ඡන්දයක් ඕන වුණේ රට ගොඩගන්නද වළලන්නද?

ගෙවුනු සතියේ දේශපාලන මාතෘකා බවට පත් වූයේ පළාත් පාලන මැතිවරණය කැඳවීමත් සමඟ ඇතිවෙමින් තිබෙන දේශපාලනික හැල හැප්පිලි සහ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පිරිසක් වරදකරුවන් වී විශාල වන්දියක් ගෙවිය යුතු බවට ශේෂ්ඨාධිකරණය තීන්දු කිරීමය.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ හා තවත් පක්ෂ කිහිපයක් එකව තරගකරන බවට තොරතුරු වාර්තා වීම මත එක්සත් ජාතික පක්ෂ පාක්ෂකයන් යම් කැළඹීමකට පත්ව තිබෙන බවත් නිරීක්ෂණයවේ. ඒ අතර, මෙම එකතුව පොදු හතුරා ලෙස සලකා ඊට එරෙහිව සජබයේ සහ ජවිපෙය වෙතින් එල්ල වන ප්‍රහාර දැඩිවී තිබිණි. රටේ ජනාධිපතිධුරය පොහොට්ටුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත මාරුවී පොහොට්ටුවේ බහුතර බලය සහිත ආණ්ඩුවක් අද ක්‍රියාත්මක වෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂගේ පලා යාමට පෙර අගමැතිවරයා ලෙස රනිල්ව පත් කළ අතර පසුව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විය. රනිල්ගේ ඉදිරිපත් වීමටත් පොහොට්ටු කණ්ඩායමය සහය දැක්වීය. ඒ මොහොතේ පොහොට්ටුවට රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් ගත හැකිව තිබූ වෙනත් පියවරක් තිබුණේ නැත. රට බාරගැනීමට සජිත් අනුර ඇතුලු විපක්ෂ නායකයන්ට කළ ආරාධනය කිසිවකුත් බාර නොගෙන විවිධ කොන්දේසි දමමින් එය මඟ හැරියේය. පාර්ලිමේන්තුවේ බහුතරය පවා රනිල්ගේ නායකත්වය පිළිගන්නා තැනට පත් වූයේ අගමැතිවරයා ලෙස මාස දෙක තුනක් ඇතුළත ඔහු කළ කී දෙයෙහි ප්‍රතිපළයන් වඩා සාධනීය වීමත් ඔහුගෙන් තොර වෙනත් විසඳුමක් නොමැති බව පෙන්වා තිබීම නිසාය. පොහොට්ටුවේම නියෝජිතයකු වූ ඩලස් අලහප්පෙරුමගේ ඉදිරිපත් වීම හෝ එම පක්ෂය පිළිනොගත්තේ එය තවදුරටත් රට අර්බුදයටම යවන විකාර තේරීමක් විය හැකි බැවිනි. නමුත් සජිත්ගේ තේරීමද එම විකාරයම විය. කොහොම නමුත් පසුව අරාජිකත්වයට ආසන්න තත්වයෙන් රට බේරාගැනීමට කටයුතු කරමින් ඉකුත් මාස 06 තුළ ජනතාව කෙරෙහි බලපෑ පීඩාකාරී තත්වයෙන් මුදවා ලීමට කටයුතු කළේ රනිල් වික්‍රසිංහගේ සෘජු නායකත්වය යටතේය. ඒ වෙනුවෙන් පොහොට්ටු බහුතරයේ සහය හිමි වි. ඒ අනුව එජාපය සහ පොහොට්ට්ටුව අතර ඒකාබද්ධතාවය ඇති වුයේ රනිල් අගමැතිවරයා ලෙස පත්වීමත් සමඟය.

එදා සිට රාජ්‍ය පාලනය සිදුවන්නේ රනිල්ට පොහොට්ටුවෙන් සහ තවත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් ලැබෙන සහයෝගයත් මතය. ඒ නිසා පළාත් පාලන මැතිවරණයෙදී මෙම කණ්ඩායම් ඒකාබද්ධ වීම අලුත් තත්වයක් නොවේ එසේ ඒකාබද්ධ වීමක අනිවාර්ය අවශ්‍යතාවයද පසුගිය මාස කිහිපය තුළ ගොඩනැගුනකි. මන්ද ජනපති සර්වපාක්ෂික එකඟතා වැඩ පිළිවෙලක් ඔස්සෙ රට වැටි තිබෙන අර්බුදයෙන් ගොඩගැනීමට එකතු වෙමුය කියන ඉල්ලීම දිගින් දිගටම කර තිබුණද විපක්ෂය සාහසික ලෙස මඟ හැරීමට කටයුතු කළ බැවිනි. විපක්ෂයට අවශ්‍ය වූයේ ජනතාවගේ මලමිනී මතින් හෝ තමන්ගේ තනි බලයය. විපක්ෂය කල්පනා කළේ අද මේ මොහොත වන විට ආහාර හිඟයෙන්, බෙහෙත් හිගයෙන් සහ රටේ අනෙකුත් අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව රට අමු සොහොනක් කරගැනීම ගැනය. මීට මාස 6 කට පෙර තිබූ තත්වය අනුව විපක්ෂට අවශ්‍ය වූයේ එයය. ලෝක ආර්ථික අර්බුදය හමුවේ සහ ආහාර අර්බුද හමුවේ මේ තත්වයන් තවත් තිව්ර වීමට නියමිතව තිබිණි. එම අනාවැකි අනුව මේ ජනවාරිය කියන්නෙත් ජනතාව ලක්ෂ ගනනින් පාරට බහින අරගල සමයක් විය යුතුව තිබිණි. 2023 වසර තුළ විශේෂයෙන්ම මුල් කාර්තුව තුළ ලෝක මට්ට්මෙන් සිදුවන අර්බුදවල විශාල බලපෑමක් ශ්‍රී ලංකාවටත් සිදුවීමට නියමිතව තිබේ. මේ කාලය තුළ මැතිවරණයක් යනු විපක්ෂයේ බල ලෝබය සන්සිදුවා ගැනීමට ලැබෙන දිය දෝතකි. විපක්ෂය ගනන් හැදැවේ එහෙමය. ඔවුන්ගේ මැතිවරණ ගෝසාව ඒ වෙනුවෙනි. එහෙත් මේ මාර්තුව තුළ මැතිවරණය කැඳවනු ඇතැයි බලාපොරොතු වූයේත් නැත. විපක්ෂය බලා සිටියේ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන තෙක්ය. ඒ ඊට එරෙහිව ජනතාව පාරට බස්සවා අද යම් පමණකට සමනය කරගෙන තිබෙන ආර්ථික අර්බුදය තවත් උග්‍ර කර දේශපාලන අර්බුද ඇති කර විශාල ආණ්ඩු විරෝධයක් ජනතාව තුළට කාන්දුකර මැතිවරණයකට ගොස් එහි උපරිම වාසිය ගන්නය.

නමුත් මේ ජඩ විපක්ෂයේ කෑදර අපේක්ෂා එකින් එක බිඳ වැටි තිබේ. රට දැවැන්ත කඩා වැටීමකින් වලක්වා ගැනීමට රනිල්ගේ නායකත්වයට හැකිව තිබේ. ජනතාව බඩ ගින්නේ ලෙඩ රෝග වලින් එක පිට එකා මැරී වැටීමට තිබු අවස්ථාව වලක්වා තිබේ. මේ වසර මුලදීම වෙන්න තිබූ බරපතල ආර්ථික අර්බුදය කලමනාකරණයට රනිල් සමත්ව තිබේ. මාර්තු වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය හිමිවුවහොත් රට 2019 ට පෙර තිබු සාමාන්‍ය තත්වයට හෝ පත්කර ගත හැකිය. එසේම විපක්ෂයට මැතිවරණයත් ලබා දී තිබේ. එමෙන්ම ඡන්දදායකයන්ට නිදහසේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රකාශ කරන්න අවශ්‍ය ආර්ථික සමාජීය සහ දේශපාලනික වටපිටාව සකසා දෙන්නට රනිල් සමත්ව තිබේ. මේ මොහොතේ මැතිවරණයක් කැඳවීම රටේ ආර්ථිකයට යම් හානියක් වූවත්, ජනතාව මැතිවරණයක් ඉල්ලා සිටියේ නැතත්, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් විපක්ෂයේ කෑකෝ ගැසීමට එම ඉල්ලීම ලබා දී ඇත. රනිල්ට මැතිවරණ වලට බය වෙන්න හේතුවක් නැත. ඔහුට ගැටළුවක්ට ඇත්තේ රට අර්බුදයට නොයවා ගැනීමට ගන්නා පියවරයන්ට හානියක් වීම ගැන පමණි.

කොහොම නමුත් මාස 6කට පෙර රට තිබූ තත්වයෙන් මුදවා සාමාන්‍ය තත්වයට පත්කිරීමට රනිල් ගත් වෙහෙසට සහයක් වූයේ ඔහුට සහයෝගය ලබාදෙන පොහොට්ටුවේ සහ අනෙකුත් පක්ෂ වල මන්ත්‍රීවරුන් නිසාය. මේ තීරණාත්මක මොහොතේ මෙම සහය අතිශය වැදගත් දේශපාලනික කාරණයකි. එය නොලැබුණා නම් අද අපිට කතා කරන්න රටක් ඉතුරු වන්නේ නැත. විපක්ෂයේ සහ අරගලකරුවන්ගේ පිස්සු කෙලීම්වලට ඉඩ ලැබුණා නම් අද රට ජනතාවත් සමඟ වැළලිලාය.

මේ අනුව එජාපය සහ පොදුජන පෙරමුණ ඒකාබද්ධව මැතිවරණයට ඉදිරිපත් වීමේ වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කරගත යුතු දෙයක් නොවේ. එය විය යුතු අනිවාර්යයක් ලෙස අර්ථ ගැන්වෙන්නෙ රටත් ජනතාවත් මුහුණ දෙන පීඩාව අබිමුවය. එමෙන්ම මෙවර මැතිවරණයෙන් කවර පාර්ශ්වයක් ජයග්‍රහණය කළත් රට ගොඩනගන වැඩපිළිවෙලෙහි ක්‍රියාත්මක වෙමින් සිටින කණ්ඩායම හැර, වෙනත් කිසිවකුගේ ඊට සහයක් හිමිවන්නේත් නැත. මේ නිසා මෙවර මැතිවරණය වැදගත් වෙන්නෙ රට ගොඩ ගන්න සහය වෙනවාද? නැතිනම් නැවත වළලන්න සහය වනවාද? යන ගැටළුවලට උත්තරය තෝරාගැනීම සම්බන්ධයෙන් පමණි.

පාස්කු නඩු තීන්දුවේ බලපෑම

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ විනිසුරු සත් මඩුල්ල විසින් සිය තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශය කිරීම තවත් ආන්දෝලනාත්මක කරුණක් වී ඇත. මන්ද හිටපු ජනාධිපතිවරයා සහ රජයේ ඉහළ ආරක්ෂක වගකීම් ඉසුලු ඔහුගේ සමීපතම නිලධාරීන් කණ්ඩායමක් දඬුවමකට යටත් කිරීමක් අප දන්නා ඉතිහාසයේ සිදුව නැත. පාස්කු ප්‍රහාරය කවුරු කවර අරමුණක් වෙනුවෙන් සිදු කළාද යන්න තවම නිශ්චිත නැත. දේශපාලනික හෝ ආගමික හෝ නැතිනම් ජාත්‍යන්තර වුවමණාවක් අනුව හෝ සිදු වූවා විය හැකිය. නමුත් එම ප්‍රහාරය පිළිබඳ පෙර තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා නොගැනීම, තමන් දරණ වගකීම නොසලකා හැරීමක් ලෙස සලකා හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ට,පොලිස්පතිට හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියට දඬුවම් නියම කර ඇත.

එහෙත් මෙහිදී එදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහත් වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබුණත් ජනාධිපතිධුරයට හිමිවන මුක්තිය නිසා ඔහු එයින් ගැලවී ගත් බවට මතයකු ප්‍රචාර වෙමින් තිබේ. නමුත් මෙම ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සෘජුව වගකිව යුතු නැත. මන්ද ජාතික ආරක්ෂාව මුළුමනින්ම බාරගෙන සිටියේ සහ ඒ සඳහා නියෝග ලබා දීම සිදු කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේනය. ආරක්ෂක අමාත්‍යංශය, පොලිසිය, බුද්ධි අංශ සහ සමස්ත ආරක්ෂක මණ්ඩලයම ජනාධිපතිවරයාට යටතේ විය. කොටින්ම ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට අගමැතිවරයාව සම්බන්ධ කරගැනීම ද එදා ජනාධිපතිවරයා වලක්වා තිබිණි. මේ තත්වය මත රටේ ආරක්ෂක තත්වය ගැන අගමැතිවරයා කිසිවක් දැන සිටියේ හෝ ඒ ගැන නියෝගයක් දීමට හැකි තැනක සිටියේ නැත.

අගමැති රනිල්ට ක්‍රියාත්මක වීමට සිදු වූයේ ප්‍රහාරය සිදුවීමත් සමඟය. ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සාප්පු සවාරියක නිරතව සිටි අතර මෙම ප්‍රහාරයෙන් පසුව වුවත් රටේ නීතිය සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වූ ඔහු ඔහුගේ වගකීම නිසි පරිදි ඉටු කළේ නැත. අගමැති රනිල් වහා ක්‍රියාත්මක වී රටේ ආරක්ෂාව සහතික කිරීටේ පියවර ගනනාවක් ගනු ලැබීය. ජනාධිපතිවරයාගේ වගකීම විරහිත භාවය හමුවේ වගකිව යුතු ආරක්ෂක නිලධාරීන් කැඳවා ගත යුතු අත්‍යාවශ්‍ය පියවරයන් ගැනීමටත්, පොලිසියට සහ ආරක්ෂක අංශ වලට එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබාදීමට සිදු වූයේ රනිල්ටය. එය සිදු නොවන්න මෙම ප්‍රහාර මාලාව තවදුරටත් වර්ධනය වී විශාල විනාශයක් සිදු වීමට නියමිත විය. ඒ ඇත්ත ඉතිහාසය අමතක කර රනිල් ජනාධිපති මුක්තියේ බලයෙන් මේ ප්‍රහාරය වලක්වා නොගැනීමේ චෝදනාවෙන් ගැලවුණාය කියන ප්‍රකාශයන් හුදු දේශපාලනික අවලාදයක් පමණි. අනෙක රනිල් කියන්නෙ හැමදාමත් රටේ ආරක්ෂාවට රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම වෙනුවෙන් සෘජුව පෙනී සිටි අයෙකි. නීතිය හා සාමය ආරක්ෂා කර එමඟින් ජනතාව ආරක්ෂා කිරීමට ඔහු හැමදාමත් ප්‍රමුඛතාවයක් දී ඇත. ඔහු යටතේ ත්‍රස්තවාදයකට ඉඩක් නැත. ඉතා සියුම් ලෙසත්, උපක්‍රමශීලි ලෙසත් සහ දැඩිවත් ඔහු ත්‍රස්තවාදයට, ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කරන්නෙකි. ඒ වෙනුවෙන් වූ බලගතු නායකත්ව පෞර්ෂයක් ඔහු සතුය. පසුගිය කාලයේ වූ ප්‍රචණ්ඩකාරී අරගල විසුරුවා හැර නීතිය හා සාමය ස්ථාපිත කර අරාජිකත්වයට පත්වීම වැලැකිවීම වෙනුවෙන් අභීතව කටයුතු කිරීමෙන්ද ඔහු ඔහුගේ සහජ ගතිය පෙන්වා තිබිණි. රටකට ඇවැසි නායකත්වය කියන්නේ එවැනි සෘජු නායකත්වයකි. මහා යුධවිරුවා ලෙස උත්කර්ෂයට නංවනු ලැබ තිබු ගෝඨාභය රාජපක්ෂ පවා රනිල් හමුවේ අතදරුවෙකි.

විපක්ෂය රට අවුලෙන් අවුලට පත්කර, ප්‍රචණ්ඩ අරගලවලට ජනතාව පොළඹවමින් සහ මිල මුදල් ආදී පහසුකම් සලසමින් ත්‍රාඩ දේශපාලනයක යෙදෙන විට රනිල් කටයුතු කළේ රට ගැන ජනතාව ගැන තමන්ට පවරා ගත් දැඩි වගවීමක් සහිතවය. එදා ගෝඨා පාලනය සමඟ රට විනාශය කරා යන විට කිසිවකුත් ඒ නතර කිරීමට කටයුතු නොකරද්දී සහ ඊට හැකියාවක් නිර්භීත බවක් නොපෙන්වද්දී රට බාර ගැනීමට තරම් කොන්දක් සහ ප්‍රථුල දැක්මක් තිබුණෙ රනිල්ටම පමණකි. තමන්ගේ දේශපාලන ජීවිතය, තමන්ගේ දේශපාලන පක්ෂය පරදුවට තබා එලෙස කැපකිරීම් කළ නායකයන් මේ රටේ සිටියේ කලාතුරකිනි. ඒ නිසා ඉතිහාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිච්ඡේදය කියෙන්නේ ස්වර්ණමය අකුරින් ගැඹුරුව සටහන් කෙරෙන යුගයක් සේම රටට වළකපන ත්‍රාඩ තුච්ඡ විපක්ෂය ගැනද තද කළු අකුරින් සටහන් වෙන යුගයකි.

මේ අතර පාස්කු නඩු තීන්දුවත් සමඟ මීළඟට මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිපයේ දේශපාලන අනාගතය කුමක් විය හැකිද යන ගැටළුව මතුවේ. සිරිසේනට තවදුරටත් විලි ලැජ්ජාවක් ඇති නම් දේශපාලනය කළ නොහැකිය. මන්ත්‍රීධුරයෙනුත් ඉවත් වී ශ්‍රීලනිප නායත්වයත් අත්හැර දැමිය යුතුය. එසේම සිරිසේනගේ ප්‍රමුඛත්වයෙන් ඊයේ පෙරේදා ගොඩනැගු සන්ධානයේ විමල්, ඩලස්, උදය ආදී පොහොට්ටුවෙන් ගැලවුණ රංචුවටත් දැන් යන එන මන් නැත. මේ සන්ධානය හැදුවේ ශ්‍රි ලනිපයේ ලක්ෂ දහයක පහලොවක ඡන්ද කොටාවෙන් කට්ටියටම ගොඩයන්න බලාගෙනය. එය දැන් හබක්ය. මේ අනුව මෙම නඩු තීන්දුවෙන් තවත් පහරක් වැදුනේ ජාතිවාදය, ආගම්වාදය කර පින්නා ගත් පටු මන්ද මානසික දේශපාලනයක යෙදුනු කණ්ඩායමකටය. පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන රට ජාතිවාදයේ ආගම්වාදයේ වසවිස වලින් මුසපත් කරමින් ගෝඨාව බලයට ගෙනාවෙත් මේ අයමය. එමෙන්ම ගෝඨා පාලනයටත් විනකැටුවේ මේ කණ්ඩායමේ ගෝත්‍රික උපදෙස් මත රට පාලනය කරන්න ගොස් බවද අමතක නොකළ යුතුය. දැන් සිරිසේනට පමණක් නොව එම කණ්ඩායමටත් තමන් කළ වැරැද්දේ වන්දිය ගෙවන්න සිදුව ඇත.