ජනපති රනිල් යන්නේ පරණ පුරුදු පාරේම ද?
පසුගිය සතියේ අප පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය සඳහන් කළේ ‘රනිල්ටයි රටටයි තීරණාත්මක අයවැයක් !’ යනුවෙනි. එහිදී මෙවර අය-වැයෙහි වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව 2023 වසරේ අය-වැය හරහා ක‍්‍රියාත්මක කරන ලද දුෂ්කර නමුත් කඩිනම් වැඩපිළිවෙල සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් සාර්ථකව දියත් කෙරුණු බවත් මෙම දුෂ්කර අදියරෙන් පසුව ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි 2024 වසර තුළ රටේ සංවර්ධන ගමන යළි ආරම්භ කෙරෙනු ඇති බවත් සටහන් කළෙමු.
ඒ අනුව මෙවර අය-වැය යෝජනාවලිය එම ඉලක්ක සපුරාලන යෝජනා රැසකින් සමන්විත වෙනු ඇති බවත් එමෙන්ම ජනතාව මෙම කාලය තුළ අත්විඳිමින් සිටි පීඩාකාරිත්වයන් තවදුරටත් ඉවත් කරන යෝජනා සහ ආර්ථිකය නැංවීම වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරික අංශයේ මෙන්ම පුරවැසිදායකත්වය පුළුල් කරන යෝජනා අඩංගු වෙනු ඇතැයි අපේක්ෂාවක්ද වන බවත් පෙන්වා දුන්නෙමු. මේ වන විට ඉදිරිපත් කර ඇති 2024 අය-වැය යෝජනා තුළ අප මතුකළ කාරණය වඩාත් හොඳින් තහවුරු කර ඇත.
2023 පටන් ගත්ත වැඩේ
2022 වසර වන විට රට බංකොලොත් වීම පදනම් කරගෙන නැවත ගොඩනැංවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවන තැනට පත්ව තිබිණි. එහිදී රජය මුහුණ දුන් ප‍්‍රධානම ගැටලූව රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම සහ විදේශ සංචිත රැස්කර ගැනීම බවට පත්ව තිබිණි. මෙම ඉලක්ක ජය ගැනීමකින් තොරව වෙනත් කිසිදු කටයුත්තක් සාර්ථක කරගැනීමේ හැකියාව තිබුණේ නැත. අය-වැයෙන් සහන ඉල්ලා කවුරු මොන විදිහට කෑකෝ ගැසුවත්, රටේ ආදායම් වැඩිකර ගැනීම නොකර කළ හැක්කක් නැත. මේ සඳහා කඩිනම් පියවර පසු ගිය වසරේදී ගනු ලැබු අතර මෙවර අය-වැයේ දිශානතියද පෙර අය-වැයෙහිම දිගුවක් ලෙස පවතී. ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවේ අඛණ්ඩව ජාතික ප‍්‍රතිපත්තියක් මත ආර්ථිකය හැඩගැස්සවීම විය යුතු බවය.
ඒ අනුව රටේ ආදායම් ඉලක්ක කරගත් යෝජනා රැසක් දිගුකාලීන මධ්‍යකාලීන හා කෙටිකාලීන වශයෙන් මෙවරද දකින්නට ලැබෙන්නේ පසුගිය වසරේ මුලපිරීම් කළ යෝජනා රැසක දිගුවන් ලෙසය. මේ ජනාධිපතිවරයා පරණ පාරේ යෑමක් නොව නිවැරදි පාරේ යෑමකි.
එහෙත් මෙම දුෂ්කර තත්වයන් හමුවේ හෝ සමාජ ආරක්ෂණයට, රාජ්‍ය සේවක වැටුපට මුදලක් එකතු කිරීම ආදිය ඇතුලූ සහනදායක පියවරයන් ගනනාවන් මෙවර අයවැයෙන් යෝජනා කිරීමත් අතිශය වැදගත්ය. මන්ද ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික පීඩාවන් සමනය කිරීම සිදු නොවී දිගුකාලීන පියවරයන් ගැනීම ප‍්‍රායෝගික නොවන නිසාය. කෙසේ නමුත් මේ වෙනුවෙන් රාජ්‍ය ආදායම් වෙන් කිරීම අභියෝගාත්මක තත්වයක පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් රාජ්‍ය ආදායම් වැඩි කරගැනීමේ අතිශය සංකීර්ණ හා දුෂ්කර තලයක තිබෙන ගැටළුව ලෙහාගැනීම වෙනුවෙන් පියවර ගණනාවක් මෙවර අයවැයෙහි ද වෙයි.
මේවා බැලූ බැල්මට මතුපිටින් පෙන්වන ජනප්‍රිය සංදර්ශනාත්මක යෝජනා ලෙස නොපෙනීම මත මේවන විටත් විපක්ෂ කණ්ඩායම් ජනතාව නොමඟ යැවීම සිදුකරමින් තිබෙන අතර විවිධ ක්ෂේත‍්‍රවලින් හඬ නැගෙන්නේත් අයවැයෙන් තමන්ට කිසිදු සහනයක් නැති බවය. නමුත් ඇත්ත එය නොවේය.
විපක්ෂයේ නරි වාදං
රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් යෝජනා රැසක් අයවැය තුළ අඩංගු නමුත් මේ සාර්ථක කරගැනීමට දේශපාලන අධිකාරියට තනිවම කළ හැකි නොවේ. රටක් විදිහට සාමුහික වුවමනාවක් සහයෝගයක් ඊට අත්‍යාවශ්‍යය. ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන්, ජනතාවගෙන් මෙන්ම විපක්ෂ කොටස්වලින්ද මෙම සහය නොලැබේ නම් ඉලක්ක ජයගැනීම පහසුවන්නේ නැත. විශේෂයෙන්ම මෙහිදි යෝජනා කරන දේ කෙරෙහි විපක්ෂයේ විරෝධයන් මතුකර, වෘත්තීය සමිති අවුළුවා ජනතාව පාරට ගෙන පිස්සු නැටීමේ අවස්ථාව පටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් යොදාගැනීම තුළ රට යළි බංකොළොත් වීම හැර වෙනකකට මඟ සලසන්නෙත් නැත. අඩුම තරමින් රජයේ යෝජනා හැර විපක්ෂය වෙතින් විකල්ප යෝජනා කිසිවක් ඉදිරිපත් නොවීම තුළ ඔවුන්ගේ විරෝධයන් රටට ජනතාවට අතිශය අනතුරුදායකය.
විපක්ෂය දැන් අය-වැය යෝජන ගැන කතා කරන්න පටන්ගන්නේ සමස්ථයක් ලෙස අර්බුදය ජයගැනීමේ වැඩසටහනක් ලෙස නොවේ. එක් එක් කාරණා වෙන වෙනම ගෙන යම් පාර්ශ්වයකට මුහුණ දීමට වන පීඩාවන් ඉස්මතු කරමින්ය. මේ වන විටත් මේ ජෝගිය නටමින් තිබේ. විපක්ෂයට වෙන කළ හැකි දෙයක් නැත. ඔවුන්ට බලය ලැබුණත් ඔවුන් මේ කතා කරන යෝජනා කරන කිසිවක් ඉටුකිරීමේ හැකියාවකුත් නැත. මන්ද මෙම අර්බුදය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව ප‍්‍රශ්න විසඳීමේ ප‍්‍රතිපත්තියක් හෝ ඒ ගැන සමස්ථ විග‍්‍රයක හෝ නොමැතිව ඔවුන්ට කළ හැකි දෙයක් නැති බැවිනි.
බොහෝ විටම විපක්ෂය ඉල්ලා සිටින්නේ හැමෝටම සහනයන්ය, කෙටිකාලීන වුවමණාවන්ය. නමුත් මේ විවේචන අනුව අයවැය යෝජනා විවේචනය කරන අය සතුව මේ කියන කෙටිකාලීන විසඳුම් ලබාදීම ගැන අවබෝධයක් තිබිය යුතුය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු 20000 කින් වැඩි කරන්නැයි කියමින් විපක්ෂයේ මෙහෙයවීමෙන් ඔවුන්ට පක්ෂපාත වෘත්තීය සමිති ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරය සලකා බැලූවහොත් ඊට පිලිතුරක් ලෙස රජය රු 10000 කින් වැටුප් පතට එකතුවන ජීවන අංක දීමනාව වැඩි කර ඇත. රජය මෙම මුදල වැඩි කළේ කොහොමදැයි විපක්ෂය කල්පනා කළ යුතුය. රු 10000 බැගින් රජය සේවකයන් 14 ලක්ෂයකට ගෙවීමට රජය මුදල් සොයාගන්නේ කෙසේද යන්න හෝ නොදැන විපක්ෂය රු 20000 ක් වැටුප් වර්ධක ඉල්ලන්නේ කෙසේද? ඔවුන්ගේ පාලනයක් යටතේ මෙම 20000 ලබා දිය හැකිද යන්න ගැන නිශ්චිත පැහැදිලි පිළිතුරක් ඔවුන් සතුව තිබිය යුතුය.
විපක්ෂය කොරන හැටි
පැහැදිලිවම විපක්ෂයට උත්තර නැත. සමාජාරක්ෂණය වෙනුවෙන් වැය කරන මුදල තුන් ගුණයකින් රජය වැඩිකර තිබේ, මේ සඳහා රජය මුදල් සොයාගන්නේ කොහොමද? සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව, බලශක්තිය, ආහාර ඖෂධ ආදි රටේ අනෙකුත් අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයන් ස`ඳහා රජය මුදල් සොයාගන්නේ කෙසේද? මෙවර අයවැයෙන් විවිධ ක්ෂේත‍්‍ර සංවර්ධනය සඳහා ද රජය මුදල් වෙන්කර ඇත. ඒවා සොයා ගන්නේ කෙසේද? මේවා ගැන විපක්ෂයේ අවබෝධය හිස්ය.
විපක්ෂය රජයේ පාලනය අතට ගන්නේ නම් මෙම මුදල් සොයා ගැනීම කරන විදිහක් ගැන කිව යුතුය. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට ස්ථාවර කරගැනීම අභියෝගයක්ව තිබෙන තත්වයන් හමුවේ එළැඹෙන වසර තුළ රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිකර්ම මොනවාද යන්න හෙළිකළ යුතුය. එසේ නොමැතිව ‘අරක නෑ මේක නෑ’ කියමින් අෙඳා්නා නැගීමෙන් එය ජනතාව වෙනුවෙන් පෙනී සිටීමක් වන්නේ නැත. එය පැහැදිලිවම නැවත නැවත ජනතාව ගොනාට අන්දවමින් කරන සුපුරුදු රැවටීමම වෙයි.
ඔවුන්ගේ ජනප‍්‍රිය සටන් පාඨයක් වී ඇත්තේ හොරකම් කළැයි කියන ධනය නැවත රටට ගෙනැවිත් වැඬේ ගොඩදාන බවය. මේ රට ගොඩදාන කතා ඇත්තටම විකාරයක්ය. රටේ මහ ධනස්කන්ධයක් හොරා කා ඇති බව ඇත්තය. ඒවා යළි මෙරටට අත්පත්කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවත් ඇත්තය. නමුත් එය මේ මොහොතේ ඇති අර්බුදයට විසඳුමක් නොවේ. මන්ද ඒ වෙනුවෙන් කටයුතු කළත් එය වසර ගණනාවක් ගත වන වැඩක් නිසාය. කෙටියෙන් කිවහොත් මුලින්ම මෙහෙම ධනයක් හොරකම්කර ඇති බව මෙරට අධිකරණයක් හරහා ඔප්පුකර වැරදි කරුවන්ට දඬුවම් පැමිණවීම සිදුකළ යුතුය. එසේම එම දඬුවමේම කොටසක් ලෙස මේ ධනය යළි මෙරටට ගෙන්වා රාජසන්තක කිරීමේ නියෝගයන් තිබිය යුතුය. එම නියෝගයන් අනුව අදාල විදේශ රාජ්‍යයන් සමඟ කළ යුතු නෛතික ක‍්‍රියාවලියක් ඇත. එසේම එම රජයන් හෝ එම රාජ්‍යන්හි ඇති මුල්‍ය ආයතන සමඟ ඒ සඳහා වන එකඟතාවයන් වෙත යා යුතුය. මෙම සංකීර්ණ මෙහෙයුම විපක්ෂය කියන ලෙස මාස දෙක තුනෙන් අවුරුද්දෙන් දෙකෙන්වත් කළ හැකි නොවේ. අනෙක මෙතෙක් ලෝකයේ ඒ ආකාරයේ අත්දැකීම් ඇත්තේ නැති තරම්ය.
රජය කරන්නේ කුමක් ද?
රටට දැන් අවශ්‍යව ඇත්තේ මේ මොහොත තුළ රටේ අයවැය තුලනය කරගැනීමේ කඩිනම් ප‍්‍රතිකර්ම සහ දීර්ගකාලීනව ස්ථාවර රටක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ගත යුතු තිරසාර ක‍්‍රියාමාර්ග ගැනීමය. රාජ්‍ය ආදායම මෙන්ම විදේශ සංචිත වැඩි කරගැනීම, රජයේ වියදම අවම තත්වයෙන් නියාමනය කීරීම වෙනුවෙන් ප‍්‍රතිපත්තති සැලසුම් වැඩපිළිවෙළ සකස්කිරීමය. එසේම වැදගත්ම දේ විදේශ ණය ප‍්‍රතිවුහගත කිරීම හරහා ගෙවීමට ඇති ණය වෙනුවෙන් කාලයක් ඉල්ලා ගැනීමය. එම ප‍්‍රශ්නයත් තවම විසඳී නැත. දැන් ඊටත් වසරකට වැඩි කාලයක් ගත වී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය හෝ තවම මෙරටට ලැබී නැත. ඒ විසඳී ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගෙන තෙක් විදේශ ණය ගැනීමේ හැකියාවද නැත. මේ සංකීර්ණ ගැටළු විසඳා ගන්නා තෙක් විපක්ෂයේ බාල නොමේරු විහිළු කතා වලින් රටට ඇති වැඩක් නැත. එමෙන්ම නව ආර්ථික ප‍්‍ර‍්‍රතිසංස්කරණ අනුව රටේ කවර අවශ්‍යතාවයන් තිබුණත් එය පියවාගැනීමට මුදල් මුද්‍රණය කිරීමත් අත්හිටුවා තිබේ. මේ අනුව රජයට සැබෑ ලෙසම රාජ්‍ය ආදායම් උපදවාගැනීම වෙනුවෙන් අවංක කැපකිරීමක් සිදු කිරීමට බල කරද තිබේ. මේ අනුව රජයට මේ මොහොතේ සිය වියදම් වෙනුවෙන් බදු අය කරගැනීම සහ දේශීය මුලාශ‍්‍රවලින් ණයගැනීම හැර වෙනත් පුළුල් මාර්ග විවෘත්තව නැත.
රජය මෙවර අයවැයෙන් රජයේ ණය ගැනීමේ සීමාව වැඩි කිරීමට යෝජනා කර ඇත. මෙහි තේරුම නම් රජයට මෙම වසර පුරාම ආදායම් ඉපදවීමේ සහ රජයේ වියදම් පිළිබඳ පීඩාකාරී ගැටලූවට මුහුණ දීමට සිදුවන බවය. රජයේ ඇස්තමේන්තු අනුව එළැඹෙන වසරේ අපේක්ෂිත ආදායම ට්‍රිලියන 4ක් පමණ වන අතර වියදම රුපියල් ට්‍රිලියන 7 කට ආසන්නය. ණය ගැනීමේ සීමාව එම වියදමද ඉක්මවා ට්‍රිලියන 7.35 ක් ලෙස ලකුණු කිරීමෙන් රජයේ සියලූ වියදම් මෙම ණය සීමාවද ඉක්මවා සිදුවීමේ ඉඩක් තිබෙන බව ලෙස පෙනුනත් සැබෑ ණය අවශ්‍යතාවය ට්‍රිලියන 3කි. ණය සීමාව ඉහළ යන්නේ විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සහ බැංකු නැවත ප‍්‍රාග්ධනීයකරණය සඳහා වන නව ණය මෙවලම් නිකුත්කිරීමේ අවශ්‍යතාවය මතය.
කෙසේ නමුත් තත්වය කෙතරම් බරපතලද යන්න මෙමගින් කල්පනා කළ හැකිය. මේ ණය ගැනීමේ සීමාව වැඩිකිරීම ගැනත් විපක්ෂය විරෝධය පල කරයි. නමුත් ඔවුන්ගේ විසඳුම කුමක්ද? ණය ගැනීමෙන් තොරව රජයට වියදම් කලමනාකරණය කරගත හැකි ක‍්‍රමවේදයක් තිබේද? නැත. මේ මොහොතේ බදු ආදායම් හැර වෙනත් ගත හැකි කෙටිකාලීන පියවරයන් අවමය. නමුත් විපක්ෂය කියනසේ මෙය ආදායම් ඉලක්ක නැති අයවැයක් නොවේ. රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම වෙනුවෙන් මෙවර අය වැයෙනුත් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ. නමුත් ඉන් බොහොමයක්ම දිර්ගකාලීනව වැඩපිළිවෙල වන අතර රාජ්‍ය ආදායමට ප‍්‍රතිලාභ ලැබෙන්නේ වක‍්‍රාකාරවය. ප‍්‍රතිලාභ අත්පත් කරගැනීමට යම් කාලයක් ගතවෙන නමුත් ස්ථිර සාරය.
සජිත්-අනුර එකවල්ලේ පොල්
කොහොම නමුත් වාර්ෂික අයවැය යෝජනාවලියක් මගින් ඉදිරිපත් කරන සමස්ථ වැඩපිළිවෙල යනු එළැඹෙන වසර තුළ සම්පුර්ණ කරගත හැකි දේ නොවේ. එමෙන්ම මේවා උපකල්පනයන්ය. අපේක්ෂිත ආදායම් ණය ආදිය නොලැබුණහොත් ඇතැම් යෝජනා කළ හැකි නොවේ. කොහොම නමුත් පසුගිය වසරේ අයවැය මගින් මුලපුරණු ලැබු වැඩපිළිවෙල ගණනාවකම ඉදිරි අදියරයන් වෙනුවෙන් මෙවර මුදල් වෙන්කිරීම සිදුව ඇත. බොහො විට තවත් වසරකින් අනතුරුවත් ඇතැම් දේ සම්පුර්ණ කරගැනීීමට මුදල් වෙන් කිරීම් සිදුකිරීම විය හැකිය. එහෙත් මේ අතර මරිමෝල් විපක්ෂය පසුගිය අයවැයෙන් යෝජනා කළ දෑ සම්පුර්ණකර නැතැයිද ඒ නිසා මෙවර අය-වැය යෝජනා වැඩක් නැති ටොම් පචයක් බවත් කියමින් සිටී.
සජිත් ප්‍රේමදාස කියා සිටින්නේ ‘රජය පසුගිය අය-වැය යෝජනා ක‍්‍රියාත්මක කර නැහැ. රජය නව වසර සඳහා ඉදිරිපත් කළ අය-වැයේ සාර්ථකත්වය අපේක්ෂා කළ හැක්කේ පසුගිය රජය අය-වැය සම්බන්ධයෙන් ඉටුකළ ප‍්‍රමාණය අනුවයි. විවාද කරපු යෝජනා 77න් 69 ක සම්පූර්ණතාවයක් නැහැ. 2024 අයවැය යෝජනා පිළිබඳව විශ්වාසයක් තබන්නට නම් අඩු තරමින් 2023 යෝජනාවල සම්පූර්ණත්වයක් තිබිය යුතුයි. රටට බොරු කියන්න එපා. රට මං මුලා කරන්න එපා. 2024 යෝජනා හදන්න කලින් 2023 යෝජනාවල ප‍්‍රගතිය බලන්නේ නැද්ද. කිසිම පසුවිපරමක් නැහැ. 2023 යෝජනා ක‍්‍රියාත්මක කිරීමේදී අන්ත දුර්වල ප‍්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. අයවැයට ටොන් පච යෝජනා ඉදිරිපත් කරන්න එපා..’ යනුවෙනි. මේ මොන තරම් රටේ ජනතාව නොමග යවන ප‍්‍රකාශයක්ද යන්න පැහැදිලිය. අඩු තරමින් මේ වාර්ෂික අය-වැය යෝජනාවලියක් යනු කුමක්දැයිවත් නොදන්නා අඳබාල මරිමෝඩ කතාවකි.
මේ අතර අනුර කුමාරද පවසා සිටියේ අයවැයෙහි අලූත් දෙයක් නැති බවත් ජනාධිපතිවරයා තමන්ට සුපුරුදු ලෙස කටයුතු කර ඇති බවය. ණය ගැනීමයි විකිණීමයි හැර වෙන කිසිවත් නැති බවය. එහෙත් ජනාධිපතිවරයා මේ කරන දේ වැරදි නම් ඊට විකල්පව රටේ අර්බුදය විසඳාගැනීමට කඩිනමින් ගත හැකි ප‍්‍රායෝගික විසඳුම් ගැන අනුර කියන්නේ නැත. හර්ෂලා චම්පිකලා වැනි ආර්ථික ඔස්තාර්ලා ද ඒ ගැන කියන්නේ නැත. මන්ද කිව්වොත් කියන්න වන්නේ ජනපති රනිල්ගේ වැඩපිළිවෙලම නිසාය.
තමන්ගේ පරණ හණ මිටි මරිමෝඩ විසඳුම් වට්ටෝරුව ගැන නන්දෙඞීම හැර අනුරලාට සජිත්ලාට රට මුහුණ දෙන අර්බුදය ගැනවත් අවබෝධයක් නැති බව හෝ තක්කඩිකම නිසා මෙසේ හැසිරෙන බව පැහැදිලිය. බල තණ්හාවට බෙරිහන් දීමට වඩා දෙයක් මේ කතාවල නැත. එසේම රට මේ මොහොතේ මුහුණ දෙමින් තිබෙන අර්බුදය හමුවේ මේ අයට වැරදිලාවත් රටේ පාලන බලය හිමිවුවහොත් යන්තම් හෝ සිහිබුද්ධියක් තිබේ නම් ඔවුන් එය භාරගන්නෙත් නැති බවත් සහතිකවම කිව හැකිය. මන්ද මේ අර්බුද විසඳන්නට තබා අර්බුදය කුමක්ද කියාවත් ඔවුන්ට තේරුමක් නැති බවත් අඩු තරමින් රනිල්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ සක්‍යතාවයක් හෝ තමන්ට නැති බවත් ඔවුන්ටම පිළිගන්න සිදුවන නිසාය. එතරම්ම මේ අය දුර්වලයන්ය. රට භාරගන්න කියා ඉල්ලූ මොහොතේ සැඟව පළාගියෙත් මේ නිසාය. මේ අනුව අවාසනාවකට හෝ ඔවුන් රට භාරගතහොත් ඒ රටේ අවසානය සහතික කිරීමක් බවත් පැහැදිලිවම පැවැසිය හැකිය.
රජය සල්ලි හොයාගන්න හැටි
ඒ කොහොම නමුත් මෙවර අයවැය මගිනුත් රටේ ආදායම් උපදවාගැනීම වෙනුවෙන් අයවැය යෝජනා ලෙස ඉදිරිපත්කර තිබෙන යෝජනා අතර සෘජුව රාජ්‍ය ආදායම් අත්පත් කරගැනීමේ ක‍්‍රමවේදයන් මෙන්ම වක‍්‍රාකාරයෙන් රාජ්‍ය ආදායම් වර්ධනය වන පියවරයන් ගණනාවක්ම වේ. මෙහිදී සෘජු ආදායම් මාර්ගය ලෙස ඇති බදු ආදායම් අත්පත්කර ගැනීමට වඩා දීර්ගකාලීනව රටේත් ජනතාවගේත් ආදායම් වර්ධනය කරමින් ඒ මඟින් රාජ්‍ය ආදායමට දායකත්වයක් ලබාගැනීමට ගෙන තිබෙන පියවරයන් පෙන්වා දිය යුතුය. පසුගිය වසරේ අයවැය යෝජනා මඟිනුත් මේ සඳහා අවශ්‍ය කරන මුලපිරීම් රැසක් කර තිබිණි.
ව්‍යවසාය සහ රැකියා වර්ධනය
පැවැති අර්බුදයන් හේතුවෙන් අඩපණ වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහනදායී ණය පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 50 ක් වෙන්කිරීම මෙවර කර ඇත. මෙමගින් යළි ව්‍යාපාරික පරිසරය ශක්තිමත් වීම හරහා රැකියා සහ වක‍්‍ර ව්‍යපාරික අවස්ථා නිමාණය වන අතර රාජ්‍ය බදු ආදායම් වර්ධනයට එය රුකුලකි. රටේ නව ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම වෙනුවෙන් තරුණ අභිවෘද්ධි වැඩසටහනක් ජනාධිපති කාර්යාලය විසින් ක‍්‍රියාත්මක කිරීමටත්, යෝජනා කර ඇත.
එමෙන්ම කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් රජය මේ වනවිට ක‍්‍රියාත්මක වැඩසටහන් වෙනුවෙන් තවදුරටත් සහයවීම සඳහා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය හඳුන්වා දීමට යෝජනා කර ඇත. පසුගිය අයවැයෙන් යෝජිතව ක්‍රියාත්මක වැඩපිලිවෙලට අමතරව මෙවර අත්යන්ත‍්‍ර පේෂ කර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප‍්‍රජාවට පහසුකම් සැලසීමට ද කටයුතු යොදා ඇත.
ඉඩම් නිවාස ගැටලු විසඳීම
ජනතාවගේ ඉඩම් සහ නිවාස ප‍්‍රශ්නය විසඳීම වක‍්‍රාකාරයෙන් රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට හේතු වන්නකි. ”උරුමය වැඩසටහන” මඟින් බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පුද්ගලික අයිතිය ලබාදීමට පියවර ගෙන ඇත. වසර කීපයක් ඇතුළත පවුල් ලක්ෂ විස්සකට (2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබේ.
මේ වන විට මාසික කුලී ගෙවමින් සිටින් රජයේ නාගරික නිවාස පදිංචිකරුවන්ට මේ නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමට ක‍්‍රියාකෙරෙන අතර 2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලැබේ.
වතුකරයේ ජීවත් වන පිරිස් වෙනුවෙන් නිවාස සහ ඉඩම් අයිතිය හිමිකර දීමට ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කර ඇත. 1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12 ක් පමණ වූ ඉඩම් කට්ටි අතරින් මේ වන විට ඉඩම් කට්ටි මිලියනයක් පමණ ආවරණය කර ඇති අතර මෙම වැඩසටහන කඩිනමින් නිම කිරීම පිණිස මෙවරත් ප‍්‍රතිපාදන වෙන් කර ඇත. උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිසා තවදුරටත් උන්හිටිතැන් අහිමිව සිටින්නන් නැවත පදිංචි කිරීම සඳහා මිලියන 2,000 ක් ද වෙන් කර ඇත.
මේ අනුව ඉඩම් සහ නිවාස අයිතිය ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කොට අවසන් වන විට මේ රටේ ජනතාවගෙන් සියයට 70 ක් පමණ දෙනා ඉඩම් හා නිවාසවල උරුමකරුවන් බවට පත්වෙයි. මේ ලැබෙන අස්වැසිල්ල හරහා මෙම ජනතාව වඩා සක‍්‍රීව රටේ ආර්ථික ක‍්‍රියාකාරකම් වලට යොමු වෙනු ඇත. ඒ අවසානයේ රාජ්‍යයේ ආර්ථික තත්වයන් ඉහළ දැමීමට හේතුවනු ඇත.
ප‍්‍රාදේශීය සංවර්ධනය
ආර්ථික අර්බුදය නිසා ප‍්‍රාදේශීය සංවර්ධන කටයුතු මුළුමනින්ම මඟහැරී තිබුණු අතර ඒ යළි ආරම්භ වීම පැති ගනනාවකින් ආර්ථිකය සක‍්‍රීය කරනු ඇත. පසුගිය කාලයේ ප‍්‍රාදේශීය සංවර්ධන කටයුතුවලට දායකවීමට මහජන නියෝජිතයන්ට හැකි නොවීය. මෙවර මේ සදහා රුපියල් මිලියන 11,250 ක මුදලක් දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ලබාදීමට පියවර ගෙන ඇති අතර මෙය නිසැකවම ග‍්‍රාමීය වශයෙන් ආර්ථික ප‍්‍රබෝධයක් ඇති කරනු ඇත. ,කඳුකර දශකය, වැඩසටහන මගින් සබරගමුව හා මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවල කඳුකර ප‍්‍රදේශවලට අයත් සියලූ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ඇතුළත් දස වසරක බහුකාර්යය ග‍්‍රාමීය හා ප‍්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 වසරේ ආරම්භ කෙරෙයි. මේ සඳහා 2024 වසරට පමණක් මුලිකව රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇත.
අනෙක් සංවර්ධන ව්‍යාපෘති සඳහා 2024 අයවැයෙන් ප‍්‍රාග්ධන වියදම් සඳහා වන ප‍්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් වන රුපියල් බිලියන 1,260 ක් දක්වා ඉහළ නැංවීම සිදුවේ. එමෙන්ම විදේශ ණය සහ ආධාර මත සිදු කෙරුණු ව්‍යාපෘති ගණනාවක්ද විදේශීය ණය ප‍්‍රතිව්‍යව්‍යුහත කිරීමේ කාර්යයන් සාර්ථක වූ පසු ඒ ව්‍යාපෘති නැවත ඇරඹිමත් සිදු වෙනු ඇත. සෑම අමාත්‍යාංශයකම 2024 වසරේ සිට මේ සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටත්, නව ක‍්‍රමවේදයක් අනුව එය සිදු කෙරේ.
එමෙන්ම පසුගිය වසර කිහිපයේ සිටම ග‍්‍රාමීය මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ සහ කළමණාකරණය කිරීමේ අසීරුතාවන් ඇති විය. මේ ප‍්‍රතිසංස්කරණය සහ පසුගිය මාස කිහිපය තුළ වූ ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් ප‍්‍රතිසංස්කරණය කිරීමත් සඳහා රුපියල් මිලියන 12,000 ක් වෙන් කරනු ලැබ තිබේ.
මේ අතර ප‍්‍රාදේශිය සංවර්ධනය වෙනුවෙන් තවත් වැදගත් පියවරක් ගෙන ඇත. ඒ පළාත් සභා ආදායම් පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පමණක් සීමා නොකොට පළාතේ සංවර්ධනය සඳහා ප‍්‍රාග්ධන වියදම් ලෙස භාවිතයට ගැනීමටත්, පළාත් සභා මඟින් අපනයන කර්මාන්ත ප‍්‍රවර්ධනය වෙනුවෙන් මෙතෙක් පැවැති මිලියන 4 වාර්ෂික පිරිවැටුමේ සීමාව රුපියල් මිලියන 600 දක්වා වැඩි කර, එමඟින් පළාත් සභාවලට අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත ප‍්‍රවර්ධනයටත් විශාල අවස්ථාවක් ලබා දී ඇත. එසේම සෑම පළාතකම කර්මාන්ත සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමත් සිදුවේ.
එමෙන්ම තවත් වැදගත් යෝජනාවක් වන්නේ පළාත් පාලන ආයතනවල ස්වයං මුල්‍යකරණය මඟින් එම ආයතන වල පැවැත්ම සදහා ආදායම් උපදවාගැනීමට නියම කිරීමය. ඒ අනුව ඒ සඳහා වන නව ක‍්‍රමවේදයන් වෙත යොමු වන විට පළාත් පාලන මට්ටමින් ව්‍යවසායයන් කර්මාන්ත ආදිය වැඩි දියුණු කරමින් ආදායම් එකතුකර ගැනීමට සිදුවනු ඇත. ඒ අනුව නිසැකවම ප‍්‍රාදේශීය ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙම ආයතනවලට විශාල දායකවීමක් කිරීමට සිදුවෙනු ඇත. මේ අතර ජාතික ජනසභාව ක්‍රියාත්මකවීම මඟින් ද ග‍්‍රාමීය වශයෙන් වන සංවර්ධන තීන්දු තීරණ නිර්දේශ කරනු ඇත. එමගින් නව ආර්ථික අවස්ථා ගමට ලැබෙනු ඇත.
නව ආර්ථිකය ප‍්‍රතිසංස්කරණ යටතේ කෘෂිකර්මය තරගකාරී මට්ටමකට ඔසවා තැබිම වෙනුවෙන් අපනයන ඉලක්ක කරගනිමින් කෘෂිකර්මය නවීකරණය වෙනුවෙන් අයවැය මගින් මුදල් වෙන් කර ඇත. එසේම ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත්, නවීන තාක්ෂණ දැනුම ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමටත් අවදානය යොමුකර ඇත. මේ අනුව කෘෂි හා ධීවර අංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පළාත් කෘෂි සහ ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවනු ලැබීම, සියලූ ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන ලෙස වැඩි දියුණු කරිම. වන අතතර මේ සඳහා රජය, පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විද්‍යාඥයින්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ වෙයි. මේ සඳහා රුපියල් මිලියන 2,500 වෙන් කර ඇත.
මෙහිදී වී නිෂ්පාදනය හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීම හා වගා නොකරන කුඹුරු වෙනත් ප‍්‍රයෝජනවත් වගා කටයුතු සඳහා උපයෝගී කර ගැනීමේ අවස්ථාව උදා වෙයි.
ඊට අමතරව මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාව, මහවැලි ඒ සහ බී කලාප, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් අක්කර ලක්ෂ 3 ක් වෙන් කිරීමට පියවර ගෙන ඇත.
ධීවර අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම, ධීවර ජීවනෝපාය සහ ආදායම් වැඩිදියුණු කිරීමේ සඳහා රජය ධීවර වරායන් කළමනාකරණයේ දී පෞද්ගලික අංශය සමඟ එකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. මිරිදිය ධීවර කර්මාන්තය නංවාලීමටද මෙවර පුමුඛතාවයක් දී ඇත. වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමත් මේ අනුව සිදුවේ.
කිරි නිෂ්පාදන සංවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ සියල්ලම ඵලදායී ලෙස යොදා ගනිමින් පෞද්ගලික අංශයේ ද දායකත්වය සහිතව කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ සියයට 53 කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට යෝජිතය. මේ ව්‍යාපෘතිය මඟින් දෛනික කිරි නිෂ්පාදනය පස් ගුණයකින් නැතිනම් දිනකට ලීටර් මිලියන 20 දක්වා ඉහළ නැංවේ.
මෙම වැඩසටහන යටතේ දැනටමත් අඹේවෙල ගොවිපළේ දිනකට ලීටර් 1,600 ක් ව තිබූ දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් 50,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය දිනකට කිරි ලීටර් 75,000 ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂා කරයි.
මෙරට පාරම්පරික වෙද වට්ටෝරුවලින් තැනූ දේශීය ඖෂධ, ආහාර අතිරේක, ඖෂධීය විලවුන් හා ශාකසාර අමුද්‍රව්‍යවලට ඇති ජාත්‍යන්තර ඉල්ලූම සලකා තවදුරටත් ජාත්‍යන්තර වෙළෙඳපොල පුළුල් කරගැනීමේ වැඩපිළිවෙලද ක්‍රියාත්මකය.
ඉහළම අධ්‍යාපනයක්
අධ්‍යාපනය රාජ්‍ය සංවර්ධනයේ වැදගත්ම අංශයකි. විශේෂයෙන්ම අනාගත සංවර්ධනය ඉලක්ක කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් සැකසීම වෙනුවෙන් ජනාධිපතිවරයා සිය ධුරය භාරගත් මොහොතේ සිටම අවධානය යොමු කළ ක්ෂේත‍්‍රයකි. විශේෂයෙන්ම මෙරට සංවර්ධනය කිරීමෙහි ප‍්‍රධාන මුලෝපායික තේරීම වන්නේ සේවා නිශ්පාදන අංශය දියුණු කිරීමය. ඒ වෙනුවෙන් රට වැසියා සූදානම් කිරීම අධ්‍යාපනයේ ප‍්‍රමුඛ කටයුත්ත වෙනු ඇත. එම ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම. පිහිටුවීම සිදු වේ.
මේ අතර විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය (ලලිත් ඇතුළත්මුදලි පශ්චාත් උපාධි ආයතනය ද ඇතුළත්ව* ,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලය, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය යන ආයතන හතර ආරම්භ කිරීමේ මුලික පියවර ගෙන ඇත. මීට අමතරව තවත් මහාවිහාර විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන ගණනාවක් පිහිටුවීම සිදුවේ.
එමෙන්ම, දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින එන්.එස්.බී :භීඊඵ, ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ීඛෂඔ, හොරයිසන් කැම්පස්, රෝයල් ඉන්ස්ටිටියුට් යන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමත් වෙනු ඇත. එමෙන්ම පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබේ.
අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා කැපවුණු ‘ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලය’ ස්ථාපනය කෙරෙන අතර ඉහළ අධ්‍යපානයක් සහිත, අධ්‍යාපනවේදී උපාධිය මෙම නව විශ්ව විද්‍යාලය මඟින් පිරිනැමෙනු ඇත. ඉන්දියාවේ චෙන්නෙයි නගරයේ පිහිටි අයි අයි ටී (IIT) විශ්ව විද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කෙරෙයි.
මේ අතර මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වැඩිදියුණු කරලීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකකර ඇති අතර මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කිරීමට නියමිතය. අනතුරුව ශ‍්‍රී ජයවර්ධනපුර,කොළඹ, කැළණිය සහ මොරටුව විශ්වවිද්‍යාල සංවර්ධනය වෙනුවෙන් කටයුතු කෙරෙයි.
තවත් වැදගත් අදියරක් වන්නේ ලෝකයේ ඕනෑම පිළිගත් විශ්ව විද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දීමට පියවර ගැනීමය. උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍යකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට මෙන්ම විදේශීය ශිෂ්‍යයන් මඟින් විදේශ විනිමය උපයා ගැනීමටත් මෙමඟින් අවකාශ උදාවෙයි. මේ අනියමින් සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමටද සහය වෙනු ඇත. මෙම රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරුවන්ට ණය පහසුකම් ලබා දීමත් දැනට ක‍්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක‍්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමටත් යෝජිතය.
දැනට මධ්‍යම රජය යටතේ ක‍්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන ආයතන, පළාත් සභා නවය වෙත පැවරීමත් නිපුණතා සංවර්ධන ක්ෂේත‍්‍රය දියුණු කිරීම හා නවීකරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවනු ඇත. ඒ අනුව ඉදිරියේ දී වෘත්තීය අධ්‍යාපන කටයුතු සහ සේවා සියල්ල ක‍්‍රියාත්මක කරනු ලබන්නේ පළාත් සභා මගිනි.
එමෙන්ම තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනයවේ. තොරතුරු තාක්ෂණ පුහුණුවට සම්බන්ධ පුද්ගලික ආයතන සමග එක්වී රැකියා අපේක්ෂිත උපාධිධාරීන් පුහුණු වැඩසටහනක් දියත් කිරීම සිදුවේ. මේ අනුව උපාධිධාරීන්ට අවම මාස 6 ක කාලයක් තුළ පුහුණුව සහ සේවා පළපුරුද්ද ලැබෙනු ඇත. ඉදිකිරීම්, සාත්තු සේවා, සංචාරක වැනි අනෙකුත් නිපුණතා හිඟයන් පවතින ක්ෂේත‍්‍ර සඳහාත් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක වෙනු ඇත.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන තරුණ ප‍්‍රජාවට දේශීය හා විදේශීය රැකියා ලබාගැනීමට අවකාශ සැලසීම, රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශයන්හි රැකියා කරන වැඩිහිටියන්ට නව දැනුම ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම, අරමුණු ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා සහ සේවාවන් සැපයීමට අවශ්‍ය තාක්ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ‘ශ‍්‍රී ලංකා පදනම’ට ප‍්‍රතිපාදන වෙන් කිරීමත් සිදුකර ඇත. ශ‍්‍රී ලංකාවේ ඉංග‍්‍රීසි භාෂා සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම ඇරඹීමට ප‍්‍රතිපාදන වෙන් කිරීමත් සිදුකර ඇත.
ඩොලර් ආදායම
පසුගිය වසරේ අයවැයෙන් යෝජනා කළ පරිදි, රටේ ආයෝජන හා වෙළඳ ප‍්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ආයතනික හා නීතිමය රාමුව ප‍්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරියෙහි කාර්යයන් ඒකාබද්ධ කරන ආයතනික රාමුව අධීක්ෂණය කරන යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපිත කරමින් නව ඒකාබද්ධ ආයෝජන නීතියක් කෙටුම්පත් කිරීම මේ වන විටත් සිදුව තිබේ.
හම්බන්තොට, යාපනය, ත‍්‍රිකුණාමලය, බිංගිරිය හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට යෝජනාකර ඇති අතර මෙම විශේෂිත ආයෝජන ප‍්‍රවර්ධන කලාප අලූතෙන් පිහිටුවන යටිතල පහසුකම් සංස්ථාව හරහා සිදුකෙරේ.
ශ‍්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ප‍්‍රයෝජනයට ගෙන මෙරට ආර්ථිකය නංවාලීමේ උපක‍්‍රමික පිළිවෙතට වත්මන් රජය පිවිස ඇත. මෙය මෙරට ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත්ම එළැඹුමකි. ඒ අනුව මෙරට කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැවැන්ත ආර්ථික වටිනාකම අත්පත්කර ගැනීමේ වැඩපිළිවෙල දැනටමත් ක්‍රියාත්මකය.
වරාය නැගෙනහිර, බටහිර පර්යන්ත ඉදිකිරීම් අවසන් වීමෙන් හා 2030 වසරෙන් පසු අපේක්ෂිත කොළඹ උතුර වරාය නිර්මාණය වීමෙන් පසු කොළඹ වරායේ ලෝකයේ ධාරිතාවය වැඩිම වරායක් ලෙස වැඩිදියුණු වෙයි. ත‍්‍රිකුණාමලය වරායත් සංවර්ධනය වන අතර දකුණු ඉන්දියානු කලාපයේ වේගවත් වර්ධනය හා කාර්මීකරණය ප‍්‍රතිලාභ අත්විඳීමට ශ‍්‍රී ලංකාවට මෙමඟින් විශාල අවස්ථාවක් නිර්මාණය වෙයි.
මැණික් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් නංවාලීමේ නව යෝජනා මෙවරත් ඉදිරිපත් කර ඇත. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය මේ වනවිට විශාල පසු බෑමකට ලක්ව තිබෙන නමුත් පවතින තත්වයන් අනුව රජය මැදිහත් වෙමින් ඒ වෙනුවෙන් රජයේ ව්‍යාපෘති සඳහා පොද්ගලික අංශය සම්බන්ධ කරගැනීමේ යම් ක‍්‍රමවේදයත් මෙවර හඳුන්වා දී ඇත. කෙසේ නමුත් ඉදිරි සංවර්ධන ආයෝජන ව්‍යාපෘති දියත්වීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට විශාල පිම්මක් පැනීමේ අවස්ථාව උදාවෙනු ඇත.
මඟ හොඳට තිබේ නම්
රටක ආර්ථික සංවර්ධනයේදී ප‍්‍රවාහන හා මාර්ග ක්ෂේත‍්‍රය වැනි යටිතල පහසුකම් අතිශය වැදගත්ය. ඒ අනුව 2024 වර්ෂය තුළ දී මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කිරීම සිදු වෙනු ඇත.
බස්නාහිර පළාත තුළ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව විදුලි බස්රථ 200 ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරයි. පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහ නගර ආශ‍්‍රිත සහ සංචාරක ගමනාන්ත ආශ‍්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය පදනම යටතේ ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර, මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘති ලෙස ස්ථාපනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටත් යෝජිතය.
මේ අතර හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීම් අවසන් කිරීම මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වාම දීර්ග කිරීමේ අපේක්ෂාවද වෙයි.
මූල්‍ය අංශයේ ශක්තිමත්භාවය
මෙරට මූල්‍ය අංශයේ ස්ථායීකරණය වෙනුවෙන් තවත් පියවර ගනනාවක් මෙවර අයවැයෙන් යෝජිතය. රාජ්‍ය බැංකු ප‍්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ක‍්‍රමවේදය දිගුකාලීනව බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කර ඇත. මෙහිදී විශාලම රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20 ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබාදීමට යෝජනා කර ඇති අතර මෙමගින් අවම වශයෙන් රුපියල් ට්‍රිලියන 2 ක පමණ දැවැන්ත මුල්‍යමය සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.
එමෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ නීතිය සැකසීම දැනටමත් අවසන් කර ඇති අතර ඒවා ඉදිරි මාස දෙකතුන තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ හැර රටේ ප‍්‍රගතියට අනුබල දීම සඳහා නව නීති ගණනාවක් හඳුන්වාදීම සහ පවතින යල් පැනපු නීතිවලට සංශෝධන ඇතුළත් කිරීමේ ක‍්‍රියාවලිය දැනටම ආරම්භ කර ඇති අතර මේ අයුරින් නව නීති හා සංශෝධන නීති 60 ක් පමණ ද ඉදිරියේදී පැනවෙනු ඇත.
එසේම ආර්ථික අර්බුදයට හේතුභූත වූ, ආර්ථික පාලනයේ සහ විශේෂයෙන්ම මූල්‍ය පාලනයේ දුර්වලතා ලෙස සැලකෙන් ප‍්‍රසම්පාදනය වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාමාර්ග, ආදායම් එකතු කිරීමේ අධිකාරීන්ගේ දුෂණ, දුර්වලතා විසඳීම සහ ආයෝජන දිරිගැන්වීම් සම්බන්ධ ගැටලූ විසඳීම සඳහා තවත් විශේෂ පනත් සැකසෙමින් පවතී.
රාජ්‍ය ආදායම් පරිපාලන ඵලදායීතාවය ඉහළ නැංවීම, ප‍්‍රතිසංස්කරණ වේගවත් කිරීම, මානව සම්පත් සම්බන්ධයෙන් පවතින යල් පැන ගිය රාජ්‍ය විධිවිධාන වැනි බාධකයන් මගහැර විසඳුම් ලබාදීම, නවීන, කාර්යක්ෂම හා අඛණ්ඩව ක‍්‍රියාත්මක වන ආදායම් පරිපාලන ක‍්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරයි. මේ නව නෛතික ප‍්‍රතිපාදනයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයන් ද පදනම් කරගත් ප‍්‍රතිසංස්කරණයන් වේ.
අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කරගැනීම වෙනුවෙන් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කෙරෙනු ඇති අතර මේ හරහා මෙරටට විදේශ විනිමය ආදායම් කිහිප ගුණයකින් ඉහළ නැංවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. 2023 අයවැය දී යෝජනා කළ ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා නීති කෙටුම්පත් කිරීමද මේ වන විට අවසන්ය.
මෙරට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාම ද ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අනිවාර්ය අවශ්‍යතාවයක්ව තිබේ. වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකය කරා යාමේ දී පහසුකම් සැලසීම සඳහා පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීම සිදුවන අතර. තාක්ෂණික නවෝත්පාදනය දිරිගැන්වීම උදෙසා තාක්ෂණික නවෝත්පාදක සභාවක් පිහිටුවීම සිදු කෙරේ. එමෙන්ම කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු යෙදී ඇත. මේ සදහා මුලික පියවරයන් පසුගිය අය-වැය තුළින් ක‍්‍රියාත්මක විය.
මේ අතර විශාල අවශ්‍යතාවයක්ව පවතින ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ අංශයේ ප‍්‍රගතිය වෙනුවෙන් පියවර ගැනීමටද යෝජනා කර ඇත. පර්යේෂණ සහ සංවර්ධනය, තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදනයන්, ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමේ දී සහ ආර්ථික ප‍්‍රගතිය සහ සමාජ යහපැවැත්ම සඳහා සහය වීමට ජාතික පර්යේෂණ ප‍්‍රතිපත්තියක් සැකසීම සිදුවන අතර මෙම කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 8 ක් වෙන් කර ඇත. තාක්ෂණය සහ නවෝත්පාදනය රටක සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍යම කාරණයක් වන අතර ශ‍්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය ගොඩනැංවීම සඳහා රජය පියවර තබා ඇත. මෙමගින් නව විකල්ප ව්‍යාපාරික අවස්ථා බිහිවෙනු ඇත.
භාණ්ඩ හා සේවාවන්හි දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළු ගිග් ආර්ථික ක‍්‍රියාකාරකම් ,අන්තර්ජාල හරහා සිදුවන, සහ විද්‍යුත් වාණිජමය ගනුදෙනුවල නව ප‍්‍රවණතාවන් සැලකිල්ලට ගෙන, ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා සරල ප‍්‍රතිපත්ති සහ නියාමන රාමුවක් හඳුන්වා දෙයි. මෙය කාලයක් පුරා එම ක්ෂේත‍්‍රයේ නියැලෙන්නගේ විශාල ඉල්ලීමක් ඉටු වීමකි. මේ හරහා විදේශ විනිමය අති විශාල ප‍්‍රමාණයකින් වර්ධනය කරගැනීමේ පහසු අවස්ථාවක් රටට උදාවේ.
මෙරට තිරසර සංවර්ධන න්‍යාය පත‍්‍රයේ ඉදිරි දර්ශනය සඳහා පදනම් වෙන්නේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මයි. මේ අනුවමහා භාණ්ඩාගාරයේ දේශගුණික මූල්‍යකරණ ඒකකයක් ඇති කිරීම, ජනාධිපති කාර්යාලයේ දේශගුණික විපර්යාස සම්බන්ධ කාර්යාලයක් ඇති කිරීම, ශ‍්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට සහාය වන ආයතනික ව්‍යුහය නිර්මාණය කිරීමට පියවර ගනිමින් තිබේ. ළඟදීම දේශගුණික විපර්යාස කොමිසම පිහිටුවීමටත් රජය තීරණය කර ඇත. මේ සඳහා ජාත්‍යන්තර ආධාර අනිවාර්යෙන්ම ලැබීමට නියමිත අතර එය මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇත.
එමෙන්ම මීට සමගාමීව හරිත හයිඩ‍්‍රජන්, හරිත ඇමෝනියා සහ සූර්ය හා සුළං ඇතුළත් පුනර්ජනනීය ශක්ති ප‍්‍රභවයන් සංවර්ධනය කිරීම සෘජුවම මෙරට ආර්ථික සංවර්ධනය සහ රාජ්‍ය අදායම් සඳහා බලපෑමක් සිදු කරයි.
රටේ අලුත් සම්මුතිය
මෙම ඉහතකී සියළු පියවරයන් මෙරට ආර්ථික ශක්තිමත් කරන සහ රාජ්‍ය ආදායම වැඩි කිරීමට හේතුවන පියවරයන්ය. මේ වෙනුවෙන් වෙන් කෙරෙන ප‍්‍රතිපාදන යනු අනාගත ආයෝජනයන් වන අතර දීර්ග කාලීනව මෙරටට විශාල ප‍්‍රතිලාභයන් අත්පත් කරදෙන තිරසාර ව්‍යාපෘති වේ. සාමාන්‍යයෙන් රාජ්‍ය ආදායම කෙරෙහි වැඩිම දායකත්වයක් ලබා දෙන බදු ආදායම් පුළුල කරගැනීම සදහා උපක‍්‍රමික පියවරයන්ද මෙවර යෝජනා කර ඇත. ඒ අනුව මේ වන විටත් බදු ගෙවන්නන් වෙත තවදුරටත් බදු බර පැටවීම සිදුනොවන අතර බදුගෙවිය යුතු නමුත් නොගෙවා පැහැර හැර සිටින අති විශාල පිරිසක් බදු දැලට හසුකර ගැනීම සිදුවෙයි. මේ අනුව ඉදිරි කාලයේ දී බදු ආදායම් ක්ෂේත‍්‍රය පුළුල් වී ආදායම් වැඩි වන විට දැනට බදු පීඩාවට ලක්ව සිටින පිරිස වෙත සහනයක් ලැබීමේ ඉඩක් පවතී.
කෙසේ නමුත් යළි රට බංකොලොත් තැනට ඇද නොවැටීමට නම් රටේ ආර්ථික හා දේශපාලන ක‍්‍රමය අලූතෙන් නිර්මාණය කළ යුතුය. සිස්ටම් චේන්ජ් යනුවෙන් පසුගිය කාලයේ මොරගෑවේ එම වුවමණාවය. මේ වෙනුවෙන් අලූත් සමාජ සම්මුතියක් ඇති කරගත යුතුය. පසුගිය අයවැයෙන් ආරම්භ කළ මෙම කටයුත්තට මෙවර මේ අයවැය ඊට අවශ්‍ය ශක්තිමත් පදනම දැමීම සිදුකර ඇති බව පැහැදිලිය.
නමුත් මේ පැහැදිලිතාවය විපක්ෂයේ මරිමෝල්ලූන්ට පෙනෙන්නේ නැත. නැතිනම් ඒ දකින්න කැමති නැත. දැක්කත් නොදැක්කා වගේ සිටීම වෙනවාද විය හැකිය. එසේ නොමැතිව තමන්ගේ පාකෂිකයා තමන්වෙත රවටා තබාගැනීමට විපක්ෂට නොහැකිය. ඔවුන් මුහුණ දෙන අර්බුදය එයය. ඒ අර්බුදය මඟ හැරීමට ඔවුන් කරමින් සිටින්නේ පටට්පල් බොරු සමාජගත කරමින් බොරු තර්ක ඇදබාමින් ජනතාව නොමඟයැවීමය.
තව දුරටත් ශ්‍රී ලාංකිකයන් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට පත්නොවන්නට නම් ජනාධිපතිවරයා ඉදිරිපත්කරන මේ නිවැරදි වැඩපිළිවෙල ඔස්සේ ඇති ගමනාන්තයට යනවා මිසක, විපක්ෂය සමඟ වල් වැදීමෙන් යන්න පුළුවන් කතරගමක් නැත. ඒ නිසා ජනපති බර අඩි තබමින් යන මේ අලූත් ගමනට, අලූත් විදිහකට එකතුවෙමින් රටට අලූත් හෙට දවසක් උදා කිරීම වෙනුවෙන් පුරවැසි ජනයා සුදානම් වීම හැර වෙන විකල්ප රට හමුවේ නැති බව අවධාරණයෙන් කියන්න සිදුවේ.
- ජයතුංග බණ්ඩාර