රාජ්‍ය සේවක වර්ජනයේ අපේක්‍ෂාව බිලියන 300ක අමතර වියදමක් බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි

ඊයේ සහ අද (8 – 9) දෙදින වැඩ වර්ජනයේ අරමුණ වී ඇත්තේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 300ක පමණ අමතර වැයක් පිළිබඳවය යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන ලදි.

ඊයේ (8දා) මේ බව ඒ මහතා පවසා සිටියේ රට පුරා ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳව අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.

“පවුල් ලක්ෂ 20කට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීම, ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත් දිළිඳු පවුල් ලක්ෂ විසිහතරකට අස්වැසුම ඇතුළු සහනාධාර ලබා දීම, අඩු ආර්ථික අපහසුකම් ඇති පවුල් ලක්ෂයක දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම හා සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දීමට කටයුතු කර ඇති මොහොතක බදු වැඩි කිරීමකින් තොරව රට පවත්වාගෙන යෑමට නොහැකියි. රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පවතින බදු මුදල්වලට අමතරව තවදුරටත් බදු පනවා රටේ ජනතාව පීඩනයට ලක් කළ නොහැකි.” බවත් පැවසීය.