අත්‍යවශ්‍ය වියදම්වලට පමණක් ප්‍රතිපාදන සපයන්න – භාණ්ඩාගාර ලේකම්ට ජනපතිගෙන් උපදෙස්

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමේ අරමුණින් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දී තිබේ.

රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන අතර, එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියටද බාධාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමටද පසුගියදා කටයුතු කළේය. ඒ අනුව අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අරමුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර, වැටුප්, ණය සේවා, විශ්‍රාම වැටුප්, රෝහල් වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි සහනාධාර, වැඩිහිටි මූල්‍ය ආධාර, ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර, ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට ගෙවීම් සඳහා අයවැයෙන් යෝජනා කර ඇති මූල්‍යාධාර සැපයීම ඒ අතර වේ.

තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප්, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනා, කල් දැමිය නොහැකි විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සංදේශ සේවා, රෝහල්, බන්ධනාගාර, ආරක්ෂක අංශ සඳහා ආහාර සැපයුම්, නඩත්තු සේවා, ගොඩනැඟිලි කුලී, පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම් අනුව ගෙවීම්, සේවක අර්ථසාධක වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්, පොහොර සහනාධාරය සැපයීම යන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරේ.