sri lankan Air line බකං නිලං හිටියොත් සුං

0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් නැවත වතාවක් කතාබහක් මතුව ඇත. මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා කිහිපයක ගමන්වාර අවලංගුවීම හා ප‍්‍රමාදවීම හේතුකොට ගෙනය. කෙසේ වෙතත් දැනට කාලාන්තරයක් තිස්සේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇත්තේ එතරම් සුබවාදී අදහසක් නොවේ.

ශ‍්‍රී ලංකාවේ ගුවන් සේවයක් මුලින්ම ආරම්භ කළේ 1947 වසරේදීය. එවකට එයාර් සිලොන් නමින් වූ මෙම සේවාව 1979 බංකොලොත් වීමෙන් පසුව එයාර් ලංකා නමින් නව ගුවන් සේවයක් රජය විසින් ආරම්භ කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස 1979 වසරේදී ආරම්භ කළ මෙම ගුවන් සේවාව 1998 වසරේදී මෙම සේවාවේ ඇති වු මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් එහි කොටස් ඩුබායි රාජය්‍යට අයත් එමිරේට්ස් ගුවන් සමාගමට විකිණිමක් සිදුකර රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ සේවයක් ලෙස වසර 10ක කාලයක් පවත්වාගෙන ගියේය. එයාර් ලංකා, ශ‍්‍රී ලංකන් එයාර් ලෙස වෙනස් වූයේ ඒ අනුවය. නමුත් 2008 දී ශ‍්‍රී ලංකා රජය නැවතත් ගුවන් සේවයේ සියලූ‍ කොටස් තමන් වෙත මිලදී ගනු ලැබිණි.

මෙයාකාරයෙක් ක‍්‍රියාත්මක වූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ මේ වන විට සේවයේ නියුතු සේවකයින් ගණන පන්දහස් අටසීය ඉක්මවා ඇත. නමුත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් කිසිදු ගුවන් යානයක් නැත. මේ වන විටත් පියාසැරි අවස්ථාවක් සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් නාමය යටතේ භාවිත කරනු ලබන ගුවන් යානා විසිහතර (24)ම කුලී පදනම මත ලබාගත් ගුවන් යානා වේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් යානා විසිහතරක් කුලී පදනම යටතේ ලබාගෙන තිබුණ ද මේ වන විට සේවයේ යොදවා ඇත්තේ ගුවන් යානා දහඅටක් (18)ක් පමණි.

මීට පෙර ගුවන් යානා විසිහතක් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තිබූ අතර, පසුගිය කොවිඞ් කාලසීමාවේදී ලීසිං කාලය අවසන් වීමෙන් පසු අදාළ සමාගම විසින් ගුවන් යානා තුනක් නැවත ගෙන්වා ගෙන ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය ප‍්‍රමාණයට ගුවන් යානා නොමැති අතර, පවත්නා ගුවන් යානා ද පියාසැරි තත්වයන් යහපත් තත්වයක නොමැති බව වාර්ථා වෙයි. මේ වන විට ්- 330 සහ ්- 320 ගුවන් යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යොමු කර ඇති අතර, තවත් ්- 320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා දෙකක්, ප‍්‍රංශයේ එයා බස් සමාගමේ

සිට නව එංජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත් කර ගාල් කර ඇත. මෙයට අමතරව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට රුපියල් කෝටි 37,200ක් හෙවත් රුපියල් බිලියන 372ක පාඩුවක් හිමි ආයතනයකි.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී පැහැදිලිවම පෙනී යන ප‍්‍රධානතම කරුණ වන්නේ මෙම අර්බුදය සඳහා ප‍්‍රධානතම වගකිවයුත්තා වන්නේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනාධිකාරිය බවයි. ගුවන් යානා අවම වීමට අමතරව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනකු මේ වන විට සේවයෙන් ඉවත්ව විදේශීය ගුවන් සේවා සඳහා ගොස් ඇත. ඉංජිනේරුවන් 160ක් අවශ්‍ය මෙම සේවාව වෙනුවෙන් මේ වන විට සේවයේ නිරත වන්නේ ඉංජිනේරුවන් 125දෙනෙකු පමණක් වන අතර, අනෙක් සේවක පුරප්පාඩු ද මේ සේවය පවත්වාගෙන යාම සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ තත්වය මත නියමිත ගමන් වාර සිදු කිරීමට නොහැකි වීම සහ ප‍්‍රමාදයන් වීම සිදුවෙමින් පවතී.

ශ‍්‍රී ලංකන් අර්බුදයට අදාළව හේතු කාරණා මෙයම පමණක් නොවේ.

පසුගියදා මාධ්‍ය මඟින් මෙන්ම වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවා ප‍්‍රකාශ කර සිටියේ වර්තමානයේ උදා වී ඇති මෙම තත්වයට වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ද බලපා ඇති බවයි. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වන අතර, තවත් වෘත්තීය සමිති කිහිපයක් සෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසීය. මෙම තත්වය මඟහරවා ගැනීමේ අරමුණින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය හා වෘත්තීය නියෝජිතයින් පිරිසක් එක්ව පසුගිය 02දා වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ සාකච්ඡාවක් ද පැවැතිවිණි.

මෙම සාකච්ඡාව අවසානයේදී මෙවැනි තත්වයක් නැවත උදා නොවීමට තමන් කටයුතු කරන බවට වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයාට පොරොන්දු වී තිබිණි. එමපණක් නොව සාකච්ඡාව අවසානයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක පතිරගේ මාධ්‍ය හමුවේ පවසා සිටියේ ද ”‍ඒගොල්ලො පොරොන්දු වුණා මේ වගේ ප‍්‍රශ්න ඇති කරගන්නෙ නැතුව එයාර් ලයින් එක හොඳට ඉදිරියට ගෙනියන්න.”‍ යනුවෙනි. 

කෙසේ වෙතත් වෘත්තීය සමිති නියෝජිතයින්ට තමන් විසින්ම ලබා දුන් පොරොන්දුව දින දෙකක් හෝ ආරක්ෂා කිරීමට නොහැකි විය. ඒ පසුගිය 04දා කටුනායක සිට බැංකොක් වෙත පියාසර කිරීමට තිබූ ඹඛ 402 ගුවන් යානය පැය දහයකට අධික කාලයක් ප‍්‍රමාද වී පියාසර කිරීමය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට අතිශය බැ?රුම් තත්වයකට පත්ව ඇති බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් තවදුරටත් කල්මැරීමෙන් සිදුවන මුල්‍ය අලාභයන් නැවත පියවීමට හැකියාවක් මෙම සේවය විකුණා දැමීමකින් හෝ පියවා ගැනීමක් විය හැකි නමුත් ඊටත් වඩා මෙමගින් මෙම සේවාව සම්බන්ධයෙන් සහ රට සම්බන්ධයෙන් වන අපකීර්තිය මකා ගැනීම නම් අවිනිශ්චිතය. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය කලකට පෙර ලොව හොඳම ගුවන් සේවාවක තත්වයෙන් පැවැතුන අතර ශ‍්‍රී ලංකාවේ සන්නාමය සමඟ ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවය ලොවට විදහා දක්වන සේවාවක් විය.

බංකොලොත් රාජ්‍යයක් ලෙස අති දැවැන්ත ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට එම ආර්ථික අර්බුදයෙන් ක‍්‍රමක‍්‍රමයෙන් මිදෙමින් ඇත. බින්දුවටම කඩා වැටී තිබූ ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත වරක් පණ ගසමින් නැගිට එමින් ඇත. ලෝක සංචාරක දිනය වූ සැප්තැම්බර් මස 27 වන දින සමස්ත ලෝකයම සංචාරක දිනයට අදාළ සැමරුම් පවත්වද්දී ශ‍්‍රී ලංකාව මිලියනයේ සංචාරකයා දිවයිනට පැමිණීමේ සැමරුම ද පැවැත්විය. එය ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි ඇති කළේ දැඩි පිටුබලයකි.

තත්වය මෙසේ තිබියදී සංචාරක කර්මාන්තය කෙරෙහි සෘජුව දායකත්වයක් දක්වන්නා වූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම අර්බුදය සංචාරක කර්මාන්තය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම සුළුපටු වන්නේ නැත. ඒ තබා මෙරට පුරවැසියන්ද සිය ගුවන් ගමන් වෙනුවෙන් මෙම ආයතනයේ සේවාව ලබා ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වන බව රහසක් නොවේ.

ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවය ශ‍්‍රී ලංකාවේ සන්නාමය ලොව පුරා රැගෙන යමින් තිබු මෙම සේවාව අද පත්ව ඇති තත්වය, ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ක‍්‍රියාකලාපය ලොවට විහිදා පාන තවත් එක් සංඛේතාත්මක අවස්ථාවකි. මේ නිසා ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ අර්බුදය යනු සරලව තැකිය හැකි එකක් නොවේ.

 ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලැබීම දූෂණ වංචා ආදිය නිසා මූල්‍ය දුෂ්කරතාවයට මුහුණ දී ඇති අතර එම තත්වයන් යළි වෙනස් කිරීම පහසු නැත. මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතුය. එමෙන්ම ගුවන් යානා නවීකරණය සහ ප‍්‍රශස්ථකරණය ඇතුළුව මෙහෙයුම් අභියෝග කාර්යක්ෂමව කළමනාකරණය කිරීම කළ යුතු අතර, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ පිරිවැය අඩු කිරීම සඳහා දැඩි ක‍්‍රියාමාර්ගයන් වෙත යාම අනිවාර්ය තත්වයකි.

එසේම ගුවන් සේවා කර්මාන්තය යනු ඉතා තරඟකාරී කර්මාන්තයක් වන අතර, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරීත්වයට මුහුණ දීමට හැකි අයුරින් ප‍්‍රතිනිර්මාණය කළ යුතුය. එසේ නොමැතිව ලාභදායීව සේවාව පවත්වා ගනිමින් අහිමිව ඇති කීර්ති නාමය යළි අත්පත් කරගත නොහැක.

