප‍්‍රගතියක් ලබලා තියෙනව ද?

අස්වැසුම හඳුන්වා දෙන්න සිදුවුණු ප‍්‍රධාන හේතු කරුණු දෙකක් තියනවා. එකක් තමයි සමාජ සවිබල ගැන්වීම. නමුත් ප‍්‍රමාණවත් පරිදි ඒක කරන්න බැරි උනා. සමෘද්ධි ව්‍යාපාරය හොඳ ව්‍යාපාරයක්. හැබැයි 1995 පටන් අරන් 2023 වෙද්දි අවුරුදු 28ක්. මේ කාලයට සමෘද්ධිය ගත්ත අයගෙන් කීදෙනෙක් ශක්තිමත් ආර්ථිකයක් තියෙන මිනිස්සු බවට පත්වෙලා සහනාධාර තත්වයෙන් ඉහළට ගියාද කියලා, ඒක මදි. ඒක තමයි ප‍්‍රශ්නය. දෙවැනි එක විශාල නුසුදුසු පුද්ගලයන් ප‍්‍රමාණයක් මේකේ ප‍්‍රතිලාභ ලැබුවා. සුදුස්සන් විශාල ප‍්‍රමාණයකට ලැබෙන්නේ නෑ. ඔන්න ඔය ප‍්‍රශ්නවලට අද උත්තරයක් විදියට තමයි මේ අලූත් ක‍්‍රමය හඳුන්වලා දුන්නේ. අලූත් ක‍්‍රමය දැනට මේ සවිබල ගැන්වීම ආරම්භ වෙලා නෑ. අපි අභියෝගයකට මුහුණ දුන්නා හරියාකාරව කොහොමද සහනාධාරය බෙදන්නේ කියලා. ඒකට නියම මිනිස්සු තෝරගන්නේ කියලා. ඒ මිනිස්සු තෝරන්න ගියාම සමාජ සවිබලගැන්වීම් පනත තියෙන 20 සහ 21 වගන්ති ක‍්‍රියාත්මක කරන්න ඕනේ. 20 වගන්තිය කියනවා තොරතුරු දෙන්න ඕනේ. 21න් තොරතුරු ලබා ගන්න ඕනේ. ඉතින් මේකට කැමති වුණේ නෑ රාජ්‍ය නිලධාරීන්ගෙන් බහුතරයක්. එම අභියෝගයට රජය මුහුණ දීලා ආධුනික කණ්ඩායමක් එක්ක මේක කරන්න වුණා. ඊට පස්සේ අපිට විශාල අභියාචනා ප‍්‍රමාණයක් ආවා. අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවා ලක්ෂ දහයක්. හැබැයි නුසුදුසු අය ගත්ත කියලත් කෑගහනවා සමාජයේ. අපි කිව්වා විරෝධතා ඉදිරිපත් කරන්න නිර්නාමිකව. ඒත් ඉදිරිපත් කරල තියෙන්නෙ ඉතාම ස්වල්ප ප‍්‍රමාණයක්. නමුත් අපි බලාපොරොත්තු වනවා ඉතා ඉක්මනින් මේ අභියාචනා ටික විස`ද ගන්න පුළුවන් කියලා. එතකල් කාටවත් අසාධාරණයක් නොවන විදියට පරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරගෙන ගිහිල්ලා මේ කටයුත්ත කරනවා. රජයේ බිලියන 65ක් වූ සමාජ සුභසාධන වියදම බිලියන 189ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. බිලියන 189ක් රජය වියදම් කරන්න ලෑස්තියි මේ වගේ අසීරු අවස්ථාවක වුණත්. අපිට අවශ්‍ය වැරදි අය අයින් කරලා, නියම කෙනාට යථාර්ථවාදී සහනාධාරයක් ලබාදෙන්න.

තිබුණු 4500 මුදල 15000ක් වුණේ ඇයි? ඒ සහනාධාරලාභියාව නැගිට්ටවන්න අවශ්‍ය නිසා. අපිට අවශ්‍ය වෙන්නේ ප‍්‍රථමයෙන්ම අභියාචනා ටික විසඳලා මේ අයව හරියට තෝරගන්න එක. මේ නිලධාරීන්ගේ සහයත් උපරිම විදිහට මෙතනට ගන්න එක. ඒකත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය තුළ ඉන්න උගත් දැනුමැති ප‍්‍රජාවත් එකතු කරගෙන අපි අවුරුදු තුනකට සැලසුම් කළේ. සමහරු අහනවා අවුරුදු තුනෙන් පස්සේ මොකුත් නැද්ද කියලා? වර්ෂයෙන් වර්ෂය අපි සමාලෝචනය කරනවා. අපේ ඉලක්කය කෙටි කාලයක් තුළ ශක්තිමත් පුරවැසියන් බිහි කිරීමට. අපි ලෑස්තියි මේ ප‍්‍රධාන ගැටළු විස`දගෙන ශක්තිමත් වේගවත් ගමනක් දියත් කරන්න.

අපි දකිනවා වර්තමාන රජය රාජ්‍ය මූල්‍ය පිළිබඳ ලොකු අවධානයක් යොමු කරනවා. රටේ ආර්ථිකය සහ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ සම්මත වූ පනත්වල වත්මන් ක‍්‍රියාකාරිත්වය කොහොමද?

ඇත්තටම මේ තරම් රාජ්‍ය මූල්‍ය පිළිබඳ අවධානය යොමු වනු සහ ක‍්‍රියාත්මක වුන රජයක් නොමැති තරම්. බලන්න වැදගත්ම දේ නව මහ බැංකු පනත. නව මහබැංකු පනතෙන් මොනාද කියල තියෙන්නෙ? එක පැත්තකින් මහ බැංකුව ජනතාවට තියෙන බැඳීම වැඩි කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මහ බැංකුව රජයට තියෙන බැඳීම අඩු කරල තියනවා. දැන් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා වාඩි වෙන්නෙ නෑ. රජයට හදිසි අවශ්‍යතාවක් හෝ ලෝක මට්ටමේ පැතිර යන වසංගත තත්වයක් වැනි ආපදාවක දී හැර මුදල් මුද්‍රණය කරන්න බෑ.

ඒ කියන්නේ මහ බැංකුව යම් සීමාවකට ස්වාධීන කරල තියනවා ?

යම් ප‍්‍රමාණයකට නෙමෙයි සීයට සීයක් ස්වාධීන කර තියෙනවා. එතකොට අර කියන අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර අපිට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ඒක දැඩි මූල්‍ය විනයක්. ඒක හොඳයි. මොකද, අපේ රට ලෝකයේ පස්වන තැනට ගියා උද්ධමනයෙන්. ඇයි එහෙම ගියේ? අපේ මූල්‍ය විනයේ තියෙන පිරිහීම. අපි හැම සිකුරාදාම පුරුදු වෙලා හිටියා භාණ්ඩාගාර බිල්පත් මෙච්චර නිකුත් කරන්න කියලා මහ බැංකුවට ලිපියක් යවන්න. ඒත් භාණ්ඩාගාර බිල්පත් ටික ගන්න අය නෑ. ලෝකේ ඉල්ලූම අඩු වුණා, අපි ගැන තියෙන විශ්වාසය පළුදුවෙලා මොකද්ද උනේ? ඒකට උත්තරේ වුණේ මුදල් මුද්‍රණය. ටි‍්‍රලියන තුනක් මුදල් මුද්‍රණය කරල තිබුණා. ඒත් ටි‍්‍රලියන තුනට අවශ්‍ය විදිහට සැපයුම් වැඩි වෙලා නෑ රටේ. අද ?ට පාන් ගෙඩියේ ගන්න මිල නෙමෙයි හෙට උදේට තිබුණේ. ඒ වගේ බරපතල තත්වයකට ආවා. ඒ නිසා එතනින් පටන් අරගෙන රටේ ඉහළම ස්ථරයේ ඉඳන්, අපි මුදල් අමාත්‍යාංශය හැටියට රජයේ වියදම් කළමනාකරණ චක‍්‍රලේඛ කිහිපයක්ම නිකුත් කරල තියෙනවා. වියදම පිළිබඳ මෙන්න මේ සීමාවෙන් එහාට යන්න එපා කියලා. ආටෝප වියදම් බෑ. අනවශ්‍ය උත්සව බෑ. මෙන්න මෙහෙම මෙතැනින් නවතින්න. මෙතනින් එහාට යනවා යනව නම් අමාත්‍යංශ ලේකම්තුමා වගකියන්න ඕන. එතරම් දැඩිව ජනතාවගේ මුදල් මේ අපි ආරක්ෂා කරන්නේ.

මේ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් යම් මාර්ගගත වේදිකාවක් ඇති කරනවා කියලා රජය පොරොන්දු උනා. මං හිතන්නේ ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක කොන්දේසියක්. අපි දන්න තරමින් තාම මේ වේදිකාව නිර්මාණය වෙලා නෑ.

ඔව්. දැන් අපි එකින් එක හැමදේකම පුළුවන් තරම් මාර්ගගතව කටයුතු කිරීම ආරම්භ කරලා තියෙනවා. උදාහරණයක් මං දැන් මොහොතකට ඉස්සෙල්ලා රේගුවට ගිහිල්ලා ආවෙ. ඔය නීති විරෝධීව ගෙන එන දේවල් වැඩිම ප‍්‍රමාණයක් රාජසන්තක කරන්නේ. ඉතාමත් ජනප‍්‍රිය දේවල්. මං දැන් බලලා ආවේ නීතිවිරෝධී මත්පැන් තොගයක් රාජසන්තක කරලා වෙන්දේසි කරන්න. ඒත් දෙසැම්බර් මාසයේ සිට රේගුවේ සාමාන්‍ය වෙන්දේසියක් නෑ. කිසි කෙනෙකුට ගිහිල්ලා බලපෑම් කරන්න බෑ. සියලූම වෙන්දේසි රේගුව කරන්නේ මාර්ගගතව. මේ එක උදාහරණයක්. මාර්ගගත ක‍්‍රමයට කටයුතු කරනවා කියන්නේ ලේසියෙන් කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. මුළු සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනේ. රජයෙන් ඒකට ලොකු මැදිහත්වීමක් තියෙනවා. අපි විශ්වාස කරනවා 2024 අයවැය යෝජනා තුළත් මේ කරුණු ඇතුලත් වෙයි.
2024 වර්ෂය ආරම්භ වන විට අපිට ඉතා හොඳ මාර්ගගත ක‍්‍රමවලට යන්න අපේ ඉලක්කයක් තියෙනවා.

ඔබතුමා මගේ ඊළඟ මාතෘකාව මතක් කළා. අයවැය. හෙට අනිද්දට එන්න තියනවා. 2024 අයවැය සම්බන්ධයෙන් රජයේ සූදානම කොහොමද?

2023ට වැඩිය පහසුයි මීළග අයවැය සැලසුම්කරණය. 2023 අපිට සිදුවුණේ සෘණ ආර්ථිකයක ඒ කියන්නේ සංකෝචනය වුන ආර්ථිකයක ඉඳලා තවත් සෘණ වෙයි කියලා හිතන ආර්ථිකයක් කෙරෙහි සැලසුම් කරන එක. මොකද හැමවෙලේම අයවැයක් කියන්නේ ඉදිරි වර්ෂය සඳහා වූ උපකල්පනය. අපි ඉස්සෙල්ලාම අපිට මෙච්චර ආදායම් ලැබේවි. සාමාන්‍ය විදියට තිබුනොත් කියලා උපකල්පනය කරනවා. ඒකට අපි අලූත් දේවල් එකතු කරලා ඒකත් එක්ක මෙච්චර වැඩි වේවි කියලා උපකල්පනය කරනවා. ඒ අනුව අපිට තියන සාම්ප‍්‍රදායික වියදම් ටික මෙව්වා මෙච්චර එකතු කරන්න පුළුවන් කියලා උපකල්පනය කරනවා. ඒ දෙකේ වෙනස අයවැය හිඟය වැඩි නම් අපි ණයවලින් ඒක පියව ගන්නවා. අපි 2022 හදපු අතුරු අයවැය, 2023 අයවැයෙන් අපිට ඒවා එකක්වත් කරන්න බෑ. අපි අහස පේන්න නැති මහ වළක ඉඳලා ඊළඟ අවුරුද්ද ප්ලෑන් කරනවා වගේ.

ආදායම් බලාපොරොත්තුවක් නැතිව…

ආදායම් කොහොමද බලාපොරොත්තු වෙන්නේ. ඒක කොච්චර සංකෝචනය වේවිද කියල දන්නෙ නෑ. ඉතින් ඒ අනුව වියදම් ගැන හිතන්නත් බෑ. ඒ දෙකේ වෙනස පියවන්නේ ණය. අපිට ණය දේවිද? තාවකාලිකව ණය ගෙවන්නේ නෑ කියලා ප‍්‍රකාශ කරපු රටකට. එනිසා මම දකිනවා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට එය අයවැය ලේඛනය සකස් කිරීමේදී මූණ දීපු අභියෝගය මේ රටේ කිසිඳු මුදල් ඇමතිවරයෙක් මුහුණ දීලා නෑ. මොකද ජනතාවට ඒ සියලූ බර පටවන්න බෑ. ඔවුන් ජීවත් කරවන්න ඕනෙ. ඒ වෙනකොට රටේ මුළු සංඛ්‍යාවෙන් සියයට පනහක් හැටක් ජීවත් වෙන්න උදව් ඉල්ලන තත්වයට පත්වෙලා තිබුණා. අපි ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් වේගෙන යනවා. ඉතින් ඒ නිසා 2023 සඳහා 2022 වසරේ සකස් කළ අයවැය ලේඛණය තමයි මේ රටේ භාරදූර ම අයවැය ලේඛනය.

දැන් අපි ඊට වැඩිය පහසුවෙන් ඉන්නවා. හැබැයි ඉතිං ඒකෙන් අදහස් කරන්නෙ නෑ අපිට මහ ලොකු දේවල් නිර්මාණය කරන්න පුළුවන් වේවි කියලා. එහෙම දැම්ම හිතන්න හොඳ නෑ. ඊට වැඩිය තාමත් අපිට බැ?රුම් ආර්ථික ප‍්‍රශ්න විසඳගන්න තියෙනවා. නමුත් අපි ධනාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. එතන ඉඳන් 2024 සැලසුම් කරනවා.

xජනතාව ඉතා ලොකු බලාපොරොත්තු තියාගෙන අයවැය දිහා බලාගෙන ඉන්නේ. ඒ වගේම ඉදිරියේදී මැතිවරණ පැවැත්වෙන ඉඟි කිහිපයකුත් පළවෙලා තියෙනවා. මේ අයවැය සහන දෙන මැතිවරණ ඉලක්ක කරගත් අයවැයක් වෙයිද?

ඇත්තෙන්ම මේ අපි ඔය කියන සම්ප‍්‍රදායන්ගෙන් නම් අයින් වෙන්න කාලය ඇවිල්ලා. ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මොකද අපි දැක්කනේ හැම අයවැයකම ජනතාවට මොනවාහරි දීලා සතුටු කළා. හැබැයි ඉතින් මේ අවුරුදු 75ක් සතුටු කරලත් අන්තිමට 2022 වෙනකොට රට දාල යන ආර්ථිකයක් නිර්මාණය වෙලා තිබුණේ. ඒ නිසා අපිට වැරදිලා තියෙනවනේ. ඒ නිසා මැතිවරණ ඉලක්ක කරගත්ත හෝ එහෙම නැත්තං සතුටු කරවීම සඳහා හෝ අයවැයක් නෙමේ අපි ඉදිරිපත් කරන්න ඕනේ. කෙටිකාලීන දිගුකාලීන හා මැද කාලින ස්ථාවර ආර්ථිකයක් සදහා වූ අයවැය යෝජනාවක්. ඒ අවශ්‍යතාවය දැන් එදාට වැඩිය දැඩිව තියෙනවා. ඒ නිසා මං විශ්වාස කරන්නේ අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගන්න ඕනේ. ඔවුන්ගේ අවශ්‍යතාවය අධ්‍යාපනය සෞඛ්‍ය තේරුම් ගන්න ඕනේ. ඒව මතනේ ආර්ථිකය දුවන්නේ. හැබැයි මැතිවරණයක් තියෙනවා කියලා ඉතා සරල කෙටි වගකීමක් නැති තීන්දු ගන්න නම් අපි මේ වෙලාවේ හිතන්නේ නෑ.

  • සජිත් සාරංග සේනාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *