රැල්ලට ගිය හැමෝම වැල්ලට
මොන අතින් බැලුවත් කවදත් ජනතාව ආශක්ත වුණේ රැල්ලට මිසක් වැල්ලට නෙවෙයි. හැබැයි වැල්ල නැත්නම් කවදාවත් රැල්ලේ හැඩ ජනතාව දකින්නේ නෑ. හැබැයි ඒ බව ජනතාව දන්නෙත් නෑ. දැනගත්තත් කිව්වෙත් නෑ. වැල්ල ඒ ගැන කිව්වෙත් නෑ. රැල්ලට කියන්න ඕන කමක් තිබුනෙත් නෑ. ඒ නිසා තමයි, කවුරු කවුරුත් ලියන කියන සේරම රැල්ල නමට වෙන් වුණේ. වැල්ල ගැන කවි ගී කතා නොවුණා තරම් කිව්වොත් ඒක වැරදිත් නෑ. ඒ මොනවා වුණත් වැල්ල කවදාවත් රැල්ල එක්ක එරියස් තියාගත්තෙත් නෑ. ඒ තමයි රැල්ල ඇවිත් හැමදාම වැල්ල පිරිසිදු කරපු නිසා. වැල්ලට එය සේවයක් වුන නිසා. රැල්ල වැල්ලට ආවේ සුනාමියක් විදිහට වුණත්, අවසානයේ වුණේ රැල්ල ඇවිත් කළේ වැල්ල පිරිසිදු කරපු එක. ඒ නිසා ලියලා තියාගන්න, කවුරුත් නොහිතුවට වැල්ල රැල්ලට ආදරෙයි. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්. මේ ගතවෙන්නේ එහෙම මොහොතක්.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස අභාවයට පත්වන විට ඔහුගේ පුත් සජිත් හිටියේ විදේශගතව. පියාගේ අභාවය දැනගත් පුතාණෝ පෙරළා ලංකාවට එනවා. ඔහුව පිළිගෙන ගෙන එන්නට එවකට එජාප ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු ගුවන් තොටුපලට ගිහින් තියනවා. එහිදී මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේ සජිත් මරු ප්‍රශ්නයක් අහලා. ඒ තමයි, “දැන් එතකොට අම්මා දිවුරුම් දුන්නද?” කියලා.
මේ සිදුවීම පසුගියදා පාර්ලිමේන්තුවේදී සිහිපත් කර සිටියේ ඇමති මනුෂ. ඒ විපක්ෂ නායක සජිත්ගේ සාමාන්‍ය දැනුම ගැන පැහැදිළි කිරීමක් කරන්න. එදා ජ්‍යෙෂ්ඨ ප්‍රේමදාසගේ අභාවය අවස්ථාවේ, ව්‍යවස්ථාව සම්බන්ධව අබමල් රේණුවක් පුංචි ප්‍රේමදාසට නොතිබීම සාධාරණ වෙන්න පුළුවන්. මොකද එදා පුංචි ප්‍රේමදාස වැඩිහිටි විය එළැඹ සිටි තරුණයෙක් වුවත්, ලොකු දේශපාලන දැනුමක් නැතිව හිටපු නිසා තාත්තට පස්සේ අම්මා ජනාධිපති වෙයිද කියලා අහන්න පුළුවන්. දේශපාලන පෙතේ හතරමුල්ල නොදැන සිටි ළපටියකු පදනමින් ඒ ගැන සමාවක් දෙන්නත් පුළුවන්. නමුත් වැඩේ කියන්නේ, ඉන් දශක කිහිපයකට පස්සේ දේශපාලන වශයෙන් පරිණතවීමට සමත් බවක් පෙන්වීමට සජිත් අසමත්වීම. එදා සහ අද අවස්ථා සම්බන්ධය දක්වමින් ඇමති මනුෂ මේ කතාව කිව්වෙම ඒ බව ඔප්පු කරන්න.
හැබැයි ඒ කතාවල ඇත්ත නැත්ත අපි දන්නේ නෑ. අපිට අදාළත් නෑ. නමුත් දේශපාලන උපහාසයක් විදිහට ඒ උදාහරණය සජිත්ට නොගැළපෙන්නෙත් නෑ. මොකද එක්සත් ජාතික පක්ෂයට ආපු දවසේ ඉඳලා දන්නා තරම් අඩව් අල්ලමින් සජිත් උත්සාහ ගත්තෙම එජාප නායකයා වෙන්න. කොහොම හරි විධියකින් රටේ නායකයා වෙන්න. මෙතන වැඩ කළේම “දැන් එතකොට අම්මා දිවුරුම් දුන්නද?” සින්ඩ්‍රෝමය. කාලෙන් කාලෙට, තාලෙන් තාලෙට සජිත් මාර නායකයෙක් වගේ ඉස්සරහට ආවේ ඔය සින්ඩ්‍රෝමය නිසා. කවුරු කවුරුත් තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ගොඩදාගන්න සජිත්ගේ මේ සින්ඩ්‍රෝමය පාවිච්චි කළා. ඔය සජබ කියලා, අරියාදුවට බෙදපු ඉඩමක් වගේ පක්ෂයක් හැදුනෙත් එහෙමයි. ඒ හැර කවදාවත් නායකයෙක් ලෙස හෝ දැක්මක්, වැඩපිළිවෙලක් ඇති පරිණත දේශපාලන නායකත්වයක් සජිත් වෙතින් පෙනුණේ නෑ. එහෙම දෙයක් තිබුණෙත් නෑ.
සමහරු මේ බව දැනගෙන සජබට ගියා. තවත් සමහරු නොදැන ගියා. තවත් සමහරු ගියේ වෙන යන්න තැනක් නොතිබුණ නිසා. ඒ වගේම තවත් සමහරු සජබට ගියේ පාර්ලිමේන්තුවට එන්න ඕන නිසා. කොහොම නමුත් සජබට ගිය බහුතරය කියන්නේ සජිත් ගැන මාර විශ්වාසයකින්, දැක්මක් ඇතුව ගිය දෙයක් නෙවෙයි. මේ වෙනකොට වෙන කවරදාටත් වඩා ඒ බව තහවුරු වෙමින් තියෙන්නේ.
මතක ඇතිනේ, රැල්ල හදපු කියපු අය ගැන කියලා තමයි “සජබ” පළවෙනි මොහොතේ ප්‍රමෝට් වුණේ. සජබ කැම්පේන් එකත් ඒක කිව්වට වැරදිත් නෑ. එජාපය හෝදගෙන යන සුනාමි තත්වය හැදුවෙත් ඒ කතාවලින්. හැබැයි ඒ රැල්ල හදපු ගොඩක් අය, එහි නිල හිමිකරුවන් වැල්ලට ඇවිත් රැල්ලේ දොස් කියන්න වැඩි කලක් ගියෙත් නෑ. පළවෙනි මොහොතේ ඒ බව දැනුණේ වැල්ලේ ඉඳගෙන රැල්ල දිහා බලාගෙන හිටපු අයට විතරයි. නමුත් දැන් වෙනකොට ඒ සේරම වෙනස් වෙලා. දැන් වැල්ලේ හිටපු උදවිය විතරක් නෙවෙයි, රැල්ල දැකලා ගිය උදවියත් වැල්ලට එන සීසන් එක ඇවිත් තියෙන්නේ.
කොහොමින් කොහොම හරි, නමෝ විත්තියෙන් රැල්ල, වැල්ලට එන කතාව පටන් ගත්තේ, මුලින්ම නම් දිවංගත මංගලගෙන්. ඊළඟට හරීන්, මනුෂ. ඊට පස්සේ රාජිත, මනෝ, ඇතුළු නම් ලැයිස්තුවක් ඔය එක්ක එළියට ආවා. මෑතක රැල්ල ගිනියම් කරලා වැල්ල ඔප දැම්මේ හැරිසන්. සජබ උප සභාපති අනුරාධපුරේ පී. හැරිසන්.
පසුගියදා මාධ්‍ය හමුවට ආපු හැරිසන් කිව්වේ, සමගි ජනබලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වී කොන්දේසි විරහිතව ඉදිරි ජනාධිපතිවරණයේ දී, රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙනවා කියලයි. තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවත්, සමගි ජන බලවේගය පක්ෂයේ බහුතරයක් ඉදිරි කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළ කිරිමට එක්වනු ඇති බවත් එතැනදී හැරිසන් කියනවා.
ඔන්න ඔහොමයි හැරිසන් ඒ ගැන වැඩිදුරටත් කිව්වේ,
“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්. ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 100ක් එක්ක තව සති දෙකකින් ඔබතුමාලාගේ මාධ්‍යට මම එන්න ලෑස්තියි. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජන බලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. දිස්ත්‍රික්ක කිහිපයකම ඒ වෙනුවෙන් කට්ටිය සූදානම් වෙලා තියෙන්නේ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ”.
හැරිසන් ඔහොම කියනකොට, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මොකද කියන්නේ? ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යනවා කියලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න කියනවා. දැනට ද තමන් ජනාධිපතිවරයා හමුවී එවන් ප්‍රශ්න විසඳා ගෙන ඇති බවත් ඉදිරියට ද ජනාධිපතිවරයා හමුවන බවත් ඇය සඳහන් කරනවා. හැරිසන් අනුරාධපුරයේ ඉඳලා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා වගේ රෝහිනී මේ අදහස් දක්වන්නේ මාතලේ ඉඳලා.
නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරයා හමුවීමට සෑම දෙනාටම හැකි බවත් ජනතාවගේ වැඩ කර ගත් පසු නැවතත් සමගි ජන බලවේගය පක්ෂයට පැමිණෙන බවත් ඇය කියනවා.
ඒ විතරක් නෙවෙයි, ඔන්න ඒ අස්සේ ගම්පහ පැත්තේ සජබ පාර්ලිමේන්තු ප්‍රබලයෙක් එක දිගට වටේට ඇමතුම් දෙන්න අරගෙන. ඒ කාගෙනුත් අහන පොදු ප්‍රශ්නයක් තිබුනා කියලයි කියන්නේ. ඒ තමයි, “ඇයි ඔය කට්ටිය නොකියම ්යෑට සපෝර්ට් කරන්න බැස්සේ. මමත් එන්නනේ හිටියේ” කියලා. කොහොමටත් ගම්පහ පක්ෂ විපක්ෂ රැල්ලේ බහුතරය ජනාධිපති රනිල්ගේ වැල්ලට ගොඩ බැහැලා ඉන්නේ.
ගම්පහ ආසනේ බලන එජාප සංවිධායක වරුණ රාජපක්ෂ, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එක්ක එකතුවෙලා ගම්පහ ආසනයම සෝදලාම අරගෙන. එතන නමෝ විත්තියෙන් වැඩේට බැහැලා කඩේ ඇරියේ ගම්පහ මහ නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම්. ලංකා ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දියත්කර ඇති වැඩපිළිවෙළට ශක්තියක් ලබාදීම වෙනුවෙන් තමන්ද එක්වන බවක් තමයි ප්‍රේමසිරි මාධ්‍යට කිව්වේ.
පසුගිය සමයේ ජනතාව විඳි අපමණ දුක්ගැහැටවලින් මුදවා ගැනීමට පිළියමක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු විසින් මේ වන විටත් ඒ බව ප්‍රායෝගිකව ඔප්පුකර ඇති නිසා තමන් මේ තීන්දුව ගනු ලැබූ බවත් ඔහු සඳහන් කරනවා.
ඒ වගේම තමන් සමඟ මෙතෙක් ගම්පහ දේශපාලන කටයුතුවල නිරතවූ ක්‍රියාකාරීන් රැසක් සමඟ එකතුව මෙම තීන්දුව ගනු ලැබූ බවත් කියනවා.
මේ තියෙන්නේ ගම්පහ මහ නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් මීඩියාවලට කියපු කතාව.
“මම අවුරුදු 20 ක පමණ කාලයක ඉඳලා තමයි ගම්පහ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන්නේ. නමුත් දැන් රටේ ඇති ආර්ථික අර්බුදය සහ ඒ හමුවේ ජනතාව විඳින දුක්පීඩා සැළකීමේදී, මේ තත්වයෙන් රට මුදවාගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඔහු සාර්ථකව ඔප්පුකර තිබෙනවා. ඒ නිසා ජනතා නියෝජිතයකු ලෙස මම තීන්දුවක් ගත්තා ජනාධිපතිවරයා ගෙන යන මේ වැඩපිළිවෙළට ශක්තියක් දීමට එක්වන්න. මම විතරක් නෙවෙයි, අපේ පාක්ෂිකයන්, සහෝදර අපේක්ෂකයන් රැසක් මේ තීන්දුව සමඟ එකට ඉන්නවා. අපි ඉදිරියේදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ගම්පහ පුරා සක්‍රීයව කටයුතු කරන්න අපේක්ෂා කරනවා.”
ඔය විතරක් නෙවෙයි, කපිල එදිරිසිංහ කියන ගම්පහ හිටපු උප නගරාධිපති, චමින්ද පෙරේරා කියන ගම්පහ හිටපු විපක්ෂ නායකත් වරුණ – රුවන් එක්ක එකතු වෙලා. සජබ නියෝජනය කරන ලොක්කත් කලබල වුණා කියන්නේ ආය අහන්න දෙයක් නෑ. ගම්පහින් ලංකාවටම වෙන්න ඕන වැඩේ දැන් පත්තු කරලා තියෙන්නේ. ඒ තමයි, දැන් රැල්ලට ගිය අයට වැල්ලට එන්න වෙලාව හරි බව. හැබැයි ඒ ජාතික තලයේ උදවිය නෙවෙයි. ඒ තමයි ග්‍රාස් රූට් සෙට් එක. එහෙමත් නැත්නම්, ගම මට්ටමේ බිම් මට්ටමේ වැඩකරන ක්‍රියාකාරී නඩය. ඒ නඩයටම’මේක’තමයි’වෙලාව.
- කල්ප අනුත්තර ලියනගේ