තවත් සුවිශේෂීම කරුණක් වන්නේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම දේශපාලනීයකරණයෙන් මුදවා ගැනීමයි. රාජ්‍ය සේවයට උරුම දුර්වලතාවයක් ලෙස එහි ආරම්භක අවධියේ සිටම ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන තනතුරු සඳහා පත් කෙරුණේ දේශපාලන හිතවත්කම් මත මිස සුදුසුකම්මත නොවේ. දේශපාලන මිතුරන්ගෙන් මෙය පිරවිණි. එක් අවස්ථාවක දී රට පාලනය කළ ජනාධිපති ආර්යාවගේ පවුලේ බූදලයක් විය. තවත් විටෙක ප‍්‍රත්‍රයාගේ බිරිඳගේ හත්මුතු පරම්පරාවම සමාගමේ ප‍්‍රධාන තනතුරුවල හා විධායක තනතුරුවලට පත් කෙරිණි. පවුලේ බලූ සුරතලූන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතාවයන්ටද ගුවන් යානා පාවිච්චි කළ බවද වාර්තා විය. මෙවැනි තත්වය තුළ තවමත් මෙම ආයතන මෙලෙස හෝ තවමත් පැවැතීමත් සතුටට කරුණකි.

කෙසේ නමුත් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් වත්මන් රජයේ ප‍්‍රතිපත්තීන් සහ ආර්ථික තත්වයන්ට අදාළ ප‍්‍රතිසංස්කරණයන් ඉටු කරමින් තිබෙන මොහොතක බිලියන් හාරසියයක පමණ පාඩුවක් දරමින් තව දුරටත් එය වර්ධනය කරමින් තිබෙන මෙම සේවාව සම්බන්ධයෙන් රජය නිවැරදි පියවරක් ගැනීම අනිවාර්ය තත්වයකි.

මේ සම්බන්ධයෙන් ගත හැකි වඩාත් සාධනීය පියවර වන්නේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහත කිරීමයි. මෙය වඩාත් කඩිනමින් කළ යුතු ඉදිරිගාමී පියවරකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ මීට මාස 08කට පෙර තමන් විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි. එමෙන්ම ඔක්තෝබර් මස අවසානය වන විට අභිලාෂ කැඳවීම ආරම්භ කරන බවත්, පෙබරවාරි මාසය වන විට මෙම කටයුත්ත අවසන් කරන බවත්ය. ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් පෙබරාවාරි අවසානය දක්වා ශ‍්‍රී ලංකා රජය විසින් නඩත්තු කළ යුතුය.

එහෙත් පෙබරවාරි මාසයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කරනවාය කියා බකං නිලාගෙන සිටීම සුදුසු කරුණක් නොවේ. මේ කටයුත්ත අවසන් වන තුරු තවත් මාස ගණනාවක් ශ‍්‍රී ලංකා සන්නාමය යටතේ ගුවන් සේවාවක් ලංකාව තුළ ක‍්‍රියාත්මක වන්නේය. එකී කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටවන සංචාරකයින් බොහෝ ප‍්‍රමාණයක් මෙම සේවාව භාවිත කරනු ඇත. එකී කාලසීමාව තුළ ශ‍්‍රී ලංකන් ගුවන් සේවාව උසස් මට්ටමකින් කෙසේ වෙතත් සැලකිය යුතු ගුණාත්මකභාවයකින් යුතුව පැවතිය යුතුමය.

ඒ සඳහා මේ වන විට මෙම අර්බුදයට මූලික වී ඇති ප‍්‍රධාන ගැටළු හැකි ප‍්‍රමාණයකින් තාවකාලිකව හෝ විසඳා ගත යුතුමය. සේවකයින් සෙමින් වැඩ කිරීම හෝ අකුරට වැඩ කිරීම ශ‍්‍රී ලංකන් ගුවන් සේවය භාවිත කරන ගුවන් මගීන්ට අදාල නැත. සේවාව ලබා ගන්නා පාරිභෝගිකයින්ට අදාළ වන්නේ නියමිත වේලාවට සිය ගමනාන්තය කරා ආරක්ෂිතව සහ සුව පහසුව යෑම පමණකි. එබැවින් මේ අභ්‍යන්තර ගැටළු පාලනාධිකාරිය විසින් විසඳිය යුතුය. ශ‍්‍රී ලංකන් පාලනාධිකාරිය තමන් ලබාදීමට පොරොන්දු වී ඇති සේවාව සම්බන්ධයේන වගකීම හා වගවීම විය යුතුය.

1947 දී සීතා දේවී, විහාරමහා දේවී, සුනේත‍්‍රා දේවී ලෙස නම් කළ ගුවන් යානා තුනෙන් ආරම්භ කළ මෙරට ජාතික ගුවන් සේවාව අද ගුවන් යානා නැති වේවී, ප‍්‍රමාද වේවී, කඩා වැටේවී යනුවෙන් මැසිවිලිවලින් හැඳින්වෙන තැනට පත්වීම අතිශය ශෝචනීය තත්වයකි.

රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *